ඩොනල්ඞ් ට්‍රම්ප් සමග....

ව්ලැඩිමීර් පුටින් හමුවී...

 

 

 

ටජිකිස්ථානය යන නම අපේ ලාංකිකයින්ට නුහුරු වුවද පසුගිය දිනවල එය අපේ අයට හුරුවූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා ටජිකිස්ථානයේ පැවැත්වූ ෂැන්හයි කෝපරේෂන් සංවිධානය විසින් කලාපයේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පැවති සමුළුවකට සහභාගි වීමත් සමගය. ඒ සමගම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව සිනහමුසු මුහුණින් ඉතා ගෞරවාන්විතව පිළිගත්තේ ටජිකිස්ථාන ජනාධිපතිවරයාය. ඔහු නමින් ඉමමොලි රහ්මාන්ය. මෙම ලිපිය ඔහු ගැනය.


මධ්‍යම ආසියාවේ පිහිටි ගොඩබිමින් වටවී තිබෙන කඳු සහිත රාජ්‍යයක් වූ ටජිකිස්ථානයේ නිල නාමය වනුයේ ‘ටජිකිස්ථාන් ජනරජය’ යන්නයි. දකුණින් පිහිටි ඇෆ්ගනිස්ථානයත්, බටහිරින් වූ උස්බෙකිස්ථානයත්, උතුරින් කිර්ගිස්ථානය සහ නැගෙනහිරින් වූ මහජන චීන සමූහාණ්ඩුවටත් දේශ සීමාවන්ගෙන් වටවූ  ටජිකිස්ථානය පිහිටා ඇත්තේ “වඛාන්” නමින් හඳුන්වන පටු තීරයෙන් පමණක් වෙන්වීමෙනි. 


ටජිකිස්ථාන් ජනගහනයෙන් වැඩි සංඛ්‍යාවක් අයත් වන්නේ, පර්සියන් බස කථා කරන ‘තජික්‘ ජනවාර්ගික කොට්ඨාසයටයි. මෙම ජන කොට්ඨාසය ඇෆ්ගනිස්ථානය සහ ඉරානය යන රටවල භාෂාවේ, සංස්කෘතියේ හා ඉතිහාසයේ කොටස්කරුවෝ වෙති. වරක් ‘සමනිඞ්’ අධිරාජ්‍යයේ කොටසක් වශයෙන් තිබිය දී ටජිකිස්ථානය සෝවියට් සමූහාණ්ඩු සංගමයේ එක් ස්ථාපිත සමූහාණ්ඩුවක්ව පැවතිණි. එකල එය හඳුන්වන ලද්දේ ‘සෝවියට් සමාජවාදී ටජික් සමූහාණ්ඩුව’ යනුවෙනි. මෙම මධ්‍යම ආසියානු සමූහාණ්ඩුවේ සියයට 90 ක්ම වැසී ඇත්තේ කඳුවලිනි. 


නිදහස ලැබීමෙන් අනතුරුව 1992 සිට 1997 දක්වා පැවති විනාශකාරී සිවිල් යුද්ධයෙන් ටජිකිස්ථානය මහත් පීඩා වින්දේය. යුද්ධය නිමාවීමෙන් පසු රට තුළ ස්ථාපිත වූ දේශපාලන ස්ථාවරත්වය සහ ලැබූ විදේශ ආධාර රටෙහි ආර්ථිකය වර්ධනය විමට ඉඩ ප්‍රස්තා සැලසීය. කපු සහ ඇලුමිනියම් කම්බි වැනි වෙළඳ ද්‍රව්‍ය අලෙවිය, මෙම ස්ථාවර ආර්ථිකයේ අභිවෘද්ධියට දායකත්වයක් සැපයීය.


ටජිකිස්ථානයේ සමෘද්ධිමත්භාවයට හේතු වූ ප්‍රධාන කතානායකයා වන්නේ අප ඉහත සඳහන් කළ එමමොලි රහ්මාන් ය. 1992 වසරේ නිල බලයෙන් එරට ජනාධිපති ධුරයට පත් ඔහු වසර 27ක් තිස්සේ එම ධුරය හෙබවීම විශේෂත්වයකි. එම කාලය පුරා ඔහුට එරෙහිව ජන අරගල සිදුවුව ද ඔහු ඒවා සාර්ථකව මැඩපවත්වන ලදී.


