සෑම මුදල් වර්ෂයක්ම අවසන් වී මාස 04ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් මුදල් ඇමතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. එය මුදල් නීති පනත අනුව බැංකුවට පැවරී ඇති නීතිමය වගකීමකි. එසේ ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව සැලකෙන්නේ රටේ ආර්ථිකය පිළිබඳ රජයේ නිල ගිණුම් වාර්තාව ලෙසය. එසේත් නැත්නම් අදාළ වර්ෂය තුළ ආර්ථිකයේ ගුණාගුණ දැක්වෙන රජයේ අවසන් ශේෂ පත්‍රය ලෙසය. 2017 වර්ෂයට අදාළ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව දැන් නිකුත්කර ඇති අතර පසුගිය වසරේ ආර්ථික ක්‍රියාකාරීත්වය ඒ ඇසුරින් විමසා බැලීම සදහා අපට අවස්ථාවක් ලැබී තිබේ.

2017 වර්ෂය යනු යහපාලන රජය බලයට පත් වීමෙන් පසු සම්පූර්ණ කරන ලද තුන්වන වර්ෂය වේ. 2020 වසරේ ජනවාරි මාසය තුළ ජනාධිපතිවරණය පැවැත්වියයුතු බැවින් මුදල් පනතට අනුව ඊට පෙර මෙම රජයට ප්‍රකාශයට පත් කීරීමට ඇත්තේ ආර්ථිකය පිළිබඳ තවත් එක් වාර්තාවක් පමණි. පස්වැනි වර්ෂයට අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණය නිම වීමෙන් පසුවය. එබැවින් ජනාධිපතිවරණයට පෙර මෙම රජයේ ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇගයීමක් සඳහා ඇත්තේ තවත් එක් අවස්ථාවක් පමණක් බව මතක තබා ගැනීමට අපට සිදු වේ. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාව අනුව එම වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.1කින් වර්ධනය වී තිබේ. රජයේ මුල් වර්ෂය වූ 2015 දී ආර්ථිකය සියයට 5කින් වර්ධනය වූ අතර 2016 දී වර්ධන වේගය සියයට 4.5 දක්වා පහළ වැටුණු අතර 2017 දී සියයට 3.1 දක්වා පහළ වැටී ඇත. මෙය වාර්තාවකි. 2001 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඍණ 1.5ක් විය. ඉන්පසු ගත වූ වර්ෂ 16ක කාලය තුළ වාර්තා වූ අඩුම වර්ධන වේගය 2017 වසරේදීය. 2009 යුද්ධය පැවැති වර්ෂයේ පවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.5ක වේගයකින් වර්ධනය විය. එබැවින් එය වාර්තාවක් වුවද ජාලක පක්ෂයේ වාර්තාවක් බව පැහැදීලි වේ. 

යුද්ධය අවසන් වීමෙන් පසු 2010 සිට 2014 දක්වා ගත වූ වර්ෂ 5ක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ෂයකට සියයට 6.7කින් වර්ධනය විය. නව රජයේ ගත වූ වර්ෂ 3 තුළ එය වර්ෂකයට සියයට 4.2 දක්වා අඩු වී ඇත. ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් මෑතකාලයේ වාර්තා වූ විශාලතම පසුබැසීම මෙය බව පෙන්වා දිය යුතුව ඇත. 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ඡන්ද ප්‍රකාශනයේ මෙසේ සදහන් වේ. “පසුගිය වසර හය තුළ පැවති ආර්ථික වර්ධනය මෙන් දස ගුණයක ආර්ථික වර්ධනයක් මහාපරිමාණ දූෂණ නැවැත්වීමෙන් පමණක් ඇති කරනු ලැබේ”. 2015 අගෝස්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද ‘මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය’ නමැති මැතිවරණ ප්‍රකාශනයේ මෙසේ සඳහන් වේ. “ශ්‍රී ලංකාව සහ නැගෙනහිර ආසියාතික රටවල් වන සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව ආදී රටවල් අතර දැනට අතිවිශාල සංවර්ධන පරතරයක් පවතියි.

