පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉකුත්දා නිකුත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්‍ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි මහත්මිය කටයුතු කළහ.
මෙහි පළවන්නේ සහරාන් හෂීම්ගේ මුල්වකවානුව සම්බන්ධයෙන් එම වාර්තාවේ ඇතුළත් පරිච්ඡේදයක කොටසකි.

අසාත් සාලි ඔහු පළමුවෙන්ම තාසිම් මවුලවි ඇමතූ දිනය මතක් කිරීමට අපොහොසත් වූවේය. කෙසේ වෙතත් තාසිම් මවුලවි විසින් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙන් තොරතුරු රැස්කර එය අසාත් සාලි වෙත ලබාදී ඇති අතර ඔහු විසින් වහාම පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය අමතා රැස්වීමක් ඉල්ලා සිටි අතර එය ලබාදෙන ලදී. මෙම අවස්ථාවට ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ සිසිර මෙන්ඩිස් යන අය සහභාගි වූහ.

මෙම රැස්වීම ආරක්ෂක ලේකම් කාර්යාලයේදී 2019 ජනවාරි 3 වැනිදා පමණ පැවැත්විණි. මෙතෙක් සිදු කෙරුණ විමර්ශනවලින් අනාවරණය වූ කරුණු පිළිබඳව පොලිස්පතිවරයා රැස්ව සිටි පිරිස දැනුවත් කර ඇති අතර සැඟවුණු සැකකරුවන් දෙදෙනාගේ පියා විසින් සිය පුතුන්ට පොලිසියට බාරවන මෙන් ආයාචනා කරමින් වට්ස්ඇප් වෙත හඬපටයක් නිකුත් කර ඇති බවද තසිම් මවුලවි ප්‍රකාශ කර තිබේ. අවශ්‍ය නම් තමාට අදාළ ප්‍රදේශයේ පල්ලිය සමඟ සම්බන්ධීකරණය කර සැකකරුවන්ගේ පියා සම්බන්ධීකරණය කළ හැකි බව තාසිම් මවුලවි ප්‍රකාශ කර ඇති අතර එය අනවශ්‍ය බව ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් අදාළ අවස්ථාවට සහභාගි වූ නියෝජිතයන් ප්‍රකාශ කර තිබේ. මේ අතර පොලිස්පතිවරයා සහකාර පොලිස් අධිකාරි ගාමිණි තෙන්නකෝන් අමතා අසාත් සාලිගේ ජංගම දුරකථන අංකය ලබාදී ඇති අතර අවශ්‍යතාවක් ඇත්නම් ඇමතීමට සහකාර පොලිස් අධිකාරි ගාමිණි තෙන්නකෝන් දුරකතන අංකය සාක්ෂිකරු සමඟ බෙදා ගත්තේය.

