2015 පෙබරවාරි 18 වැනිද‌ා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රඟහලෙන් ඇරැඹුණු ‘මහින්ද සුළඟ’ මහා සැඩ සුළඟක්ව දැවැන්ත වනස්පතීන් බිම දමමින් හමා ගියේ 2019 නොවැම්බර් 16 වැනිද‌ාය. ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ පළමු වරට බිහිවූ ජාතික ආණ්ඩුව කුඩු පට්ටම් කර දමමින් මෙරට හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහජනයා විසින් ඉහළින්ම ඔසොවා තබනු ලැබුවේ එදිනය.   


2019 නොවැම්බරයේදී ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වීමට නියමිතව තිබිණි. එහෙයින්ම සෑම ​දේශපාලන පක්ෂයක්ම ඒ වෙනුවෙන් තම බලමුළු තර කිරීම ආරම්භ කරනු ලැබුවේ සෑහෙන කාලයක සිටය.   


 ජනාධිපති ධුරයේ සිටි මෛත්‍රිපාල සිරිසේනට තවත් වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ නීතිමය බාධාවක් නොවීය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ උවමනාවක් තමන් සතුව තිබෙන බව ද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රදර්ශනය කරමින් සිටියේය. 2018 ඔක්තෝබර් 26 වැනිද‌ා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කරමින් පොහොට්ටුව සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට ද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමත් වී සිටියේය.   
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වාර ගණන සීමාකර තිබූ හෙයින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව නොවීය. එහෙයින් එම කඳවුරේ අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විවිධ කතා පැතිරෙමින් තිබිණි. විමල් වීරවංශ මෙන්ම උදය ගම්මන්පිල එහිදී මුල සිටම කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ අපේක්ෂකයා විය යුතු බවය. වාසුදේව නානායක්කාර මනාපය පළකර තිබුණේ චමල් රාජපක්ෂ වෙතය. කාගෙ කාගේ නම් කියැවුණත් අන්තිමට ජනාධිපති අපේක්ෂකයා වන්නේ බැසිල් රාජපක්ෂ බවට ද රාවයක් විය. දිනේෂ් ගුණවර්ධනගේ නම ද විටින් විට කියැවිණි.   


 යහපාලන ආණ්ඩු විරෝධි දේශපාලනය රාජපක්ෂ නාමය වටා පෙළ ගැසෙමින් තිබිණි. එහි කේන්ද්‍රීය චරිතය මහින්ද රාජපක්ෂ වුවද ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ නීතිමය බාධාවකි. එහෙත් ඉදිරිපත් කළ යුත්තේ රාජපක්ෂ කෙනෙකුම බවට අදහසක් එම කඳවුර තුළ මතු වී තිබිණි. මේ මොහොත වෙන විට ගෝඨාභය රාජපක්ෂ ද වියත් මග, එළිය වැනි සංවිධාන හරහා මෙරට උගත් බුද්ධිමත් ජනතාව ආමන්ත්‍රණය කරමින් සිටියේය. කෙසේ වෙතත් අපේක්ෂකයා සම්බන්ධයෙන් රාජපක්ෂ සහෝදරවරුන්ගේ ඒකමතිකත්වය අනිවාර්ය විය.   
 චමල් රාජපක්ෂ පුත් හිටපු උෟව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නුගේගොඩ පිහිටි නිවෙසට මහින්ද, චමල්, බැසිල් හා ගෝඨාභය යන රාජපක්ෂ සහෝදරවරු රැස් වූයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් විය යුතු ද යන්න තීරණය කිරීමටය. මෙම හමුවට ශෂීන්ද්‍රත් නාමල් රාජපක්ෂත් එක්වූහ. මෙහිදී රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර එහිදී ගත් තීරණය වූයේ ‘ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ රාජපක්ෂ කෙනෙකු නම් ඒ ගෝඨාභය රාජපක්ෂ විය යුතු’ බවය.   
පොහොට්ටුවේ අවුල ඒ අනුව විසඳුණි.   


එක්සත් ජාතික පෙරමුණේ තත්ත්වය එතරම් සුබද‌ායක නොවීය. ඒ තුළ විවිධ මත තිබිණි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව ඇතැමෙක් කීහ. මංගල හා මලික් වැනි රනිල්ගේ සමීපතමයන්ගේ අදහස වූයේ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමද‌ාසට අපේක්ෂකත්වය දිය යුතු බවය. හරීන් ප්‍රනාන්දු, අජිත් පී. පෙරේරා, නලීන් බණ්ඩාර, සුජීව සේනසිංහ, බුද්ධික පතිරණ, තුෂාර ඉඳුනිල් වැනි තරුණ මන්ත්‍රීවරු ද එම මතයේ සිටියහ. රන්ජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරළ වැනි ජ්‍යෙෂ්ඨයන්ගේ සහාය ද එම කඳවුරට හිමි විය.   

