නිදහස් උත්සවය පැවැත්වූයේ පෙරේදාය. බ්‍රිතාන්‍යයෙන් රට නිදහස් වී වසර 72ක් ගතවන අවස්ථාවේ රට වැසියන් තුළ තිබුණේ වෙනත් අවුරුදුවලට වඩා අනාගතය පිළිබඳව විශ්වාසයක් බව පෙනෙන්නට තිබුණු කාරණයක් ය. පසුගිය ජනාධිපතිවරණයෙන් පටන් ගත් ‘වෙනස්ව සිතීමේ’ දේශපාලනය මේ වනවිට රට තුළ විශාල පරිවර්තනයක් සිදුකරමින් පවතින බව ඉතාමත් පැහැදිලිය.

වෙනදා පෝස්ටර් අලවන්නට රහසිගත සංවිධානවලට සහාය දුන් තරුණයන් මේ වනවිට නගරය පෝස්ටර්වලින් කැත කිරීමට ඉඩ නොදෙන පරිදි තාප්පවල චිත්‍ර ඇඳීම මගින් පෙන්නුම් කරන්නේ මේ කියූ වෙනස්ව සිතීමේ දේශපාලනයේ ප්‍රතිඵලයේ ඇති බරපතළභාවයයි. වෙනස්ව සිතන්නට බිය නොවන්නැයි මීට ටික කලකට පෙර ස්වකීය පාක්ෂිකයන්ට කීවේ බැසිල් රාජපක්ෂ මහතාය. වෙනස්ව සිතීම පොදුජන පෙරමුණේ දේශපාලනයට කාවැදු​ෙණ් ඒ ආකාරයෙන් ය.

මේ රටේ නිදහස අනතුරකට ලක්වී තිබූ අවස්ථාවක බිහිවූ දේශපාලන ව්‍යාපාරයක් ලෙසින් පොහොට්ටුවේ දේශපාලනය තේරුම්ගත හැකි අතර වෙනස්ව සිතන්නට පටන් ගැනීම නිදහස පිළිබඳ අරගලයේ අලුත් තේමා පාඨය යැයි සිතීමේ වැරැද්දක් නැත. මෙවර නිදහස් උළෙලේදී අතිගරු ජනාධිපතිතුමාගේ කතාවෙන් කියවෙන්නේත් මේ රටේ නිදහස පිළිබඳව අලුත් පරිච්ඡේදයක් ලියන්නට සූදනම් වන බවක් ය.

මා මේ සටහනින් ලියන්නේ නිදහස ගැන නොව මේ රටේ මීළඟ දේශපාලන පරිවර්තනයට සූදානම් වන මොහොතේ වෙනස්ව සිතිය යුත්තේ කෙසේදැයි යන ප්‍රශ්නය පක්ෂ දේශපාලනය තුළ තබා පැහැදිලි කිරීමක් කිරීමටය.

පසුගිය ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් සමඟ මේ රටේ සාකච්ඡාවට භාජන වූ එක් මාතෘකාවක් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය ය. මෙය ජනතාව වැඩියෙන් දන්නේ පොදුජන පෙරමුණේ දේශපාලනය කියා නොව පොහොට්ටුවේ දේශපාලනය කියාය. අඩුම කාලයකින් වැඩිම ජයග්‍රහණයක් ලබාගත් දේශපාලන ව්‍යාපාරය ලෙස පොහොට්ටු පක්ෂය මේ වනවිටත් ඉතිහාසගත වී හමාරය. ඒ දේශපාලනයේ තිබූ සහ තිබෙන විශේෂත්වය වන්නේ ඕනෑම අභියෝගයක් හමුවෙහි ස්වකීය දේශපාලන අභිලාෂය පාවා දෙන්නේ නැතිව ඉදිරියට ඔසවා තැබීමට ඇති හැකියාවයි. සැබැවින්ම මෙහි ඇති මේ දේශපාලන ගුණය මුලින්ම මතුවූයේ 2018 පැවති පළාත් පාලන මැතිවරණයත් සමඟ ය. පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කරනවා ද යන සංවාදයේදී සමහරුන් සිටියේ පොහොට්ටුවෙන් නොව බුලත් කොළයෙන් තරග කළ යුතු යැයි සිතන කල්පනාවක බව ප්‍රසිද්ධ කාරණයක්ය. එවකට  ශ්‍රීලනිපයේ සිටි සමහරුන් වහසි බස් දෙඩුවේ රාජපක්ෂ දේශපාලනය පොහොට්ටුව තෝරා ගැනීමෙන්ම අවසාන වූ බවය. එහෙත් ඒ සියල්ලම බොරු කරන්නට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටුවේ නායකයන්ට හැකිවූ නිසා රටේ ඉතිහාසයම වෙනස් කරන අලුත්ම තත්ත්වයක් උදා කර ගත හැකිවූ බව දැන් සත්‍යයක් වී හමාරය.

