(රෝෂන් තුෂාර)

වත්තකින් අහුලාගත් දෙදෙනෙකු ඇප තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කර ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කළේ යැයි කියන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකරු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමට අද නියෝග කළේය.

අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා වරෙන්තුව වහා ක්‍රියාත්මක කරන ලෙසටද නියෝග කළේය.

සැකකරු ඇප පනතේ විධිවිධාන කඩ කරමින් , අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවත්, එසේ විශ්වාසය කඩගල පුද්ගලයා බෝට්ටු මගින් හෝ විදේශගතවීමේ අවදානමක් ඇති බවත් සඳහන් කළ අල්ලස් කොමිසම  ඇප අවලංගු කර නඩුව විභාග කර අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි  මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වු අල්ලස් කොමිසම ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබූ  එම සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු නිකුත් කරන්නැයි ගොනුකළ මෝසම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.