ලොව වෙනස් කළ චින්තකයකුගේ ද්විත්ව ශතකය-2

 


ගහකට ගහක් මොරටුවේ දී හමුවේ යයි සිංහල කියමනක් තිබේ. එහි සත්‍යතාව දක්වන අපුරු සිදුවීමක් පැරීසියේ දී සිදුවිය. නොයෙකුත් දාර්ශනික හා විද්‍යාත්මක හැදෑරීම් කරමින් සිටි කාල් මාක්ස් සිය බිරිඳ ද සමග 1843 ඔක්තෝබර් අගදී ප්‍රංශයේ අගනුවර වූ පැරිසියට පැමිණියේය. එම ගමනේ ප්‍රධාන අරමුණ වූයේ ජර්මන් සහ ප්‍රංශ යන භාෂාවන් දෙකෙන්ම පළ කෙරෙන සඟරාවක් සම්පාදනය කිරීමය.


 

ෆ්රෙඞ්රික් එංගල්ස්, වමේ සහ කාල් මාක්ස්, මාක්ස්ගේ දියණියන් තිදෙනා, වමේ සිට ලෝරා, එලෙනෝටර් සහ ජෙනී යන දෙදෙනා සමග 1864 දී.

මෙම පැරිස් ජීවිතය තුළදී අසාර්ථක වූ ප්‍රංශ විප්ලවය ගැනත් එහි අත්දැකීම් සහ ඒවා නවීන ලෝකයට ගළපා ගතහැකි ආකාරය ගැනත් විමර්ශනය කරමින් හා පර්යේෂණයට ලක් කරමින් සිටියේය. ඔහුගේ ශාස්ත්‍රීය ලිපි නොයෙකුත් පත්‍ර සඟරා ආදියේ පළවෙමින් තිබුණු නිසා බටහිර ලෝකයේ විද්‍යාත්මක සමාජවාදය මෙන්ම විප්ලවවාදයේ ඓතිහාසික වර්ධනය ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකු අතරේ කාල් මාක්ස් යන නාමය ප්‍රචලිතව තිබුණි. එනිසා බොහෝ බුද්ධිමත්හු කාල්මාක්ස් සමග නිරන්තරයෙන්ම බුද්ධිමය සංවාද පැවැත් වූහ. 


මෙවැනි උගතෙක් වූ ෆෙඞ්රික් එංගල්ස් නම් තරුණයා එවැනි අයෙක් වූවේය. ජර්මනියේ රයින් ගංගා නිම්නයේ බාමන් නගරයේ උපත ලැබුවකු වූ වසර දෙකකින් පමණක් ඔහු මාක්ස්ට වයසින් බාල වුවද දෙදෙනාම ප්‍රඥාවන්ත බව අතින් සමාන මට්ටමක සිටි බව කීම මාක්ස්ට අගෞරවයක් නොවේ. රෙදි කම්හලක අයිතිකරුවකු වූ සිය පියාගේ නියමය අනුව ව්‍යාපාරික ලෝකයට පිවසිීම එංගල්ස් ප්‍රතික්ෂේප කළේය. ජර්මානු සමාජයේ කර්මාන්ත සංස්කෘතිය වැඩෙමින් පැවති මෙම යුගයේ එහි නිර්ධන පංතියට විඳින්නට සිදුව ඇති පීඩාකාරී ජීවන රටාව ගැන මනා අවබෝධයක් ලබා ගැනීමට හැකිවිය. තමන්ද ඇතුළු ව්‍යාපාර හිමි පන්තිය සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගෙන යද්දී වෙහෙසී වැඩ කරමින් ඉතා සුළු වැටුපකින් ජීවිතය සරිකර ගත නොහී කුසගින්නෙන් මන්ද පෝෂණයෙන් පීඩා විඳිමින් අන්ත අසරණව කල් ගෙවන්නට සිදුවී ඇත්තේ ඇයිදැයි ඔහුට වැටහෙන්නට පටන් ගත්තේය. 1842 නොවැම්බරයේදී ඔහු එංගලන්තයට ගියේය. පසුව ප්‍රංශයට ගිය එංගල්ස්ට ප්‍රථමවරට කාල් මාක්ස් හමුවූවේය. එම දෛවෝපගත හමුවීම ලෝක ඉතිහාසය වෙනස් කිරීමට සමත්වූ සිද්ධි දාමයක ආරම්භය බව ඔවුහු නොසිතූහ. 