ජනාධිපතිවරණයෙන් පසුව පක්ෂයේ දේශපාලනය පළල් ජන ප්‍රවාහයක් වෙතට තවදුරටත් ඉදිරියට ගෙන යාමේ අභියෝගය මේ වනවිට ඒ පක්ෂය හමුවේ ඇති ප්‍රධාන මාතෘකාව බව මගේ මතය ය. පක්ෂයේ අනන්‍යතාව ද රැක ගනිමින්, පාක්ෂිකයාගේ අභිලාෂ ද ආරක්ෂා කරගනිමින්, ජනතාව ද පක්ෂය වටා එක් කරගනිමින් ඉදිරියට යාමේ එම අභියෝගය ජයගන්නට එම පක්ෂයට සිදුවී තිබෙන්නේ ඉදිරියට එන මහ මැතිවරණයත් සමඟ ය. මෙහිදී පෙන්නුම් කරන විශේෂ කාරණයක් වන්නේ රටේ දේශපාලනය පිළිබඳව සමාජයේ මේ වනවිට ගොඩ නැඟී තිබෙන සමහර කල්පනා සමඟින් පාක්ෂික ප්‍රවණතා යම් ආකාරයක ප්‍රශ්නාර්ථයකට ලක්වී තිබීමය.

පසුගිය ජනාධිපතිවරණයේදී සමාජයේ මතුවූ සාකච්ඡාවක් වූයේ රටේ දේශපාලනයට යම් ආකාරයක පිළිවෙළක් එක්කළ යුතු බවයි. එහෙත් මෙයින් අදහස් වන්නේ මේ රටේ දැනටත් සිටින යම් ආකාරයක ධනාත්මක එකතු කිරීමක් රටේ සංවර්ධනයට සිදු කරන සියලු දේශපාලනඥයන් වෙනස් කිරීම යැයි සිතීම නිවැරැදි නොවන බව මගේ අදහසයි. මේ රටේ දේශපාලනයේ අලුත්වීමක් යැයි කිව යුත්තේ මුලින්ම ප්‍රශ්න දෙස අලුත් ආකාරයකින් බලන තත්ත්වයක් ගොඩනඟා ගනිමින් රටේ ප්‍රශ්න විසඳීමේ අලුත් ආකෘතියක් ගොඩනඟා ගැනීමයි.

මෙතැන ඇති අනෙක් වැදගත් කාරණය වන්නේ පොහොට්ටුවේ දේශපාලනය පුළුල් සන්ධානයක් බවට පත්කිරීම පිළිබඳ ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ කෙසේද යන කාරණයයි. මේ පිළිබඳව දැනටමත් යම් ආකාරයක ඒකපාර්ශික උත්සාහයක් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් උත්සාහ කර තිබූ බව මාධ්‍යවල වාර්තා කර තිබුණේ මීට දවස් කීපයකට කලින්ය. ඒ කණ්ඩායම  ඒකපාර්ශිකව පැවැත්වූ සාකච්ඡාවක සටහනක් ප්‍රවෘත්ති විකාශය තුළින් පෙන්නුම් කළ අතර එයින් කියවුණේ මෙතෙත් පැවැති පක්ෂයක් අලුතින් නමක් යටතේ සංවිධානය වන බවත් එහි සියයට 51ක බලයක් පොහොට්ටුවට ලබා දෙන බවයි. මෙතැන පෙන්නුම් කරන ප්‍රධානතම කාරණයක් වන්නේ පොඩි පක්ෂ එකතුවී ලොකු පක්ෂය පිළිබඳව තීන්දු තීරණ ගැනීම හරහා සන්ධානයක් ගොඩනැගිය හැකි ද යන්නයි. එවැනි සන්ධානයක් අවශ්‍ය නම් එය කළ යුත්තේ ප්‍රධාන පක්ෂයේ කණ්ඩායම පැත්තෙන් ආරම්භ වී කුඩා පක්ෂ දක්වා යන ආකාරයට බව සරලවම පෙනී යන කාරණයයි. අනෙක් අතට රටේ මේ වනවිට තිබෙන බල දේශපාලනයේ පදනම් නොසලකා හරිමින් සියයට ගණන් බෙදීම හෝ සමාන වූ නායකත්ව දෙකක් නිර්මාණය කරමින් එයින් එකක් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයට යෝජනා කිරීම මගින් හෝ කිසිදු ආකාරයක නිරෝගී සන්ධානයක් සෑදීමේ ඉඩක් නොමැති බව මගේ පෞද්ගලික කල්පනාවයි. මේ සන්ධාන සාකච්ඡාවට අප අවධානය යොමු කළ යුත්තේ බිම තිබෙන දේශපාලනයේ ස්වභාවය මත සිට මිස 2015 මේ රටේ තිබූ දේශපාලන තත්ත්වයන් මත පදනම් වෙමින් නොවන බව මෙහි ඇති ඉතාමත් වැදගත් කාරණයයි.

