ශීත කාලය අපි හුදකලාව ගත කළෙමු. අපේ මිතුරෝ හැම කෙනෙක්ම වාගේ ලන්ඩනයෙන් බැහැර ගොස් සිටියහ. නගරයේ පදිංචිව සිටි කීප දෙනාද වාසය කළේ අපේ නිවසින් බොහෝ ඈතය. හැරින්, අපේ චින්තාකර්ෂණීය කුඩා නිවස අප කලින් පදිංචි වී සිටි ස්ථාන හා සසඳන විට අපට මාළිගයක් වැනි වුවද එයට පහසුවෙන් ප්‍රවේශ විය නොහැකි විය.


අපේ නිවස කරා වැටී තිබූ පාර සුමට එකක් නොවීය. ගෙය අවට හැම තැනම ගොඩනැගිලි ඉදිවෙමින් තිබුණි. අයෙකුට සුන්බුන් ගොඩවල් උඩින් මෙහි ඇවිදගෙන ඒමට සිදුවූ අතර වැසි කාලයේදී රතු පැහැ මඩ සපත්තු අඩිවල ඇලෙන හෙයින් අපේ ගෙදරට ළඟා විය හැකි වූයේ මඩ ඇලී බරවූ සපත්තු අඩි සහිතව වෙහෙසකර අරගලයක් කිරීමෙන් පසුවය. හැරත් මේ අපිරිසුදු දිස්ත්‍රික්කවල අඳුර රජ කළේය. එහෙයින් අයෙක් සවස් වන විට, අඳුර, කුණුරොඩු, මඩ සහ ගල් ගොඩවල් සමග අරගලයක යෙදෙනු වෙනුවට ගිනි උදුන අසල උණුසුම ලැබීමට වඩාත් කැමැති වූහ.


මුළු ශීත කාලයම රෝගාතුරවූ මම බෙහෙත් බෝතල්වලින් වටකරනු ලැබ සිටියෙමි. මේ හුදකලා බවට පුරුදු වීමට මට බොහෝ කල් ගතවිය. ජනාකීර්ණ වෙස්ට්චන්ඞ් වීදිවල ඇවිදීම, රැස්වීම්වලට සහභාගි වීම, අපේ සමාජ ශාලාවලට යාම හා ප්‍රියතම අවන්හල්වලට යාම සහ සෑහෙන කාලයකට ජීවිතයේ කම්කටොලු අමතක කිරීමට  ඉවහල් වූ සුහද සාකච්ඡා යනාදිය මට නිතරම අහිමි වී ගියේය. වාසනාවකට මෙන් සතියකට දෙවරක් ට්්‍රබියුන් පුවත්පතට ලියන ලද ලිපි පිටපත් කිරීම නිසා මට ලෝක සිද්ධීන් ගැන දැන ගැනීමට අවස්ථාවක් ලැබුණි.


1857 මැද භාගයේදී ඇමෙරිකානු කම්කරුවෝ තවත් විශාල වෙළඳ අර්බුදයකට මුහුණ පෑවෝය. ටි්‍රබියුන් පුවත්පත සතියකට ලිපි දෙකකට මුදල් ගෙවිය නොහැකි බව දන්වා එවූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අපේ මුදල් භාණ්ඩාගාරය නැවත හිස් වෙන්නට විය. වාසනාවකට මෙන් මේ අවධියේ ඩානා නව ඇමෙරිකන් විශ්වකෝෂය මුද්‍රණය කිරීමට පටන්ගත් අතර, ආර්ථික හා යුදමය ප්‍රශ්න පිළිබඳ ලිපි ලියන ලෙස කාල්ට දන්වන ලදී. එහෙත් මේ ලිපි සැපයීම නිතිපතා නොකෙරිණි. එසේම දරුවන් හැදී වැඩීගෙන ආ නිසාත්, අප පදිංචිව සිටි ලොකු නිවසට වැඩි වියදමක් දැරීමට සිදුවූ නිසාත් මේ අවධිය, කිසිසේත්  සමෘද්ධිමත් එකක් නොවීය. දරුණු අගහිඟකමක් නොතිබුණද අපි නිතරම මුදල් අමාරුකම්වලට මුහුණ පෑවෙමු. වියදම් කොතරම් ප්‍රමාණයකින් කපා හැරියද ගෙදර දොර කටයුතු සඳහා කිසිදිනෙක අපේ මුදල් තත්ත්වය ප්‍රමාණවත් නොවූ අතර අපේ ණය දිනෙන් දින හා වසරෙන් වසර වැඩිවන්නට විය.