තාසිම් මවුලවිගේ දුරකතන අංකයට වඩා පොලිස්පතිවරයා තම දුරකතන අංකය සහකාර පොලිස් අධිකාරි ගාමිණී තෙන්නකෝන් වෙත ලබාදීමට හේතුව ලෙස අසාද් සාලි පෙන්වා දෙන ලද්දේ අවශ්‍ය නම් ඔහුට සමස්ත ලංකා තවුහිද් ජමාත් හා මුස්ලිම් කවුන්සිලය සම්බන්ධීකරණය කළ හැකි පුද්ගලයකු වන නිසාත් මෙවැනි බොහෝ අවස්ථාවල මුලපිරීම තමන් විසින් සිදුකර ඇති නිසාවෙන් වන බවත්ය. තාසිම් මවුලවි මාර්ගයෙන් මාවනැල්ලේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් බාරදීමේ අපේක්ෂාව තමන් විසින් පොලිස්පතිවරයා හරහා ප්‍රකාශ කළ බවට සහකාර පොලිස් අධිකාරි ගාමිණි තෙන්නකෝන්ගේ ස්ථාවරය අසාද් සාලි ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඉදිරිපත් වී ඇති සාක්ෂිවලට අනුව, 2019 ජනවාරි 3 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමට පෙර 2018 දෙසැම්බර් 29 වැනිදා අසාත් සාලි පොලිස්පතිවරයාට දුරකථනයෙන් අමතා තිබේ. පොලිස්පතිවරයා ලබාදුන් සාක්ෂිවලට අනුව මාවනැල්ල සිද්ධියට අදාළ සැකකරුවන් (සහෝදරයන්) දෙදෙනා වෙනත් පුද්ගලයකුගේ බොහෝ දුරට තාසීම් මවුලවිගේ මැදිහත්වීම් මත බාරදීම සම්බන්ධීකරණය කිරීමට තමන්ට හැකි බව පොලිස්පතිවරයාට දන්වා ඇත. අසාද් සාලි වෙත පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාවක් ලබා දුන්නද පොලිස්පතිවරයාගේ මෙම ස්ථාවරය අභියෝගයට ලක් නොකළේය. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ඔහු අසාත් සාලිට කතා කළ බව සාක්ෂි දුන් සහකාර පොලිස් අධිකාරි ගාමිණි තෙන්නකෝන්ගේ සාක්ෂි මගින් තහවුරුවීම මත මෙම ස්ථාවරය සනාථ වේ. මාවනැල්ල සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන සහෝදරයන් දෙදෙනා තාසිම් මවුලවි විසින් ගෙන එනු ලබන බවත් දිවා කාලයේදී ඔවුන් බාරදෙන බවත් අසාද් සාලි ඔහු වෙත දැනුම් දුන්නේය.

අසාත් සාලි පොරොන්දු වූ පරිදි සැකකරුවන් එවැනි යටත්වීමක් සිදු නොවූ බව පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වූ සාක්ෂි අනුව තහවුරු වේ. 2018 දෙසැම්බර් 31 වැනිදා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවැති රැස්වීමකදී සහකාර පොලිස් අධිකාරි ගාමිණී තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනගේ උපදෙස් මත අසාත් සාලි මහතා අමතා සැකකරුවන් යටත්වීම සිදු නොවීමට හේතුව විමසීය. එම සංවාදය පහත පරිදිය.

සහකාර පොලිස් අධිකාරි තෙන්නකෝන්: අසාද් සාලි මහතා අර ඉදිරිපත් කරනවා කිව්ව Accused ලා ඉදිරිපත් කළේ නෑනේ.
අසාද් සාලි: ආ තාම ඉදිරිපත් කළේ නැද්ද පොඩ්ඩක් ඉන්නකෝ.
සාලි ඒ පිළිබඳව මවිතිය පළ කර බවක් මින් හැඟවේ.

යටත්වීම සිදු නොවීම ගැන සාලි පුදුමයට පත් වූ අතර පසුව මෙම දුරකථන ඇමතුම සම්මන්ත්‍රක ඇමතුම් මාදිලියේ (Conference call) තබා ගනිමින් වෙනත් අයකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළේය. සහකාර පොලිස් අධිකාරි ගාමිණි තෙන්නකෝන් පසුව ඇමතුම විසන්ධිකර ඇත. මාවනැල්ල සිද්ධියේ සැකකරුවන් දෙදෙනා යටත්වීමට තැත් කිරීමේදී අසාද් සාලිගේ මැදිහත්වීම පිළිබඳව සොයා බැලීමේදී ඔහු 2018 දෙසැම්බර් 26 වැනිදා දුම්මලසූරිය පොලිස් ස්ථානය භාර ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව සඳහන් කිරීම සුදුසුය. මාවනැල්ල සිද්ධිය සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසිය විසින් මොහොමඩ් අන්සාර්දීන් මොහොමඩ් ඉල්මි, මොහොමඩ් මන්සූර්, මොහොමඩ් සොනාස්ඩීන් සහ මොහොමඩ් අමීර් මොහමදු ආයතුල්ලා යන අය උක්ත සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. තමන් දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදුන් බව අසාත් සාලිට මතක නැති බව ප්‍රකාශ විණි.