 

 


 කථානායක කරු ජයසූරිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ද රාවයක් විය. කරු ජයසූරිය කියා සිටියේ පක්ෂය ඒකමතිකව තීරණයක් ගන්නේ නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන සලකා බැලිය හැකි බවය. එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධව සිටි රාජිත සේනාරත්න කියා සිටියේ පුළුල් සන්ධානයක් ගොඩ නගා එම සන්ධානයේ අනුමැතිය ලැබෙන අපේක්ෂකයා ඉදිරිපත් කළ යුතු බවය. චම්පික රණවක කියා සිටියේ පැරැණි මුහුණු වෙනුවට අලුත් මුහුණක් ඉදිරිපත් කළ යුතු බවය.   
එක්සත් ජාතික පෙරමුණ තුළ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒකමතිකත්වයක් නොතිබීම ප්‍රශ්න එකක් පසුපස එකක් වශයෙන් ඇතිවීමට හේතුවක් විය. අගෝස්තු මාසයේ 4 වැනිදා සුගතද‌ාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පුළුල් සන්ධානය ගොඩ නගන මහ රැලිය සම්බන්ධයෙන් පෝස්ටර් රට පුරා අලවා තිබිණි. එහිදී කියා සිටියේ එම රැළියේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බවය. එහෙත් සජිත් පාර්ශ්වය දැඩිව ප්‍රකාශ කර සිටියේ එම සන්ධානය ගොඩ නැගීමට පෙර අපේක්ෂකයා නම් කළ යුතු බවය. එම අපේක්ෂකයා අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමද‌ාස විය යුතු බවය. එහි ප්‍රතිඵලය වූයේ සුගතද‌ාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී කලඑළි දැකීමට නියමිතව තිබූ මහා පුළුල් සන්ධානය ලත් තැනම ලොප් වීමය.   


අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවලදී කියා සිටියේ තමන් මෙවර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය. 2010 දීත් 2015 දීත් තමන් තමන්ගේ අපේක්ෂකත්වය පක්ෂය වෙනුවෙන් පරිත්‍යාග කළ බවත් මෙවර තමන්ට සහයෝගය දීම පක්ෂයේ යුතුකමක් බවත් රනිල් කියා සිටියේය. ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක, වජිර අබේවර්ධන වැනි නායකයෝ රනිල් වෙනුවෙන් පෙනී සිටියහ. හකීම්, බදුර්දීන්, මනෝ ගනේෂන් හා දිගම්බරම් වැනි සුළු පක්ෂ නායකයන්ගේ ස්ථාවරය වූයේ අපේක්ෂකයා සම්බන්ධ ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂය විසින් විසඳාගත යුතු බවය. එජාපය තෝරණ අපේක්ෂකයාට සහයෝගය දෙන බව ද ඔවුහු කීහ.   
සජිත් ප්‍රේමද‌ාසට අපේක්ෂකත්වය නොලැබෙන ලකුණු සෑම අතින්ම දිස් විය. මෙය සජිත්ගේ කඳවුරට උසුලා සිටිය හැකි දෙයක් නොවීය. ඔවුහු රැඩිකල් තීන්දුවක් ගත්හ. එනම් ප්‍රශ්නය ජනතාව අතරට රැගෙන යාමය. ‘සජිත් එනවා’ රැලි මාලාව ආරම්භ වූයේ ඒ වෙනුවෙනි. පළමු රැලිය හරීන් ප්‍රනාන්දු බදුල්ලේ සංවිධානය කළේය. එජාප පාක්ෂිකයෝ ප්‍රබෝධයට පත්ව සිටියහ. එම රැලියේ වේදිකාවට සජිත් ගොඩ වූයේ පාක්ෂිකයන්ගේ කර මතිනි. ජනාධිපතිවරණයට තමන් අනිවාර්යයෙන්ම එන බවට සජිත් පළමු වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ එම රැළියේදීය. අනතුරුව මෙම රැලි මාලාව මාතර, හොරණ, අනුරාධපුරය, කුරුණෑගල ආදී ප්‍රාදේශීය නගර කරා ගලා ගියේය. පාක්ෂිකයන්ගේ ප්‍රීති ඝෝෂා නාදයෙන් එම නගර දෙදරුම් කා ගියේය.   


