පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව පිළිබඳව සාකච්ජා කිරීම වැදගත් වන්නේ ප්‍රධාන කාරණා කීපයක්ම නිසාය. පළමුවෙන්ම මේ සිද්ධියත් සමග මේ රටේ ආර්ථිකය බරපතළ කඩාවැටීමකට ලක්වූ බව පිළිගැනීම අනිවාර්ය බව විශේෂඥයන්ගේ මතය ය. ඒ කියන්නේ පසුගිය වසර 10 පමණ කාලයක් පුරා වෙළෙඳ ක්‍ෂේත්‍රය තුළ ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟෙමින් තිබූ ධනාත්මක තත්ත්වය සම්පූර්ණයෙන්ම කඩාවැටුණු බවයි. 

විදේශ වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරය පැත්තෙන් බලන විට මේ කඩා වැටීමේ ප්‍රමාණය අතිශයෙන්  බරපතළ ය.  ඒ අනුව මේ සිද්ධියෙන් ආර්ථිකයට සිදුවන බලපෑම ඉතාමත් විශාල බව විශේෂඥයන්ගේ මතය ය. දෙවැනිව මේ සිද්ධියත් සමඟ මෙරට ආගමික සමාජයේ තීරණාත්මක වෙනස්වීම් ගණනාවක්ම සිදුවීමට නියමිත බව පෙනී යන අතර ඒ හරහා සමාජයට සිදුවිය හැකි බලපෑම ද ඉතාමත් තීව්‍ර බව මගේ අදහසය. එහි ධනාත්මක පැත්ත වන්නේ සමහර ආගම්, ආගම් අතර මෙතෙක් නොතිබූ ආකාරයේ සම්බන්ධයක් ඇතිවීමට මේ සිදුවීම බලපානු ඇති බවයි. අනෙක් අතට එහි තිබෙන ඝෘණාත්මක හෙවත් අර්බුදජනක පැත්ත වන්නේ මේ සිද්ධියත් සමගින් සමහර ආගම් අතර තිබෙන විරසකය තවදුරටත් වැඩිවීමේ ප්‍රවණතාවක් තිබෙන බවය. මෙරට මුස්ලිම් සමාජයේ ලාංකීකභාවය ඉවත්වෙන පරිද්දෙන් සිදුවන ‘අරාබිකරණය’ යම් ආකාරයකට හෝ කළමනාකරණය කර ගැනීමට මෙරට මුස්ලිම් සමාජය අපොහොසත් වුවහොත් මේ අර්බුදය වඩාත් බරපතළ තත්ත්වයකට ගමන් කළ හැකි බව මගේ නිරික්ෂණය ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවෙන්නට නියමිත වෙනස්කම් අතරින් මේ කාරණා දෙකටම වඩා වැඩි බලපෑමක් සිදුවන තුන්වන කාරණය වශයෙන් මා දකින්නේ මේ සිද්ධියත් සමගින් මෙරට දේශපාලනයේ ඇතිවිය හැකි යැයි උපකල්පනය වන තත්ත්වය පිළිබඳවය. මා මේ ලිපියෙන් මූලික වශයෙන් සාකච්ජා කරන්නේ මේ තුන්වන කාරණය සම්බන්ධයෙන් වැදගත් වන කරුණු කීපයක් පිළිබඳවය. එනම් අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදුවූ ආගමික අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයත් සමගින් මෙරට බලදේශපාලනයේ සිදුවිය හැකියැයි මට පෙනෙන කරුණු කීපයක් පිළිබඳවය.

පළමුවෙන්ම පෙන්වා දියයුතු කාරණය වන්නේ මේ සිදුවීමත් සමගින් මෙරට සමාජයේ පහළ මධ්‍යම පන්තියේ හා ඉහළ මධ්‍යම පන්තියට මේ ආණ්ඩුව පිළිබඳව තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩා වැටුණු බවයි. මෙතැන මා මැද පන්තිය යැයි කියන්නේ නිදහස අධ්‍යාපනය හරහා පසුගිය වසර 70 පමණ කාලය පුරාවට සමාජයේ භෞතික සම්පත් හා සමාජ බලය යම් පමණකට අත්පත් කරගෙන සිටින සමාජ බලවේගයයි. මෙරට මැද පන්තියේ පහළ තීරුව කියන්නේ මධ්‍ය මහා විද්‍යාල කේන්ද්‍ර කරගනිමින් වර්ධනය වූ සිංහල භාෂාව මත සංවිධානය වී සිටින සමාජයේ රාජ්‍ය සේවයේ විශාල ඉඩක් ආවරණය කරන කණ්ඩායමයි. ඉහළ මධ්‍යම පන්තිය යැයි කියන්නේ සමාජයේ පහළ ආර්ථික තලයේ මූලයන් මතින් ආර්ථිකයේ හා බලධුරාවලියේ ඉහළ මාලයට ගොස් සිටින සමාජ කණ්ඩායම් ය.