ඩන්හාරාහි ගොවි පවුලක් වන ෂරීෆ් රහ්මාන් සහ මයිරම් ෂරීෆෝවාට දාව 1952 වසරේ ඔක්තෝබරයේ උපන් ඉමමොලි රහ්මාන් මධ්‍යම පාන්තික ජීවන රටාවකට උරුමකම් කියූ අයෙක් වූහ. සිය තරුණ අවදියේ දී එනම් 1971 වසරේ දී වත්මන් ටජිකිස්ථානය අයත් වූයේ එවකට සෝවියට් සංගමයටයි. සෝවියට් සංගමයේ පැසිෆික් යුද හමුදා බළඇණියේ සේවය කළ රහ්මාන් වසර හතරක යුද හමුදා සේවය අවසන් කිරීමෙන් පසුව රැකියාවකට එක්වන්නේ සිය උපන් ගමේ වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකු ලෙසිනි. ඔහුගේ නිල චරිතාපදානය අනුව රහ්මාන් 1982 ටජික් ප්‍රාන්ත ජාතික විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් ද ලබා ගත්තේය. දන්හාර නුවර ලෙනින් මධ්‍යස්ථානයේ වෘත්තීය සමිතියේ වසර කිහිපයක් සේවයේ නියුතු වීමෙන් පසුව 1987 වසරේ දී ඔහු එහි සභාපති ධුරයට ද පත් වූයේය.


1990 වසරේ දී ටජිකිස්ථාන් ප්‍රාන්ත නියෝජනය කළ මහජන නියෝජිතයෙකු ලෙසින් රහ්මාන් එවකට සෝවියට් සංගමයේ පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් තේරී පත්වූයේය. එය ඔහුගේ ප්‍රථම දේශපාලන පිම්ම විය. මේ අතරේ 1992 වසරේ අගෝස්තු මාසයේ දී ටජිකිස්ථානයේ පැවති සිවිල් ගැටුම් හේතුවෙන් එහි පාලක රහ්මාන් නබියෙව්ට ඉල්ලා අස්වීමට සිදු විය. එහෙත් පාලක රජයට එරෙහි සිවිල් ගැටුම්වල අවසානයක් නොවිණි. සිවිල් නොසන්සුන්තාව අවසන් කිරීමට ඉස්කන්දාරොව් ටජිකිස්ථාන පාලක ධුරයෙන් ඉල්ලා අස්වූයේ එම වසරේ නොවැම්බර් මාසයේ දීය.


1992 වසරේ නොවැම්බර් මාසයේ දීම උත්තරීතර සෝවියට් සංගමය ටජිකිස්ථානය වෙනම ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. සෝවියට් සංගමයේ උත්තරීතර පාර්ලිමේන්තුවේ 16 වැනි සැසිවාරයේ දී ටජිකිස්ථාන් පාර්ලිමේන්තුව ද ස්ථාපිත කොට එහි සභාපති ලෙස රහ්මාන් තෝරා පත්කරනු ලැබීය. එය ජනාධිපති ධුරයට සමාන තනතුරක් සහ රජයේ ප්‍රධානියා බවට පත්විය.


මෙවැනි පත් කිරීමක් කළ ද ටජිකිස්ථානයේ සිවිල් අරගලය නිමාවක් නොවිණි. 1992 වසරේ ආරම්භ වූ අරගලය 1997 වසර දක්වා පැවැත්වූ අතර එක්සත් ටජික් විපක්ෂය විසින් රහ්මාන් ගේ පාලනයට විරුද්ධ විය. යුද්ධයේ දී ටජිකිස්ථාන වැසියෝ එක් ලක්ෂයක් පමණ මිය ගියහ. එම අරගලවල උච්චතම ස්ථානය වූයේ 1997 අප්‍රේල් 30 වැනිදා රහ්මාන්ට එරෙහිව ඝාතන කුමන්ත්‍රණයක් දියත් වීමයි. ඉන් ඔහු දිවි ගලවා ගත්තේය. ඉන්පසුව අගෝස්තු මාසයේ දී සහ 1998 නොවැම්බර් මාසයේ දී රහ්මාන්ට එරෙහිව කුමන්ත්‍රණ දෙකක් සිදු කෙරිණි.