 පාක්ෂිකයන්ගේ උද් යෝගය හමුවේ රනිල් වික්‍රමසිංහ පක්ෂය තුළ හුදකලා වන්නට පටන් ගත්තේය. පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේත් රනිල්ගේ බලය ගිලිහෙන්නට පටන් ගත්තේය. අපේක්ෂකයා සම්බන්ධයෙන් ඡන්ද විමසීමකට ගියහොත් රනිල් පරාදවන තත්ත්වයක් ඇති විය. මෙම පරිසරය තුළ රනිල් වික්‍රමසිංහ තීන්දුවක් ගත්තේය. ඒ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමද‌ාසට ලබා දීමටය.   
 මේ මොහොත වන විට ගෝඨාභය රාජපක්ෂ රට පුරා එක රවුමක් ගොස් තිබිණි. කොළඹ සුගතද‌ාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති අපේක්ෂකයා හඳුන්වා දීමේ රැළියේදී ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයකු බව නිවේදනය කෙරුණි. ගෝඨාභය එදින කළ කතාව දේශපාලන බේදයකින් තොරව බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ලක්විය. සමස්ත මැතිවරණ ව්‍යාපාරය පුරාම එම ප්‍රසාදය රැක ගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත්වීම ද විශේෂත්වයකි.   
සජිත්ගේ මංගල රැලිය ගාලු මුවදොර පිටියෙන් ආරම්භ විය. එම රැලියේදී ගාලු මුවදොර පිටිය පාක්ෂිකයන්ගෙන් පිරවීමට හැකි විය. මෙම රැළියේදී ඉදිරි ආණ්‍ඩුවක ආරක්ෂාව සම්බන්ධ වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදෙන බව සජිත් කියා සිටියේය.   
එයට හේතුවක් විය.   


අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයත් සමග මරණ බිය ගංවතුරක් මෙන් රට පුරාම පැතිර තිබිණි. ජාතික ආරක්ෂාව රටේ පොදු ජනයාගේ ප්‍රධාන මාතෘකාව බවට පත්විය. යුද ජයග්‍රහණයේ නියමුවකු වන ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයකු වූ විට රටේ පොදු ජනයා තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් ගොඩනැගී තිබිණි. යුද වීරයා වන සරත් ෆොන්සේකාට ආරක්ෂාව සම්බන්ධ වගකීම පවරණ බවට සජිත් ගාලු මුවදොර පිටියේදී ප්‍රකාශ කළේ එහෙයිනි.   
මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ ද තම අපේක්ෂකයා ප්‍රකාශයට පත්කර තිබිණි. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය. ජවිපෙ මෙවර සිවිල් සමාජය කෙරෙහි වැඩි බරක් හා විශ්වාසයක් තබා තිබුණි. ඒ වෙනුවෙන් ජාතික ජනබල වේගය නමින් නව සන්ධානයක් ගොඩනඟා තිබූ අතර ලාංඡනය මාළිමාව විය.   
ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ රැලිය ගාලු මුවදොර පිටියේ පැවැත්විණි. එම රැලියට රටේ සිව් දෙසින් ජවිපෙ පාක්ෂිකයෝ පැමිණියහ. විද්වතුන්ගේ කතා මැද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි තම අපේක්ෂකයා අනාවරණය කළේය. වේදිකාව ඉදිරිපස පුටුවක වාඩි වී සිටි අනුර කුමාර වේදිකාවට ගොඩ වූයේ ඔය අතරවාරයේය. ජවිපෙ ද මුළු වෙර යොදා රට පුරාම ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය.   
ඇවන්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. එහිදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සමග කළ දුරකතන සංවාදයක් අන්තර්ජාලයට මුදාහැර තිබිණි. රාජපක්ෂවරුන්ට එරෙහිව ක්‍රියාත්මක වන ලෙස යහපාලන ආණ්ඩුව විවිධ ප්‍රධානීන් තමන්ට බලපෑම් කළ ආකාරය ඇය කියා තිබිණි. මෙම හඬ පටය එම ජනාධිපතිවරණ ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල කළේය. විශේෂයෙන්ම යහපාලන ආණ්‍ඩුවේ සුජාතභාවය එමඟින් බරපතළ ලෙස ප්‍රශ්න කෙරිණි.   

