පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ

මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයට වසර විස්සක් සපිරීම නිමිත්තෙන් මේ මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹදී ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වෙයි.මෙහි සමාරම්භක උත්සවය මේ මස 27 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙයි. සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන අතර දෙස් විදෙස් මාධ්‍ය ක්​ෂේත්‍රයේ ප්‍රවීණයෝ මෙම සම්මන්ත්‍රණ අමතති.

ඔවුන්ගේ කාලයේදී රාජ්‍ය නිලධාරීන් වෙතින් තොරතුරු රහසේ පන්නාගෙන අනෙක් පුවත්පත්වලට කලින් ඒවා තමන් පළකරගත් ආකාරය ගැන සිය වැඩිහිටියන් කයිවාරු ගසන්නට පටන් ගැනීම අසා සිටීම තරම් ගැහැටක් ලාබාල පුවත්පත් කලාවේදීන්ට තවත් නම් නොතිබෙන්නට පුළුවන.

මෙම ලාබාල නවකයන්ට නම් ඒවා ශතක එකහමාරකට පෙර තේ යුගයටත් පෙර කල තිබූ “කෝපි කාලේ” කතාය. ඉහළ පහළ කුමන හෝ තරාතිරමක සිටි රාජ්‍ය නිලධාරීන්ගෙන්, නීතියෙන් රහස්‍යභාවය සුරකින්නට දිවුරුම් දුන් සහ නිසි ක්‍රියාමාර්ග ගන්නට රජයේ නිලධාරීන්ට යොමු කළ “අතිරහස්‍ය” යනුවෙන් වර්ගීකරණය කළ තොරතුරු වාර්තා සියලු උප්පරවැට්ටි සහ වෘත්තීය දහම්ගැට යොදාගනිමින්, තම අතීත සගයන් සහ වාර්තාකරුවන් පන්නාගත් ආකාරය ගැන තවමත් අතීතාවර්ජනය කරමින්, රස කතා කියන්නට මෙම ජ්‍යෙෂ්ඨයන්ට හැකිය.

එවැනි සමහර කතා බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්වූ පුරාවෘත්ත බවට පත්ව තිබේ. එක්තරා වාර්තාකරුවෙක් ෆයිල් මිටියක් රැගෙන, මේසය මත තමාගේ ෆයිල් ගොඩගසාගෙන ඉන්නා රජයේ ඉහළ පෙළේ නිලධාරියකුගේ මේසය වෙත ගොස් ඒ මත ඔහුගේ ෆයිල් මිටිය තබයි. ඔහු ආපසු යද්දී, මේසය මත තිබූ රජයේ නිලධාරියාගේ ගොනු දෙක තුනක් ද ඒවා සමඟ එක මිටියට ගෙන නොදන්නාක් මෙන් රැගෙන එයි. ඒවා වැරදීමකින් ගෙනගොස් ඇතැයි කියමින් ඔහු පසුදා ඒවා ආපසු යට කී රාජ්‍ය නිලධාරියා හට භාරදෙයි. ඒ රාජ්‍ය තොරතුරු ලබාගැනීමේදී ඔහු අනුගමනය කළ කාර්ය පටිපාටියයි.

හැමදෙනාටම තමාට ආවේණික වූ තමාගේම විධියක් තිබිණි. මුදල් අමාත්‍යවරයකු විසින් තම ජනාධිපතිවරයාට යැවූ අතිරහස්‍ය ලිපියක් අමාත්‍යාංශයේ ලිපිකරුවකුගෙන් වාර්තාකරුට හීන් සීරුවේ කාන්දු වූ අවස්ථාවක්ද තිබේ. තමන්ට නුහුරු භාෂාවකින් ලියා තිබුණු නිසා ලිපිකරුවාත්, වාර්තාකරුවාත් එහි වැදගත්කම දැන සිටියේ නැත. එහි “අතිරහස්‍ය” (CONFIDENTIAL) රබර් මුද්‍රාව වැදී තිබුණු නිසා ඒ ගනයේ ලිපියක් වග දෙදෙනාම හඳුනාගත්හ. රබර් මුද්‍රාව වදින්නේ එය වැදගත් නිසාත්, රහස්‍ය නිසාත් බව දෙදෙනාම දැන සිටියහ. කොළඹ කොටුවේ පිහිටි බාර් එකකදී දෙදෙනා මුණගැසීමෙන් පසු එම ලිපියේ ෆොටෝ කොපියක් (ක්ෂණික ඡායා පිටපතක්) වාර්තාකරුට භාරදෙන ලදී. වාර්තාකරුවා එය තම පුවත්පතේ කතුවරයා වෙත ගෙන ගියේය. කතුවරයා එසැණින් එහි වැදගත්කම වටහා ගත්තේය.

