(තරිඳු ජයවර්ධන)

’අපේ සංවිධානේ කැඳවුම්කරු කීර්ති අයියා. කීර්ති අයියාගේ පවුලේ කීප දෙනකුත්  අතුරුදන් වෙලා.’ මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ව්‍යාපාරයේ සංවිධායක නීතීඥ නුවන් බෝපගේ මහතා එලෙස කීවේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී ය.

‘මීතොටමුල්ලේ කීර්ති අයියා’ කියූ සැනින් ඔහු කවුදැයි බොහෝ දෙනා දනිති. ඔහු නමින් කීර්තිරත්න පෙරේරාය. මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වූයේ කීර්තිරත්න මහතාය. බොහෝ දෙනකු ඔහු ආමන්ත‍්‍රණය කළේ ‘කීර්ති අයියා’ යනුවෙනි. විශ‍්‍රාමික බන්ධනාගාර නිලධාරියකු වන කීර්තිරත්න මහතා 2011 වසරේ සිටම කුණු කන්දට එරෙහි ව්‍යාපාරයේ හොඳ සටන් සගයෙන් විය. 

එදා ඔහු සටන් කළේ ගමක් වෙනුවෙනි. ගමක ආරක්ෂාව වෙනුවෙනි. දේශපාලකයන්ගේ කඹ ඇදිල්ල නිසාම සිංහල දෙමළ අලූත් අවුරුදු කිරිබතේ උණුසුම යන්නටත් කළින් පරළොව යන්නට සිදුවූ පිරිස අතර කීර්තිරත්න මහතාගේ පවුලේ සිව් දෙනෙක් වූහ. දිවි බේරා ගැනීමට හැකි වූයේ කීර්තිරත්න මහතාට හා මුණුබුරාට පමණි.

කුණු කන්ද පාමුල ඛේදවාචකයෙන් කීර්තිරත්න මහතාගේ බිරිය පස් යට සිරවී සිටිය දී බේරා ගනු ලැබ රෝහල් ගත කරනු ලැබුවාය. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් දෙදිනක් ප‍්‍රතිකාර ලැබූ බිරිය අඟහරුවාදා(16) සවස අවසන් සුසුම් පොද වාතලයට මුසු කළාය. දුව, බෑනා සහ මිනිබිරිය ද මරුමුවට පත්වූහ.

කීර්තිරත්න මහතාගේ තෙමහල් නිවසේ අද ඇත්තේ සුන්බුන් පමණි. ජීවිත කාලයේම හරි හම්බ කළ මුදලින් ඉදි කළ නිවස පමණක් නොව එහි තිබූ කිිසිදු දෙයක් අද ඔහුට නැත. අවසානයේ ඉතිරි වූයේ ඇ`දිවත පමණි. තම නිවස තිබූ පෙදෙස දෙස බලා හ`ඩා වැටෙන අතරතුර කීර්තිරත්න මහතා කී කාරනය ලංකාදීපය සඳුදා වාර්තා කළේය.

‘‘ මේකද මගේ දෛවය? මේකටද අපි සටන් කළේ? මං ආයේ කවුරුන් වෙනුවෙන් සටන් කරන්නද? අපි මේවා හැමදාම කිව්වා. මේටික වෙනවා කියලයි අපි කිව්වේ. ඇයි මේක තේරුම් ගත්තේ නැත්තේ? අපේ රටේ මහ එවුන්ට මේවා තේරුම් ගන්න බැරි වුණේ ඇයි?

අපි මේ ආණ්ඩුවට කිව්වා. ඊට කළින් ආණ්ඩුවටත් කිව්වා. එක්කෙනෙක්වත් මේවා සැලක-ු වේ නෑ. දැන් කුණු දමන්න තවත් ටිකක් ඉඩ ආවා. මේ ඉඩෙත් දාගනිල්ලා.  ඔක්කොම එකතු වෙලා ජනතාව ඉවර කළා. උඹලගේ දේශපාලනේ මේකද? උඹලව අපි පත්කළේ ඇයි? මට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මගේ මුනුබුරා වෙනුවෙන් විතරයි. අපේ සටනේ ප‍්‍රතිඵලය මේකද?’’ කීර්තිරත්න මහතා හඬා වැටෙමින් ප‍්‍රශ්න කළේය.

