1849 මැයි මස අවසානයේදී නව රයින් පුවත්පතෙහි කලාපය කාල් විසින් රතු අකුරින් ප්‍රකාශයට පත් කෙරිණි. ඒ “රතු කලාපය” ස්වරූපය හා සන්දර්භය අතින් නියම ගිනිසිළුවක් විය. බාඩෙන් හි කැරැල්ලට හා සම්බන්ධ වූ එංගල්ස් විලිහ්ගේ සහායක වශයෙන් ක්‍රියා කළේය. ජර්මනියේ දිගටම නැවැතී සිටීමට කාල්ට අවසර නොමැති නිසා ඔහු නැවත කෙටි කලකට පැරිසියට යාමට තීරණය කළේය. දරුවන් තිදෙනාද රැගෙන මම බින්ගෙන් හරහා මගේ ජන්ම භූමිය වූ එම පැරණි නගරයට ගොස් මගේ ආදරණීය මෑණියන් හමුවීමි. බින්ගෙන් පසුකොට මඳක් ඔබ්බට මට යාමට සිදුවූයේ මම බ්‍රසල්හි උගස්කරු වෙත උගසට තබනු ලැබ තිබී උගසින් නිදහස් කරගත් රිදී බඳුන යළිත් මුදල්වලට හරවා ගැනීමටය. වෙයිදමේයර් සහ ඔහුගේ බිරිඳ යළිත් අපට ආගන්තුක සත්කාර කළ අතර, උගස්කරු සමග කටයුතුවලදී මහත් සේ උපකාරි වූහ. මෙයාකාරයෙන් ගමනට අවශ්‍ය මුදල් සොයා ගැනීමට මට හැකි විය.

 


ප්‍රතිගාමිත්වය හැම තැනම බිහිසුණු ලෙස නැගී ආවේය. හංගේරියානු විප්ලවය, බාඩෙන් කැරැල්ල, ඉතාලියේ විප්ලවවාදී ව්‍යාපාරය යන මේ හැම එකක්ම පරාජයට පත්විය. හංගේරියාවේ සහ බාඩෙන් හි යුද්ධාධිකරණය සැහැසි ලෙස කටයුතු කළේය. 1848 අවසානයේදී අති විශාල බහුතර ඡන්ද සංඛ්‍යාවකින් ජනාධිපති ධුරයට තේරී පත්වූ ලුවී නැපෝලියන් ප්‍රංශ ජාතික භටයින් 50,000 ක් කැටුව ඉතාලිය අල්ලා ගැනීමට “සප්ත මහා කඳුවලින් හෙබි නගරය” ආක්‍රමණය කළේය. (1849 දී රෝම සමූහාණ්ඩුවට එරෙහිව ප්‍රංශ ආණ්ඩුව කළ ආක්‍රමණය) වෝර්සෝහි සමාදානය රජකරයි. පරාජය ලැබුවන්ගේ ශෝකය” යන්න ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ප්‍රති විප්ලවවාදීන්ගේ ආදර්ශ පාඨ විය. ධනේශ්වර පන්තිය සැනසුම් සුසුම් හෙළුෑහ. සුළු ධනේශ්වරයෝ තමන්ගේ ව්‍යාපාරවල යෙදීමට ආපසු ගියහ. ලිබරල්වාදී සුළු පිලිස්තීනවාදීහු තමන්ගේ අත් සාක්කුවල  රුවාගෙන මිට මෙළවූහ. කම්කරුවන් ලුහුබැඳ දඩයම් කරන ලදුව වධහිංසා පමුණුවන ලදී. දුප්පතුන්ගේ හා පීඩිතයින්ගේ පාලනයක් සඳහා පෑනෙන් සහ කඩුවෙන් සටන් කළ මිනිස්සු තම මව්බිමෙන් පැන ගොස් එදිනෙදා ආහාර වේල සොයා ගැනීමට තරම් සමත් වී නම්, ඔවුහු තමන් වාසනාවන්තයින් යැයි සිතූහ. පැරිසියට ගිය කාල් කම්කරුවන්ගේ සමාජවල හා රහස් කම්කරු සංවිධානවල නායකයින් සමග සමබන්ධකම් ඇතිකර ගත්තේය. 1849 ජූලි මාසයේදී මම ඔහු සොයා පැරිසියට ගියෙමි. අපි එහි මසක් නැවතී සිටියෙමු. එහෙත් මෙහිදී පවා අපට විවේකයක් නැති විය. එක් දිනක අප දැක පුරුදු පොලිස් සාජන්ට්වරයා නැවතත් අප වෙත පැමිණ මෙසේ දන්වා සිටියේය. “කාල්මාක්ස් සහ ඔහුගේ බිරිඳ පැය 24 ක් ඇතුළත පැරිසියෙන් පිටවිය යුතුය.” සානුකම්පිත පියවරක් වශයෙන් ඔහුට මෝර්බිහන්හි වාන්නේ නගරයේ පදිංචි වීමට අවසර දෙන බව කියන ලදී.