මෙම ලිපියේ තිබූ පුවත හෙළිවූ විට එහි කරුණු ලීක් කිරීම ගැන අමාත්‍යවරයා ස්වාභාවික ලෙසම ජනාධිපතිවරයා වෙත සැක පහළ කළේය.

වෙනත් යුගයක කතා කීවා දැන් හොඳටම සෑහේ. අද ඉන්නා වාර්තාකරුවන් හට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත තිබේ.
රජයට හෝ ඕනෑම රාජ්‍ය අධිකාරියකට සඟවන්නට ඕනෑ වූ රහස්‍ය තොරතුරක් වෙත ප්‍රවේශ වීමට පුවත්පත් කලාවේදීන්ට අවස්ථාව සලසා දීම නිසා ඒ මගින් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය පහසුකර දී තිබේ. එම නීතිය බල පවත්වන්නට යෙදී අවුරුද්දක් ගතවුණු විටදී පවා එම නෛතික මෙවලමේ වාසිය ගෙන එතෙක් තහනම් කළ අනාවරණය නොවූ කලාපයට පිවිසෙන්නට සමත් වූයේ පුවත්පත් කලාවේදීන් කිහිපදෙනෙකු පමණකි.

බොහෝ ලාබාල වාර්තාකරුවන් ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත නීතිගත කරගන්නට කළ සටනේ වටිනාකම අවබෝධ කරගන්නේ හෝ එය අගය කරන්නේ නැති තරම්ය. ඇතැමුන් සිතන විධියට එය ස්වාභාවිකව සිදුවූ දෙයක් නොවේ. එය ඉබේ සිදුවූයේ නැත.

දශක දෙකකට පෙර එවකට පැවති ආණ්ඩුව සාපරාධී ලෙස අපහාස කිරීම යන චෝදනාව යටතේ ප්‍රකාශකයන්ටත්, පුවත්පත් කතුවරුන්ටත් එරෙහිව නඩු පෙළක් පවරන්නට සංවිධානාත්මක ලෙස සැරසුණ වේලේ, ඊට අභියෝග කරන්නට එක්රැස් වුණු පුවත්පත් ප්‍රකාශකයන්ගේ එකමුතුව, කතුවරුන්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්, ප්‍රකාශන නිදහස උදෙසා ක්‍රියාකාරීවූවන්ගෙන් සමන්විත මාධ්‍ය විසින් තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ නීතිය යෝජනා කරන ලද්දේය. මේ සඳහා නිල වශයෙන් වූ ඉල්ලීම එළිදුටුවේ මාධ්‍ය නිදහස හා සමාජමය වගකීම පිළිබඳව 1998 කරන ලද කොළඹ ප්‍රකාශනය හරහාය.

අවසානයේ සෙසු ප්‍රජාතන්ත්‍රීය ලෝකයා අතර ඉමහත් ආන්දෝලනයක් ඇති කළ එවැනි ප්‍රගතිශීලී නීතියක් මුලින්ම පනවාගත් රට ශ්‍රී ලංකාව විය හැකිව තිබිණි. 2004 දී මාධ්‍ය හිතැති රජය විසින් ජනමාධ්‍ය ප්‍රජාවගේ ක්‍රියාකාරී දායකත්වය ඇතිව එවැනි නීතියක් කෙටුම්පත් කරන ලද්දේය. එවකට පැවති කැබිනට් මණ්ඩලය විසින් එම නීතිය අනුමත කළ මුත්, එය නීතියක් ලෙස සම්මත කරගන්නට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට ඔන්න මෙන්න කියා තිබියදී නියමිත කාලයට පෙර රජය විසුරුවා හැරීම නිසා සමස්ත ක්‍රියාදාමයම අතහැර දැමුණේය.

