(රංජන් කස්තුරි )

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ඡන්ද ගණන්  කිරිමේ කටයුතු මධ්‍යස්ථාන 47 කදී පස්වරු 6 ට ආරම්භ කළ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඡන්ද පොලේදීම ගණන් කිරිමේ කටයුතු සිදුකරන අතර එම ප්‍රතිඵල ඇල්පිටිය වෘත්තීය පුහුණූ ආයතනයේ පිහිටුවා ඇති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට ගෙනවිත් සමස්ත ප්‍රතිඵලය නිවේදනය කරන බවද කොමිසම පවසයි.

 


(රංජන් කස්තුරි)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 4 ට නිමාවිය. ඒ වන විට සියයට 70 ක ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කර ඇතැයි මැතිවරණ කොමිසම කියයි.

 


(සිරංගිකා ‌‌ලොකුකරවිට) 

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (11) සවස 2.30 වන විට 62 % ඉක්මවා ඇතැයි තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

මැතිවරණය ඉතා සාමකාමීව පැවැත්වෙන අතර කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ ඡන්ද නීති කඩකිරීමක් හෝ වාර්තා වී නැතැයි ද ඒ මහතා කළ විමසීමක දී පැවසීය. 

 


(විනීතා එම් ගමගේ)

ඇල්පිටිය කොට්ඨාසයේ මැතිවරණය සාමකාමිව පැවැති බව එම මැතිවරණයේ නිරික්ෂණ කටයුතු සිදුකල පැෆරල් සංවිධානය සහ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මධ්‍යස්ථානය පවසයි.

සුළු සිද්ධීන් කිහිපයක් වාර්තාවූ බවත් එයින් ද මැතිවරණයේ සමස්ත ප‍්‍රතිඵලයට හානියක් සිදුනොවන නමුත් ඒවා ද සිදුනොවී නම් වඩාත් හොඳ යැයි එම සංවිධාන  පවසති.

ඡන්ද මධ්‍යස්ථාන අසල පෝස්ටර් කටවුට් ප‍්‍රදර්ශනය කිරීම් හා අවට ගැවසීම් ගැන සිදුවීම් කිහිපයක් වාර්තා වූ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා  පැවසීය.

පූර්ව මැතිවරණ සමය පවා සාමකාමීව ගත වූ බවත් ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය නිදහස් හා සාමකාමී එකක් වූ බව ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ඇල්පිටිය මැතිවරණය ඉතා සාමකාමී එකක් වූ බවත් බලපෑම් සිදුකිරීමේ සිද්ධීන් 12 ක් වාර්තා වූ බවත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය.

සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අපේක්ෂකයන් හා හිටපු පළාත් සභා මන්ත‍්‍රීන් පිරිසක් ද සමඟ ඡන්ද මධ්‍යස්ථාන අසල ගැවසීමේ සිද්ධීන් කිහිපයක්ම තම නිරික්ෂකයන් නිරික්ෂණය කර ඇතැයි කි ගජනායක මහතා එම වාහනවල පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් තිබු බව ද කියා සිටියේය.

මැතිවරණයට පෙර දින රාත‍්‍රි ව්‍යාජ ඡන්ද පත‍්‍රිකා බෙදාදීමේ සිද්ධියක් පිළිබඳව ද පැමිණිල්ලක් ලැබී ඇතැයි පැවසූ හෙතෙම පැලගස්පේ කණිෂ්ඨ විද්‍යාලය අසල රැඳී සිටි අපේක්ෂකයකුගේ මවක් තම පුතුට ඡන්දය දෙන්නැයි ඡන්ද දායකයින්ට බලපෑම් කරමින් සිටි බව නිරික්ෂණය වී යැයි ද පැවැසීය.

එවැනි බලපෑම් කිරිමේ සිද්ධීන් කිහිපයක් වන නමුත් ඒවා සමස්ත  ප‍්‍රතිඵලයට බලපෑම් නොකරන බව තම සංවිධානයේ මතය යැයි ද ගජනායක මහතා තව දුරටත් කියා සිටියේය.

 


(විනීතා එම් ගමගේ)

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ දී අද (11) දහවල් 12 වනතුරුත් සාමකාමී තත්ත්වයක්  පැවැති බවත් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ සිද්ධීන් දෙකක් වාර්තා වී තිබු බවත් පැෆරල් සංවිධානය කියයි.

ඇල්පිටිය පූජාගල ඡන්ද මධ්‍යස්ථානයට ඡන්ද දායකයන් ප‍්‍රවාහනය කිරීමේ සිද්ධියක් පිළිබඳ තම නිරික්ෂකයින් නිරික්ෂණය කර ඇති බවත් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක්ම ආසන්නයේ පෝසට්ර් කටවුට් ප‍්‍රදර්ශනය කිරීමේ සිද්ධීන් ද වාර්තා වූ බවත් පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

කෙසේ වෙතත් දහවල් 12 වනතුරු මැතිවරණය පැවැති ඇල්පිටිය ප‍්‍රදේශය සාමකාමීව පැවැති බවත් ඡන්ද දායකයන් උනන්දුවෙන් ඡන්දය භාවිතා කරන බව නිරික්ෂකයන් වාර්තා කර ඇති බවත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. 