මේ බෙදීම හරියටම නිශ්චිත එකක් නොවුණාට මෙයින් අදහස් කරන්නේ රටේ නිදහස් අධ්‍යාපනය හා අභ්‍යන්තර වෙළෙඳාම මත ගොඩනැඟුණු දේශීය ධනේශ්වර කණ්ඩායම්වල ප්‍රධාන නියෝජන දෙකක් පිළිබඳවය. සාහිත්‍යමය උදාහරණයකින් කියනවා නම් ගුණදාස අමරසේකරගේ නවකථාවල පියදාසගේ චරිතයෙන් කියවෙන මැද පන්තියේ දේශීය බුද්ධිමත් කණ්ඩායමත්, මාර්ටින් වික්‍රමසිංහගේ නවකථාවල එන සයිමන් කබලානලාගේ පන්තියෙන් කියවෙන මැද පන්තියේ ඉහළ සමාජයත් යන තීරු දෙකම මේ සිද්ධියත් සමඟින් බරපතළ අවුලකට පත්වී ඇති බව මගේ නිරීක්ෂණය ය. මා කියන  මේ සමාජ කණ්ඩායම දිර්ඝ කාලයක් පුරාවටම දේශපාලන වශයෙන් නියෝජනය කළේ ශ්‍රීලනීපය වුවත් 2015 දේශපාලන ක්‍රියාදාමය හරහා මේ කාණ්ඩයේ සැලකිය යුතු කොටසක් පැරණි ශ්‍රීලනීපයෙන් ඉවත්වී යහපාලනය හරහා  එජාපයේ ආණ්ඩුව පිළිබඳව විශ්වාස කරන්නට පටන් ගෙන තිබූ බව ඡන්ද ප්‍රතිඵලවලින්ද පෙන්නුම් කළ කාරණයක් විය. මගේ තේරුම් ගැනීම වන්නේ පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟින් මේ සමාජ තීරුව බරපතළ අර්බුදයකට හා අනාරක්ෂිත මානසිකත්වයකට පත්වූ බවයි. රාජ්‍ය සේවයේ පැත්තෙන් හා සමාජයේ අසහනකාරිත්වයේ පැත්තෙන් පමණක් නොව ආණ්ඩුව විශ්වාස නොකිරීම පැත්තෙන් විශාල වශයෙන් පසුගිය දවස්වල පෙන්නුම් කළේ මේ සමස්තයක් ලෙසින් සමාජ කණ්ඩායමේ තිබෙන අවිනිශ්චිත මනෝභාවයේ ස්වභාවය බව පැවසීමේ වැරැද්දක් නැත. මෙහිදී අවධානය යොමුවිය යුතු වැදගත් කාරණයක් වන්නේ මෙවැනි තත්ත්වයක් නිසා ඇති විය හැකි අර්බුද කවරේද යන්නයි.

මෙවැනි තත්ත්වයක් වර්ධනයවීම හරහා වියහැකි එක් ප්‍රතිඵලයක් වන්නේ මේ රටේ මැද පන්තිය මෙරට ප්‍රධාන දේශපාලන ධාරා කෙරෙහි යම් ආකාරයක විරෝධයක් ගොඩනඟා ගැනීමත් එම විරෝධය තුන්වෙනි බලවේගයක දේශපාලනයක් බවට පත්වීමේ ඉඩක් නිර්මාණය වීමත්ය. එවැනි තුන්වෙනි බලවේගයක් මගින් මේ මොහොතේ රටේ ආරක්ෂාව හෝ ආර්ථිකය ගොඩගැනීමේ හැකියාවක් නොමැති බව මගේ පිළිගැනීම වන නමුත් මේ ඇතිවී තිබෙන තත්ත්වය බොරදියේ මාළු බෑමකට කදිම තෝතැන්නක් නිර්මාණය කරන බවද තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය. ඒ නිසා පාස්කු ඉරිදායින් පසු ලංකාවේ දේශපාලනය ගමන් කරන්නේ ප්‍රධාන ධාරාවේ බල ව්‍යාපෘති වෙතින් මධ්‍යම පාන්තික සමාජය ඉවතට ගමන් කිරීමේ ඉඩක් ද සහිතව බව තේරුම් ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය. මේ මොහොතේ ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂ උපක්‍රම තේරිය යුත්තේ මේ දේශපාලන වර්ධනය සලකා බලමින් බව මගේ යෝජනාව ය.

