• මහ මැතිවරණ ප්‍රතිඵලය  විද්වත් ඇසකින්

 

 

මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටියි. ඒ විශාල ඡන්ද ප්‍රතිශතයක්ද සහිතවය. මෙවර මහා මැතිවරණයේ ඡන්දදායක හැසිරීම හා ප්‍රධාන දේශපාලන බලවේග ස්ථානගතව ඇති ආකාරය තේරුම් ගත යුත්තේ කෙසේද යන්නත් එහි ඇති දේශපාලන ඇඟවුම් මොනවාද යන්නත් ගැන මේ විග්‍රහය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙනි.


මේ මැතිවරණ ප්‍රතිඵලය ගැන පුදුම වීමට දෙයක් නැත. සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය හැකි ව තිබූ ප්‍රතිඵලය මේ හා සමාන එකකි. පෞද්ගලිකව ජාතික ජන බලවේගයට මීට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලැබෙනු ඇතැයි මම සිතුවෙමි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේතරම් විශාල ඡන්ද ප්‍රතිශතයක් ලැබෙනු ඇතැයි නොසිතුවෙමි. 2015 ජනාධිපතිවරණයේදී පසුබෑමට ලක් වූ රාජපක්ෂ කඳවුර 2018 වසරේ පැවති පළාත් පාලන ආයතන මැතිවරණයේදී නැවත සක්‍රීය වන අයුරු අපි දුටුවෙමු. 2015 දී සිදුවූයේ ඔවුන්ගේ ඡන්ද පදනමෙහි යම් කිසි පතුරු ගැලවීමක් වන අතර 2018 දී එය යළි යථා තත්ත්වයට පත්කර ගැනීමට ඔවුහු සමත් වූහ. 2018 පළාත් පාලන ආයතන මැතිවරණයෙහි තවත් ඉදිරි වර්ධනයක් මේ මැතිවරණයෙන් පෙන්නුම් කරයි.


සිංහල බෞද්ධ පදනම


රාජපක්ෂ කඳවුරේ පදනම සිංහල බෞද්ධ ජාතිකවාදයයි. එනිසා එයට අමුතුවෙන් ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාවක් නැත. දැනට තිබෙන තත්ත්වය අනුව සිංහල බෞද්ධ ජාතිකවාදයට රාජපක්ෂලාට හැර වෙනත් කෙනෙකුට අයිතිවාසිකම් කියන්නටද නොහැකිය. ග්‍රාමීය හා අර්ධ නාගරික මැද පාන්තික සිංහල බෞද්ධ ජනයා වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශවල ඡන්ද වැඩිවශයෙන් රාජපක්ෂ කඳවුර වෙත ලැබීමෙන් මේ බව ඔප්පු වෙයි. සිංහල බෞද්ධ නොවන ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශවල එනම් කොළඹ, මැද කොළඹ වැනි ප්‍රදේශවල ප්‍රතිඵලය වෙනස් වීමෙන් ද මේ බව තවදුරටත් පැහැදිලි වෙයි. මේ ප්‍රවණතාව 2005 ජනාධිපතිවරණයේ සිටම දක්නට ලැබෙන්නකි. එම ජනාධිපතිවරණයේදී මැද කොළඹින් රනිල් වික්‍රමසිංහ සියයට 73 ක ඡන්ද ප්‍රතිශතයක්ද හම්බන්තොටින් මහින්ද රාජපක්ෂ සියයට 66 ක්ද ලබා ගත්හ. මේ ප්‍රවණතාව දිගටම පැවති අතර රාජපක්ෂවරු සිංහල බෞද්ධයාගේ ඡන්ද පදනම ඇතුළත අපරාජිතව තහවුරු වූහ.


