IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හිරගෙදර දේශපාලනය කළඹයි

මහර බන්ධනාගාරයේ සිදු වූ ගැටුමත් සමඟ දේශපාලන කරළිය ඉකුත් සතියේ රත් වී ගියේය. නොසිතූ විටෙක අහම්බයක් ලෙස සිදු වූ සිද්ධිය හේතුවෙන් ආණ්ඩුව කරපිටට තවත් අලුත් ප්‍රශ්නයක් කඩා වැටුණේය. කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානම අතරේ මහර බන්ධනාගාර සිදුවීමත් ඉන් රැඳවියන් 11 දෙනෙකු මිය යාම පාර්ලිමේන්තුවේද මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳව ආණ්ඩුව කෙතරම් අවධානයක්  යොමු කළේද යත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිවරියගේ ඇමති ධූරය පවා මාරු කෙරිණ. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති ධුරය හිමි වුයේ ලොහාන් රත්වත්තේටය. ලොහාන් රත්වත්තේ දිවුරුම් දීමත් සමඟ මහර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූයේය. ආණ්ඩුවේ අදහස වී ඇත්තේ සිර ගෙවල් වල තිබෙන තදබදය අඩු කිරීමටය. ඒ සඳහා සුළු වැරදි වලට බන්ධනාගාර ගතව සිටින්නන් නිදහස් කිරීමටත් සිරුකරුවන් සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය තත්ත්වයන් ලිහිල් කිරීමටත් ආණ්ඩුවේ අදහස වී තිබේ. ඒ අනුව සිර ගෙවල් වල පවතින තදබදය අවම කිරීම සඳහා ඉදිරියේදී ආණ්ඩුව විධිමත් ක්‍රමවේදයක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර ඉකුත් දා සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව ද හිමි විය.

අයවැය විවාදය මේ දිනවල සාමාන්‍ය අයුරින් පැවැත්වේ. එහෙත් රටේ පොදු ජනතාවගේ හෝ දේශපාලන පක්ෂ වල හෝ ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් පෙන්වන්නේ නැහැ. අයවැය විවාදය නැරඹීමට අවස්ථාවක් නොදීම හා ජනමාධ්‍ය හරහා වෙනත් ප්‍රවෘත්ති ගලා යාමත් නිසා අයවැය විවාදය පිළිබඳව රටේ උනන්දුව අඩු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ පාර්ලිමේන්තුවට මේ දිනවල පැමිණෙන මැති ඇමැතිවරුන්ගේ ප්‍රමාණය පවා සීමා වී ඇති බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට පත් කළ යුතු විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩිකර තිබේ. ඒ අනුව තවත් විනිසුරුවන් විසි එක් දෙනෙක් ඉකුත් දා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල එම තනතුරට අමතරව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය. ඔහු හිටපු මහේස්ත්‍රාත්වරයෙක් ද වන්නේය. මෙවර දිවුරුම් දුන් විනිසුරුවන් අතර අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස නීල් ඉද්දවල ද දිවුරුම් දුන්නේය. මේ නිසා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ධුරය පුරප්පාඩු වී තිබේ. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සමඟ ලේකම් මණ්ඩලය හතරකි.

සමගි ජන බලවේගය මහර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීම සඳහා දින දෙකක් තිස්සේ සාකච්ඡා කළේය. ඒ අනුව එම මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පස්වරුවේ එහි ගිය ද ඔවුනට ඒ සඳහා අවස්ථාවක් හිමි වූයේ නැත. ඒ අනුව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු හිස් අතින් නැවත කොළඹ පැමිණියහ. එහෙත් එහිදී ඔවුන් කීවේ ඒ සඳහා පාර්ලිමේන්තුවේදී විවාදයක් ලබා ගන්නා බවය. මහර බන්ධනාගාර සිද්ධිය ලංකාවේ කීර්තිනාමයට කැළලක් බවද ඔවුහු එහිදී මාධ්‍යට කීහ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය තවමත් සම්පූර්ණ  කළේ නැත. ඉකුත් සතියේ වාර්තා වූයේ එජාප ජාතික පක්ෂ ලැයිස්තු මන්ත්‍රී ධුරයට මේ සතියේ පත් කිරීමක් සිදු කරන බවය. එහෙත් එවැන්නක් සිදු නොවීය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ නායක රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බාර ගන්නැයි පක්ෂයෙන් බලපෑම් එල්ල වී තිබෙන බවය.