ඇත්ත වශයෙන්ම, කාල් එවැනි පිටුවහල් ජීවිතයක් පිළිනොගත්තේය. මම යළිත් මගේ බඩු බාහිරාදිය අසුරාගෙන ලන්ඩනයේ ස්ථීර වශයෙන්ම සන්සුන් ස්ථානයක් බලා යාම සඳහා සූදානම් වීමි. මට පෙර ලන්ඩන් බලා ගිය කාල්, බ්ලයින්ඞ් සමග සමීප සම්බන්ධතා ඇතිකර ගත්තේය. පසුව ජෝර්ජ් වීර්ත් ද එහි පැමිණියේය. අතවරයට ලක්වූ මගේ කුඩා අහිංසක දරුවන් තිදෙනා ද සමග අසනීප තත්ත්වයෙන් සහ විඩාපත්ව පැමිණි මා මුණගැසීමට පැමිණියේ ඔහුය. ලෙස්ටර් චතුරස්‍රයෙහි ඇඳුම් මසන්නෙකුට අයත් නේවාසිකාගාරයක ඔහු මට නවාතැන් පහසුකම් සොයා දුන්නේය. මගේ හිසට උඩින් වඩාත් සන්සුන් වහලයක රැකවරණය ඇවැසි කාලය ආසන්න වෙමින් තිබූ හෙයින් අපි චෙල්සීහි වඩාත් විශාල නිවහනක් සෙවීමු. නොවැම්බර් 05 වැනිදා නිවෙස්වලින් බැහැර එළිමහන්, වෙස් මුහුණු පැළඳ ගත් කුඩා ළමුන් දක්ෂ ලෙස සාදන ලද බූරුවන් පිට නැග වීදි දිගේ ගමන් ගනිද්දී මගේ දුප්පත් “හෙන්රිහ්” උපන්නේය. අපි ඔහුට කුඩා ෆොක්ස් යැයි ආමන්ත්‍රණය කළෙමු.


ටික දිනකට පසුව බාඩෙන්වලින් පැන ආ එංගල්ස් ද ජෙනෝවා හරහා ලන්ඩනයට පැමිණියේය. දහස් ගණන් විගාමිකයෝ දිනපතා ලන්ඩනයට පැමිණියහ. ඔවුන්ගෙන් කිසිවකුටත් තමන්ගේම යැපීම් මාධ්‍යයක් නොවීය. ඔවුන් සියලු දෙනාම පාහේ මහත් අමාරු තත්ත්වයක පසුවූ අතර ඔවුන්ට ආධාර කළ යුතු විය. ඔවුහු උපකාර බලාපොරොත්තුවෙන් සිටියෝය. මෙය අපේ විගාමික ජීවිතයේ ඉතාමත්ම අප්‍රසන්න වකවානුවක් විය. විගාමිකයන්ට ආධාර කිරීම් වස් විගාමිකයින්ගේ කමිටු පිහිටුවන ලදී. රැස්වීම් සූදානම් කරන ලදී. ආයාචනයන් ඉදිරිපත් කෙරිණි. වැඩසටහන් සකස් කෙරිණි. මහා පෙළපාළි සූදානම් කෙරිණි. සියළුම විගාමික කවවල මතභේද පැන නැගිණි. විවිධ කොටස් ක්‍රමයෙන් එකිනෙකාගෙන් කැඩී වෙන්විය. ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදීන් හා සමාජවාදීන් අතර සබඳකම් නිල වශයෙන්ම බිඳ වැටුණි. කොමියුනිස්ට්වාදී කම්කරුවන් අතර පවා පැහැදිලි භේදයක් ඇති විය.