දුම්මලසූරිය පොලිසියේ එවකට පොලිස් ස්ථානාධිපතිවරයාගේ සාක්ෂි වූයේ 2018 දෙසැම්බර් 26 වැනිදා පෙරවරු 11.06ට අසාත් සාලිගෙන් ඔහුට ඇමතුමක් ලැබුණු බවය. දුරකථන ඇමතුම තත්පර 13ක් පැවතුණ අතර අසාත් සාලි මෙම ඇමතුමේදී සිදුවීම පිළිබඳව විමසා ඇති අතර සාක්ෂිකරු පිළිතුරු දී ඇත්තේ සිද්ධිය කෙටියෙන් විස්තර කිරීමෙනි. 2018 දෙසැම්බර් 26 වැනිදා පෙ.ව. 11.07ට ඔහුගේ නිල ජංගම දුරකතන අංක 0718591272 මඟින් අසාත් සාලි මහතාගෙන් ඔහුට දෙවැනි දුරකථන ඇමතුමක් ලැබී තිබේ. තත්පර 83ක් පැවැති එම දුරකථන ඇමතුමෙන් ද අසාත් සාලි සිද්ධිය සම්බන්ධයෙන් යළිත් අවධානාත්මකව විමසීම් කර ඇති අතර පොලිසිය විසින් පවත්වනු ලබන විමර්ශනවල ස්වභාවය පිළිබඳව ප්‍රශ්න කර තිබේ. සාක්ෂිකරු විමර්ශනවල ස්වභාවය විස්තර කර ඇති අතර සිද්ධිය පිටුපස සිටින සැකකරුවන් හඳුනා ගැනීමට පියවර ගෙන ඇති බවද ප්‍රකාශ කළේය. අසාත් සාලි විමර්ශන කෙරෙහි දක්වන උනන්දුව විමර්ශන කඩිනම් කිරීම සඳහා පොලිසියට පෙළඹවීමක් ලෙස තමා වටහාගත් බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඇතැම් පොලිස් නිලධාරීන් අසාත් සාලිගේ මෙම මැදිහත්වීම පොලිසිය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග දැන ගැනීමට සහ ඔවුන්ගෙන් තොරතුරු ලබා ගැනීමට උත්සාහ කිරීමක් ලෙස සැලකූ බවට සාක්ෂි තිබේ.

2019 අප්‍රේල් 23 වැනිදා විකාශය වූ වාදපිටිය වැඩසටහනේ කොටසක් පිළිබඳ සාක්ෂි පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත්වී තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන ප්‍රතිචාර සාකච්ඡා කිරීම සඳහා එම වැඩසටහනට සහභාගි වූවෝ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ අසාත් සාලි යන මහත්වරුය.