මීට අමතරව ගෙවී ගිය සතියේ සිදුවෙතැයි අපේක්ෂා කළ තවත් සිදුවීමක් සිදු වූයේ නැත. ඒ ස්වාධීන කොමිෂන් සභාවලට නව පත් කිරීම් සිදු වීමය. ජනාධිපතිවරයා කොමිෂන් සභාවලට නව සාමාජිකයන් නම් කළ අතර එම නම් නිරීක්ෂණය සඳහා පාර්ලිමේන්තු සභාවට යොමු කර තිබිණ. ස්වාධීන කොමිෂන් සභාවලට මීට පෙර යෝජනා කර තිබූ නම් කීපයක් ඉවත් කර ඒ වෙනුවට නම් කීපයක් අලුතින් එක්කර තිබූ බවද වාර්තා වේ.

මැතිවරණ කොමිෂන් සභාවට එස්.බී. දිවාරත්න ගේ නම ඇතුළත් කර තිබේ. දිවාරත්න හිටපු අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ය. මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්‍ඨ නිලධාරියෙකු ලෙස ද හෙතෙම කටයුතු කළේය. මීට අමතරව තවත් කොමිෂන් කීපයකට ද අලුත් සාමාජිකයන් නම් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව සහ සීමා නිර්ණය කොමිෂන් සභාව යන ස්වාධීන කොමිෂන් හතට සාමාජිකයන් නම් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියට මෙවර හිමිව ඇත්තේ සීමා නිර්ණය කොමිෂන් සභාවය. එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස දේශප්‍රිය නම් කර තිබේ. මීට අමතරව ඊට තවත් සාමාජිකයන් දෙදෙනකු නම් කර තිබේ. සීමා නිර්ණය කොමිෂන් සභාවට පැවරී ඇත්තේ කාලීනව සිදු න වෙනස්කම් මත ඒ ඒ කොට්ඨාස වලට අයත් වන සීමා මායිම් ලකුණු කිරීම හා නිර්දේශ කිරීමය.

මේ අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කර ඇති ඇතැම් සාමාජිකයන් පිළිබඳව වෘත්තීය ස‌මිති හා දේශපාලන පක්ෂ වල විරෝධය එල්ල වී තිබේ.

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවි අමෝරා තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා සහ තවත් සාමාජිකයන් ඉවත් කිරීම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු විරෝධය පළ කරති. පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය නැති බලතලයක් හදා ගෙන​ වෛද්‍ය ආඥා පනතට පටහැනිව වෛද්‍ය සභාවේ සභාපතිවරයා හා සාමාජිකයන් ඉවත් කර ඇති බවත්, ඊට එරෙහිව නීති පියවර ගන්නා බවත් ඉවත් කරන ලද සාමාජිකයෝ පවසති.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ දිනවල ග්‍රන්ථ රචනයට වැඩි කාලයක් යොමු කර ඇතැයි දැන ගන්නට තිබේ. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පක්ෂයේ බර කරට ගෙන රට පුරා යන හෙයින් තමන්ට ග්‍රන්ථ රචනය සඳහා කාලයක් වෙන් කර ගැනීමට හැකි වූ බව ද රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබේ. රනිල්ගේ නව ග්‍රන්ථය ලබන වසරේ එළි දැක්වීමට නියමිතය.