උසස් සංවර්ධනයක් ඇති කිරීමෙන් මෙම පරතරය පියවා අතිරේක රැකියා දස ලක්ෂයක් උත්පාදනය කිරීමට සහ ආදායම් ඉහළ නැංවීමට නිශ්චිත වැඩපිළිවෙළක් සංවිධානය කොට ඇත”. දස ගුණයක වර්ධනයක් කෙසේ වෙතත් පැවති මට්ටමෙන් අඩක වර්ධනයක් හෝ ඇතිකර ගැනීමට නොහැකි වී ඇත. නව පාලනයක් යටතේ පෙර පැවති තත්ත්වයට වඩා විශාල ආර්ථික වර්ධනයක් සහ වෙනසක් ඇතිකර ගැනීම පිළිබඳව ජනතාව තැබූ බලාපොරොත්තු තවදුරටත් පවත්වාගෙන යාමට කාලයක් සහ අවස්ථාවක් ලැබේ ද යන ප්‍රශ්නය මෙහිදී මතු වේ.

ජී.එස්.පී. සහනය නැවත ලබා ගැනීම, යුරෝපා රටවල පැවති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කීරීම, විවිධ රටවල් සහ ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාව කෙරෙහි වඩාත් හිතකර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ආදී හේතු නිසා ආර්ථික සංවර්ධනය සඳහා වඩාත් හිතකර වාතාවරණයක් ගොඩනැඟී ඇතැයි රජය ප්‍රකාශ කරයි. එසේ වුවද 2017 වසරේ ආර්ථික ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන විට එවැනි වාසිදායක සාධකවලින් රටේ ආර්ථික වර්ධනය සඳහා කිසියම් හෝ දායකත්වයක් ලැබී තිබේ ද යන සැකසංකාව මතුවීම වළක්වනු නොහැකිය. ආර්ථිකයේ පසුබැසීම සෑම ආර්ථික අංශකින්ම පිළිඹිබු වේ. 2017 වර්ෂයේදී කෘෂිකාර්මික අංශය සියයට 8කින් පහළ වැටුණු අතර කාර්මික අංශය සියයට 3.9කින් පමණක් ඉහළ ගියේය. සේවා අංශය 2016 දී සියයට 4කින් වර්ධනය වුවත් 2017 වර්ධනය සියයට 3.2කට සීමා විය. 2016 දී ඉදිකිරීම් සියයට 8.3කින් වර්ධනය විය. 2017 දී එය සියයට 3.1කට සීමා විය.

මේ ආකාරයට ආර්ථිකයේ කිසිදු අංශයක කැපී පෙනෙන ආකාරයේ වර්ධනයක් ඇති නොවීම තුළ පැහැදිලි වන්නේ උදාකර ගත්තේ යැයි ප්‍රකාශ කරන හිතකර සාධක ආර්ථික සංවර්ධනය කෙරෙහි කිසිදු ආකාරයකින් අදාළ වී නැති බවයි.

කෙසේ වුවද 2017 වසරේදී අපනයනවල කැපී පෙනෙන දියුණුවක් ඇති වී තිබේ. 2016 වසරේදී රටේ මුළු අපනයනවල වටිනාකම ඩොලර් මිලියන 10,310ක් වූ අතර එය 2017 වසරේදී ඩොලර් මිලියන 11,360ක් දක්වා සියයට 10.18කින් වැඩි වී ඇත. එසේ වුවද ආනයන ප්‍රමාණය දිගින් දිගටම වැඩි වී ආනයන සහ අපනයන අතර පරතරය අඛණ්ඩව වැඩි වීම නිසා අපනයන ඉපැයුම් වැඩි වීම තුළ ලැබුණු වාසිය අහෝසි වී ඇත. 2016 දී ආනයන-අපනයන පරතරය ඩොලර් මිලියන 8,873ක් වූ අතර 2017 දී එය ඩොලර් මිලියන 9,619ක් දක්වා සියයට 8කින් වැඩි වී ඇත. විදේශ අංශය සම්බන්ධයෙන් දක්නට ලැබෙන ඉතා භයානක තත්ත්වය වන්නේ මේ දක්වා රටට විදේශ සම්පත් ලබා දුන් විදේශ ශ්‍රමික ඉපැයුම් අංශයේ දක්නට ලැබෙන පසුබැසීමයි.