 

 


අරලියගහ මන්දිරයේ පිහිටා තිබූ දූෂණ විරෝධි කමිටුව හරහා රාජපක්ෂවරුන්ට එරෙහිව ක්‍රියාත්මක වන ලෙස රනිල් වික්‍රමසිංහ, චම්පික රණවක, රාජිත සේනාරත්න හා අනුර කුමාර දිසානායක තමන්ට බලපෑම් කළ ආකාරය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු වූ සුහද ගම්ලත් රටට අනාවරණය කළේය. මෙම අනාවරණය කිරීම් ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට උත්තේජනයක් විය.   
සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ජයගත හොත් අගමැතිවරයා වන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය පොහොට්ටුවේ වේදිකාවෙන් මතු කළේය. ඒ වනවිටත් අගමැති ධුරයේ රනිල් වික්‍රමසිංහ සිටියේය. එමෙන්ම තිබුණේ ජනාධිපතිවරයා තෝරණ මැතිවරණයක් විනා අගමැතිවරයා තෝරණ මැතිවරණයක් ද නොවේ. එහෙයින් අගමැතිවරයා කවුරුන්ද යන ප්‍රශ්නය තාත්වික නොවීය. එහෙත් මෙම කරුණ අවබෝධ කර ගැනීමට සජිත් පාර්ශ්වය අසමත් විය. එහෙයින් සජිත් ප්‍රේමදාස ජනාධිපති වීමෙන් පසු ‘අගමැති රනිල් නොවේ’ යැයි ඉඟි සජිත්ගේ කථිකයන්ගෙන් රටට ලැබිණි.   


එම සීතල යුද්ධය එලෙසින් ගලා යද්දී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මමයි දිගටම අගමැති යනුවෙනි. පෙහොට්ටුවේ වේදිකාවෙන් කියැවුණේ සජිත් ජයග්‍රහණය කළත් රට කරවන්නේ අගමැති රනිල් බවය. මෙම තත්ත්වය සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල කළේය.   
ජනාධිපති සටන ඇදී ගියේ මෙබඳු වාතාවරණයක් තුළය. ගෝඨාභයගේ වේදිකාවෙන් ද සජිත්ගේ වේදිකාවෙන් ද ජනතාවට පොරොන්දු මලු පිටින් ලැබිණි. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මෙම තත්ත්වය හැඳින් වූයේ ‘නත්තල් පප්පලා දෙන්නෙක් ජනතාවට තෑගි බෙදනවා’ යනුවෙනි.  
 මෙවර ජනාධිපතවරණය තුන්කොන් සටනක් වන බවට ඇතැම්හු අනාවැකි පළ කළහ. එම පරිසරය තුළ දෙවැනි මනාපයට ඉහළ වටිනාකමක් ලැබිණි. කිසිදු අපේක්ෂකයකුට සියයට 50 ඉක්මවා යා නොහැකි බවට පළවූ මතය එයට බලපෑවේය. සජිත්ට ඡන්දය දෙන පාක්ෂිකයා අනුර කුමාර දිසානායකට දෙවැනි මනාපය පළකරනු ඇති බවට ද අනාවැකි පළකෙරුණි.  


පොහොට්ටුවෙන් තමන්ට අපේක්ෂකත්වය නොලැබෙන බව දැනගත් විට මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය දෙසට හැරුණේය. සජිත් හා ඔහුගේ ළඟම හිතවතුන් සමඟ ද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සාකච්ඡා කළේය. එහෙත් යහපත් ප්‍රතිචාරයක් නොවීය. අවසානයේදී මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ ‘මෙම ජනාධිපතිවරණයේදී තමන් නිර්පාක්ෂික වන බවය. ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන නොවැදගත් චරිතයක් දක්වා පහළට වැටුණේ එසේය.  
මහින්ද සුළඟ සමඟ ආරම්භයේ සිටම සිටගත් කළුගංතොට සිංහයා යැයි වරුද‌ාවලිය ලත් කුමාර වෙල්ගම ගෝඨාභයගේ අපේක්ෂකත්වයට එරෙහිව ක්‍රියාත්මක විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමඟ එක් වූ කුමාර වෙල්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම වෙනුවෙන් කැපවන බව පැවසීය.  
එක්සත් ජාතික පෙරමුණේ සිටි විජයද‌ාස රාජපක්ෂ ද වසන්ත සේනානායක ද ගෝඨාභයගේ වේදිකාවට එක්වූහ. එක්සත් ජාතික පෙමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වන අතුරලියේ රතන හිමියන්ගේ සහාය ද ගෝඨාභයට හිමිවිය.  