‘මුණුබුරා නැතිනම් මම බෝම්බයක් බැඳගෙන මරාගෙන මැරෙනවා.’ කීර්තිරත්න මහතා කීවේය.

අද සොවින් හඬා වැටෙන කීර්තිරත්න මහතාගේ වදන් එදා මේ තරම් හැඟීම් බර නොවීය. එහෙත්  තීව්ර විය. කුණු කන්දට එරෙහිව සහ ඒ සමග ඈඳුණු දේශපාලනයට එරෙහිව  ඔහු විරෝධතා සංවිධානය කළේය. මාධ්‍ය සාකච්ඡුා පැවැත්වීය. එදා එක් අවස්ථාවක ඔහු කුණු කන්ද ගැන දැක්වූයේ මෙවන් අදහසකි.

‘‘ මම 1980 ඉඳන් මේ ගමේ ජීවත් වෙනවා. 1990 කොළොන්නාව නගර සභාවෙන් ඒ වෙලාවේ කුණු මෙතැනට ගෙනත් දැමීමට මිනිස්සු විරුද්ධ වුණා. ඒත් විරෝධ නොතකා  කුණු ගෙනත් දැම්මා.  පසුව කොළඹ නගර සභාවේ කුණුත් ගෙනැවිත් දැම්මා.    පුරපති ගනේෂලිංගම් මහතා කුණු දැමීම තහනම් කළා. නැවත 2009 බ්ලූමැන්ඩල් කුණු කන්දේ ප‍්‍රශ්නය දරුණු වුණාම එවක අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා තාවකාලික පදනම මත මෙතැන අක්කර 2ක කුණු දාන්න ඉඩ දුන්නා. නමුත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණ නියෝග කඩකර දිගටම කොළඹ කුණු මෙතැන දැම්මා. කුණු කන්ද අක්කර 18ක් පුරා අඩි 250ක් උසට අද වර්ධනය වනතුරු ජනතාවගේ හඬට කවුරුවත් කන් දුන්නේ නැහැ. 

‘‘මෙහෙම කුණු කන්ද දවසෙන් දවස වර්ධනය වෙද්දී අමුතු දේවල් සිද්ධ වුණා. කුණු කන්ද අයිනෙම තියෙන මීතොටමුල්ල රාහුල විදුහල් භූමියේ පනුවෝ, දළඹුවෝ දරුණු ලෙස බෝවෙන්න පටන් ගත්තා. ඒක හරියට කවුරුහරි ගෙනත් දැම්මා වගේ වැඩක්. කොහොම හරි පාසල වැහුවා.  පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෝඨාභය මහත්තයත් එක්ක එකතු වෙලා මෙතැන විදුලිය නිපදවන සමාගමක් හදන්න පුවරුවන් සවි කළා. මේ කුණු සෙල්සියස් අංශක 1200ට දහනය කරන්න    ඕනෑ නිසා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාව අවශ්‍ය වුණා. ඒක හැදුවොත් මීටර් 500ක ආරක්ෂිත කලාපයක් ප‍්‍රකාශ කළාම කොළොන්නාව බාලිකාව, කොළොන්නාව රජමහා විහාරය, රාහුල විදුහල, පොලිසිය එතැනින් අයින් කරන්න   ඕනෑ. ඒකත් සුදු අලියෙක් විතරක් වුණා.

‘කොහොම හරි මේ වෙනකොට මේ ප‍්‍රදේශයේ ඩෙංගු හෘදයාබාධ ස්වසන රෝග වලින් 30 මැරිලා. සියයට 60කට චර්ම රෝග බෝවෙලා. බලධාරීන් තාමත් නිහඬයි. මේ ප‍්‍රශ්නෙට විකල්පයක් විදියට කොරියානු සමාගමක් උස්වැටකෙයියාවේ අක්කර 82 ක කුණුවලින් විදුලිය නිපදවන්න අවසර ඉල්ලූවා. මධ්‍යම පරිසර අධිකාරිය ඒකට අනුමැතිය නොදෙනේනේ ඒ කලාපයේ තිබෙන කඩොලානවල ඉන්න පුංචි ජීවීන් කුණු දැමීම නිසා මියයයි කියලයි. එතකොට කුණු නිසා මීතොටමුල්ල ජනතාව මිය ගියාට කමක් නැහැ.  කඩොලානවල ජීවින් බේරිලා. බලධාරීන් අපිව සතුන්ටත් පල්ලෙහාට දමලා.’’

