ශ්‍රී ලංකාවේ මැතිවරණවලදී ඡන්දදායකයන්ට ලබාදෙන පොරොන්දුවලට ඇත්තේ අපූරු ඉතිහාසයකි. තරමක අතීතයේ දී නිකම් හාල්දීම, හඳෙන් හෝ ගෙනැත් හාල්දීම, ධාන්‍ය රාත්තල් අටක් සතියකට ලබාදීම (මෙය වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූයේ ඇට අට වශයෙනි), ධර්මිෂ්ට පාලනයක් ඇති කිරීම (එය අවසන් වූයේ උතුරේත් දකුණේත් යුදගිනි ඇවිලීමෙනි.) වැනි පොරොන්දු විය. මෑත කාලයේ දී රුපියල් දහස් ගණනින් රජයේ සේවක වැටුප් වැඩි කිරීම, උපාධිධාරීන්ට රැකියා දීම, පොහොර නොමිලයේ දීම, බදු අඩු කිරීම්, තරුණ තරුණියන්ට රැකියා සුලබ කිරීම, විවාහ වන තරුණ යුවළට මිලියනයක මුදල් ලබාදීම වැනි පොරොන්දු තිබිණි.

අගෝස්තු 05 අවසන් වූ මැතිවරණයේ දී හැම පවුලකටම රුපියල් 20,000ක් ලබාදීම, රුපියල් 10,000ක් ලබාදීම, උපාධිධාරීන්ට රැකියා දීම, පොහොර නොමිලයේ ලබාදීම වැනි පොරොන්දු විය.

මේ ආකාරයට ලබාදෙන ඉටුකළ නොහැකි පොරොන්දු ජනතාව රවටන ඇස් බැන්ඳුම් පමණි. මෙවැනි පොරොන්දු බලයට පැමිණි මුල් පැය විසිහතරේදීම ආණ්ඩුවේ ලොක්කන්ට අමතක වෙයි. තමන්ට ඊට වඩා වැඩි වගකීම් පැවැරී ඇති බවට අදහස් පළ කරන මේ බොහොමයක් නායකයන් ඊළඟට සිදු කරන්නේ දුන් පොරොන්දු ඉටු කිරීමට වඩා තමන්ගේ බලය තහවුරු කර ගැනීමට කටයුතු කිරීමය. පොරොන්දු පිළිබඳ මතකය නිතර අවදි කරන රටේ ජනතාව මේ ලබා දී ඇත්තේ කවදාවත් ඉටු නොවන පොරොන්දු බව අවබෝධ කර ගන්නා විට ඊළඟ මැතිවරණයට කාලය පැමිණ තිබේ. යළිත් දේශපාලකයෝ පොරොන්දු නැමැති දිරච්ච ලණු ජනතාවට ලබා දෙති. ජනතාව ද තලු‍ මරමින් මේ ලණු අනුභව කරති. මේ චක්‍රය සැමදාම මෙසේ කරකැවිය යුතුද?

එසේ නොවිය යුතුය. ජාතික මැතිවරණවලදී ඡන්දදායකයන්ට පොරොන්දු ලබාදීම අනවශ්‍ය බව අප කියන්නේ නැත. එහෙත් ලබාදෙන පොරොන්දු ඉටුකළ හැකි, පවතින යථාර්ථයට ආසන්න ඒවා වීම අවශ්‍යය. එසේම රටේ ආර්ථිකය වළපල්ලට ඇද දමන ඒවා නොවිය යුතුය.
 
ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වෙන ලෝකයේ ඕනෑම ආණ්ඩුවක් ජනතාවගෙන් ඡන්දය ලබාගැනීම සඳහා වඩා හොඳ සහ ලාභදායක සේවා පහසුකම් ලබාදෙන බවට පොරොන්දු ලබා දීමට පෙළඹෙයි. ඒ සමඟ බදු සහන ලබාදීම ද තවත් ජනප්‍රිය පොරොන්දුවකි. මෙය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් නොව සංවර්ධිත ධනවත් රටවලට ද පොදු ධර්මතාවකි. එහෙත් ධනවත් රටවලට තමන්ගේ කඳවුරේ රටවල් සමඟ පවතින ආර්ථික සහ දේශපාලනික සබඳතා හේතුවෙන් එවැනි සහන සමාජයට මුදාහැරීම ගැටලු‍වක් වන්නේ නැත. එහෙත් දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින අඩු ඒකපුද්ගල ආදායමක් ඇති රටවලට ඒ ආකාරයට ආර්ථික පොරොන්දු ඉටු කිරීමට හැකියාවක් නැත. දරාගත නොහැකි මට්ටමට පත්වන උද්ධමනය, ආර්ථිකයේ කඩාවැටීම සහ ඒ හේතුවෙන් ඇතිවන දේශපාලන අස්ථාවරභාවය අනවශ්‍ය ලෙස සහන ලබාදීමේදී මුහුණදීමට සිදුවන බරපතළ ගැටලු‍ අතර සුලබය. ශ්‍රී ලංකාව ද දැන් දශක ගණනාවක් තිස්සේ මේ ගැටලු‍වල වින්දිතයකු බවට පත්වී සිටී. එයින් ගැලවෙන උපාය මාර්ග දෙසට කිසිදු දේශපාලන පක්ෂයක අවධානය යොමු නොවීම ලොකුම අවාසනාවය.

ඉටුකළ නොහැකි බොරු පොරොන්දු ලබාදීම රටේ ඡන්දදායකයාට දේශපාලන පක්ෂ ලබාදෙන මානසික අල්ලසකි. දිගින් දිගටම සිදුවෙමින් පවතින මේ බැරි පොරොන්දු දේශපාලනයේ එක් අහිතකර ප්‍රතිඵලයක්වී ඇත්තේ රුපියල බාල්දු වීමය. උද්ධමනය පාලනය කරගත නොහැකි මට්ටමකට ඉහළ යාම එහි අනිවාර්ය ප්‍රතිඵලයයි. බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම මෙහි වරද පටවන්නේ හිටපු ආණ්ඩුවට වීම මෙරට දේශපාලනයේ මහා පොදු සාධකයකි. එහෙත් එයින් රටේ උග්‍ර ආර්ථික ගැටලු‍වට විසඳුම් ලැබෙන්නේ නැත. එකිනෙක ආණ්ඩු මත වරද පැටවීමෙන් ජනතාවගේ දුප්පත්කම අඩුවන්නේ ද නැත. සිදුවන්නේ ආර්ථික අවිනිශ්චිතභාවය තවදුරටත් වර්ධනය වීම පමණි.

බොරු පොරොන්දු දේශපාලනය මගින් ශ්‍රී ලංකාවට සිදුකර ඇති විනාශය පිළිබඳ අපූරු උදාහරණයක් පසුගියදා මෙරට සුප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු විසින් තම ලිපියක සඳහන් කර තිබිණි. ඔහු කියා තිබුණේ තමාට හමුවූ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් කර්තෘවරයකු තමාගෙන් මෙසේ ඇසූ බවය. ‘‘මගේ සීයාගෙ කාලෙ ශ්‍රී ලංකාව දුප්පත් රටක්. මගේ පියාගෙ කාලයෙත් අපේ රට දුප්පත්. මගේ කාලයෙත් රට තාම දුප්පත්. මගේ දුවගේ පුතාගෙ කාලයෙත් රට දුප්පත් විදියටම තිබේවි. ලංකාවට මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද?’’

මෙයින් ගැලවීමට ඇති එකම උපක්‍රමය පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම පමණි. නිකම් වෙනසක් නොව එය උඩු යටිකුරු විය යුතුය. ඒ සඳහා අලු‍ත් ආණ්ඩුව හෝ ඉදිරි පියවර නොගත්තොත් තව වසර 05කට පසුව ද මේ කතුවැකිය මෙසේ ලිවීමට සිදුවන බවට සහතිකය.