 සාමකාමී මැතිවරණ ව්‍යාපාරයකින් අනතුරුව නොවැම්බර් 16 වැනිද‌ාට පහන් විය. ජනයා මහත් උද් යෝගයෙන් ඡන්ද මධ්‍යස්ථාන කරා ගියහ. ඡන්ද ප්‍රතිඵල පසුදින අළුයම සිට ප්‍රකාශයට පත්වීම ආරම්භ විය. උතුරේ හා නැගෙනහිර ඡන්ද ප්‍රතිඵල මුලින් ප්‍රකාශයට පත් වූ අතර එම ඡන්ද ප්‍රතිඵලයට අනුව සජිත් ප්‍රේමද‌ාස ඉදිරියෙන් සිටියේ ඡන්ද ලක්ෂ ගණනක පරතරයකිනි. ජවිපෙ අනුර කුමාරට වඩා ආරියවංශ දිසානායක ඇතැම් තැනක ඉදිරියෙන් සිටියේය.  
පසුව ප්‍රකාශයට පත් වූ ඡන්ද ප්‍රතිඵලවලදී ගෝඨාභය රාජපක්ෂ අනෙකුත් අපේක්ෂකයන්ට ඇල්ලිය නොහැකි තරමින් උඩ සිටියේය. ප්‍රාදේශීය සභාවක් හෝ නියෝජනය කර නැති ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මෙරට හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ගෝඨාභය හා සජිත් අතර ඡන්ද පරතරය ලක්ෂ 14 කට ආසන්න විය. අනුර කුමාරට හිමි වූයේ සියයට 3 ක ප්‍රතිශතයකි.  
ජනාධිපතිධුරයෙන් ඉබේම විශ්‍රාම ගිය මෛත්‍රිපාල සිරිසේන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමට සූද‌ානමකින් සිටි බව වාර්තා විය. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, ශාන්ත බණ්ඩාර හා මලිත් ජයතිලක යන තිදෙනා සමගම මෛත්‍රිපාල සිරිසේන සාකච්ඡා කළ බව පැවසුණු අතර එහෙත් එම තිදෙනාම තම මන්ත්‍රී ධුරය පූජා කිරීමට එකඟ නොවූ බව ද වාර්තා විය.  


මහින්ද සුළඟ සමග මුසුවෙමින් රට පුරා යමින් ආණ්ඩු විරෝධි අරගලය ගිනියම් කළ චන්ද්‍රසිරි ගජධීර, සාලින්ද දිසානායක හා රංජිත් සොයිසා යන මන්ත්‍රීවරුන් පොහොට්ටුව පිපෙනු දැකීමට පෙරම දිවි ගමනට සමු දුන්හ.  
එක්සත් ජාතික පෙරමුණේ පතාක යෝධයකු වන ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක රිමාන්ඩ් භාරයට පත්ව දින කිහිපයක් ගත කළ අතර පසුව ඇප මත නිදහස් විය. හිටපු ඇමැතිවරයකු වන රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ රාජිත සේනාරත්න නිවෙසෙන් අතුරුදන් වී ඇති බවය.  
 ‘මහින්දව ඉල්ලන්නේ මහින්ද නැතිව නැගිටින්න බැරි දේශපාලන අනාථයෝ ටිකක්. රාජපක්ෂලාට නැවත මේ රටේ දේශපාලනයේ ඉඩක් නෑ.’ 2015 ජනවාරි 8 දේදුනු විප්ලවයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කීවේ එහෙම කතාවකි.  


 ‘තව ටික දවසකින් මහින්ද රාජපක්ෂට ලියුම් යවන්න වෙන්නේ ‘මහින්ද රාජපක්ෂ, බන්ධනාගාරය, වැලිකඩ’ කියලයි. එහෙම ප්‍රකාශ කළේ රාජිත සේනාරත්නය.  
 ‘අපේ ජීවිත කාලය තුළදී මැදමුලනේ බල්ලෙක්වත් ආයිමත් පාර්ලිමේන්තු එන්නේ නෑ.’ 2015 පරාජයෙන් පසුව මංගල සමරවීර ප්‍රකාශ කළේ එහෙමය.  
කාලය මැවූ වෙනසක තරම?  


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විය. මහින්ද රාජපක්ෂ අගමැති විය. චමල් රාජපක්ෂ ඇමැති විය. නාමල් රාජපක්ෂ මන්ත්‍රී විය. දේශපාලනය හැටි එහෙමය.

 

සටහන : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්