මේ තත්ත්වය අප තේරුම් ගත යුත්තේ ලංකාවේ නූතන දේශපාලන විකාශනය සමගය. එකී විකාශනය විචාරාත්මකව විමසීමේදී මා මුලින් සඳහන් කළ පරිදි මේ ප්‍රතිඵලය ගැන පුදුම විය යුතු නැත. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කේන්ද්‍ර වූ ද්වී පක්ෂ ක්‍රමයක් ලංකාවේ පැවති අතර එය වඩාත් හොඳින් ක්‍රියාත්මක වූයේ 1960 සිට 1977 ​වෙන තුරුය. මෙම ද්වී පක්ෂ ක්‍රමය පැවති කාලයේ දේශපාලනයේ තිබූ මූලික ලක්ෂණයක් වූයේ සෑම මැතිවරණයකදීම බලයේ සිටි පක්ෂය පරාජය වීමය. එනම් බලය මාරු වීමක් සිදු වීමය. ඒ ආකාරයට බලය මාරුවීමක් සිදුවෙන විට සෑම පක්ෂයකටම සිය ඡන්දදායකයාට බලය ලබා ගැනීමේ හැකියාව පිළිබඳ බලාපොරොත්තුවක් දීමට හැකි විණි. නමුත් එම ප්‍රවණතාව 1977 න් පසු වෙනස් විය. කෙටි කාලීනව ආණ්ඩු පෙරළීම 1977 න් පසු නතර විය. ඒත් සමගම සිදු වූ දෙයක් නම් විපක්ෂයේ සිටින පක්ෂවලට තවදුරටත් සිය ඡන්දදායක පදනම රැක ගැනීමට තිබූ අවකාශ ඇහිරීමය. සරලව කියනවා නම් ඊළඟ මැතිවරණවලදී ආණ්ඩු බලය ලබා ගැනීම පිළිබඳ අපේක්ෂා සිය පාක්ෂිකයන් තුළ දල්වාලීමේ හැකියාව දුර්වල විය.


1977 මැතිවරණයෙන් පසු මේ තත්ත්වය ශ්‍රීලනිපයට අත් විය. එම පක්ෂය 1977 මහා මැතිවරණයෙන් පසු සෑහෙන ඛාදනයකට ලක් විය. එම ඛාදනය යම් පමණකට හෝ වළක්වා ගැනීමට උපකාරී වන ආකාරයේ ප්‍රශ්නයක් 1970 ගණන්වල සිටම එජාපය අභ්‍යන්තරයේ නිර්මාණය වෙමින් තිබිණි. මේ මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද ජයග්‍රහණය හා සමාන ජයක් 1977 මැතිවරණයෙන් එජාපය ලැබුවද ඔවුන්ට යම් ප්‍රශ්නයක් තිබිණි. එනම් එම මැතිවරණයේදී ඔවුන් ජයග්‍රහණය කළේ ආර්ථික සටන් පාඨ මත ය. දේශපාලනික වශයෙන් සිංහල බෞද්ධයාගේ මනසට ආමන්ත්‍රණය කිරීමට එජාපය අපොහොසත් විය. 1970 ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා මිනිසුන් පීඩාවට පත්ව සිටි නිසා එජාපයට ආර්ථික සාධක මත මැතිවරණයේදී ජයග්‍රහණය ලැබීමට හැකි වුවද දේශපාලන දෘෂ්ටිවාදයේදී මිනිසුන් සිටියේ ශ්‍රීලනිපය ප්‍රමුඛ කඳවුරේ ස්ථාවරය සමගය. මේ ප්‍රශ්නයත් ඇතුළුව තවත් කරුණු කීපයක් නිසා 1994 වන විට එජාපය බිඳ වැටිණි.

 

 

1994 දී එජාපයෙන් ශ්‍රීලනිපයට බලය මාරු විය. ඒත් සමග සිදු වූ දෙයක් නම් එජාපයට යළි ප්‍රකෘතිමත් වීමට ඇති හැකියාව දුර්වල වී යෑමය. එක් පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ නායකත්වය දේශපාලනමය වශයෙන් දුර්වල එකකි. චන්ද්‍රිකා විශාල වශයෙන් සිංහල බෞද්ධ ජාතිකත්වයට නැඹුරු නොවූ නිසා ඇය ද යම් පමණකට දුර්වල වූවාය. ඇයගේ පාලන කාලයේදී සිංහල බෞද්ධ ජාතිකවාදී කඳවුරෙන් ඇයට එරෙහිව අභියෝගයක්ද එල්ල වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ සිහළ උරුමය වැනි ශ්‍රීලනිපයට පිටින් වෙනත් ජාතිකත්ව කඳවුරක් වර්ධනය වීම සිදු විය. නමුත් ඒ කඳවුර යූඇන්පීය ට ගැනීමටද නොහැකි විය. සිහළ උරුමය හරහා එම නව ජාතිකත්ව කඳවුර තමන් වෙතට ඈඳා ගැනීමට එජාපය යම් උත්සාහයක් ගත්තද එය අසාර්ථක විය. ශ්‍රීලනිපයෙන් ක්‍රමානුකූලව ඉවත් වෙමින් තිබූ සිංහල බෞද්ධ ඡන්ද පදනම නැවතත් පක්ෂය ඇතුළට ගෙන ඒමට 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට හැකි විය. එජාපය 2001 දී හා 2015 දී බලය ලබා ගෙන ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ ද ඔවුන්ට සිංහල බෞද්ධ ජනයා අතර ජනප්‍රිය ආණ්ඩුවක් වීමට නොහැකි විය. ජනප්‍රියවාදී මුහුණුවර 1970 ගණන්වල සිටම එජාපය අහිමි කරගෙන තිබිණි. එජාපයේ බුද්ධිමය කවය නියෝජනය කළේ පුරවැසි බලය වැනි විවිධ සිවිල් සංවිධාන වූ අතර ඔවුන්ට හැකි වූයේ නාගරික මැද පන්තියේ ජනයාට ආමන්ත්‍රණය කිරීමට පමණි. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුද්ධිමය කවය නියෝජනය කළ පිරිසට සිංහල බෞද්ධ බහුතර ජනයාගේ භාෂාවෙන් ඔවුන් හිතන පතන ආකාරයට ආමන්ත්‍රණය කිරීමට හැකි විය.