මේ සිද්ධියෙන් පසු දේශපාලනය තුළ ඊළඟට වැදගත් බලපෑමක් සිදුවිය හැකි කලාපය ලෙසින් මා දකින්නේ සමස්තයක් ලෙසින් (ප්‍රධාන ධාරාවේ හෝ අලුත් ප්‍රවණතාවක හෝ) මෙරට සාම්ප්‍රදායික ඡන්ද දේශපාලනයේ බරපතළ වෙනසක් මේ සිද්ධියත් මගින් ඇතිවිය හැකි බවයි. මෙරට ඡන්ද දේශපාලනයේ පදනම ලෙසින් මෙතෙක් පැවතියේ යම් ආකාරයක වක්‍ර ආධිපත්‍යධාරිත්වයක් මගින් ඡන්දය තීරණය කිරීමයි. කැපුවත් කොළ හෝ කැපුවත් නිල් යන ප්‍රකාශයෙන් ඒ දවස්වල කීවේ මේ වක්‍ර ආධිපත්‍යයේ තිබුණු හෙජමොනික බලයේ ස්වභාවය යයි. හෙජමොනි :්‍යැටැපදබහ* යන ඉංග්‍රීසි වචනයෙන් කියවෙන්නේ ‘නොපෙන්වන සුළු එහෙත් බරපතළ බලයක් නොපෙනෙන ආධිපත්‍යයක් ලෙසින්’  අපව පාලනය කිරීමයි. එක පැත්තකින් බලන විට ආගම්වලින් පෙන්නුම් කරන්නේ යම් ආකාරයක හෙජොමනික බලයක් සාමාන්‍ය ජනයා වෙත මුදාහැරීම යැයි පැවසීමේ වැරැද්දක් ද නැත. අනෙක් අතට අපේ රටේ දේශපාලන පක්ෂ පදනම් වූයේම යම් ආකාරයක හෙජමොනික බල ආධිපත්‍යයක් සමාජය වෙතට මුදාහරිමින් බව පිළිගත හැකි සත්‍යයක් ය. ප්‍රධාන පක්ෂයකින් එන ඕනෑම දුර්වලයකු කුඩා පක්ෂයකින් එන අතිශයෙන්ම බරපතළ චරිතයක් වුව පරාජයට පත්කරන්නේ පක්ෂයට තිබෙන මේ හෙජමොනික බලයද උපකාර කර ගනිමින්ය. දකුණු ආසියාතික කලාපයේ රටවල තිබෙන කුලය හා ප්‍රවේණිගත බලය වැනි දේවල් ද දේශපාලනය තුළට පැමිණ කරන බලපෑමේ ද විශාල කෑල්ලක් නියෝජනය කරන්නේ මේ කියන දේශපාලනමය වූ හෙජමොනික පැවැත්මේ කථාව ම ය. 