ජූලි 6 වැනිදා අපේ හත්වැනි දරුවා උපනී. එහෙත් ඒ බිලිඳාගේ පණ රැඳී තිබුණේ ස්වල්ප වේලාවකි. අනතුරුව ඔහු ඊට පෙර මියගිය සිය සොයුරු සොයුරියන් හා එක්වනු පිණිස ගෙන යන ලදී.


1860 වසන්තයේදී එංගල්ස්ගේ පියා මිය ගියේය. එතැන් සිට එංගල්ස්ගේ තත්ත්වය සැලකිය යුතු ලෙස වර්ධනය විය. කෙසේ වුවද 1864 දක්වා වලංගුව පවතින ලෙස එර්මන් සමග අත්සන් කරන ලද ගිවිසුමෙන් ඔහු බැඳී සිටි අතර එම ගිවිසුම අවසන් වීමෙන් පසුව එංගල්ස් එම සමාගම කළමනාකරණයේ සහාය හවුල්කරුවකු විය.


1860 අගෝස්තු මාසයේදී මම යළිත් දරුවන් සමග හේස්ටිංග්ස් නගරයේ සති දෙකක් ගත කළෙමි. ආපසු ගෙදර පැමිණි විට ෆොග්ත් සහ ඔහුගේ සගයින්ට එරෙහිව කාල් විසින් ලියන ලද පොත පිටපත් කළෙමි. එය ලන්ඩන්හිදී මුද්‍රණය කරන ලද අතර ප්‍රකාශයට පත්කරන ලද්දේ බොහෝ කරදරවලින් පසුව 1860 දෙසැම්බර් මසය.


මේ කාලයේදී මම භයානක ලෙස වසූරිය රෝගයට ගොදුරුව සිටි අතර අඩක් අන්ධ වූ දෙනෙතින් “ෆොග්ත් මහතා” නමැති පොත කියවීමට තරම් දුරට මෙම භයානක රෝගයෙන් සුවය ලබා සිටියෙමි. එය ඉතාම අඳුරු කාලයක් විය. දරුවෝ තිදෙනා අපේ හිතවත් ලීව්නෙහ්ට්ලාගේ ගෙදර නැවතී ආගන්තුක සත්කාර ලබමින් සිටියහ. හරියටම මේ කාලයේදී ඇමරිකන් සිවිල් යුද්ධයේ පූර්ව ලක්ෂණ මතුවිය. සිවිල් යුද්ධය වසන්තයේදී ආරම්භ විය. වැදගැම්මකට නැති, පරණ පන්නයේ අඟුටුමිට්ටන්ගේ අරගල සහිත පැරණි යුරෝපය ඇමෙරිකාව ගැන නොසැලකිලමත් විය. ආර්ථික හේතූන් නිසා සියලු ලිපි පළකිරීම නවතා දැමීමට සිදුවන බව කියූ ටි්‍රබියුන් පුවත්පත තාවකාලිකව කාල්ගේ සහයෝගිතාව අනවශ්‍ය බව දැන්වීය. මේ පහර වැඩියෙන් දැනෙන්නට වූයේ අනෙකුත් ආදායම් මාර්ග සියල්ල සම්පූර්ණයෙන් සිඳීගොස් අපේ ආදායම් යථා තත්ත්වයට ගෙන ඒමට අලුතින් යමක් කිරීමට දරන ලද සියලු පරිශ්‍රමයන් අසාර්ථක වූ බැවිනි. අපේ වැඩිමහල් දියණිය යෞවනත්වයේ ලස්සන ස්වර්ණමය යුගයට පා තබත්ම මේ සම්පූර්ණ අසරණභාවය උදාවීම දරා සිටිය නොහැකි තද පහරක් විය. 


මතු සම්බන්ධයි.

(මෙම ලිපිය මාක්ස්ගේ බිරිය ජෙනි මාක්ස් විසින් 1865 දක්වා ලියන ලද තම ජීවන චරිතයේ සටහන්වලින් උපුටාගත් කොටස්වලින් යුක්ත වේ.)

එම්. තාරික්