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාව සෑමවිටම තම අපනයන ඉපැයුම්වලට වඩා වැඩි වියදමක් ආනයන වෙනුවෙන් වැය කළේය. අපේ ආනයන මිලදී ගැනීමට අපනයනවලින් ලැබුණු ආදායම ප්‍රමාණවත් නොවීය. ඒ අඩුව පිරිමසන ලද්දේ විදේශ රටවල සේවා නියුක්තව සිටින පිරිස් විසින් එවන ලද විදේශ විනිමය අරමුදල්වලිනි. 2014 දී විදේශ සේවා නියුක්තිකයන් ශ්‍රී ලංකාවට එවූ අරමුදල් ඩොලර් මිලියන 6,407 සිට ඩොලර් මිලියන 7,018 දක්වා සියයට 9.5කින් වර්ධනය විය. 2015 දී එය සියයට 0.5කින් අඩු විය. 2016 දී එය සියයට 3.7කින් ඉතා සුළු මට්ටමකින් ඉහළ ගියේය. එහෙත් 2017 දී ඩොලර් මිලියන 7,164 දක්වා සියයට 1.1කින් අඩු වී තිබේ. රටේ විදේශ විනිමය ඉපැයීම සම්බන්ධයෙන් අපනයනවලට පමණක් දෙවන වන විදේශ සේවා නියුක්තිකයන්ගේ ඉපැයීම් මේ ආකාරයට අඩුවීම රට දැඩි අර්බුදකාරී තත්ත්වයක් වෙත යොමු කරනු ලබයි.

රජයේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගත්විට 2016 වසරේදී එය සියයට 5.4ක් වූ අතර 2017 දී සියයට 5.5ක් දක්වා ඉහළ ගොස් ඇත. අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජය විසින් දේශීය සහ විදේශීය වශයෙන් ලබාගන්නා ලද ණය අරමුදල් උපයෝගී කරගෙන තිබේ. රජය මේ වසරේදී ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,405 කි. රුපියල් මිලියන 859,395 කි. 2016 වසරේ දේශීය සහ විදේශීය ණය ඇතුළත් රටේ මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 9,387,303ක් විය. එය 2017 වසරේදී රුපියල් මිලියන 10,313,045 දක්වා වැඩි වී ඇත. වසරක් තුළ ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 925,742 කි. ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය 2017 වසරේදී ප්‍රථමවරට රුපියල් ටි්‍රලියනය ඉක්මවා ගොස් ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය දීමේ දී පනවා ඇති කොන්දේසි අනුව විනිමය වෙළෙඳපොළට මැදිහත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවට දැන් හැකියාවක් නැත. 2016 වසරේදී ඇමරිකානු ඩොලරයක් රුපියල් 145.6ක් විය. එය 2017 වසරේදී රුපියල් 152.85ක් විය. මේ රජය බලයට පත්වන විට ඩොලරයක මිල රුපියල් 130.56ක් විය. මේ වනවිට එය රුපියල් 160 දක්වා ඉහළ ගොස් ඇත. ඒ නිසා ආනයන මිල ඉහළ යෑම, අපනයන අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා අපනයන මිල ඉහළ යෑම, මහජනතාවගේ එදිනෙදා පරිභෝජන භාණ්ඩ මිල ඉහළ යෑම, ඉන්ධන, විදුලිය සහ ජල ගාස්තු ඉහළ යෑම වැනි තත්ත්වයන්ට දිගටම මුහුණ දීමට සිදු වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමය අනුව මහ බැංකුව වෙළෙඳපොළේ පවත්නා ඩොලර් මිලදී ගැනීම සඳහා විශාල මුදලක් දිනපතා වැය කරනු ලබයි. මේ දක්වා වෙළෙඳපොළේ ඩොලර් සැපයුම්කරුවකු ලෙස කටයුතු කළ මහ බැංකුව ඩොලර් මිලදී ගන්නකු බවට පත්කර ඇති නිසා ඩොලරයේ මිල තවත් ඉහළ යනු ඇත. මහ බැංකුවට ඒ සඳහා මුදල් නැති විට මුදල් මුද්‍රණය කිරීමට සිදු වේ. ඒ ආකාරයට සංචිත රැස් කිරීමෙන් රටට කිසිදු ප්‍රතිඵලයක් අත් නොවේ.