කෙටුම්පත් කළ නීතිය මෙලෝ එළිය දුටුවේ නැත. ඒ සඳහා උනන්දු වූ පාර්ශ්වවලටද එය මෙලෝ එළිය දකිනු බලන්නට ඕනෑ නොවීය. ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේත් අධිකරණය ඉදිරියේත් අද දින දිගහැරෙන බොහෝ දූෂිත ගනුදෙනු ඒ වන විට අනාවරණය කර ගත හැකිව තිබිණි. දශකයකට වඩා මදක් වැඩි කාලයක් දේශපාලන නායකත්වය ඉදිරියේ පැවති මහජන විරෝධය නිසා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ගෙන ඒමට බල කෙරුණේ, අසාර්ථක වන මට්ටමට කටයුතු යොදනු ලැබූ තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳව කෙටුම්පත් කරන ලද නීතියට අනුප්‍රාප්තිකයක් ලෙසය. ඒ අතරතුර කාලයේදී තොරතුරු දැනගැනීමේ නිදහස පුරවැසි අයිතියක් ලෙස වර්ධනය වී එය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත බවට පත්වූයේය.

කෙසේ වුවද ඊට 19 වැනි සංශෝධනය යටතේ ව්‍යවස්ථාමය තත්ත්වයක් ඇතිකරලන්නට දැරූ සැබෑ ප්‍රයත්නය ව්‍යර්ථ වී ගියේය. එය වෙනම කිව යුතු කතන්දරයකි.

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ගෙන ඒමට අදාළ උද්ඝෝෂණ ව්‍යාපාරයට නායකත්වය දුන්නේ මාධ්‍ය යයි කියන කල එය ඉන්දියාවට වඩා තනිකර වෙනස් තත්ත්වයකි. ඉන්දියාවේ රාජස්ථානයේ පිටිසර ගම්මානවල බිම්මට්ටමෙන් ආරම්භ වූ එම ව්‍යාපාරය අනෙකුත් ප්‍රාන්තවලට විහිදී ගොස් නවදිල්ලි අගනුවර මධ්‍යයටත් ඒ සමගම පාර්ලිමේන්තුවටත් යන්නට මඟ පාදා ගත්තේය.

ස්වේච්ඡා සංවිධාන විසින් මෙහෙයවන ලදුව මෙම නීතිය ගෙන ඒම උදෙසා ග්‍රාමීය ගොවි ජනයා (කෘෂිකම්කරු ජනයා) ආහාර වර්ජනය කරමින් උපවාසවල නිරත වූහ. වීදිවල විරෝධතා හා මහජන රැස්වීම් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවට හුරු පුරුදු විලාසයෙන්ම ඉන්දියානු දේශපාලකයෝද පසුගාමී ලෙස ක්‍රියාකරමින් මැතිවරණ ප්‍රකාශනවල එවැනි නීති ගෙන එන බවට පොරොන්දු වෙමින් ඒ වෙනුවට නීතියකට වඩා පරිපාලන නියෝගයක් ගෙන ඒමට උත්සාහ කළෝය. එසේ වුවද ඉන්දියානු ක්‍රියාකාරීහු ඒවා කිසිවකට කැමති නොවූහ.
“ඉන්දියානු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ (RTI) මාතාව” ලෙස සැලකෙන අරුණා රෝයි ඇගේ “තොරතුරු දැනගැනීමේ අයිතියේ කතාව - ජනතාව වෙත බලය” නම් පොතේ මෙසේ කියන්නීය. “තොරතුරු දැනගැනීමේ අයිතියේ කතාව, වනාහි පොදු ජනයාගේත් නවීන ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රීය යුක්තිය රඳා ඇති කුලුනු ශක්තිමත් කරන්නට ඔවුන්ගෙන් ලැබුණු දැවැන්ත දායකත්වය පැවරීමේත් කතාවය.”

ශ්‍රී ලංකාවේ මෙම නීතිය ගෙන ඒම සඳහා වූ උද්ඝෝෂණ ව්‍යාපාරය, බිම් මට්ටමේ සිට වර්ධනය වූවාට වඩා කොළඹ කේන්ද්‍රකොට ඇතිවූවක් නිසා ඇතැම් විට එහි අගය අඩුවෙන් දැනී අවම ලෙස පැතිරුණා විය හැකිය.

සිවිල් සමාජ ක්‍රියාකාරී සමූහයන් මෙම නීතිය ගම්මට්ටමට ගෙන යන්නට උත්සාහ කළ මුත්, අලුත්පිට පැමිණි අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රජයේ නිල තොරතුරු ලබාගැනීමේ අයිතිය ඉක්මනින් ග්‍රහණය කරගත් අය ලෙස පෙනෙන්නට තිබුණේ ලොකු කොම්පැනිවල නඩු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ය.

ඒ හා සමානවම තමන්ට සඟවා පරිස්සම් කරගන්නට ඕනෑවූ තොරතුරු දෙස බලා සිටින ආයාචනාත්මක දෑස් ඉන් ඉවත් කරනු පිණිස, රාජ්‍ය අධිකාරීන් විසින් සේවය ලබාගත් නීතිඥවරුද ඒ මත රැඳුණෝය. බලාපොරොත්තු වූ ලෙසම මෙම නීතිඥවරු මෙකී නීතියට පින්සිදුවෙන්නට තම පාන් පෙත්තේ දෙපැත්තේම බටර් ගාගත්තෝය.

මේ අතින් බලාපොරොත්තු වූ මට්ටමට ළඟා වන්නට මාධ්‍යයට නොහැකි වී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත තවමත් තිබෙන්නේ ඉපදී හැදීගෙන එන මට්ටමේ විය යුතුය. එහෙත් ජනමාධ්‍යවල උනන්දුවද තවමත් ඇත්තේ ඒ මට්ටමේය.

ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත භාවිතයට පැමිණ පළමු වසර සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මෑතකදී පළ කළ ප්‍රකාශනය උදෙසා තොරතුරු දැනගැනීමේ පනත හරහා කරන ලද ඉල්ලීම් මගින් ලබාගත් තොරතුරුවල ප්‍රතිඵල සහිත ප්‍රමාණවත් පුවත් ලිපි ලබාගන්නට ඉමහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවූ බව පෙනේ.

තම පාඨකයන්වූ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ හිත සුව පිණිස අනෙක් අයට වඩා ඉදිරියෙන් මෙම නීතිය ප්‍රයෝජනයට ගෙන තිබුණේ ජනමාධ්‍යවේදීන් ස්වල්ප දෙනෙකු පමණි.

එසේ වුවද ඔවුන් හා සමානයන් (සමාන වෘත්තීයවේදීන්) දිරිමත් කොට ඔවුන් අනුගමනය කරවන්නට තරම් එම පුවත් රසවත්ය.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත භාවිතයට ගනු ලැබූ ගවේෂණාත්මක පුවත් රැගත් විශේෂාංග කිහිපයක් “RTI - Making the News” පොත් පිංචේ ඇත. ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත පළ කළ වාර්තාවක මාර්ග සංවර්ධන අධිකාරිය පරිසර බලපෑම් පිළිබඳ අත්‍යවශ්‍ය ඇගයුම් වාර්තා සහ අවසාන ආර්ථික ශක්‍යතා අධ්‍යයනය ද නොමැතිව රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ පටන්ගත් අයුරු නාමිනි විජේදාස හුවා දැක්වූවාය. තවත් වාර්තාවක ඩේලි මිරර් පුවත්පත විසින් පළ කළ චන්දීපා වෙත්තසිංහගේ “EPF get zero returns from majority of private equity investments” යන ලිපියේ, වෙන කිසි අයුරකින් මහජනයාට විවෘත නොවන තොරතුරු, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත භාවිත කොට ලබාගෙන තිබුණි.