වැඩසටහනෙන් උපුටා ගත් කොටස් කිහිපයක් පහත පරිදිය:
අ. 49 වැනි මිනිත්තුවේ, 21 වැනි තත්පරයේදී - මවුලවි සහ තවත් පුද්ගලයකු සම්මන්ත්‍රණ ඇමතුමක් (Conference call) ආරම්භ කර ඇති බවත්, මාවනැල්ල සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු පොලිසියට භාරදිය හැකි ආකාරය ගැන සාකච්ඡා කළ බවත් අසාත් සාලි පවසයි.
බී. 49 වැනි මිනිත්තුව, 39 වැනි තත්පරය - මාවනැල්ල සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන්ගේ පියා හමුවීමට සමස්ත ලංකා තවුහිද් ජමාත්හි තාසිම් මවුලවි ගම්පොල වෙත යවා ඇති බව අසාත් සාලි පවසයි.
ඇ. 50 වැනි මිනිත්තුවේ, 40 වැනි තත්පරයේ - අසාත් සාලි පවසන්නේ ඔහු පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අමතා සැකකරුවන්ගේ පියාගෙන් ප්‍රකාශයක් ලබාගත හැකි බව ඔවුන්ට දන්වා ඇති බවත් ඔහු පවසා ඇත්තේ තමා මාවනැල්ල පොලිසියට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත්, ඔහුගේ පුතුන් පොලිසියට බාර දෙන ලෙස ඉල්ලීමක් කිරීමට බවත්ය.
ඇ. 51 වැනි මිනිත්තුව, 11 වැනි තත්පරයේ - අසාද් සාලි පවසන්නේ පුත්තලම ඇතිවූ සිද්ධියේදී අත්අඩංගුවට පත් එක් තරුණයකු අසල්වැසි භූමියේ සිට සිද්ධිය නැරඹීමට පැමිණි තරුණයකු වන බවත් තවත් අයකු ඔහුගේ ආහාර රැගෙන ආ තරුණයකු වන බවත්ය.
ඉ. 51 වන මිනිත්තුව, 24 වන තත්පරය – තරුණයින් දෙදෙනා සම්බන්ධ කාරණය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡා කළ බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
ඊ. 51 වැනි මිනිත්තුවේ, 30 වැනි තත්පරය – විමර්ශන අවසන් වනතුරු කිසිදු පරීක්ෂණයක් නොකළ යුතු බවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර පිළිතුරු දී තිබේ.
උ. 51 වන මිනිත්තුව, 37 වැනි තත්පරය – අසාත් සාලි, ඉඩමේ හිමිකරු සහ ඔහුට ආහාර ගෙනා පුද්ගලයා ‘අහිංසක’ යැයි සඳහන් කළේය.
ඌ. 51 වැනි මිනිත්තුව, 47 වැනි තත්පරය – අසාත් සාලි පවසන්නේ සැකකරුවන් දෙදෙනකු අධිකරණය විසින් නිදහස් කළ බවයි.
එ. 53 වැනි මිනිත්තුව, 37 වැනි තත්පරය – සැකකරුවන් දෙදෙනකු නිදහස් කරගැනීමට ඔහු මැදිහත් වූයේ දැයි වැඩසටහනේ පූරකවරයා විමසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් අසාත් සාලි පවසා ඇත්තේ මාවනැල්ල සිද්ධියේදී පලාගිය සැකකරුවන් දෙදෙනකු සහ වනාතවිල්ලුව ඉඩමට අදාළව නිදහස් කරන ලද සැකකරුවන් දෙදෙනකු මරාගෙන මැරෙන බෝම්බකරුවන් නොවන බවයි.
ඒ. 01 වැනි පිය 02 වැනි මිනිත්තුව, 14 වැනි තත්පර – අසාත් සාලි ප්‍රකාශ කළේ පියා ත්‍රස්තවාදියකු නොවන බවත්, ඔහුගේ පුතුන් කළ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත්ය.
ඔ. 01 වැනි පැය, 15 වැනි මිනිත්තුව, 35 වැනි තත්පරය – අසාත් සාලි සඳහන් කළේ තමා පොලිස්පතිවරයා අමතා ප්‍රකාශයක් සටහන් කර ගැනීම සැකකරුවන්ගේ පියා සහකාර පොලිස් අධිකාරි තෙන්නකෝන් වෙත ගෙන ඒමට ඇති හැකියාව දැනුම් දුන් බවයි.

දේශපාලනඥයකු වන අසාද් සාලි ඉහත සඳහන් කළ අවස්ථාවන්ට මැදිහත් නොවිය යුතුව තිබූ බව පරීක්ෂණ කොමිසමේ මතයයි. මෙවැනි ක්‍රියා පොලිසියේ ස්වාධීන විමර්ශනවලට බාධා වන බැවින් එවැනි ක්‍රියා සාපරාධී ක්‍රියාවන් බවට පත් කිරීම මගින් දේශපාලනඥයන්ගේ මැදිහත්වීම් අධෛර්යවත් කළ යුතුය.

