
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගම සමඟ හවුලේ පවත්වාගෙන යාමට රජය ගෙන ඇති තීරණය බරපතළ මත ගැටුමකට තුඩු දෙමින් තිබේ. එයට හේතුව වරායේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පසුගියදා පැවැත්වූ සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කර තිබූ ප්‍රකාශයයි. නැගෙනහිර ජැටිය විකුණන්නේ හෝ බදු දෙන්නේ නැති වුවද එය සියයට 51ක් ශ්‍රී ලංකාව සතු සහ සියයට 49 ක් ඉන්දියාවේ අදානි සමාගම සතු ආයෝජන ව්‍යාපෘතියක් වශයෙන් පවත්වාගෙන යාමට තීන්දු කර ඇති බව ජනාධිපතිවරයා එහිදී වෘත්තීය සමිතිවලට ලබාදුන් පණිවුඩය විය.
නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මේ වනවිට රජයේ ස්ථාවරය එය බව පැහැදිලිය. එයට පටහැනි අදහසක් රජයේ වෙනත් බලධාරීන් අතින් ප්‍රකාශයට පත්වී නැත. එහෙත් නැගෙනහිර ජැටිය මෙහෙයවීම සියයට සියයක්ම ශ්‍රී ලංකාව සතු විය යුතු බවට වරායේ වෘත්තීය සමිති මෙතෙක් දරන ලද ස්ථාවරය මඳකින්වත් වෙනස් වී නැත. ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ අදාළ තීරණය දැනුම්දුන් සාකච්ඡාවෙන් පසුව වෘත්තීය සමිති මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ එම සාකච්ඡාව අසාර්ථක වූ බවය. එහෙත් රජයද සිය ස්ථාවරයේ වෙනසක් සිදුකරන බවට මේ වනතුරු ඇඟවීමක් සිදුකර නැත.
මේ හේතුවෙන් ඉදිරි කාලය තුළදී වරායේ වෘත්තීය සමිති මගින් මෙතෙක් ගෙනගිය ‘‘නැගෙනහිර ජැටිය රැකගැනීමේ’’ අරගලය තවදුරටත් උත්සන්න කරන බවට ලකුණු පහළ වෙමින් තිබේ. මේ සඳහා දේශීය සම්පත් රැකගැනීමට ප්‍රමුඛත්වය ලබාදෙන වෙනත් වෘත්තීය සමිති හා සංවිධානද එකතු කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවද දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රියාත්මක වෘත්තීය සමිති 23ක් මේ අරගලය ඉදිරියට ගෙනයාමට ප්‍රතිඥා දී ඇති බවද සඳහන්ය.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදය ලෙහෙසියෙන් විසඳාගත නොහැකි බව දැනට පෙනෙන්නට තිබේ. එසේ තිබියදී ඉන්දීය රජය සහ අදානි සමාගම සමඟ ශ්‍රී ලංකාවේ රජය ඇතිකර ගන්නා ගිවිසුම ඉදිරි සති කිහිපය තුළදී අත්සන් කරනු ඇතැයි යන්න වෘත්තීය සමිතිවල අදහස වී තිබේ. රජයේ ස්ථාවරය සමඟ තමන් කිසිසේත් එකඟ නොවන බවද වරායේ වෘත්තීය සමිති නායකයන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. ඔවුන් තදින්ම අවධාරණය කරන්නේ යෝජිත ගිවිසුම අනුව ක්‍රියා කළහොත් උපාය මාර්ගික වශයෙන් වැදගත් කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ මෙහෙයුම් කටයුතු ඉන්දියාවේ ආධිපත්‍යයට නතු වනු ඇති බවටය. එහි කටයුතු තනිවම සිදුකරගෙන යාමට වරාය අධිකාරියට හැකියාව තිබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.
බැලූ බැල්මට මේ අර්බුදය රජය සහ වරායේ වෘත්තීය සමිති අතර ළැදියාවන් අතර ගැටලුවක් බවට පෙනී ගියත් එයට යටින් දිවයන ජාත්‍යන්තර ප්‍රශ්නයක්ද තිබේ. ජනාධිපතිවරයා තමන් සමඟ පැවැති සාකච්ඡාවේ එක් අවස්ථාවකදී ඉන්දීය සාගරය තුළ චීනයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් කලාපයේ ආරක්ෂාව පිළිබඳ ගැටලු පැන නගින බව ඉන්දියාව පෙන්වා දී ඇතැයි ප්‍රකාශ කළ බවද එක් වෘත්තීය සමිති නියෝජිතයකු ප්‍රකාශ කර තිබිණි. රජයක් වශයෙන් එවැනි කාරණා සම්බන්ධයෙන් ඉන්දියාව රතු එළි දල්වන විට ඒ ගැන සැලකිල්ලක් නොදක්වා කටයුතු කළ නොහැක. වෘත්තීය සමිති තම සටන දැඩි ලෙස මුවහත් කළහොත් ඇතැම් විට රජයට රැවුලයි කැඳයි දෙකම බේරාගැනීමේ වැඩ පිළිවෙළකට යාමටද සිදුවිය හැකිය. එහිදී ඉන්දියාව අසීරුවට පත් වුණොත් එහි ප්‍රතිවිපාක අප සිතනවාට වඩා සංකීර්ණ වීමට ඉඩ තිබෙන බවත් සඳහන් කළ යුතුය.