විනිමය අනුපාතය ඉහළ යෑම නිසා රටේ ණය ප්‍රමාණය ඉහළ යන බවට කෙරෙන ප්‍රකාශනවල කිසිදු සත්‍යතාවක් නැති බව මහ බැංකු අධිපතිවරයා ඉදිරියේදී බැංකු නිලධාරීන් පසුගිය දා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටි ආකාරය දැකගත හැකි විය. ඉන්පසු රජයේ මැති ඇමැතිවරුන් ද එවැනි ප්‍රකාශ කරනු දක්නට ලැබුණි. මහ බැංකු අධිපතිවරයා තමන් විසින් අත්සන් කර පසුගියදා මුදල් ඇමතිවරයාට පිළිගැන්වූ 2017 මහ බැංකු වාර්තාව නිකමට හෝ කියවා තිබුණේ නම් මෙවැනි ප්‍රකාශයක් කිරීමට ඉඩ නොතබනු ඇත. “ කෙසේ වුවද රජයේ මුළු ණය ප්‍රමාණය සියයට 9කින්, රුපියල් බිලියන 1032ක් දක්වා රුපියල් බිලියන 925.7කින් ඉහළ යෑමට හේතු වූයේ ශුද්ධ ණය ප්‍රමාණය ඉහළ යෑමත් විදේශ මුදල් ඒකකවලට අදාළව රුපියල අවප්‍රමාණ වීමත්ය.” (ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2017, ඉංග්‍රීසි පිටුව 212). ඩොලර්වලින් ගත් ණය ඩොලර්වලින්ම ගෙවන නිසා ණය වැඩි නොවන බවට මහ බැංකු නිලධාරීන් ඇතුළු රජයේ වගකිවයුත්තන් කරන වැරැදි ප්‍රකාශ මහජනතාව කොතරම් නොමඟ යවනසුළු ද යන්න ඉන් පැහැදිලි වේ.

ඩොලර්වලින් ණයට ගත් මුදල විනිමය අනුපාතයට අනුව රුපියල්වලට පරිවර්තනය කර ඒ අවස්ථාවේ භාවිතයට ගනී. එය ගෙවීමට සිදුවන විට ගෙවන අවස්ථාවේ පවත්නා විනිමය අනුපාතයට ඩොලර් මිලදී ගෙන ණය පියවීමට සිදු වේ. එබැවින් රුපියලේ අගය අඩුවන විට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඉහළ යෑම අනිවාර්යයෙන් සිදු වන්නකි. 

2017 මහ බැංකු වාර්තාවෙන් පැහැදිලි වන පරිදි ආර්ථික වර්ධන වේගය දිගින් දිගටම පහළ වැටීම, ආනයන වියදම වැඩිවීම, ශ්‍රී ලංකා ඉතිහාසයේ අති විශාලම ණය ගැනීම, අයවැය හිඟය වැඩිවීම, ජීවනබර වැඩිවීම, බදුබර වැඩිවීම, විදේශ සේවා නියුක්තිකයන්ගේ මුදල් එවීම අඩුවීම, රුපියල දිගින් දිගටම අවප්‍රමාණ වීම වැනි හේතු නිසා රට ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටී. ලබන වසරේදී ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවනු ඇත. පසුගිය වසර තුනේ රජයේ ක්‍රියාකාරීත්වය අනුව ජනාධිපතිවරණයට පෙර ඉතිරිව ඇති කාලය තුළ ආර්ථිකය හරිමඟට ගෙන ඒමට රජයට හැකි වනු ඇතැයි සිතිය නොහැක. අපේක්ෂා කළ හැක්කේ ජනාධිපතිවරණය අබියස මහජනතාව සතුටු කිරීම සඳහා වරදාන ලබා දීමට කරන උත්සාහයන් තුළ ආර්ථිකය නැවත ගොඩගැනීමට නොහැකි වන ආකාරයෙන් ඉතිහාසයේ දරුණුතම කඩාවැටීමකට ගොදුරු වීමකි.