මෙම දෙදනාගේ සුසංයෝගය තුළින් නව විප්ලවවාදී සහ නිර්ධන පංතිවාදී අදහස් ඇතුළත් පොත් සඟරා සහ ප්‍රකාශන රාශියක් සම්පාදනය කිරීමට ඔවුහු උත්සුක වූහ. එහි එක් සාධනීය පියවරක් වන්නේ දයලෙක්තික භෞතිකවාදය  ලොවට හෙළි කිරීමය. එය නව විද්‍යාවක් ලොවට දායාද කිරීමක් බඳු  වූවේය. සියලු විද්‍යාවන්ට අදාළ වන ලෝකයේ භෞතිකමය පැවැත්ම විස්තර කෙරෙන දයලෙක්තික විද්‍යාව ප්‍රකාශ කිරීම චාල්ස් ඩාවින්ගේ පරිනාමවාදය සොයා ගැනීම ඇල්බට් අයින්ස්ටන්ගේ සාපේක්ෂතා වාදය සහ අයිසැක් නිව්ටන්ගේ ගුරුත්වාකර්ශණය සොයා ගැනීම ආදිය  තරමටම නවීන විද්‍යාව උදෙසා සිදු කළ මහා සොයා ගැනීමක් බව බොහෝ විද්‍යාඥයන් අදහස් දක්වා ඇත. 


මෙම විද්‍යාත්මක හෙළිදරව් කිරීමේ විශිෂ්ටතම සංසිද්ධිය  වන්නේ ද්වි ගඨනාත්මක භෞතිකවාදය සහ පන්ති සටන පිළිබඳ වූ ගැඹුරු දර්ශනය ලොවට  දායාද කිරීමයි. 1848 දී කාල් මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් යන සුමිතුරු දාර්ශනිකයන් දෙදෙනා එක්ව නිකුත් කළ ප්‍රකට ලියවිල්ල ලොව පුරා වෙසෙන නිර්ධන පංති ජනතාව වෙත කරන ලද ආයාචනයක් වූවේය. “සකල ලෝකවාසී නිර්ධනයිනි එක්වව්. ඔබට නැතිවෙන්නට දෙයක් නැත. ඇත්නම් ඒ ඔබ පෙළන දරිද්‍රතාව මන්ද පෝෂණය සහ දුගී බව පමණි. එහෙත් ඔබට දිනා ගන්නට ලෝකයක් ඇත. ඒ සඳහා සටන් වදිව්.” යන චිර ප්‍රසිද්ධ ප්‍රකාශය ද සමග ලොවට නව ආර්ථික විද්‍යාමය ප්‍රවේශයක්ද හඳුන්වා දුන්නේය. එතෙක් ලෝකයේ පැවැති පිළිගැනීම වූයේ යම්කිසි කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී එයින් ලැබෙන ලාභය අයත් විය යුත්තේ එම ව්‍යාපාරය සඳහා මුදල් යොදවන ආයෝජකයාට බවයි. නොඑසේනම් ලාභයේ අයිතිය ඇත්තේ ප්‍රාග්ධනයට බවයි. එහෙත් කොමියුනිස්ට්  ප්‍රකාශනය මගින් මාක්ස් සහ එංගල්ස් ප්‍රකාශ කළේ පෙර සඳහන් කළ ව්‍යාපාරයට ලාභය ලබා දෙන්නේ යොදවන කම්කරුවා වන බැවින් ලාභයේ අයිතිය උරුමවන්නේ අදාළ කම්කරු පන්තියට බවයි. මෙම හෙළිදරව් කිරීම ධනවාදී සංකල්ප මගින් එතෙක් සඟවාගෙන සිටි සත්‍යයක් අනාවරණය කිරීමක් බව වටහා ගත් දියුණු කාර්මික රටවල කම්කරුවෝ මෙම න්‍යාය ඉතා ආදරයෙන් වැළඳ ගත්හ. “ඩාස් කැපිටල්” නමැති විශාල ග්‍රන්ථයක් මගින් මෙම දර්ශනය ලෝකයට ප්‍රකාශ කළ මාක්ස් එංගල්ස් යන දෙදෙනා එය හුදු ආර්ථික විද්‍යා න්‍යායකට සීමා නොකර විද්‍යාත්මක පදනමක් මත ගොඩ නැගුණු දේශපාලන චින්තනයක් බවද ප්‍රකාශ කළහ.


ලෝකයේ ඕනෑම රාජ්‍යයක පැවැත්ම සහතික කෙරෙන්නේ  නිෂ්පාදන බලවේගයේ ශක්තිමත් බව නිසා වන හෙයින් එම රාජ්‍යය පාලනය විය යුත්තේ කම්කරු පංතිය මගින් බව ද ඔව්හූ කියා සිටියහ. එය කම්කරු පන්ති ආඥාදායකත්වය නම් වූ පාලන ක්‍රමයකින් සිදුවිය යුතු බවද එම න්‍යාය දර්ශනයේ සඳහන් විය. කම්කරු පංතියේ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය විය යුතු අතර මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය අනුව එහි කටයුතු සිදුවිය යුතු යැයි නිගමනය කරන ලදී. මෙම මතවාදයෙන් යුරෝපයේ කම්කරු පන්තිය තුළ මහත් ප්‍රබෝධයක් ඇතිවූවා පමණක් නොව විවිධ ප්‍රදේශයන්හි විප්ලවවාදී කම්කරු සංගම් ඇති කිරීම ද සිදුවිය. කම්කරු පන්තියේ නායකත්වය යටතේ ධනවාදී රාජ්‍ය තන්ත්‍රය බිදහෙළා නිර්ධන පන්තියේ  ආණ්ඩු පිහිටුවීම් උදෙසා ජනතාව සංවිධානය කිරීම මෙම විප්ලවවාදී සංගම්වල අරමුණ වූවේය. අසාර්ථක වූ ප්‍රංශ මහා විප්ලවයේ ආභාසය ද මොවුන් උකහා ගෙන තිබුණි. මෙම විප්ලවවාදී සංවිධාන සියල්ල එක්කර ජාත්‍යන්තර ඒකකයක් පිහිටුවීමට ද කාල්මාක්ස්ගේ නායකත්වයෙන් කටයුතු සිදු කෙරුණි. එය හැඳින්වුවේ පළමුවැනි ජාත්‍යන්තරය ලෙසය. 


මෙසේ මතවාදයකට පමණක් සීමාවී බුද්ධිමතුන් අතර වාද විවාදයට ලක්වෙමින්  පැවැති න්‍යායවාදය  මහපොළව මත යථාර්ථයක් බවට පත් කරනු ලැබුවේ රුසියාවේදීය. එම බැරෑරුම් කාර්ය භාරය ඉටු කිරීමට 1905 දී උත්සාහයක් ගත් නමුදු එය අසාර්ථක විය. විප්ලවයේ නියමුවෝ දඬුවම් ලැබුහ. එහෙත් 1917 දී ඔක්තෝබර් මහා විප්ලවයේ ජයග්‍රහණය නිසා මාක්ස්වාදය  ප්‍රායෝගික බලවේගයක් බවට පත්විය. ව්ලැඞ්මීර් ඉලියනොව් ලෙනින් නායකත්වය දුන් එම ආයුධ සන්නද්ධ විප්ලවය සාර් රාජ වංශයේ ඒකාධිපති සහ වැඩවසම්වාදී බලගතු රාජ්‍ය යන්ත්‍රය විනාශ කර දැමීමට සමත් විය. එයින් පසු බිහි කෙරුණු රුසියානු සමාජවාදි රාජ්‍යය මාක්ස් ඉගැන්වූ න්‍යාය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය. විප්ලවය හා බද්ධ වූ කම්කරුවන්ගේ මූලිකත්වය මත ඇති කරන ලද සෝවියට් සභා මගින් එක් එක් ගම් නගර පාලනය කරන ලදී. එයින් පසු එම සභාවල නියෝජිතයන්ගෙන් ප්‍රාදේශීය සෝවියට් සභාද ආදී වශයෙන් පළාත් ප්‍රාන්ත සහ මධ්‍යම ආණ්ඩුව දක්වාම පාලනය විමධ්‍යගත කර තිබුණි. සමස්තයක් වශයෙන් රාජ්‍යය මෙහෙයවීමේ බලය ගොනුවී තිබුණේ සමස්ත රුසියාවේ කොමියුනිස්ට් පක්ෂයටය. 


කාල් මාක්ස්ගේ ඉගැන්වීම් අනුව මිනිස් සංහතිය ආරම්භයේ දී ලෝකයේ පැවැතියේ සමාජවාදී යැයි කිව හැකි ආර්ථික ක්‍රමයකි. මුදල් පරිහරණයක් හෝ දේපොල ගොඩ ගසා ගැනීමක් එවකට නොතිබුණු නිසා ධනයක් හෝ ධනවාදයක්  පැවතුණේ නැත. ඉඩම් හෝ වෙනත්  දෙයක අයිතිකරුවන් නොසිටි බැවින් එකල සිටි සුළු ජනගහනය පැවැති සම්පත් සාමූහිකව පරිභෝජනය කළහ. එක මාක්ස්වාදයට අනුව විග්‍රහ කරන ලද්දේ සාමූහික නිෂ්පාදනය සහ සාමූහික පරිහරණය වශයෙනි. කම්කරු පන්තිය සහ ධනපති පන්තිය අතර සිදුවන සන්නද්ධ විප්ලවයක් සහ ගැටීමෙන් පසු බිහිවන ගොවි කම්කරු රාජ්‍යයක ද සමාජවාදී රාජ්‍යයක් වන්නේ යැයි මාක්ස් සඳහන් කළේය. එහි උපරිම තලය වන්නේ කලක් ගතවීමේ දී ජාති, ආගම්, කුල පන්ති හෝ වෙනත් කිසිදු භේදයකින් තොරවූ සාමුහික නිෂ්පාදනය සහ සාමූහික පරිහරණය ක්‍රියාත්මක වන අගතියෙන් තොර කොමියුනිස්ට් පාලනයක් බිහිවීම බවද ඔහු සඳහන් කළේය.

 

 

 

 

මතු සම්බන්ධයි.

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