ඉෂ්ෂාන් මියුනීදීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට සිදු කළ මැදිහත්වීම හේතුවෙන් ඉහත තර්කය තවදුරටත් ශක්තිමත් වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභාවක් හෝ පළාත් පාලන ආයතනයක නියෝජිතයකු විසින් පොලිස් පරීක්ෂණ සහ අත්අඩංගුවේ හෝ රඳවාගෙන සිටින ත්‍රස්තවාදී සැකකරුවන් සම්බන්ධයෙන් කෙරෙන ඕනෑම මැදිහත්වීමක් සාපරාධී ක්‍රියාවන් බවට ප්‍රකාශයට පත් කරමින් එවැනි ක්‍රියාවන් දඬුවම් ලැබිය හැකි වැරදි ලෙස හඳුන්වාදීමට පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි.

මාවනැල්ල සහ වනාතවිල්ලුව සිදුවීම් සම්බන්ධයෙන් ඉහත දක්වා ඇති නිගමනයට එළැඹීම කෙරෙහි පරීක්ෂණ කොමිසම වෙත ඉදිරිපත් වූ වාචික හා ලේඛනමය සාක්ෂි මගින් ලබාගත් සාක්ෂි මෙන්ම විමර්ශකයන්ගේ සාක්ෂි ද දායක කරගෙන ඇත.


පුහුණු කඳවුරු සහ ආරක්ෂක නිවස්නය
සහරාන් සහ ඔහුගේ කණ්ඩායම රට පුරා ස්ථාන කිහිපයකම පුහුණු කඳවුරු සහ සමුළු පවත්වා තිබේ. සහරාන් ඔහුගේ දේශන සහ පුහුණු සැසි සඳහා තරුණයන් ආකර්ෂණය කරගත් ආකාරය එක්තරා සාක්ෂිකරුවකු විසින් විස්තර කරන ලදී.

නොමිලේ පවත්වන ඔහුගේ දේශනවලට සහභාගි වීමට තරුණයන් දිරිමත් කෙරුණු අතර ආහාර වේල්ද නොමිලේ ලබාදී තිබේ. මෙම දේශන අතරතුරදී ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ වීඩියෝ දර්ශන අදාළ ආයුධ ද සමග සහභාගි වන්නට හට ප්‍රදර්ශනය කර තිබේ. ඉන් අනතුරුව එහිදී සාකච්ඡා කෙරුණ කිසිවක් වෙනත් පාර්ශ්වයකට හෙළිදරව් කළහොත් කලින් පෙන්වන ලද වීඩියෝ දර්ශනවල දක්නට ලැබුණු ඉරණමට එවන් ද්‍රෝහීන් ගොදුරු වනු ඇති බවට සහරාන් විසින් තර්ජනය කර තිබේ.

සහරාන් සෑම පුහුණු කඳවුරකදීම ඊට සහභාගි වන්නන් කණ්ඩායම් දෙකට බෙදා තිබේ. ඉන් එක කණ්ඩායමක් සිය දිවි නසා ගන්නා බෝම්බ කරුවන් ලෙස පෙනී සිටීමට එකඟ වූවන් වූ අතර, අනෙක් කණ්ඩායම ආයුධ භාවිත කරමින් සටහන් කිරීමට කැමති වූවෝය. මෙම සෑම සාමාජිකයකුහටම ඉස්ලාම් භාවිතයන්ට අනකූළව අබු යන නම මුලට යෙදෙන සේ නම් ලබා දෙන ලදී. විශේෂ වශයෙන් මෙයට සහභාගි වූ බහුතරයක් ශ්‍රී ලංකා ජමෙයිතුල් ඉස්ලාම් සංවිධානයේ සාමාජිකයෝ වූහ.

