පොදු සන්ධානයක් තනා ගැනීම අරබයා ජනපතිවරයා කැපව සිටින ආකාරය සැළකිල්ලට ගැනීමේදී, ඔහු පොදු අපේක්ෂකයා ලෙස නම් නොකෙරුණ ද, නව සන්ධානය හා එක්ව කටයුතු කරනවා හැරෙන්නට ඔහුට වෙන කළ හැකි දෙයක් නොවේ. එක්සත් ජාතික පෙරමුණ සමග කිසිදු අයුරකින් සන්ධානගත වීම තරයේම බැහැර කර තිබෙන ජනාධිපතිවරයා, එම පක්ෂයට සහාය දක්වන සාමාජිකයන් කොටසක් ද සිටින, බෙදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක නායකයා ද වෙයි. 

එම සාමාජිකයන්ට කණ්ඩායමක් ලෙස වේවා, තනි පුද්ගලයින් ලෙස වේවා හෝ එක්සත් ජාතික පෙරමුණ හා සම්බන්ධවීම ජනාධිපතිවරයා විසින් අහුරා දමන ලදි. මෙම තත්ත්වය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බෙදී පැමිණීමට සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගේ සහායෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යැයි නව සන්ධානයක් පිහිටුවා, එහි පොදු අපේක්ෂකයා ලෙස ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත්වීමට දල්වාගෙන සිටි සිහින බොඳව ගියේ අන් කිසිවෙකුගේවත් නොව එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේය.

ජනපති සිරිසේන මහතාට සියල්ල අහිමිව තිබෙන බවක් මින් අදහස් නොවේ.

ගෙවෙන දිනයක් පාසාම ඉහළ වැදගත්කමක් හිමිවෙමින් තිබෙන, මේ දිනවල තිරය පසුපස පැවැත්වෙමින් තිබෙන ප්‍රමුඛ පෙලේ සාකච්ඡාවලින් අවධානය යොමු කර තිබෙනුයේ ප්‍රධාන පෙලේ දේශපාලන නායකයින් සියලුදෙනාටම කුමන හෝ ජයග්‍රහණයක් අත්වන තාලයේ විසඳුමක් සොයාගැනීමටය. 

ප්‍රතිඵලය ඒ අයුරින්ම වනු ඇතැයි දැනට දැකගන්නට නැතත්, ඒ අරබයා වන කටයුතු ඉතාම සක්‍රීයව දියත් කැරෙමින් තිබේ. අදහස වන්නේ ප්‍රධාන කරුණු මත අවධානය යොමු කෙරෙන, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සදහා එකගතාවයක් ඇතිකර ගැනීමය. එම කරුණු අතර එකක් වන්නේ විධායක ජනපතිධූරය අහෝසි කිරීම සහ එය විධායක අගමැතිධූරයකින් ප්‍රතිස්ථාපනය කිරීමයි. 

වත්මන් ජනපතිවරයා වන ජනපති සිරිසේන මහතා ඉන් අනතුරුව තවත් වසරක කාලයක් විධායක නොවන ජනපතිවරයා ලෙස ධූරයේ රැදී සිටීමට නියමිත අතර  ඒ සදහා වන ජනමත විචාරණයක් පාර්ලිමෙන්තු මැතිවරණය අවසානයේ පැවැත්වෙනු ඇත. 

ලබන මාර්තු මස 5 වැනිදාට යෙදී තිබෙන අයවැය ප්‍රකාශනයෙන් පසු වහාම මෙම කටයුතුවලට අවධානය යොමු කැරෙනු ඇතැයි ඇතැමෙක් විශ්වාසයෙන් සිටිය ද, තවත් අය පවසන්නේ ගැටලු බොහෝමයක් විසඳාගත යුතුව තිබෙන නිසා එයට තවත් කල්ගතවනු ඇති බවය.

ව්‍යවස්ථාමය වෙනස්කම් කිරීමට සහ අනතුරුව පැවැත්වෙන ජනමත විචාරණයක් සදහා හේතුපාදක වන මෙවැනි පියවරක් සාර්ථක කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේම සහාය ඒ සදහා ලබාගත යුතුම වේ. මෙම ක්‍රියාමාර්ගය සැළසුම් කර තිබෙන ආකාරයෙන් දියත්වුවහොත් ඒ හරහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නොනිල නායක තැන වන මහින්ද රාජපක්ෂ මහතාට ද එක හා සමානව වාසිදායක තත්ත්වයක් නිර්මානය වේ.

කුමන පාර්ශවය ජයගත්ත ද, කිසිදු බාධකයකින් තොරවම අගමැතිධූරය තමන් සතුකරගැනීමට ජයග්‍රාහකයාට හැකිවනු ඇත. එක්සත් ජාතික පක්ෂය සැළකිල්ලට ගැනීමේ දී ඒ අරභයා ඔවුනට ගැටලුවක් මතු නොවනු ඇත්තේ දැනටමත් පක්ෂ නායකයා රටේ අගමැතිවරයා වන බැවිනි. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සැළකීමේ දී, පක්ෂයේ අගමැති අපේක්ෂකයා තෝරාගැනීමේ දී ඔවුනට ගැටලුවලට මුහුණදීමට සිදුවීමේ ඉඩක් තිබේ. 

පොදුවේ ඔවුන් අතර පවතින එකගතාවය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති පුටුවට පත් කිරීමය. මේ සම්බන්ධයෙන් ජනපති සිරිසේන මහතා  ඌණ පූර්ණයක් එක් කළේ ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් ඔහුට ඇති ගැටලු ගෙනහැර දක්වමින් පසුගියදා පාර්ලිමේන්තුවේ දී කළ කතාවේදීය. ඔහු කතාව අවසන් කළේ මෙලෙසය.

“2015 ජනපතිවරණයෙන් මා පැමිණියේ විධායක ජනපතිධූරය අහෝසි කිරීමට බව මම පිළිගන්නවා. විධායක ජනපතිධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙම ගරු කටයුතු සභාව ගන්නා ඕනෑම තීරණයකට මම ගරු කරනවා. මම ඒ තීරණය අනුව කටයුතු කරනවා”
පාර්ලිමෙන්තු මැතිවරණය යනු “ගැලවීමට තිබෙන හොදම මාර්ගය” බව ජනපති සිරිසේන ලියුම්කරු සමග පැවසුවේ ය.

“අද තියෙන පාර්ලිමෙන්තුව ස්ථාවර නැහැ. මෙහෙම තත්ත්වයක අපි කොහොමද ඉදිරියට යන්නේ? පාර්ලිමෙන්තු මැතිවරණයක් තියෙනවා නම් ඒක ජනතාවටත්, රටටත් හොඳයි. පවතින තත්ත්වය විදෙස් ආයෝජනවලට, සංවර්ධනයට විතරක් නොවෙයි ජනතාවගේ මානසික තත්ත්වයටත් අනිසි ලෙස බලපානවා” යයි ජනාධිපතිවරයා කිවේය. 

අනතුරුව සාකච්ඡාව යොමුවූයේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයටය.

“මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. පැවති සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මේ මැතිවරණය පැවැත්විය යුතුව තිබෙන බවට මා යෝජනා කළා. අගමැතිවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය ඊට එකගතාවය පලකළේ නැහැ. මේ සම්බන්ධයෙන් කතානායකවරයා හා සාකච්ඡා කරන්නට අවස්ථාවක් ලබාදෙන ලෙස අගමැතිවරයා පසුව මගෙන් ඉල්ලා සිටියා. මේ ගැන ඔහු, ඔහුගේ කණ්ඩායම හා සාකච්ඡා කරමින් සිටින බව මා දන්නවා. නමුත් එම සාකච්ඡා පැවැත්වෙන්නේ මැතිවරණය පවත්වන්න ද, නැතිනම් නොපවත්වා සිටින්න ද, යන්න ගැන නම් මා දන්නේ නැහැ”

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව තහවුරු කිරීමේ වගකීම කා හට අයිති දෙයක් ද? මම ජනපතිවරයාගෙන් ඇසුවෙමි.

“එය අගමැතිවරයාගේ වගකීමක් බව මට පැහැදිලිවම කියන්න පුලුවන්. වසර එකහමාරකට ඉස්සෙල්ලා, උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභාවල ධූර කාල අවසන් වුනා. මැතිවරණ පැවැත්වීමට අපොහොසත්වීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. ඒ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුව අතේ. එයට වගකිවයුත්තා තමයි අගමැතිවරයා”

“අගමැතිවරයාට මැතිවරණ පැවැත්වීමේ වුවමනාවක් නැති බවක් මට දැනෙනවා. මැතිවරණ පැවැත්වීමේ තීරණය ගත යුත්තේ රජයක්. නමුත් ඒ සම්බන්ධයෙන් වන යෝජනා කිසිවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන නැහැ. එය රජය කළ යුතු දෙයක්” ඔහු පිළිතුරු දුන්නේ ය.

පසුගිය අගහරුවාදා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති පක්ෂ නායක හමුවේ දී සාකච්ඡාවට ගැනුණු ප්‍රධාන මාතෘකාව වූයේ ද පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් සභා මැතිවරණයන්ය. කතානායක කරූ ජයසූරිය මහතා මුලසුන හෙබවූයේය. 

අපේක්ෂා කළ ආකාරයෙන්ම, එහිදී අවසන් තීරණයක් නොගැනිණ. දීර්ඝ සාකච්ඡාවකින් පසුව තීරණය වූයේ සාකච්ඡාවක් සදහා නීතිපති ජයන්ත ජයසූරිය මහතාට සහ ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ආරාධනා කිරීමටය. පැහැදිලිව කියතොත්, පළාත් සභා මැතිවරණයන් පැවැත්වීමේ වුවමනාවක් රජයට තිබෙන්නේ නම්, ඔවුන් කළ යුතු එකම දෙය වන්නේ පවත්නා මැතිවරණ නීතියට අවශ්‍ය සංශෝධනයන් කඩිනමින් සිදුකර පැවැති සමානුපාතික ක්‍රමය යටතේම මැතිවරණය පැවැත්වීමය.

ජනපති සිරිසේන මහතාට සමීප ආරංචි මාර්ගයන් සදහන් කරන ආකාරයට මෙම ජේ්‍යෂ්ඨ රාජ්‍ය නිලධාරීන් දෙපළට සාකච්ඡාවක් සදහා ආරාධනා කෙරෙන්නේ හුදෙක් කල්මැරීමට සහ නැගී තිබෙන චෝදනාවලට යම් පිළිතුරක් සපයා ගැනීමට පමණකි. ඇත්තෙන්ම, එක්සත් ජාතික පෙරමුණට (ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බවට පාරම් බෑවද) පැරණි ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට තමන් විරුද්ධ බව පවසා සිටිය හැකිය. එසේ නම් මැතිවරණය පැවැත්විය යුත්තේ නව ක්‍රමය (60්‍ර ක් කේවල ක්‍රමය යටතේ සහ ඉතිරිය සමානුපාතික ක්‍රමය යටතේ අපේක්ෂකයින් තෝරාගැනෙන මැතිවරණ ක්‍රමය) යටතේය. 

කෙසේ වෙතත් එම ක්‍රමය භාවිතයට ගැනීමට නම් පළාත් සභාවල සීමා නීර්ණය කිරීම අත්‍යාවශ්‍යය. සීමා නීර්ණ කමිටුවක් හරහා එම වාර්තාව ඉදිරිපත් කැරුණ ද එය පිළිනොගැනිණ. එම වාර්තාව විවරණය කිරීම සදහා අගමැතිවරයා ප්‍රමුඛ කමිටුවක් පත් කෙරුණ ද, එහි වාර්තාව මෙතෙක් ලබා දී නොමැත.

මැතිවරණයන් පැවැත්වීමේ අරමුණින් පළාත් සභා අමාත්‍යංශය සියතට ගැනීමේ අදහසක් තිබෙන්නේ ද යන්න විමසා සිටි විට,
“19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව එවැනි දෙයක් කිරීමට හැකියාවක් නැහැ. මා යටතේ දැනට තිබෙන අමාත්‍යංශ හැරෙන්නට තවත් අමාත්‍යංශ පවරා ගන්නට මට හැකියාවක් නැහැ” යැයි ජනපති සිරිසේන මහතා පිළිතුරු දුන්නේ ය.

පළාත් සභා මැතිවරණ පැවැත්වූයේ නැතිනම් ඔබට මොනවා ද කරන්න පුලුවන්?

“අගමැතිවරයාගේ පාර්ශවයෙන් වූ ව්‍යවස්ථා කඩකිරීමක් ලෙස එය හදුන්වාදෙන්න පමණයි මට පුලුවන්. ඔවුන් එම වගකීම ගතයුතුයි. ගැටලුව විසදීමේ සමත් යෝජනාවක් පාර්ලිමෙන්තුවේ සම්මත කරගත යුතුයි.”

තවත් වචනවලින් කියතොත් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයැයි ජනපතිවරයා මොර ගෑව ද, පැවැත්වෙන බව සහතික කිරීමට ඔහුට හැකියාවක් නොමැත. අඩුම තරමින් නෛතිකව හෝ ඔහුට එවැනි අවසරයක් හිමි නැත.

පසුගිය බදාදා දින පාර්ලිමේන්තුව අමතමින් ඉතා දීර්ඝ කතාවක් කළ ජනපති සිරිසේන මහතා ව්‍යවස්ථා කවුන්සිලය ඉතා දැඩි ලෙස විවේචනය කළේ ය.

“උසස් අධිකරණවල විනිසුරුවරුන්ට උසස්වීම් ලබාදීමේ දී ඔවුන්ගේ ජේ්‍යෂ්ඨත්වය සළකා කටයුතු කරන්නය කියා මම ව්‍යවස්ථා කවුන්සිලයට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ව්‍යවස්ථා කවුන්සිලය දිගින් දිගටම මේ නිර්දේශ ප්‍රතික්ෂේප කළා.එයට හේතු දැක්වීමක් පවා ඔවුන් සිදුකළේ නැහැ. මේකට හේතුව මොකක් ද”

“ව්‍යවස්ථා කවුන්සිලයෙන් මා වෙත යොමුකළ වාර්තා මම ඉතාම වුවමනාවෙන් කියවා බැලුවා එහෙම හේතුවක් හොයා ගන්නට. නමුත් කියන්න කණගාටුයි ඒ එකම වාර්තාවකවත් විනිසුරුවරුන්ගේ නම් ප්‍රතික්ෂේප කරන්නට හේතු දක්වලා තිබුනේ නැහැ. ඒ විතරක් නොවෙයි, මේ නිර්දේශ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා දරන අදහස ගැනවත්, ඔහුගේ නිර්දේශ මොනවාද යන්න සම්බන්ධයෙන්වත්, මේ නිර්දේශ ගැන ඔහුගේ මතය ගැනවත්, ව්‍යවස්ථා කවුන්සිලය මාව දැනුම්වත් කළේ නැහැ”

“උසස් අධිකරණවලට විනිසුරුවරුන් පත්කිරීම සම්බන්ධයෙන් මම ඉදිරිපත් කර තිබෙන නිර්දේශවලට අගවිනිසුරුවරයා කිසිදු විරෝධයක් දක්වා නොමැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් මට දැනුම්දීලා තිබෙනවා. අගවිනිසුරුවරයා කිසිදු විරෝධයක් නොදක්වාම මේ සියලුම නිර්දේශයන් පිළිගෙන තිබෙනවා. මේ තත්ත්වය යටතේ, මගේ නිර්දේශයන් ප්‍රතික්ෂේප කරන්නට තරම් ව්‍යවස්ථා කවුන්සිලයට තිබෙන බලය මොකක්ද කියා මට ගැටලුවක් තිබෙනවා”

“මේ වගේ හැසිරීම්වලින් ව්‍යවස්ථා කවුන්සිලය පෙන්වා දෙන්නේ එය අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටින බවයි”

“එපමණක් නොවෙයි, බලය බෙදී තිබෙන ආකාරය ගැනවත් ගරුත්වයක් නොමැති බවත්, අධිකරණයේ ස්වාධීනත්වයට හානි පමුණුවන ආකාරයෙන් කටයුතු කරන බවත්, ව්‍යවස්ථා කවුන්සිලය පෙන්වා දී තිබෙනවා”

ජනපති සිරිසේන මහතා මෙම අදහස් පලකළ දිනයේම ව්‍යවස්ථා කවුන්සිලය ද රැස්විය. 

ජනපතිවරයා තමුන් කෙරේ උරණ වීමට බලපා තිබෙන අලුත්ම කාරණය වන අභියාචනාධිකරණය සදහා ප්‍රධානියෙක් පත්කිරීම එදින සාකච්ඡාවට ගැනුණු මාතෘකාව විය. 

ජනපතිවරයා එවා තිබූ ලිපියක් සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතා කවුන්සිලයේ සාමාජිකයන් දැනුම්වත් කළේය. කෙසේ වෙතත්, ව්‍යවස්ථාව සැළකිල්ලට ගෙන සිය නිර්දේශය ඉදිරිපත් කර තිබූ අගවිනිසුරුවරයා එයින් දන්වා තිබුණේ අභියාචනාධිකරණ ප්‍රධානියා ලෙස යෝජනා කර තිබෙන පුද්ගලයා ඊට නුසුදුස්සෙකු බවය. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට මෙම පුද්ගලයාවම යෝජනා කර තිබූ පෙර අවස්ථාවක අගවිනිසුරුවරයා ඊට සිය අනුමැතිය ලබා දී තිබිණ. අධිකරණ ආරංචි මාර්ගයක් විස්තර කළ ආකාරයට තනතුරු දෙක සදහා පැවරී තිබෙන රාජකාරි එකිනෙකට වෙනස් වීම එයට හේතුවය. අදාළ පුද්ගලයා අභියාචනාධිකරණ ප්‍රධානියා ලෙස පත් නොකිරීමට ව්‍යවස්ථා කවුන්සිලය තීරණය කර ඇත්තේ ඒ නිසාය. 

බ්‍රහස්පතින්දා පැවැති රැස්වීමෙන් පසුව මෙම කාරණය සම්බන්ධයෙන් ජනපතිවරයා දැනුම්වත් කිරීමටත්, අනතුරුව අවසන් නිගමනයකට එළැඹීමටත්, ව්‍යවස්ථා කවුන්සිලය තීරණය කළේය.

සාකච්ඡාවේ දී ජනපති සිරිසේන මහතා පැහැදිලි කළේ ව්‍යවස්ථා කවුන්සිලය ක්‍රියාත්මක විය යුත්තේ 19 වැනි සංශෝධනයට අනුව බවය. නමුත් එය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් රෙගුලාසි හෝ ක්‍රියාපටිපාටියක් හෝ නොමැති බව ඔහුගේ අවධානයට ලක්විය. එවැනි දේ අදාළ පරිදි සකස් කිරීම සහ ගැසට් කිරීම සිදුවිය යුතුවම ඇති බව ඔහු අවධාරණය කළේ ය.

“මොකද, මම තමයි 19 ඒ සංශෝධනය වෙනුවෙන් මනාප 215 ක් දිනා දුන් පුද්ගලයා. ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව මම හමුවුනේ ඔවුන්ගේ නිවෙස්වලටම ගිහිල්ලා. නමුත් බලය දිනාගත්තු උදවිය ඒක වැරදියට භාවිතා කළා” යයි කී ජනාධිපතිවරයා ව්‍යවස්ථා කවුන්සිලය අධිකරණය හා සමානව ක්‍රියාත්මක විය යුතුව තිබෙන බවද කීවේ ය.

2015 වසරේ සිට ඔහු ඉදිරිපත් කළ නිර්දේශයන් 14 ක්ම ව්‍යවස්ථා කවුන්සිලය ප්‍රතික්ෂේප කර ඇතැයි ජනපතිවරයා නගන චෝදනාව හමුවේ ඇතැම් ව්‍යවස්ථා කවුන්සිල සාමාජිකයෝ අතිශය කෝපයට පත්ව සිටිති.

“සැළකිය යුතු නම් ප්‍රමාණයක් නිර්දේශ කෙරුණු විට, අපි තෝරාගන්නේ වඩාත්ම ගැලපෙන පුද්ගලයාව. ඉතින් ඇත්තටම අනෙක් පුද්ගලයන්ට තැනක් හිමිවන්නේ නැහැ. මේ ඔක්කෝම එකතු කරලා ඉතාම කණගාටුදායක සහ අසාධාරණ ලෙස අපේ පැත්තට පහර එල්ල කරලා තිබෙනවා. ඒ වගේම අභියාචනාධිකරණයේ ප්‍රධානියා ලෙස නිර්දේශ කෙරුණු පුද්ගලයාව එම තනතුරට පත්කිරීමට එරෙහිව අගවිනිසුරුවරයා අපට කරුණු දක්වා එවා තිබෙන බවත් අප ඔහුට දැනුම් දී තිබෙනවා” යයි ව්‍යවස්ථා කවුන්සිලයේ ආරංචි මාර්ගයක් පැවසුවේ ය.