ලන්ඩනයේදී නව සඟරාවක් සංස්කරණය කිරීම සඳහාත් එය හැම්බර්ග් හිදී ප්‍රකාශයට පත්කිරීම සඳහාත් 1849 හේමන්තයේදී කාල් සාකච්ඡා ආරම්භ කර තිබුණි. අනන්ත දුෂ්කරතා මධ්‍යයෙහි සඟරාවෙහි පළමුවන කලාප 3 හෝ 4 “නව රයින් පුවත්පතේ විමර්ශනය” යන නමින් පළ විය. එය විශාල ජයග්‍රහණයක් විය. එහෙත් ජර්මන් ආණ්ඩුව විසින් මුදලට ගනු ලැබූ පොත් වෙළෙන්දාගේ එහි වෙළඳ කටයුතු කොතරම් නොසැලකිලිමත් හා අකාර්යක්ෂම වීද යත්, එම සඟරාව දිගටම පවත්වාගෙන යාම අපහසු කාර්යයක් බවට පත් කෙරිණි.


1850 වසන්තයේදී චෙල්ස් හි අපේ නිවස අතහැර යාමට අපට බල කෙරිණි. මගේ කුඩා ෆොක්ස් නිතර නිතර රෝගාතුර විය. එසේම අපේ දෛනික ජීවිතයේ දුක්කම්කටොලු නිසා නිතරම මගේ ශරීර සෞඛ්‍ය පිරිහී ගියේය. හැම අතින්ම ගලා ආ කරදර නිසාද ණය කාරයන් විසින් ලුහුබඳිනු ලැබූ නිසාද අපි සතියක් ලෙස්ටර් චතුරස්‍රයේ ජර්මන් හෝටලයේ නවාතැන් ගතිමු. එහෙත් අපි එහි වැඩිකල් නැවතී නොසිටියෙමු. එක් උදෑසනක අපේ හෝටලය අයිතිකරු අපට උදේ ආහාර දීම ප්‍රතික්ෂේප කොට වෙනත් නවාතැනක් සොයා ගන්නා ලෙස කියා සිටියේය. මගේ මව විසින් එවන ලද ආධාර මුදල් නිසා අපි අගහිඟකමේ පතලට නොවැටී බේරුණෙමු. යුදෙව් ජාතික රේන්ද වෙළෙන්දෙකුගේ ගෙදර කාමර දෙකක් කුලියට ගත් අපි එහි දරුවන් සිව්දෙනා සමග ගිමහානය දුකසේ ගත කළෙමු.


එම අවුරුද්දේ හේමන්තයේදී කාල් සහ ඔහුගේ කිට්ටුම මිතුරන්ගෙන් ඇතැමෙක් විගාමිකයන් අතර වැඩකිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමූ අතර ඔවුන්ගේ සංවිධානවල කිසිදු ප්‍රසිද්ධ කටයුත්තකට සහභාගි නොවූහ. ඔහු සහ ඔහුගේ මිතුරෝ කම්කරු අධ්‍යාපන සංගමයෙන් ඉවත් වූහ. එංගල්ස් සිය ලේඛන කටයුතුවලින් ලන්ඩනයේදී සිය ජීවිකා වෘත්තීය සලසා ගැනීමට දැරූ තැත ව්‍යර්ථ වූයෙන් මැන්චෙස්ටර් නගරයට ගොස් සිය පියාගේ පේෂකර්මාන්ත ව්‍යාපාරයෙහි ඉතාමත් දුෂ්කර කොන්දේසි යටතේ ලිපිකරු රැකියාවක් කළේය. අපේ අනෙක් සියලුම මිතුරෝ පාඩම් කියා දීම් ආදිය කරමින් ජීවිකාව ගෙන යාමට වෑයම් කළහ. එම අවුරුද්ද සහ ඊළඟ අවුරුදු දෙක අපට දරුණුතම දුෂ්කරතා, නිරන්තරව පැන නැගී අන්ත හිරිහැර, සියලුම මාදිලියේ මහත් අඟහිඟකම් හා නැතිබැරිකම්වලින් පිරි කාලයක් විය.


මතු සම්බන්ධයි.

එම්. තාරික්