පළමු පුහුණු කඳවුරු වසර 2017 නොවැම්බර් තෝපූර්හිදී පැවැත්වුණු අතර, අවසන් පුහුණු කඳවුර පැවැත්වූයේ වර්ෂ 2018 දෙසැම්බර් 14 සහ 18 කාලය තුළ හිඟුල ප්‍රදේශයේදීය. මෙම පුහුණු කඳවුරුවල අන්තර්ගතය වූයේ ප්‍රධාන වශයෙන් ඉස්ලාම් අන්තවාදී දේශන අයිඑස් සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබඳ දේශන ටී 56 ගිනි අවි, පිස්තෝල සහ පිහි භාවිතය පිළිබඳ න්‍යායාත්මක පුහුණුව, පුපුරණ ද්‍රව්‍ය භාවිතය සහ බෝම්බ සාදන ආකාරය වේ. සහරාන් ඉස්ලාම් අන්තවාදය පිළිබඳ දේශන පැවැත්වූ අතර නවුෆර් අයිඑස් සංවිධානය පිළිබඳ දේශන පැවැත්වීම ද මිල්හාන් ටී 56 ගිනි අවි සහ පිස්තෝල වෙඩි තැබීම සඳහා සූදානම් කරන හා යළි නිශ්ක්‍රීය කරන ආකාරය ද, පිහි භාවිත කරන ආකාරය ද ප්‍රායෝගිකව ඉදිරිපත් කළ අතර, හස්තුන් සහ රිල්වාන් පුපුරණ ද්‍රව්‍ය භාවිත කරන ආකාරය සහ බෝම්බ සාදන ආකාරය ප්‍රායෝගිකව ඉදිරිපත් කළෝය. මේවා ඉදිරිපත් කිරීමේදී සම්පත්ධාරීහු වරින් වර වෙනත් ඉදිරිපත් කිරීම් සිදු කළහ. සමහර අවස්ථාවලදී ටී 56 ගිනි අවියේ ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා යූටියුබ් වීඩියෝ දර්ශන ද යොදා ගෙන තිබේ. දළ වශයෙන් මෙම පුහුණු කඳවුරු සඳහා 20 දෙනෙක් හෝ 30 ක් අතර පිරිසක් සහභාගි වූහ. ඇතැම් අවස්ථාවලදී එකම ස්ථානයක එක්වරකට වඩා පුහුණු කඳවුරු පවත්වා තිබේ.
පහත දැක්වෙන්නේ පුහුණු කඳවුරු හා පවත්වන ලද සමුළු පිළිබඳ තොරතුරු වේ.


1. වර්ෂ 2017 නොවැම්බර් මාසයේදී මැදවච්චිය රබෑව ප්‍රදේශයේදී පැවැත්වුණ පුහුණු කඳවුරයි.
වර්ෂ 2017 නොවැම්බර් මාසයේදී මැදවච්චිය රබෑව ප්‍රදේශයේදී පවත්වන ලද පුහුණු කඳවුර සඳහා සහරාන්, නවුෆර්, අන්සාර්, රිස්වි, රිස්වාන්, ආබ්දීන්, රමීස්, මිල්හාන්, හස්තූන් සහ රිල්වාන් ඇතුළු 14 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සහභාගි වූහ. එම පුහුණු කඳවුර පැවැත්වුණේ අබ්දුල් ලතිෆ් මොහොමඩ් ෂෆිර් නැමැත්තාගේ නිවෙසේදීය. මෙම කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ සහරාන් විසින් වන අතර ඔහු කාත්තන්කුඩියේදී ෂෆිර් හඳුනාගෙන ඇති බව අනාවරණය විය. මෙම කණ්ඩායම අදාළ ස්ථානයට පැමිණ ඇත්තේ වෑන් රථයකිනි. එදින අලුයම 3 ට පමණ සහරාන් එම ස්ථානයට පැමිණ ඇති අතර, එතැන් සිට කණ්ඩායමේ සියලු දෙනා සාකච්ඡාවක නිරතවී තිබේ. ඉන් අනතුරුව කණ්ඩායමේ සියලු දෙනා එම නිවෙස අසල හුදකලා ප්‍රදේශයකට ගොස් අයිඑස් සංවිධානයේ ධජය සහ ටී 56 අවි අත දරා ප්‍රතිඥාවක් දී තිබේ. ඔවුන් සියලු දෙනා අදාළ දිනයේ මධ්‍යස්ථාන 12 ට පමණ එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