මගේ නිරීක්ෂණය වන්නේ මේ 2015 ජනවාරි මෙරට සිදුවූ බල මාරුවෙන් පටන් ගත් දේශපාලන ගමන් මාර්ගයක එක්තරා ආකාරයේ තීරණාත්මක මංසන්ධියක් මේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දේශපාලනය සමඟ ගැටගැසී ඇති බවයි. එසේම මෙතෙක් දේශපාලන පක්ෂයක් වෙතට ගොනුවූ ඡන්ද ප්‍රමාණය අඩු වෙමින් පෞද්ගලික තෝරා ගැනීමේ දේශපාලනයක් දක්වා සමාජයේ සැලකිය යුතු පිරිසක් චලනයවීමේ ඉඩක් මේ සිද්ධියත් සමඟින් ගොඩනැඟී ඇති බවත් පෙනේ. මා මෙහිදී උත්සාහ කරන්නේ එවැනි ප්‍රවණතාවක් ගොඩනැඟෙන බව හඳුනාගැනීමට මිස එවැනි ප්‍රවණතාවක හොඳ නරක ගැන විනිශ්චයක් ලබාදීමට නොවේ. බටහිර දේශපාලන න්‍යාය උගන්වද්දී කියැවෙන පරිද්දෙන් ජනතාව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදි තීරණය වෙනුවෙන් ස්වයංවම පෙනී සිටින තත්ත්වයක් මේ වන විටත් සමාජයේ නාගරික කොටස්වලින් පෙන්නුම් කරමින් තිබෙන්නේ මේ වර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙන් බව පිළිගත හැකිය. මේ වර්ධනයේ තාර්කික ප්‍රතිඵලය වන්නේ ජනාධිපතිවරණයක් වැනි අවස්ථාවක පක්ෂ හෝ කණ්ඩායම් යන සාධකයන්ට  සමාන වූ බලයක්  හෝ ඊටත් වඩා වැඩි බලයක් පෙන්වන පුද්ගල සාධක මතුවීමේ පැත්තකට සමාජය ගමන් කිරීමය. මේ වනවිට ජනාධිපතිවරණය අපේක්ෂකත්වය සඳහා විවිධ පුද්ගලයන්ගේ (ක්‍රීඩකයන්ගේ හා ව්‍යාපාරිකයනගේ) නම් සමාජයට තල්ලුවීමට හේතුව අප තේරුම් ගත යුත්තේ මෙවැනි සන්දර්භයක් තුළය. මේ බොහෝ පුද්ගල නාමයන්ට මේ මොහොතේ රටේ ඇති ප්‍රධාන ජනාධිපතිවරණයක් ජයගැනීමේ ඉඩක් පෞද්ගලිකව නොමැති බව පැහැදිලි කාරණයක් වුවත් එවැනි ‘නම් දමා ගැසීමක්’ :භ්පැ ෘරදචචසබට* හරහා සමාජයේ තිගැස්මක් ඇති කිරීමේ ඉඩ නිර්මාණය වී ඇත්තේ පාස්කු ඉරිදායින් පසු දේශපාලනයේ ඇති අවුල් සහගතභාවය නිසා බව මගේ නිරීක්ෂණය ය.

මේ තත්ත්වයට අමතරව පාස්කු ඉරිදා සිද්ධිය මගින් වර්ධනය වෙමින් පවතින තවත් දේශපාලන තත්ත්වයක් වන්නේ මේ රටේ ඡන්දදායකයන්ගේ පැත්තෙන් පෙන්නුම් කළ අලුත් දේශපාලන චර්යාවයි. මෙරට සමාජය සාම්ප්‍රදායික වශයෙන් ඡන්දය පාවිච්චි කළ ආකෘතිය වූයේ බහුතර සමාජය සාම්ප්‍රදායික වශයෙන් තමන් අනුගතවී සිටින පක්ෂයට දිගටම ඡන්දය පාවිච්චි කිරීමත් සුළුතර කොටසක් ඒ ඒ කාලවලට අනුව හා අභියෝගවලට අනුව තමන් ඡන්දය ලබාදෙන පක්ෂය හෝ පුද්ගලයා වෙනස් කරමින් ඡන්දය පාවිච්චි කිරීමත්ය. විශේෂයෙන්ම මේ වනවිට පෙන්නුම් කරමින් තිබෙන තත්ත්වයක් වන්නේ මේ කියන දෙවන කණ්ඩායම බරපතළ ආකාරයකින් වර්ධනයවීමක්ය. ඒ කියන්නේ තමන්ගේ ඡන්දය හා රටේ ප්‍රශ්න අතර සම්බන්ධතාවක් තිබෙන බව පිළිගනිමින් දේශපාලන චර්යාව වෙනස් කරන ප්‍රවණතාවයෙහි බරපතළ වර්ධනයක් සිදුවීමයි.

මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීම ඉදිරි දේශපාලනයක වැදගත් කාරණා බව ඉතාමත් පැහැදිලි සත්‍යයක් ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන 
අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
ආචාර්ය චරිත හේරත්