කීර්තිරත්න මහතා එලෙස ප‍්‍රකාශ කළේ 2014 වසරේ දී ය.

කුණු කන්ද ගැන වත්මන් ආණ්ඩුවෙන්ද කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගන්නා බවක් නොපෙනෙන නිසා කීර්තිරත්න මහතා ප‍්‍රමුඛ මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරය උද්ඝෝෂණයක් සහ උපවාසයක් සංවිධානය කළේ 2015 නොවැම්බර 27 වැනි දා ය. කුණු කන්දෙන් කවදා හෝ සිදු විය හැකි මහා විනාශය ගැන යම් තරමකට හෝ අවබෝධයක් තිබූ කීර්තිරත්න මහතා මෙම උද්ඝෝෂණය සහ උපවාසය සංවිධානය කිරීමෙහි ලා විශාල වැඩකොටසක් කළේය.

විරොධතාවය සාර්ථක විය. ඊට විශාල පිරිසක් සහභාගී වූහ. පසුව කුණු කන්ද අසල උපවාසය ඇරුඹීය. එම උපවාසයේ නිරතවී සිටි පිරිසක් පහරකෑමට ලක්වී රෝහල් ගත කරනු ලැබූහ. පහර කෑ පිරිස අතර කීර්තිරත්න මහතා ද විය.

 කෙසේ වෙතත් එවකට පොලිසිය මුලින්ම අත්අඩගුවට ගැනීමට සෙව්වේ පහර දුන් අය නොව පහර කෑමට ලක්වූ අයයි. 2016 ජනවාරි 11 වැනි දා පොලිසිය උද්ඝෝෂකයන් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අතර කීර්තිරත්න මහතා ද විය. ඔවුන් කොළඹ අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම විය.

කීර්තිරත්න මහතාට කුණු නිසා වැටුණු පළමු වැනි නඩුව එය නොවේ. 2013 වසරේ ද ඔහුට එරෙහිට පොලිසිය නඩුවක් ගොනු කළේය. ඒ මීතොටමුල්ල පොතිවිල කුඹුරට කුණු දැමීම අවහිර කළැයි කියමිනි. කීර්තිරත්න මහතාට අමතරව නීතීඥ නුවන් බෝපගේ ඇතුලූ පිරිසකටද නඩු පවරනු ලැබීය. ඔවුන් එදා ක-ුණු දැමීමට එරෙහිව සටන් කළේ වෙන්න යන විපැත්තිය ගැන බලධාරීන්ගේ ඇස් ඇවීමටය. බලධාරීන් ඇස් ඇරීමට ප‍්‍රමාද වූ නිසා ඉන් වසර හතරක ඇවෑමෙන් සියයකට ආසන්න පිරිසකට පස් යට වැළලෙන්නට සිදු විය.

එදා 2013 වසරේ දී කීර්තිරත්න මහතාට සහ තවත් කිහිප දෙනකුට එරෙහිව ගොනු කළ නඩුව පොලිසිය විසින්ම ඉවත් කරගනු ලැබුවේ 2013 අපේ‍්‍රල් නව වැනි දා ය. එදා කීර්තිරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයේදී තර්ක කළේ මීතොටමුල්ලේ කුණු දැමිය හැක්කේ අක්කර දෙකක ප‍්‍රමාණයක පමණක් බවට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ඇති බවයි. එම තීරණයට පටහැනිව කටයුතු කිරීමෙන් කොළඹ නගර සභාව ප‍්‍රදේශවාසීන් 4000කට පමණ මානසික පීඩනයක් ඇති කර ඇතැයි ද නීතීඥවරු කීහ.

ඒ අනුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කීර්තිරත්න මහතා ඇතුලූ පිරිසට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගත්තේය.

ගමක් වෙනුවෙන් සටන් කළ කීර්තිරත්න මහතාට අවසානයේ ඉතිරි වූයේ ඇඳිවත සහ මුණුබුරා පමණි. ඔහු හැඬූ කඳුලින් නිතර නිතරම කියනුයේ ‘එදා අපි කියපු දේ ඇහුවනම් අද මෙහෙම වෙන්නේ නෑ.’ යනුවෙනි.