2. වර්ෂ 2017 නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ මුතුර්හි, තෝපුර්හි හා නල්ලූර්හි පවත්වන ලද පුහුණු කඳවුර
මෙම පුහුණු කඳවුර සාදීක් විසින් මෙහෙයවන ලද අතර හය දෙනෙක් පමණ එයට සහභාගි වූහ. මේ දක්වා අනාවරණය වූ සාක්ෂිවලින් සහරාන් මෙම කඳවුර සඳහා සහභාගි වූ බවට හෙළිදරව් වී නැත. මෙහිදී සාදීක් විසින් ටී 56 ගිනි අවිය වෙඩි තැබීම සඳහා සූදානම් කරන අයුරු සහ නැවත ගලවා අසුරණ අයුරු ප්‍රායෝගිකව ඉදිරිපත් කර ඇත. මෙම පුහුණු කඳවුර සඳහා යොදාගත් නිවස සාදීක්ගේ මිතුරකු වන හජා මොහිදීන් හට අයත් එකකි. එහි පැවැත්වුයේ එක් දින කඳවුරකි.

3. වර්ෂ 2017 දෙසැම්බර් 16 වැනිදා මල්වාන පැන්ඩා බහුවිධ ක්‍රීඩා පරිශ්‍රයේදී පැවැති සමුළුව.
මෙම ස්ථානය වෙන් කර ගැනීම සිදු කොට ඇත්තේ ජමියතුල් ඉස්ලාම් සංවිධානයේ සාමාජික අබ්දුල් කාදර් මොහොමඩ් ෂස්නි නැමැත්තෙකුගේ හැඳුනුම්කමක් පිට අදාළ ස්ථානයේ හිමිකරු වන රංගනාත් තිලකරත්න යන අයගෙනි. පැය 1 ක කාලයක් සඳහා මෙම ස්ථානය වෙන් කොට ගෙන තිබූ අතර, මෙම සමුළුව සඳහා 15 දෙනකුගෙන් පමණ පිරිසක් සහභාගි වූහ. පස්වරු 7 ට පමණ ඔවුන් එහි පැමිණි අතර, අඩකවයක ආකාරයෙන් අසුන් ගෙන ඔවුන් විසින් එහි රැස්වීමක් පවත්වා තිබේ. කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියා කර ඇත්තේ සහරාන්ය. එය සූදානම් කර තිබුණේ ජමියතුල් ඉස්ලාම් සංවිධානයේ අභ්‍යන්තර අර්බුදයක් විසඳලාලීම සඳහායි. එහිදී අර්බුදය උද්ගත වී ඇත්තේ ජමීල් නැමැත්තකු සහ ජමියතුල් ඉස්ලාම් සංවිධානයේ නායක උමයර් මොහොමඩ් නැමැත්තකු අතරයි. උමයර් මොහොමඩ් ජමියතුල් ඉස්ලාම් සංවිධානයේ නායකයා ලෙස පත් කිරීම පිළිබඳ ජමීල් තම නොසතුට පළ කළ අතර එබැවින් ඔවුන් දෙදෙනා අතර යම් අරගලයක් සිදුවී තිබේ. නවුෆර් සහ මිල්හාන් ද මෙම රැස්වීමට සහභාගි වූහ. ජමියතුල් ඉස්ලාම් සංවිධානයේ සාමාජිකයන් ඔවුන් අතර පවතින ගැටුම් නිරාකරණය කර ගන්නා බවට සහ ඉදිරියේදී එවැනි ගැටුම් නිර්මාණය නොකරන බවට එහිදී දිවුරා පොරොන්දු වූහ. ඊට සහභාගි වූ අය අයිඑස් සංවිධානය පිළිගැනීමට ද එකඟ වූහ. මෙම රැස්වීමට සහභාගි වූ අය අතර වර්ෂ 2019 අප්‍රේල් 21 සහ 26 වන දිනවල මියගිය අය අතුරින් සහරාන්, ඉල්හාම්, අහමඩ්, මොහොමඩ් හස්තුන්, අහමඩ් මුවර්ඩ් සහ ජමීල් මොහොමඩ් යන අයද වූහ.