 


(සිරංගිකා ලොකුකරවිට)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයන් තෝරාගැනීමට පැවැත්වෙන මැතිවරණය සඳහා අද(11)  උදෑසන 7.00ට ඡන්ද විමසීම ආරම්භ වූ මොහොතේ සිට මධ්‍යහන 12.00 දක්වා කාලය තුළ 50%ක පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේය.

ඡන්ද දායකයන් දැඩි උනන්දුවකින් කටයුතු කරන බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයන් 28 දෙනකු තෝරාගැනීම සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් 53,384දෙනකු අද ඡන්ද මධ්‍යස්ථාන 47 ක දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

විදාණපතිරණ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

''ඡන්ද විමසීම අද උදේ 7.00ට ආරම්භ කළා. ප්‍රදේශය පුරාම ඉතා සාමකාමී තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම ඡන්ද දායකයන් දැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශකරන බව ද පෙනී යනවා. අපට දැනට ලැබී ඇති තොරතුරු අනුව අද මධ්‍යාහ්නය වනවිට 50% ඉක්මවූ ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශකර තිබෙනවා. මේ වනවිට කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා වී නැහැ"

තේරීම්භාර නිලධාරීවරයා පැවසුවේ සවස 4.00ට ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් වූ වහාම ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල දී ඡන්දය ගණන්කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි. පළමු අදියර ලෙස තම ඡන්දය ප්‍රකාශ කළ ස්ථානයේ දීම තම තමන්ගේ අපේක්ෂකයන් විසින් ලබාගත් ඡන්ද සංඛ්‍යාව දැනගැනීමේ හැකියාව ඡන්ද දායකයන්ට ඒ අනුව හිමිවෙයි. ඉන් අනතුරුව දෙවැනි අදියර ලෙස කොට්ඨාස 17 හි ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කරන බවත් රාත්‍රී 10.00 පෙර අවසන් ප්‍රතිඵලය ලබාදිය හැකි බවත් තේරීම්භාර නිලධාරීවරයා පවසයි.

අද පැවැත්වෙන මැතිවරණය සඳහා ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ තාවකාලික මැතිවරණ කාර්යාලයක් ස්ථාපිත කර එහි සිට සියලු මෙහෙයුම් කටයුතු සිදුකිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
 
 අද (11) පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇල්පිටියේ තාවකාලික මැතිවරණ කාර්යාලය සහ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරතවන ආකාරය ද දක්නට ලැබිණි.


(ජේ.කේ.එල්.චාමින්ද)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ කටයුතු සිදුවන ආකරය පිළිබඳ සොයා බැලීම සඳහා අද (11) මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  ඇල්පිටියට පැමිණියේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මෙහෙයුම් කටයුතු හා ප්‍රතිඵල නිකුත් කරන ඇල්පිටිය  දිස්ත්‍රික්  වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෙත ගොස්  මැතිවරණ කටයුතුවල නිරත නිලධාරින් සමඟ කථාබහක ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිරත විය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵලය අද (11) රාත්‍රී 10.00 පමණ වනවිට නිකුත් කිරිමට හැකිවන බව සඳහන් කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා  පැවසීය.

මේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ, ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් යු.ඒ චන්ද්‍රලාල් මහතාද එක්ව සිටියහ.

 


(රංජන් කස්තුරි)

 

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අද (11) පැවැත්වේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් 28 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා වන එම ඡන්ද විමසීම අද පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ඡන්ද කොට්ඨාස 17  න් සමන්විත වේ.

අවිත්තාව, ඕමන්ත, මැටිවිලිය, ඉඳිපලේගොඩ, අමුගොඩ, කැටන්දොළ, ඇල්පිටිය, නවදගල, බටුවන්හේන, තලාව, කුඩාගල, කදිරන්දොළ, වල්ලඹගල, පිටුවල, ඇල්ල අම්බනකහදූව, පිනිකහන සහ තිබ්බොටුවාව එම ඡන්ද කොට්ඨාස වේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට පිළිගත් දේශපාලන පක්ෂ පහකට අයත් අපේක්ෂකයෝ 85 දෙනෙක් තරගයට පිවිස සිටිති.

තරග කරන අපේක්ෂකයින්ට අමතරව එක් දේශපාලන පක්ෂයකින් 14 දෙනෙකු වශයෙන් පක්ෂ පහෙන් තවත් 70 දෙනෙකු අතිරේක අපේක්ෂකයෝ ලෙස නම් කර සිටිති.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත් කොළය ලකුණ යටතේ ද එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ ද ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ යටතේ ද , ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ රාජාලියා ලකුණ යටතේ ද සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ ද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරගයට ඉදිරිපත්ව ඇත.

ඡායාරූප - දීපාල් සිල්වා

ඡායාරූප - ජෙ.කේ.එල්.චාමින්ද