(බිඟුන් මේනක ගමගේ) 

ආණ්ඩුවේ ප්‍රධානීන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය ඇමෙරිකානු පුරවැසිකම් අත්හැර ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් ඇමෙරිකාවට උපරිම විරෝධය දක්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටින්නේ යැයි එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද(26) පැවැසීය.

සිය හමුදාපතිවරයාට සංචාරක තහනමක් පැන වූ ඇමෙරිකාවට එරෙහිව එවැනි පියවරක් ගැනීමේදී ජනාධිපතිවරයාටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටත් පෙරමුණ ගත හැකි යැයි ටිල්වින් සිල්වා මහතා කීය.

එසේ නොකොට ජිනීවා යෝජනාවේ සමදායකත්වයෙන් ඉවත්වීම දේශපාලන රංගනයක් පමණකැයි ද එහි අරමුණ ඉදිරි මහමැතිවරණයේදී නැවතත් දේශප්‍රේමය කුළුගැන්වීම යැයි ද ටිල්වින් සිල්වා මහතා චෝදනා කළේය.

ජ.වි.පෙ ලේකම්වරයා මෙම අදහස පළ කළේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ට හෙට (27) දැනුම්දීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිල මතය ගැන කළ විමසීමේදීය. 

ඇමෙරිකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වුණද සමඅනුග්‍රහ යෝජනාව එයින් ඉවත් නොවූ පසුබිමක ලංකාව ඉවත් වූවා යැයි කියා යෝජනාව ඉවත්වන්නේද යන්න පැහැදිලි නැතැයි ද ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා කීය.

2009 යුද්ධය අවසන් වූ අවස්ථාවේ එක්සත් ජාතින්ගේ මහලේකම් බෑන් කි මූන්ට ආරාධනා කර ඒකාබද්ධ ප්‍රකාශයක් අස්සන් කිරීමෙන් මහින්ද රාජපක්ෂ රජය මීට මුල පිරුවේ යැයි චෝදනා කළ හෙතෙම එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ලංකාවට පැමිණීමත් දරුස්මාන් කමිටු වාර්තාව සැකැසීමත් සිදුවුණේ ඒ අනුව යැයි කීවේය.

2015 සමඅනුග්‍රහ යෝජනාවට ජවිපෙ විරුද්ධ වෙද්දී එය අගයමින් කතා කළ පිරිස් වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරු යැයි ද එනිසා වගඋත්තරකරුවන් ළඟ තබාගෙන වෙනත් පාර්ශ්වවලට ඇඟිල්ල දිගුකිරීමෙන් ආණ්ඩුවම හාස්‍යට ලක්ව ඇතැයි ද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.