4. වර්ෂ 2018 මාර්තු 23 සහ 25 අතර කාලය තුළ ලේවැල්ල, ධර්මාශෝක මාවතේ අංක 177/7/A නැමැති ලිපිනයේ පිහිටි එන්රිච් බංගලෝ නමැති ස්ථානයේ පැවැත්වුණු  පුහුණු කඳවුර.
මෙම ස්ථානයේ හිමිකාරීත්වය දරණ ලද්දේ ලේවැල්ල ධර්මාශෝක මාවතේ අංක 147/9 දරණ ස්ථානයේ පදිංචි නාලිනි මැණිකේ ගුණරත්න නැමැති කාන්තාව වන අතර, එහි තානායමක් පවත්වාගෙන ගිය දිනුක නුවන් පෙරේරා යන අය එම ස්ථානය කුලී පදනම යටතේ ලබා දී තිබුණි. මෙම ස්ථානය වෙන් කර ගැනීම සිදු කර ඇත්තේ කොමිස් මුදලකට හෝටල් සහ තානායම් වෙන් කිරීමේ කටයුතු සිදු කළ තුෂාන් වීලික්ස් ද සිල්වා යන අයකු හරහාය. මුලින්ම තුෂාන් වීලික්ස් ද සිල්වාගෙන් මෙම ස්ථානය කුලියට ගැනීම පිළිබඳ මුලින්ම විමසා ඇත්තේ මීරා සයිබි මොහොමඩ් නෆ්ලි නැමැත්තෙකි. මෙම පුහුණු කඳවුර සඳහා 25 දෙනකුගෙන් පමණ සැදුම්ලත් පිරිසක් සහභාගි වූ අතර, ඊට නායකත්වය ලබා දී තිබුණේ සහරාන්ය. මෙම පිරිස් වෑන් රථ 3 කින් අදාළ ස්ථානයට පැමිණ තිබේ. මෙම පුහුණු කඳවුරේ අන්තර්ගතය වී ඇත්තේ සහරාන්ගේ ඉස්ලාම් අන්තවාදී දේශන සහ මිල්හාන්ගේ අවි පුහුණුය. පළමු දිනයේ දී ඉස්ලාම් අන්තවාදය, අයි.එස්. සංවිධානය සහ එහි ක්‍රියාකාරකම් පිළිබඳ සහරාන්  සහ නවුෆර් විසින් පිළිවෙළින් දේශන පැවැත්වූ අතර, දෙවැනි දිනයේදී මිල්හාන් නොහොත් අබු සීලා විසින් ටී 56 ගිනි අවියක් වෙඩි තැබීමට සූදානම් කිරීම සහ අක්‍රිය කිරීම පිළිබඳ ටී 56 ගිනි අවි දෙකක් යොදා ගනිමින් පුහුණුව ලබා දී තිබේ. ඊට අමතරව ඔහු විසින් ටී 56 ගිනි අවියක් මානන ආකාරය සහ එයට යොදන මැගසින් සඳහා අවි බහාලන ආකාරය ද පුහුණු කර තිබිණි.

(***)