මේ මැතිවරණයේදී එජාපය ලද ප්‍රතිඵලය විමසා බැලීමේදී එම පක්ෂය ගමනක අවසානයේ සිටින්නේද යන ප්‍රශ්නයට අදාළ මගේ පිළිතුර වන්නේ ඒ කතාව මා ප්‍රසිද්ධියේ සෑහෙන කාලයකට පෙර කී බවය. එජාපයේ ගමන අවසන් ය. 2001 දීත් 2015 දීත් එජාපය බලය ගත්තේ තනිවම නොවන අතර 2001 දී චන්ද්‍රිකාගේ පාලනය දුර්වල වීම මත ඉන් පිරිසක් එජාපයට සම්බන්ධ වීම නිසාත් 2015 දී පුළුල් සන්ධානයක් ගොඩනැගීම නිසාත් බලය ලබා ගැනීමට හැකි විය. එම අවස්ථා දෙකේදී වුව එජාපයට බලය පවත්වාගෙන යෑමට හැකි වූයේ නැත. ඊට හේතුව ඔවුන්ගේ ස්ථාවර ඡන්ද පදනම දිගටම බිඳවැටීම ය. ඕනෑම දේශපාලන පක්ෂයකට වැදගත් දෙයක් නම් ඔවුන්ගේ ස්ථාවර ඡන්ද පදනමයි. 1982 ජනාධිපතිවරණයේ සිට එජාපයේ ස්ථාවර ඡන්ද පදනම ක්‍රමානුකූලව බිඳ වැටී ඇත.
යුද ජයග්‍රහණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් වීමේ පසුබිමේ එජාපයට ඔවුන්ගේ ග්‍රාමීය ඡන්ද පදනම අහිමි විය. මේ ඡන්ද පදනම නැවත ළඟාකර ගැනීමට නම් නුදුරේදීම ආණ්ඩු බලය ලබා ගත හැකිය යන පණිවුඩය පාක්ෂිකයාට දීමට එජාපයට සිදුවනු ඇත. දැන් එවැනි බලාපොරොත්තුවක් දිය නොහැකිය. එම හැකියාව දුර්වල වෙන විට සිදුවෙන්නේ ප්‍රධාන ඡන්ද පදනම තව තවත් ඛාදනය වීමය. පසුගිය ජනාධිපතිවරණයේදී එජාපය ප්‍රමුඛ කඳවුර ලබා ගත් ඡන්ද ප්‍රතිශතය හා මේ මැතිවරණයේදී සමගි ජන බලවේගය ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සන්සන්දනය කිරීමේදී එම ඛාදනය පැහැදිලි වෙයි. සමගි ජන බලවේගයේ පිරිස එජාපයේ බලය අත් කරගත්තද මේ ප්‍රශ්නය පහසුවෙන් විසඳිය හැකි වෙතැයි මම නොසිතමි.


චම්පිකගේ භූමිකාව


මගේ අදහස අනුව දැන් එජාපයට සිටින්නේ එක් ආකාර්ෂණීය නායකයකු පමණි. ඒ චම්පික රණවක ය. නමුත් ඔහු සිටින්නේ සාම්ප්‍රදායික එජාප පසුබිමෙන් එපිටය. කෙසේවෙතත් දැනට එම කඳවුර ඇතුළේ ලංකාවේ ජන විඤ්ඤාණයට විශ්වාසයක් ඇතිව ආමන්ත්‍රණය කළ හැක්කේ ඔහුට පමණි. ඉදිරියට ලංකාවේ දේශපාලනයේ විශාල වෙනස්කම් රැසක් සිදුවනු ඇත. රාජපක්ෂ කඳවුරේ ජනප්‍රිය නායකයන් දෙදෙනා වන මහින්ද හා ගෝඨාභය රාජපක්ෂවරුන් දෙදෙනා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු එම කඳවුරේද නායකත්වය අරබයා අර්බුද මතු විය හැකිය. එහි මතුවන නව නායකත්වයට මහින්ද-ගෝඨාභය රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වය පවත්වා ගෙන යා හැකිද යන්නද ගැටලුවකි. මේ පසුබිමේ ඉදිරියේදී ගොඩනැගෙන දේශපාලන තත්ත්වයන් ශ්‍රීලංකා-යූඇන්පී සාම්ප්‍රදායික දේශපාලන කඳවුරේ තැබිය නොහැකිය. 