මේ වනවිට මේ රටේ දේශපාලනයේ ඇති අනෙක් වැදගත් කාරණය වන්නේ වෘත්තීයභාවය සහ දේශපාලනභාවය යන දෙඅංශයම කළමනාකරණය කර ගනිමින් මැතිවරණ දේශපාලනයට සම්බන්ධවීමය. රටේ සාමාන්‍ය ජනතාව සිටින්නේ සරල ආකාරයෙන් සර්වජන ඡන්දයේ අයිතිය තිබෙන කණ්ඩායමක් ලෙසින්ය. ඒවගේම අපේ රටේ දේශපාලනයේ ඇති එක් වැදගත් ලක්ෂණයක් වන්නේ මේ රටේ ඕනෑම අයකුට මහජනයාට සේවය කිරීම සඳහා වරමක් ඉල්ලීමේ ප්‍රජාතන්ත්‍රීය ඉඩක් තිබෙන බවය. මේ පළල් ඉඩ අවභාවිතාවට ලක් කළ රන්ජන් රාමනායක වර්ගයේ අයවලුන් පසුගිය කාලයේ විශාල වශයෙන් මතුවීම හේතුවෙන් සම්පූර්ණ පාර්ලිමේන්තු ක්‍රමයම පිළිබඳව ජනතාවගේ පැත්තෙන් විවේචනයක් පැමිණ බව සැබෑවක්ය. එය එසේ වුවත් පාර්ලිමේන්තුවට යාම සඳහා මහජන වරමක් ඉල්ලීමේ ඉඩ හැමෝටම ඇති බව අප පිළිගත යුත්තේ පක්ෂ යාන්ත්‍රණයක සිටින සියලුම දෙනා වෘත්තිකයන් නොවන තත්ත්වයක් තුළය.
මෙවර මැතිවරණයේ පෙන්නුම් කරන තවත් එක් වැදගත් තත්ත්වයක් වන්නේ ප්‍රචාරණ වැඩසටහන් ඩිජිටල් අවකාශයට සීමාවීමේ අභියෝගය සහ සමාජ මාධ්‍ය මගින් සිදුවෙන්නට නියමිත මැදිහත්වීමේ ඉඩ කඩ තුළින් පෙන්නුම් කරන බරපතළභාවයයි. පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම (2015 සහ 2019) විද්‍යුත් මාධ්‍යවල තිබූ ප්‍රචාරක වැඩසටහන් යම් ආකාරයක කඩා වැටීමකට ලක්වූ බව මගේ නිරීක්ෂණයයි. මේ තත්ත්වය මීළඟ මැතිවරණයන් සඳහා වඩාත් වැඩි ආකාරයෙන් ගොඩනැගිය හැකි බව පුරෝකතනය කිරීමේ විශාල ඉඩක් ඇති බව මගේ මතයය.

තවත් පැත්තකින් අපගේ අවධානය යොමු විය කාරණයක් වන්නේ මෙවර මහ මැතිවරණයේදී ඡන්දදායක ප්‍රවණතා​​ෙව් ඇති විසිරුණු ස්වභාවයයි. අපේ රටේ ඡන්දදායක ප්‍රවණතාවයෙන් පක්ෂවලට අයිති ඡන්දදායකයන්ගේ ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයක් පක්ෂ යාන්ත්‍රණයට සම්බන්ධ නැති ඡන්දදායකයන්ගේ ප්‍රමාණය මගින් ද පෙන්නුම් කරන බව දත්තවලින් පෙන්නුම් කරන කාරණයයි. එසේම පාවෙන ඡන්දදායකයන් ලෙසින් පිළිගත් කණ්ඩායම විශාල වශයෙන් වර්ධනය වී තිබීම නිසා මැද පන්තියේ ඡන්දය මගින් සියල්ල තීරණය කරනා තත්ත්වයකට පැමිණ ඇති බව ඉතාමත් පැහැදිලි කාරණයකි. මේ තත්ත්වය හේතුවෙන් මෙතෙක් දේශපාලනයේ ප්‍රසිද්ධ වී තිබූ සටන් පාඨ සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකට යොමුවී ඇති බව මගේ නිරීක්ෂණයයි. මේ මගින් පෙන්නුම් කරන්නේ එකිනෙකට වෙනස් ආකාරයේ ගැටලු හා විසඳුම් පිළිබඳ සාකච්ඡාවක් දේශපාලන පොර පිටියෙන් පෙන්නුම් කිරීමය. මේ වෙනස ඒ ඒ පක්ෂ අභ්‍යන්තරයේ එකිනෙකාට ඇති වෙනස්කමක් ලෙසින් තේරුම් ගන්නවාට වඩා ගැටලුවල ස්වභාවය වෙනස් නිසා අපේක්ෂකයන්ගේ වෙනසක් ලෙසින් තේරුම් ගැනීමෙන් යම් ආකාරයකට සමහන් කරගත හැකි බව පිළිගැනීම නිවැරැදිය.

මේ තත්ත්වයන් මගින් පෙන්නුම් කරන්නේ රටේ දේශපාලනයේ ස්වභාවය වෙනස්වී ඇති බව පමණක් නොව අප රටේ දේශපාලනය පිළිබඳව වෙනස්ව සිතන්නට පටන්ගෙන ඇති බවය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ
ආචාර්ය  චරිත හේරත්