ශ්‍රී ලංකාව විදෙස් ආයෝජන සහ රටේ සම්පත් විකිණීම අතර වෙනස හඳුනාගත නොහැකි ගැටලුවකට මැදිවී සිටින බවට මේ සිද්ධිය ප්‍රබල උදාහරණයකි. එක් ආණ්ඩුවක් ආයෝජකයන් සමඟ ගිවිසුම් ගසා රට තුළට ජාත්‍යන්තර ආයතන ගෙන්වා ගැනීමට කටයුතු කරන විට විපක්ෂය පාරට බැස ‘‘මෙන්න රටේ සම්පත් විකුණන්න යනවෝ’’ යයි කෑගසමින් විවිධ ව්‍යාපාර, උද්ඝෝෂණ සංවිධාන කරයි. ඇතැම් විට එවැනි විරෝධතා ප්‍රචණ්ඩකාරී තත්ත්වය දක්වා වර්ධනය වෙයි. එම විපක්ෂයම ආණ්ඩුව බවට පත්වී හිටපු ආණ්ඩුව විපක්ෂයට තල්ලු වූ විට මේ චක්‍රයම ආපසු කැරකෙයි. ඒ සමඟ රටද එකම තැන කැරකෙන බව මේ දෙපාර්ශ්වයම අවබෝධ කරගන්නා බවක් පෙනෙන්නට නැත. ආයෝජනවලින් තොරව රටක ආර්ථික සංවර්ධනයක් පිළිබඳ කතා කිරීමත් නිෂ්ඵලය. ඒ අතරම මෙම විරෝධතා පිටුපස නොයෙක් බලවේගද තිබෙන්නට පුළුවන. රජයට බලපෑම් කරන ජාත්‍යන්තර බලවේගද තිබිය හැකිය. මේවායින් ගැලවීමක්ද නැත.
සියල්ලටම පෙර ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතුව තිබේ. එවැනි ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී පක්ෂ විපක්ෂ නායකයන්ගේ අදහස් පමණක් නොව ප්‍රබල වෘත්තීය සමිති අදහස් නියෝජනයක්ද තිබීම අවශ්‍යය. ආයෝජන සහ රට විකිණීම දේශපාලන පක්ෂවල සටන්පාඨ බවට පත්ව තිබීමෙන් රටට ලබාගත හැකි කිසිදු සංවර්ධනයක් නැත. එසේම සියලුම කර්මාන්ත සහ ආයතන අපටම කරගත හැකි යැයි යන මිථ්‍යාවෙන් සියලු දෙනා මිදීමද අවශ්‍යය. සියල්ල අපටම කරගත හැකිය යන්න මිථ්‍යාවක් පමණි. එසේ නොවන්නේ නම් මේ රටේ මේ වනවිට සියලු රාජ්‍ය ආයතන ලාබ ලැබිය යුතුය. අඩුම තරමින් අලාබ නොවී පවත්වාගෙන යාමේ හැකියාව ලබා තිබිය යුතුය. එය එසේමදැයි නැගෙනහිර ජැටියේ ගැටලුවට අදාළ සියලු පාර්ශ්ව තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බැලීම වටී.
(***)
COMMENTS
මේ ලිපියේ තියෙන වැදගත්ම කොටස "සියල්ලටම පෙර ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතුව තිබේ." මේක විදේශ ආයෝජන වලට විතරක් නෙමෙයි. අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ අත්‍යාවශ්‍ය සේවාවලටත් තියෙන්න ඕනෑ.
වරාය ගැන පමණක් සැලකීමේදී කතා කළ යුතු දෙයක්ද ඇත. බොහෝ වරාය සේවකයන් විශ්‍රාම යාමට ප්‍රථම සිය දරුවන්ටද එම රැකියාවම කෙසේ හෝ ලබා ගනියි. මේ සියලුම දෙනාගේ සේවා කාර්යක්ෂමතාව ප්‍රමාණවත් නොවේ. වේලාව නිරතුරු බලමින් සේවය කරන්නෝ රාජ්‍ය සේවයේ ඉතා බහුලයි. ඉන්පසුව ඇත්තේ අතිකාල සේවයේ කාලයයි. ඔවුන් සේවා ඒකාධිකාරීත්වයක් පවත්වා ගෙනයයි. අවංක සේවකයෙකුටවත් මේ බැමි බිඳගෙන ඉදිරියට යා නොහැක. ආයෝජකයන් කාලයත් සමග තරඟකර ලාබයේ උපරිමය ලබා ගනී. එවිට නිතැතින්ම සෙසු සේවකයන්ටද ඒ හා සමාන සේවයක් කිරීමට සිදුවේ. අප රටේ බොහෝ අය විදෙස්ගත වූ පසුව නම් ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව එම රටවලට සේවය කරයි. ඔවුන් එදා සිට ඉහළ කාර්යක්ෂමතාවයකින් තම මව්බිමට සේවය කළා නම් ආයෝජකයන් අවශ්‍ය නොවේ...
හොඳ වැඩේ... පසුගිය අවුරුදු 5 ආණ්ඩුවට වැඩක් කරන්න නොදී බොරුව සමාජගත කරකර වෘත්තීය සමිති කුලප්පු කර කර වැඩකරපු වව්ලන්ට හොඳ වැඩේ. දැන් ඉතින් වපුරපුවා නෙලාගනිල්ලා.
මේ මොනවා කිව්වත් මේක රාජපක්ෂලාගේ නොහැකියාවේ ප්‍රතිඵලයක් විතරයි. කරනවා කියලා ඇවිල්ලා කරන එක තව හොඳයි.. විකුණන්නේ නැහැ කියලා ඇවිල්ලා විකුණන එක ජනතාවත් ගොනාට අන්දන කපටි වැඩකි.
"ඉන්දියාව රතු එළි දල්වන විට ඒ ගැන සැලකිල්ලක් නොදක්වා කටයුතු කළ නොහැක". ඊළඟට චීනය කලාපිය ආරක්ෂාව කියලා බයිලාවක් කියාගෙන අාවොත් තවත් කෑල්ලක් මේ ක්‍රමයට දෙනවද? එක එකා රතුඑළි දානවිට මෙහෙ ඒවා විකුණන එකද ඒකට කරන්න ඕනේ. මේකේ තියෙන්නේ ඉන්දියාවට හිතකර බිස්නස් ඩීල් එකක් මිස චීනේවත් අන් කවරක් නොවේ. ඔය ඉන්දියාවෙන් දෙනවා කිව්ව බෙහෙත් ටිකත් ඔය බිස්නස් එක කෙරෙනවට දුන්නු පොඩි ටිප් එකක්... හැබැයි මෙහෙන් විරෝධතාවය දක්වන කොට දෙනවා කිව්වා... බෙහෙත් ටිකත් නෑ.
ඊළඟ මැතිවරණයේදී මේ රජය පරදිනවා නොඅනුමානයි. ඒත් ඊට පස්සේ අපේ රටටයි කියලා යම්දෙයක් ඉතුරුවෙලා තිබුණොත් තමයි පුදුමේ...!!!
අපේම කරගන්න යෝජනාවක්... එහි සංවර්ධනයට වසර 7ටම වැයවීම 556M$. මූලික වැයවීම් සඳහා වරාය අධිකාරිය විසින් දැනටමත් මුදල් වෙන් කර ඇත. (ලැබෙන තොරතුරු අනුව) ඊටත් අමතරව 9000ට අධික වූ වරාය සේවකයින් රුපියල් ලක්ෂයේ කොටස් ලෙස යෙදවූවත් රුපියල් මිලියන 1000ක් ලබාගත හැක. එ්ත් මදිනම් අපි ශ්‍රී ලාංකිකයින්ට පමණක් වූ කොටස් නිකුතුවක් කරමු. ඩොලර් ගලන ව්‍යාපාරයක් අන් රටකට නොදෙමු. අනාගත පරපුර වෙනුවෙන් පෙරට එමු...
මම රනිල්ගේ ආණ්ඩුවට කැමතියි. මොකද රනිල් එන්නෙම විකුණන්නම නේ.. ඔහුට ඡන්දෙ දෙන්නේ එම අදහසට කැමැති උදවිය. මේගොල්ලෝ බලයට ආවේ විකුණපුවත් ආපසු පවරාගන්නවා කියලා. එහෙම බැලුවාම රනිල් කෙළින් මිනිහා.. මේ ගොල්ලන් දෙපත් නයි.
විකුණන්නේ හෝ බදු දෙන්නේ නැතුව ආයෝජනය කරන්න දෙනවලු... පුදුම කතාවක්නේ මේක..