පැරණි යුගය අවසන්


සජිත් ප්‍රේමදාස නැවත යූඇන්පියට ගොස් එහි නායකත්වය ගත්තත් නැතත් ශ්‍රීලංකා-යූඇන්පී යුගය අවසන්ය. සත්‍යවශයෙන්ම එම යුගය අවසන් වී තිබුණි. මේ මැතිවරණයත් සමග සංකේතාත්මකවම එය අවසන් වූවා යයි කිව හැකිය.


ජාතික ජන බලවේගය අපේක්ෂා කළ ආකාරයේ ප්‍රතිඵලයක් නොලැබීම ගැන ද සාකච්ඡා වෙමින් තිබෙයි. එය ගැන මෙන්ම එය ලබා ගන්නා ප්‍රතිඵලය ගැන වැරදි බලාපොරොත්තු ඇති කරගැනීමම මට අනුව වැරදිය. දේශපාලනය යනු මැතිවරණම නොවෙයි. කෙසේ වෙතත් ජාතික ජන බලවේගයට ලැබුණු ප්‍රතිඵලය ගැන මා සතුටු නැත. මන්ද ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය වැදගත් වෙන නිසාය. සාමාන්‍ය ජනතාව ජවිපෙ වැනි පක්ෂ බාර ගන්නේ ආණ්ඩු බලය ලබා ගත නොහැකි පක්ෂ වශයෙනි.


මිනිස්සු ඡන්දය දෙන්නේ ආණ්ඩු බලය ලබා ගත හැකි යයි සිතිය හැකි පක්ෂවලටය. තමන්ගේ ඡන්ද නාස්ති කර ගැනීමට ලංකාවේ මිනිසුන් කැමති නැත. විශේෂයෙන්ම ග්‍රාමීය ඡන්දදායකයන්ට තමන්ගේ ඡන්දය ඉතා වැදගත්ය. ඔවුහු තමන්ගේ ඡන්දය ආයෝජනයක් ලෙස සලකති. ඒ ඡන්දය මගින් විශාල දේවල් කර ගත හැකි බව ඔවුන් දන්නා නිසාය. එනිසා ඡන්දය ආවට ගියාට පාවිච්චි කරන්නේ නැත. එබැවින් ජයග්‍රහණය කළ නොහැකි යයි සිතන පක්ෂයකට ඡන්දය දීමේදී මිනිසුන් සෑහෙන දුරට කල්පනාකාරී වෙයි. එබැවින් ජාතික ජන බලවේගය ලද ප්‍රතිඵලය ගැන ද කිව හැක්කේ ඒ ගැන පුදුම විය යුතු නැති බවය.


මගේ අදහස අනුව මේ බලවේගයට ඉදිරියේදී දේශපාලනයේ පිරවිය හැකි අවකාශයක් නිර්මාණය වෙයි. එය නිර්මාණය වන්නේ විපක්ෂයේ භුමිකාවේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවන ආණ්ඩුවේ විපක්ෂයේ කාර්යභාරය සමගි ජන බලවේගය ඉටුකරනු ඇතැයි සිතීම අපහසුය. පාර්ලිමේන්තුවේත් මහජන විපක්ෂයක දෘෂ්ටි කෝණයකින් ගත්තද ජාතික ජන බලවේගයට විපක්ෂයේ භූමිකාවට පණ පෙවීම සඳහා මැදිහත් විය හැකිය. එම දේශපාලන අවකාශය භාවිත කරන්නේ කෙසේද යන කාරණය මත ඔවුන්ගේ දේශපාලන අනාගතය තීරණය වනු ඇත. මා සිතන හැටියට ඉදිරි ලාංකික දේශපාලනයේ වැදගත් වන දේශපාලන භූමිකා කීපය අතර චම්පික රණවක, විමල් වීරවංශ, අනුර කුමාර වැදගත්ය. මේ අයගේ චර්යාව මත ඉදිරි දේශපාලනය තීරණය වනු ඇත. නමුත් පරණ දේශපාලන පරම්පරාව අවසන්ය.

 

 

සාකච්ඡා සටහන
උපුල් වික්‍රමසිංහ