මේ අතර රුවන් විජයවර්ධන ඉකුත් සති අන්තය ගත කළේ මොනරාගල දිස්ත්‍රික්කයේ සහ අම්පාරේය. ඔහු පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා එහි ගියේය. එජාප පාක්ෂිකයන් ඒකරාශී කර ගැනීමට ගමින් ගමට යාමේ වැඩසටහනක් එජාපය මේ වන විට ආරම්භ කර තිබේ.
රුවන් විජේවර්ධන සමඟ අම්පාරේ සහ මොනරාගල ගමනට පාලිත රංගේ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, සංදිත් සමරසිංහ, ශාන්තිනී කෝන්ගහගේ, ආශු මාරසිංහ සහ සමන් රත්නප්‍රියද එක්ව සිටියහ.

මේ අතර මොනරාගල රැස්වීමේදී පාලිත තෙවරප්පෙරුම සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.
පාලිත තෙවරප්පෙරුම කතාව කරමින් සිටින අතරතුරේ එජාපය හැරගිය අයට විනය පරීක්ෂණ පැවැත්විය යුතු යැයි කීවේය. ඔබතුමා දිලිප් වෙදආරච්චි මන්ත්‍රීතුමාගේ මස්සිනානේ. ඒකනෙ මේ මාත් එක්ක පැටලෙන්න එන්නේ. පක්ෂයකට විනයක් තියෙන්න ඕනේ. යැයි තෙවරප්පෙරුම කීවේය. තත්ත්වය දුර දිග නොගොස් සමනය කර ගැනීමට රුවන් හා රංගේ බණ්ඩාර සහය දැක්වූහ.

පසුගිය සදුදා කැබිනට් මණ්ඩලය රැස් වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ. ඒ මෙරට ඉතිහාසයේ පළමු වරටය. කොවිඩ් වසංගතය හේතුවෙන් කැබිනට් රැස්විම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට රජය තීරණය කළේ සදුදා කැබිනට් රැස්වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. ජනාධිපති කාර්යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකය එය සංවිධානය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් රැස්වීමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිය නිල කාර්යාලයේ සිටය. අගමැති මහින්ද ඊට එක් වූයේ විජේරාම නිල නිවසේ සිට ලැප්ටොප් පරිගණකයක් ඔස්සේය. නාමල් ද ලැප්ටොප් පරිගණකයක් ඔස්සේ කැබිනට් රැස්වීමට එක්වූ අතර ජනමාධ්‍ය ඇමති කෙහෙලිය සිය ජංගම දුරකථනය ඔස්සේ රැස්වීමට සම්බන්ධ විය. බොහෝ ඇමතිවරු මේ කැබිනට් රැස්වීමට එක්වූයේ සිය කාර්යාල වල සිටය. අලු‍තින් කැබිනට් මණ්ඩලයට එක්වූ සරත් වීරසේකර ඇමතිවරයාද මෙම රැස්වීමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්ව සිටියේය.

කැබිනට් රැස්වීමේදී විශේෂ අවධානය යොමු වුයේ ඊට පෙර දින මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය ගැනය. ඒ ගැන කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කළේ අගමැති මහින්දය.

‘‘මහර බන්ධනාරාගයේ ඇති වූ සිද්ධිය ගැන විශේෂ විමර්ෂණයක් අවශ්‍යයි. මේ සිද්ධිය සංවිධානාත්මකව සිදුවූවක් කියන එක තමයි හුඟ දෙනෙක් කියන්නේ’’ අගමැති මහින්ද කීවේය.

‘‘මේ ගැන අද උදේ අපි අධිකරණ ඇමතිතුමා, රාජ්‍ය ඇමතිතුමා, පොලිස්පති, බන්ධනාගාර කොමසාරිස් ඇතුලු‍ පිරිසක් එක්ක කථා කළා. මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න දැනටමත් පොලිස් කණ්ඩායම් 04 ක් මේ සදහා යොදවා තිබෙනවා.’’ ජනාධිපතිවරයා කීවේය.