මෙම සියලු ගැටුම්වල අවසානය සනිටුහන් වූයේ 1994 වසරේ දී නව ව්‍යවස්ථාවක් පිහිටුවීම මගින් ටජිකිස්ථානය සඳහා ජනාධිපති ධුරයක් පිහිටුවා 1994 වසරේ නොවැම්බර් 06 වැනිදා එමමොලි රහ්මාන් එම ධුරයට පත් කිරීමෙනි. 1999 වසරේ දී වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් පැවති ජනාධිපතිවරණයට තරග කළ රහ්මාන් සියයට 97ක ඡන්ද ප්‍රතිශතයක් ලබා යළිත් එම ධුරයට පත් විණි. එම පත් කිරීම වසර හතක කාලයක් සඳහා විය.


නැවත වතාවක් 2003 වසරේ ජුනි 22 වැනිදා පැවැත්වූ ජනමත විචාරණයකින් සිය බලය තහවුරු කරගත් රහ්මාන් 2006 වසරේ පැවති ජනාධිපතිවරණයට ද තරග කළේය. ඉන්පසුව තවත් වසර හතක් බලයේ සිටීමට ඔහු සමත් විය. එම ජනාධිපතිවරණය මතභේදාත්මක එකක් වූ අතරම ඉන් ඔහුට ලබා ගත හැකි වූයේ සියයට 79ක ඡන්ද ප්‍රතිශතයක් පමණකි. ඉන්පසුව 2013 වසරේ එරට අවසන් වරට පැවති ජනාධිපතිවරණයෙන් සියයට 84ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පස්වැනි වරටත් එම ධූරයට තේරී පත් විය.


තවමත් 67 වැනි වියේ පසුවන ඔහු වර්තමානයේ රාජ්‍ය පාලනය මෙහෙයවන්නේ ඉතාම සුහදශීලී ලෙසිනි. මෙය ඇතැම් අවස්ථාවල දී එරට විපක්ෂ දේශපාලන පක්ෂ නොරිස්සුමට ලක් කළේය.


2015 වසරේ දී ටජිකිස්ථාන පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීතියක් මගින් ඉමමොලි රහ්මාන්ට “සාමයේ සහ ජාතික සමගියේ නිර්මාතෘ සහ ජාතියේ නායකයා” යන සම්මානය ලබා දෙන ලදී. 2016 වසරේ මැයි 22 වැනිදා පැවති ජනමත විචාරණයෙන් රහ්මාන් සිය ධුරයේ ප්‍රධන වෙනස්කම් සිදුකළේය. එක් ප්‍රධාන වෙනසක් ලෙස ජනාධිපති ධුර කාලය සඳහා වූ සීමාව ඉවත් කළ අතර, රහ්මොන්ට තමාට අවශ්‍ය තරම් වාර ගණනක් බලයේ සිටීමට හැකි විය. 


වෙනත් ප්‍රධාන වෙනස්කම් මගින් ඇදහිල්ල පදනම් කරගත් දේශපාලන පක්ෂ තහනම් කර ඇති අතර එමගින් නීතිවිරෝධී ඉස්ලාමීය පුනර්ජීවන පක්ෂය ටජිකිස්තානයේ දේශපාලනයෙන් ක්‍රියාත්මකවීම අවසන් කරන ලද අතර ජනාධිපති අපේක්ෂකයින්ගේ අවම සුදුසුකම් වයස 35 සිට 30 දක්වා අඩු කිරීමෙන් රහුමන්ගේ වැඩිමහල් පුත් රුස්තාම් ඉමොමාලිට තරග කිරීමට හැකි විය.


එසේ කටයුතු කළ රහ්මාන් තවමත් යෙහෙන් වැජඹෙන අතර ඔහුගේ ඉරණම තීන්දු කරනුයේ ටජිකිස්ථාන ජනතාවයි.

 

චීන ජනපති ෂී ජින්පින් සමග...

ජනපති මෛත්‍රීපාල සිරිසේන හමුවූ මොහොතක්.

නරේන්ද්‍ර මෝදි සමගින්...

 

 

 

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි