දින 51 මගින් ජනිත කළ අපකීර්තිමත් ඉතිහාසය ශේෂ කළ යමක් නැති තරම්ය. එකී දුර්භාග්‍යමත් සමය සපුරා අවසන්ව ඇතැයි සිතිය නොහැක්කේ වුව ද 19ට අනුගතව බිහි වූ කැබිනට්ටුව සංඛ්‍යාත්මක ව බැලූ කල නරක නැත. ව්‍යුහාත්මක විග්‍රහයක්කරන්නකුට නම්නම් එය වියපත් දේශපාලකයන් තුටු පහටු කරන ලද්දක් විනා විද්‍යාත්මක යමක් නොවන්නේය. එකී අඳුරු වළා මැද වුව යම් රිදී රේඛාවක්පාදා ගැනීමට ජනාධිපතිවරයා සතුව තිබූ අවසන් තුරුම්පුව ද පෙරසේම වියැකී ගොස් ඇතැයි නොකියා බැරිය. 

එක්සත් ජාතික පක්ෂයට මින් මනත කපෝති නම් ගසන්නට ඉඩක් නොදෙමැයි කටමැත දෙඩවුව ද ඔහු ගෙවී ගිය හතළිස් මසේ ම කරන ලද්දේ කපෝති ගසන සූදුකරුවන්ගෙන් ටෝන් එකතු කරගනිමින් කඩුව මුවහත් කරන්නකුගේ භූමිකාවවිනා වෙන අන් යමක් නොවේ. 

මාග්‍රට් හිල්ඩා තැචර් යනු වසර 1975 සිට වසර 1990 තෙක් බ්‍රිතාන්‍යයේ පරසිදු කොන්සර්වේටිව් පක්ෂය මෙහෙයවන අතරතුර වසර 1979 දී පමණ එරටේ අගමැති ධුරයට පත්වනොමැකෙන නමක් බිහිකළ යකඩ ගැහැනියයි. ඇයගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කළ 80 දශකයේ මුල් භාගය එරටේ ආර්ථික වෘද්ධියේ අවරෝහණයක් සනිටුහන් කළ අභාග්‍යවත් සමයකි. 

මෙකී යකඩ ගැහැනිය එකී ආර්ථික නස්පැත්තියෙන් බ්‍රිතාන්‍යය ගලවා ගත්තේ කෙලෙස ද යන්න අද ද එරටේ සරසවි ප්‍රජාවේ අධ්‍යයනයට රුචි විෂය ක්ෂේත්‍රයකි. එකී ආනුභාවාත්මක මැදිහත්වීම මූර්තිමත් කිරීමේ අත්දැකීමක් අද ද ජනසභාවල රැව් පිළිරැව් දෙන්නේය. එනම් ඇය බලයට පත් වූ වහාම කළ එක් කාර්යයක් වූයේ සියලු ස්ථිර ලේකම්වරුන් ඇතුළත්ව අනෙකුත් ඉහළ පෙළේ නිලධරයන් කැඳවා රස මසවුළු සපිරි ප්‍රනීත සාදයක් සංවිධානය කිරීමයි. මීවිත ද උතුරා ගිය එකී සාදයහා ඒකාත්මිකඉහළ නිලධරයන් සමූහය සිත් සේ රිසි රිසි පරිදි සන්තුෂ්ටියෙන් රංචු ගැසී පයුරු පායාසනයේ යෙදෙනයුරු නිරීක්ෂණාත්මක වූ අප කතානායිකාව සාදය නිමැවීමට ප්‍රථම තම හඬ අවදි කළාය. ඇයගේ කෙටි අදහස් දැක්වීමේ සංක්ෂිප්තයමෙපරිදිය.

“ඔබ සියලු දෙනා අපමණ ප්‍රීතියෙන් කා බී නටා ගයා පිබිදුණු මනසින් අල්ලාප සල්ලාපයේ යෙදෙනු මම දුටුවෙමි. එහෙත් මම විමතියට පත් කළ කරුණ වූයේ මේසා විපත්තිදායක කාල සමයක ඒ ගැන අල්ප මාත්‍ර සංවේදනාවක් නැති ඔබලා කිසිදු අහේනියක සේයාවකුදු නොදක්නා පරිද්දෙන් නටමින් ගයමින් පමණක් තෘප්ත වීමයි. ඔබගෙන් එකෙකුන් හෝ අප ගිලී ඇති ආර්ථික අවපාතයෙන් ගොඩයන මාවතක් පිළිබඳ සංවාදගත වීමට මේ ස්වර්ණමය මොහොත උපයෝගී කර නොගත්තේය. මේ ජවනිකාවට නැවතීමේ තිත තැබිය යුතු කාලය එළඹී ඇති බව මගේ හැගීමයි.”

මෙකී දේශනාව අවසන ඇය සාදයෙන් නික්මුණ ද එහි ආ ඉහළ පෙළේ නිලධරයන් සමූහය ඉනික්බිතිවහෝරා කිහිපයක් බිරාන්ත වූ සෙයියාවෙන් එතැනම රැඳී සිට ඇති බව පසු කලෙක ප්‍රචලිත විය. එය එලෙසම ප්‍රායෝගිකව අත්හදා බැලූ ඇය, එළඹුණුසතියේ පළමු දින ම එකී නිලධරයන්ගේ මේස මත තැබූ නිල නිවේදන මගින් දැක්වූයේ මින් පසු රජයේ සියලු වරප්‍රසාද හිමිවනු ඇත්තේජ්‍යෙෂ්ඨත්වය පමණක් සලකා බලා නොව කාර්ය සාපල්‍යත්වයේ දිග පළල අනුව බවයි.

එකී ප්‍රවේශය අද ද බ්‍රිතාන්‍යය ඉහළට ඔසවා තැබූ සාධකවලින් එකක් ලෙස නොපිළිගන්නා දේශපාලන විරුද්ධවාදීන් පවා දුලබ බව පැවැසීම අතිශෝක්තියක් නොවේ. මේ විස්මිත යකඩ ගැහැනිය එලෙස පුරුෂ අධිපතිවාදීන් දුර්මුඛ කරද්දී, මෙරටේ ජන ආකර්ෂණය සමගින් අතිශය බහුතර බලයකින් බලයට පත් විධායක බලැති චන්ද්‍රිකා මැතිනිය අවසන නික්ම ගියේ චෞර රැජින යැයි නාමෝපලක්ෂිතවය. ඇය එනතෙක් අද ද ගාලු මුවදොර බිම් තීරය වැළපෙමින් බලා සිටිනුයේ අල්ලස හා දූෂණයට පිටුබලය දුන් වරදකරුවන් එල්ලා මරණ තෙක්ය. 

නොරටක ගැහැනියක පිළිබඳ මෙලෙස ප්‍රහර්ශනාත්මකව කරුණු දැක්වූයේ මෙරට දිදුලවිය හැකි එක් කරුණක් පිළිබඳ මතකය අවදි කිරීමටය. එනම් අභිනවයෙන් පත් වූ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රුව ගුණ විමසීමටය. තමන් හට කශේරුකාවක් ඇති බව වටහා ගනිමින් ඉන් වැඩක් ගැනීමට මාන බලන නිලධරයෙක් සේ ප්‍රචලිත විගණකාධිපති ගාමිණී විජේසිංහයන් මෑතදී සැවොම දන්නා කරුණක් තවදුරටත් සනාථ කළේය. එනම් “අමාත්‍යංශ ලේකම්වරුන් එකතු වුවහොත් ඇමැතිවරුන් හට සොරකම් කළ නොහැකිය” යන්නයි. ගැටලුව වන්නේ ඔවුන් එලෙසඑකමුතු නොවීමපමණක් නොවේ. ඔවුන්ගේ යහ භාවිතාව තව තවත් ශක්තිමත් කළ යුතු ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය (SASA) වැනි ඒවා පවා කට්ටිවාදීව හැසිරෙමින් පරිපාලනය නම් වූ පල් වළ රිසි සේ කලතමින් පටු වාසි ගන්නට තැත් දරන නිලධරයන් සුළුතරයකට අවකාශ සැලසීමයි. 

දේශපාලකයන්ගේ මුවින් ගිලිහෙනඑකදු වදනක් හෝ අත්නොහැර ඔවුන් වෙත සදය විවේචන වැසි වස්සන සියල්ලම අමතක නොකළ යුතු යමක් ඇත්තේය. එනම් රට ගොඩ ගැනීමට නොහැකිව ඇත්තේ දේශපාලකයන් නිසාම නොවන බවයි. එකී පාලකයන් අබියස කොන්දේසි විරහිතව නිවට නියාලු බසින් එහෙයි කියන නිලධාරී පන්තියක් ද දශක ගණනක් තිස්සේ මෙරටේ බිහිව ඇති නිසාය. 

ණය කඳු ආකාශය උසට ගොඩ ගැසී තිබුණ ද ඒ ගැන අනතුරු අඟවන එකදු නිලධරයකු හෝ ඔබ දැක තිබේ ද? සහෝදර නිලධරයකු දංගෙඩියටදැක්කීමට මාන බලන ඇමැත්තෙක් අමතා එහි විපාක පෙන්නා දුන් එකෙකුන් හෝ ඔබ දැක තිබේ ද? පිළිතුර නැත යන්නයි. රට දිනෙන් දින අගාධය වෙතම ගමන් කළේ වුව ද, ලද දෙයක් කා වෙන දෙයක් බලා ඉන්නා නිලධරයන් සමූහයකින් රට පිරී ඇත්තේය. තැචර් දුටු ලෙස මෙකී ජ්‍යෙෂ්ඨයන්ගේ පරපුටු බව හා කුදු බව පසක් කොට, නැඟී එන තරුණ මාණ්ඩලික නිලධරයන් පෙලැන්තියක් තනා ගත හැකි එකදු නායකයකු හෝ මෑත කාලීනව මෙරටේ බිහිව නොමැතිවීම ජාතියේ අවාසනාවකි. 

අමාත්‍යාංශලේකම්වරුන්ගේ පත්වීම් බලධරයා වන ජනපති තුරුම්පු නාස්ති කරගෙන ඇත්තේ මේ සංදර්භයෙනි. අදාළ පත්වීම් පිරිනමන මොහොතේ ලේකම්වරුන්ගේ දෑත් පිරිසිදු විය යුතු යැයි ජනාධිපතිවරයා හඬ නැගුව ද එහිලා කරුණු දෙකක් අප අමතක නොකළ යුතුය. එනම් එදා මෙදා තුර මෙරටේ ඉහළ නිලධරයකු ලබා ගත් ඉහළම අල්ලස ලබා ගත් පුද්ගලයා වූයේ එතුමන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ය යන්නයි. අනෙක එවන් චෝදනා ලත් නිලධාරීන් කිහිපදෙනකු මෙකී ලේකම්වරුන් අතර ද සිටින්නේය යන්නයි. 

චෝදනා කිසිවකුත් නැති - තම අතපත් කවර වගකීම වුව නවෝත්පාදක බවින් නිමා කිරීමේ හැඟීමෙන් පොහොසත් අපමණ මාණ්ඩලික නිලධරයන් පිරිසක් මෙරටේ තම යුතුකම් භාරය ඉටු කළේ වුව ද, ඉන් එකකු හෝ කැඳවා අභියෝගාත්මක නිලයක් පැවැරීමට සමත් එකදු දේශපාලන බලධරයකු හෝ මෙරටේ නොමැති වීම අභාග්‍යයකි. ඊට අසහාය නිදහස් මනසකින් හෙබි දේශපාලකයන් අවැසිය. කුඩුකේඩුකම් විරහිත ජ්‍යෙෂ්ඨ නිලධරයන් වුවමනාය. 
දෙමළ බසෙහි එක්තරා ප්‍රකට පිරුළක් ඇත්තේය. එනම් “ලුණු කන්නා දිය බොන්නේය” යනුයි. එහි සරල අර්ථය වන්නේ පව් කරන්නා දඬුවම් ලබන්නේය යන්නයි. දේශපාලන බලයෙන් මඩනා ලද දේශපාලකයන් සහ ඉහළ නිලධාරීන්, රාජ්‍ය සම්පත් භාරය තම පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගත් අවස්ථා මෑත කාලීනව සුලබව වාර්තා වුව ද ඊට සරිලන සේ නීතිය ක්‍රියාවේ යොදවනවා තබා නිසි සංවාදයක් හෝ පැවැත්වීමට අප සමාජය තුළ සූදානමක්නොමැති වීම කවර නම් අභාග්‍යයක් ද? ඉන් අප වටහා ගත යුත්තේ “ලුණු කන්නා දිය නොව, සූකිරි ම අනුභව කරන්නේය” යන්න ද?

ශ්‍රී ලංකාව යනු පලතුරු ඵලදාවෙන් සශ්‍රික සෞම්‍ය කාලගුණයක් ඇති රටක් සේ නම් දරන ලද රටකි. කරුණු එසේ වුව ද වෙළෙඳපොළ ගොස් සාධාරණ මිලකට ගස්ලබු ගෙඩියක් හෝ කෙසෙල් ඇවරියක් මිලට ගත හැකි පරිසරයක් මෙරටේ තිබේ ද? එලෙස මිලට ගත්ත ද ඒවා 90%කටත් වඩා විෂ රසායන සහිත කල් තබා ගැනීමේ විෂකාරක යෙදූ ඒවාය. මෙකී වසල වෙළෙඳාම නිසා සමස්ත ජාතියකට අවැසි පෝෂණය අහිමිව ඔත්පල වූ ජාතියක් වීම ආසන්නයේ නොවුණ ද, පසුකාලීනව නියත ලෙසම ලබන ප්‍රතිඵලයකි. මෙය නැවතීමට අප විධායක ජනාධිපතිවරයා කරළියට එන තෙක් බලා සිටිය යුතු ද?අදාළ විෂය භාර අමාත්‍යවරයා හා අනෙකුත් දෙපාර්තමේන්තු/ සංස්ථා ප්‍රධානීන් හා එක්ව අමාත්‍යාංශලේකම්වරයාට වැඩපිළිවෙළක් යෙදිය නොහැකි ද? 

දුම්රිය සේවය ඔත්පළව සිටින අවධියක මේතාක් සුවහසක් ජනී ජනයා තම ගමනාගමනය සඳහා යොදා ගනුයේ බස් රථය. ඔබට යම් පර්යේෂණකාමී සිතක් පහළ වුවහොත් දුර ගමන් බස් රථ දිනපතා අතරමග නවතන ආපනශාලාවකට ගොඩවදින්න. එහි මිල ගණන්වල සිට මුළුතැන්ගෙයෙහි ප්‍රමිතිය දක්වා වූ බොහෝ අත්‍යවශ්‍ය සාධක කිසිවක් නිසි ප්‍රමිතියකට නොමැති බවවටහා ගැනීමට දිගු වේලාවක් ඔබ එහි රැඳී සිටීම අවැසි නොවේ. මෙම ජීවමාන අපාය දොරටු වසා දැමීම හෝ නිසි පාලනයකට යටත් කළ යුත්තේ කවරකු විසින් ද? වරක් ශ්‍රීමනි ඇතුලත්මුදලි ප්‍රවාහන ඇමැතිවරිය මුස්නක් ගෙන කොටුවේ දුම්රියපොළ ඇමදුවා සේ අදාළ ඇමැතිවරයා ම මේ විෂම තැන් පාලනයට දිව යා යුතු ද? නැත. මෙකී ආපනශාලා මගින් මාසිකව අල්ලස් ගන්නා ප්‍රාදේශීයව ක්‍රියාත්මක නිලධරයන් පාලනයේ සිට ඊට සුදුසු වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුත්තේ අදාළ අමාත්‍යාංශලේකම්වරයාය. එවන් ලේකම්වරුන් ඔබ මෙතෙක් දැක තිබේ ද? දැක තිබුණත් ඒ ඉතා කලාතුරකිනි. 

එපමණක් ද නොව යම් චෝදනාවක් හෝ අඛණ්ඩ පැමිණිලි ප්‍රමාණයක් ලද විටෙක ආයතන සංග්‍රහ ප්‍රකාර ගත යුතු එකම ක්‍රියාමාර්ගයක් හෝ නොගෙන එවන් ලේකම්වරුන් අදාළ අමාත්‍යාංශයේම යළිත් ආසනාරුඪ කිරීම මෙවර ද සිදුව ඇතැයි පැහැදිලි වන්නේ එවන් චෝදනා වැඩිම ගණනක් ලත් බලවත් නිලධරයකු යළිත් ප්‍රබලතම අමාත්‍යාංශයක ලේකම්වරයා ලෙස පත් කිරීමෙනි.තව දකාලාන්තරයක් තිස්සේ පරිපාලනයේ ඉහළම තනතුරුවල රැඳී සිටිමින් තමන් ලත්බොහෝ පරිපාලනමය තීරණ පිළිබඳ යම් යම් විවාදාත්මක කරුණු ද අනාවරණය වී ඇති තවත් නිලධරයකුකෙසේ හෝ මෙවර ද ඉතාවැදගත් අමාත්‍යාංශලේකම් ධුරයක්ඩැහැගැනීමටසමත්ව ඇත. අත්තෙන් අත්තට පනින රිලවුන් සේ ඇමැතිවරුන් රවටා මහපුටු වෙත ම පැන ගන්නා ලොක්කන් වෙනුවට වැඩ පෙන්විය හැකි තරුණ ජවයෙන් යුත් නිලධරයන් මෙවැනි තනතුරු සඳහා ආදේශ කිරීමට කිසිදු දේශපාලකයෙක් නිසි පියවර නොගන්නේ මන්දැයි යන්න වටහා ගැනීමට නොහැකි කරුණකි.

හුදු අමාත්‍යවරයාගේ සිතැඟියාවන් තෘප්ත කිරීම වෙනුවට නවෝත්පාදක ක්‍රියාමාර්ග හරහා රටෙහි ගමන් මග සුමට කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් දැරිය යුත්තේ මෙකී ලේකම්වරුන් බව පුන පුනා පැවැසිය යුතු නැත.

මෙරටේ ග්‍රාම නිලධාරී සංඛ්‍යාව 14,000කට මඳක් වැඩිය. ඔවුන්ප්‍රජාව හා සමීප රාජ්‍ය සේවයේ තීරණාත්මක කාර්ය භාරයක් කළ හැකි පිරිසකි. වසර 2011 සිටම මෙම පිරිස ඉල්ලා සිටින රටට හිතැති ප්‍රගතිශීලි ඉල්ලීමක් ඇත්තේය. එනම් තමන් හට සේවා ව්‍යවස්ථාවක් ලබා දීමට පියවර ගන්නා ලෙසයි. දේශපාලනිකව ඔවුන් පාලනයට එය බාධාවක් ලෙස සලකන කිසිදු ඇමැත්තකු ඒ සඳහා අනුමැතියක් නොදෙන අතර මෙතෙක් පරිපාලන හෝ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයවෙත පත් වූ සෑම ලේකම්වරයකුමසිදු කර ඇත්තේ විෂය භාර අමාත්‍යවරයාගේ මනදොළ සපුරාලමින් එය මනා ලෙස පාලනය කරමින් බාලගිරි දෝෂයට හසු කිරීමයි. මෙවන් ලේකම්වරුන් කවර අමාත්‍යාංශයක පාලනය හෙබවුව ද රටට යම් සුගතියක් වේයැයි සිතීම අපහසුය. 

එහෙත් පෙර සේම ඉහත පත් කරන ලද 30ක් පමණ වූ පිරිසෙන් යම් සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන ලද ලේකම්වරු කිහිප පොළක් ද නැත්තෝ නොවෙති. එහෙත් ඒඅතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් යැයි පැවැසීම සාවද්‍ය පුවතක් නොවේ. මෙලෙස පත්වන ලේකම්වරුන්ගේ කාර්යභාරය වඩාත් දුෂ්කර වී ඇති අනෙක් කාර්යය වන්නේ තමන් අදාළ විෂය ක්‍ෂේත්‍රවල සපුරා සුදුසුකම් ලත් පුද්ගලයන් වුව ද ඊට පත්වන අමාත්‍යවරුන්ගේනිශේධනාත්මක ප්‍රවේශය ඔවුන්ගේ ගමන් මඟ අවුරාලීමයි.මෙම පිරිසෙන් ලේකම්වරුන් කිහිපදෙනකු යම් යම් සුවිශේෂී විෂය ක්‍ෂේත්‍රවලප්‍රමාණිකයන් වුව ද ඔවුන්ගෙන් නිසි වැඩ ගැනීමට අදාළ ඇමැතිවරුන්ට හැකියාවක්තිබිය යුතුය යන්න ද බැහැර කළ නොහැකි තර්කයකි.

තවත් වැදගත් කරුණක් සිහි නොකර සිටිය නොහැකිය. එනම් සුදුසුකම් ලත් මාණ්ඩලික නිලධරයන් සමූහයක් ඕනෑම නිලයක් දැරීමේ හැකියාවෙන් යුක්තව සිටියත් ඔවුන් නොසලකා පරිපාලන සේවයට හෝ වෙනත් නිලධාරී සේවාවලට පිටින් අමාත්‍යාංශලේකම්වරුන් පත්කිරීමට දේශපාලකයන් වෙහෙසෙන්නේ ඇයි ද යන්නයි. ඒ නිසැකවම ඔවුන්ගේ අභිලාෂ සමනය කරගැනීමට එවන් පුද්ගලයන් සහාය වීම නිසා විය හැකිය. 

දෙවැන්න නම් රජයේ නිලධරයන් පත් කළ ද ඇතිවන වෙනසක් හෝ ප්‍රගතියක් නොමැති වීමයි. යම් සුසමාදර්ශී වෙනසක් කළ හැකි ඔවුන් තම විශ්‍රාමය සනිටුහන් කරන්නේ කිසිදු සුවිශේෂත්වයකින් තොරව වීම කවර තරම් දොම්නස් සහගත ප්‍රපංචයක් ද? 

එපමණක් නොව මීට වසර කිහිපයකට පෙර තම විශ්‍රාමයට පිළිපන් එක් අමාත්‍යාංශ ලේකම්වරයෙක් මේ වනවිට දිවි ගෙවන්නේ ඕස්ට්‍රේලියාවේ වන අතර ඔහු අයථා අන්දමින් රැස් කරගෙන ඇති වස්තු සම්භාරය පවා මෙතෙක් නිසි විගණනයකට ලක් කොට නැත. 

මෙවැනි පුද්ගලයන් පිළිබඳ සෙවීමට ලෝක බැංකුව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකාබද්ධව නිශ්චිත වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ “නැති වූ සම්පත් අනාවරණය කර ගැනීමේ වැඩසටහන” (The Stolen Asset Recovery Initiative) නමිනි. එහි වාර්ෂික සම්මන්ත්‍රණ සඳහා මෙරටේ අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ මෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ නිලධරයන් සමූහයක් සහභාගී වුව ද පෙරකී දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර තවමත් අබිරහසකි. එකී කරුණු මෙරටේ පුරවැසියන්ට Taboo Subjects ය. එනම් තහනම් මාතෘකාය.බලාගෙන ගියාම ඒ නිලධාරීන් හා මේ නිලධාරීන් අතර කිසිදු වෙනසක් නැති තරම්ය.

ලංකාව ගලවා ගත හැක්කේ කෙසේදැයි යමකු ඇසුවහොත් අපට දිය හැකි එක් පිළිතුරක් විය හැක්කේ නිර්මාණශීලීත්වයෙන් සපිරි සුපිලිපන්න චරිතවලින්යුත් නිලධාරී පැලැන්තියක් බිහිකර ගැනීම මගින් එය කළ හැකි බවයි. එහෙත් ඒ මෙලෙස පත් කරන ලද තිස්දෙනාගෙන් නොවන බව නම් අවසන පවසා සිටිය යුතුය. 

දිය පොදක් නොමැතිව කේඩෑරිව පොළොවේ දිරා යෑමට ආසන්න අතු රිකිලි පවා කිත් පැසසුම් ප්‍රසංශාඅබියස පණ ගසා ඉහළට නැගී සිටින්නේය යනු ගැමියන් නිරන්තරයෙන් නිමන්ත්‍රණය කරන්නකි. මෙබැව් දන්නා ලේකම්වරු චාටුකාර බසින් ඇමැතිවරුන් අන්දන අතර ඉන් සුලුතරයක් තම ඊළඟආත්මයට ද සරිලන සේ වස්තුව රැස් කරන්නෝය.

අදට අවැසි වන්නේ “සල්ලහුක වුත්තී” යනුවෙන් බුදු දහමේ අනුදත් සරල ඇවැතුමින් හා පැවැතුමෙන් රටෙහි අනාගතය ගැන සිතන නිබය නිලධාරී පන්තියකි. ඉදිරි වසර එකහමාරක කාල සමය තුළ මේ තිස්දෙනාගෙන් කීදෙනෙක් එවන් ප්‍රතිපදාවකින් රට ගලවා ගැනීමට වෙහෙසෙන්නේ දැයි අප නිරීක්ෂණාත්මකව බලා සිටින්නෙමු.