‘‘මහර රැඳවියෝ තවමත් සෙල් වලට ගිහින් නෑ. එළියේ ඉන්නවා මේ සිද්ධිය පිටිපස්සේ යම් යම් කණ්ඩායම් ඉන්නා බව තමයි ඇතුළෙන් අපිට ලැබෙන තොරතුරුවල කියවෙන්නේ. සිද්ධිය වෙලාවේ මේ සමහර රැඳවියන් මත්ද්‍රව්‍ය භාවිත කරලා හිටි බවත් කියවෙනවා.’’ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීවේය.

‘‘ඊයේ සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා මේ සිද්ධිය ගැන හොයලා බලලා තිබුණා. අද පාර්ලිමේන්තුවේදී එතුමා අපිට මේ ගැන කිව්වා.’’     ප්‍රසන්න වැඩිදුරටත් කීවේය.

‘‘මීට මාස කිහිපයකට කලින් ඔය වගේම සිද්ධියක් වාර්තා වුණා. හැම බන්ධනාගාරයකම සැලසුම් සහගතව මේක සිද්ධ වෙන බව තමයි පේන්නේ. දවස් කීපයකට කලින් වීරවිලටත් කොවිඩ් රෝගියෙක් ගේනවා කියලා පණිවිඩයක් ගිහින් මිනිසුන් නොසන්සුන් වෙලා තිබුනා. මේවා ප්ලෑන් කරලා කරන වැඩ’’ ඇමති නාමල් කීවේය.

‘‘බන්ධනාගාරවල තදබදය වැඩියි. රිමාන්ඩ් වල ඉන්න අය හුඟක් වැඩියි. ඒ අය තමයි ප්‍රශ්නයට මැදිහත් වෙලා තියෙන්නේ මට තියෙන තොරතුරු වල හැටියට’’ ජනාධිපති ගෝඨාභය කීවේය.

‘‘මේ අය සම්බන්ධයෙන් අපි කිසියම් පියවරක් ගත යුතුයි. මේ තදබදය අඩු කරන්න අපි විවිධ ක්‍රම ගැන හිතලා තියෙනවා. 7000 ක් ඉන්න ඕන තැන 30,000 ක් ඉන්නවා. අපි දැන් මේ තදබදය නැති කරන්න කටයුතු කරගෙන යනවා.’’ අධිකරණ ඇමති අලි සබ්රි කීවේය.

‘‘ඇමතිතුමා කියපු විදිහට අපි දැනටමත් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කලා. කුසලා සරෝජිනි වීරවර්ධන හිටපු මහාධිකරණ විනිසුරුතුමියගේ ප්‍රධානත්වයෙන්. මේ සම්බන්ධයෙන් අතුරු වාර්ථාවක් සතියකින් දෙන ලෙසත් සවිස්තර වාර්තාවක් මාසයක් තුළ ලබා දෙන ලෙසත් උපදෙස් දුන්නා.’’ අලි සබ්රි කීවේය.

ඇමති නාමල් කැබිනට් මණ්ඩලයේ දී විශේෂ ස්තුතියක් කළේය. ඒ ජනාධිපතිවරයා, අගමැතිවරයා හා සෞඛ්‍ය ඇමති පවිත්‍රාටය. LPL තරගාවලිය සාර්ථක කර ගැනීමට දැක්වූ සහය ගැන ඔවුනට ස්තුති කළ නාමල් කිවේ කොවිඩ් අස්සේ වුවද මේ තරගාවලිය ඉතා සාර්ථකව පැවැත්වෙන බවයි.

අවස්ථා කිහිපයක දී සුළු සුළු තාක්ෂණ දෝෂ ඇති වුවද වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් සාර්ථකව පැවැත්විණි.

 (*** කස්තුරි)



අදහස් (0)

හිරගෙදර දේශපාලනය කළඹයි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 137 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 274 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 350 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 84 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 527 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 289 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site