පළමු වසර තුළදී තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ පනත භාවිත කොට තිබුණු අනෙකුත් ජනමාධ්‍යවේදීන් නම් ප්‍රසන්න අබේවික්‍රම (ලක්බිම), අජන්ත බණ්ඩාර රත්නායක (වයඹ TODAY, කුරුණෑගල වෙබ් මාධ්‍යවේදියෙකි), රාහුල් සමන්ත හෙට්ටිආරච්චි (ලංකා නිව්ස් වෙබ්), චාන්දනී කිරින්ද සහ සඳුන් ජයවර්ධන (The Sunday Times), සරත් මනුල වික්‍රම (ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය), උදයන්ති මුණසිංහ (මව්බිම), බිඟුන් මේනක, තරිඳු ජයවර්ධන (ලංකාදීප),  හරිඳු උඩුවරගෙදර (අනිද්දා), අශික බ්‍රාහ්මණ, තේජ් වේරපිටිය (ඉරිදා) සහ උදයන් පුවත් පතේ කාර්ය මණ්ඩලයේ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකි.

පළමු වසරේදී සිය පුවත්පත් සඳහා ඍඔෂපනත භාවිතයට ගත් පුරෝගාමීන් ලෙස මේ අය සැලකිය හැකිවේ. ඉදිරි වර්ෂවල හිදී ඒ අයගේ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි විය යුතුය.

මේ දක්වා කිසිම මාධ්‍ය ආයතනයක ඍඔෂ පනත හරහා තොරතුරු ලබා ඒවා පදනම් කොට පුවත් හෙළිකිරීම උදෙසා වූ වෙනම ඍඔෂ අංශයක් නැති බව පෙනේ. දැන් ගවේෂණශීලී පුවත්පත් කලාව පසෙකට දමා නිතරම පාහේ දකින්නට ලැබෙන වගකීමෙන් තොර පුවත්පත් කලාවේ අවශ්‍යතාව මත, ජනමාධ්‍යවේදීන්ට, වසර පුරාත්, සතිය පුරාත්, පැය විසිහතර පුරාත්, ඉස්සර වන්නට වෙහෙසෙමින් සංකීර්ණ, නොගැඹුරු පුවත් චක්‍රයේ වෙලී වෙබ් අඩවි උදෙසා පුවත් සකස් කරන්නට සිදුවන කාලයක ඍඔෂ අංශයකට ප්‍රමුඛතාව දෙන්නට කෙතරම් කැපවිය හැකිද යන්න වෙනත් ගැටලුවකි.

එහෙත් බලාපොරොත්තු අතහැර දමන්නට වුවමනාවක් නැත. ඉන්දියාවේ පවා (RTI) තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත භාවිතයට ආ මුල් වසරවල RTI නීතිය මගින් ක්‍රියාකාරීව පුවත් ලබාගන්නට මාධ්‍යවේදීන් අතර පැවතියේ නරුමවාදී හැඟීමක් සහ අලස බවකි. ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ අය සිතුවේ ඔවුනට නිල තොරතුරු ලබාගන්නට සාම්ප්‍රදායිකව පැවති ක්‍රමය හොඳටම සෑහෙන බවයි.

මෙම නීතියේ වාසිය සලසාගෙන ගවේෂණශීලී විස්තරාත්මක පුවත් ලියන්නට පුරෝගාමීවූ අයෙකු වන Shyamel Yadew, —Journalism through RTI - Information Investigation Impact  නම් පොතේ තමනට ලැබුණු මෙම අලුත් මෙවලමෙන් බලගැන්වෙන්නට ඉන්දියානු මාධ්‍යයටද යම් කාලයක් ගතවූ බව කියයි.

“යම් අයෙකුට  RTI පනත කියවීමෙන් හෝ අවබෝධ කර ගැනීමෙන් තොරව පවා එයින් වැඩගත හැකි බව මම ඉක්මනින් තේරුම් ගතිමි. ඓතිහාසික නීති සම්පාදනයේ සුන්දරත්වය එයයි.”

ඔහු කටයුතු කළ එක් පුවත්පතක, යාදෙව්  RTI ඉල්ලුම් පත්‍ර 700ක් පුරවා අවුරුදු හතරක දත්ත ඒකරාශී කළේය. එය ආයුධ බලපත්‍ර නිකුත් කළ පුද්ගලයන් පිළිබඳ දීපව්‍යාප්ත සමීක්ෂණයකි. බැරෑරුම් පුවත් හඹායන, තම කාර්ය බැරෑරුම්ව සලකන ජනමාධ්‍යවේදීන් තුළ තිබිය යුතු දරාගැනීමේ බලයත්, නොපසුබස්නා උත්සාහයත් එබඳු විය යුතුය. එහෙත් ඔහු කියන අයුරු අනෙක් රටවල මාධ්‍ය සමඟ ඉන්දියානු මාධ්‍ය සසඳා බැලීමේදී ඉන්දියානු මාධ්‍ය  RTI පනතේ ඇති විභවතාවේ තරමට අනාවරණය වීම් සිදුකොට නැත. සෑම ඉන්දියානු පුරවැසියකුටම  RTI පනත පිළිබඳ ඉගැන්විය යුතුය යන මතයේ ඔහු සිටී.

2018 සැප්තැම්බර් මාසයේදී ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කළ “ගමට තොරතුරු දැනගැනීමේ අයිතිය” නැමති යෝජනාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අමාත්‍යවරුන් විසින් අනුමැතිය දුන් වග දැනගන්නට ලැබීම සතුටට කරුණකි. “ගමට තොරතුරු දැනගැනීමේ අයිතිය” යනු රටපුරා පාසල්වල එම මාතෘකාව යටතේ තරග පැවැත්වීම සංවිධානය කිරීම උදෙසාත් දැනුවත් භාවය වර්ධනය කිරීම උදෙසාත් පැවැත්වීමට නියමිත ජංගම සේවාවකි.

කෙසේ වුවද මෙහිදී “නැවතී කල්බලා හිඳීමේ” ප්‍රතිපත්තියකින් තොරව මාධ්‍ය ආයතන, මාධ්‍ය වෘත්තීය සමිති, කතුවර සංසදයේ සිට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා මාධ්‍ය ආයතනය හා සිවිල් සමාජ සමූහයන් විසින් නවක මාධ්‍යවේදීන් ශක්තිමත් කිරීම උදෙසා එක්ව කටයුතු කළ යුතුවේ.

මෙහිදී තම වෘත්තීය ජීවිතයට  RTI නීතියෙන් එක්කාසු වී ඇති ප්‍රයෝජන / යහපත් කාරණා පිළිබඳ ඔවුන් දැනුවත් කළ යුතුය. පුළුල් ලෙස මහජන සුබසිද්ධිය තකා නිල තොරතුරු ඒකරාශී කරගැනීම සඳහා ඇති ක්‍රියාපටිපාටි ගැන ඔවුනට අධ්‍යාපනයක් දීමටද ක්‍රියා කළ යුතුවේ.

ආටෝපකාරීවූ ආකර්ෂණීය වෙබ් දොරටුවලින් ගසා දමන ව්‍යාජ පුවත්වලින් ගහන ලෝකයක නොව, යහපාලනය අර්ථවත් කරලනු සඳහාත්, ජාතියේ රුචිය උදෙසාත් පොදුවේ මාධ්‍ය මගින් තවමත් ශේෂව පවතින උසස් තත්ත්වයේ ජන සන්නිවේදනයක් කෙරෙහි වඩාත් අර්ථවත් ලෙස දායකවිය හැක්කේ එවිටය.

රාජ්‍ය තොරතුරු ලබාගැනීමට මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවා  RTI ඉල්ලුම් පත්‍රයක් පිරෙව්වේය යන කාරණය මගින් සනාථ වන්නේ ව්‍යවස්ථානුකූලව ඔහු කරනු ලබන සාම්ප්‍රදායික ප්‍රශ්න කිරීම් මාර්ගයෙන් ඔහුට ලබාගැනීමට නොහැකිදේ වඩාත් ඉක්මනින්  RTI පනත මගින් ලබාගත හැකි බවයි.

රාජ්‍ය නිලධාරීන් මහජන මුදල් වියදම් කරද්දීත්, නිදහසේ දූෂණ ක්‍රියාවල නිරතවන්නට මාන බලද්දීත්, පෙරට වඩා තමන් කුමන දේ කළත් ඒවා නීතියෙන් සියුම් මහජන පරීක්ෂාවට යම් දිනක හසුවනවාය යන්න මනසේ කොනක රඳවාගෙන දැනුමෙන් යුක්තව, පරිස්සමෙන් ක්‍රියාකිරීමට පෙළඹීම වඩා වැදගත්ම දෙය වේ.

 RTI (තොරතුරු දැනගැනීමේ පනත) යටතේ පිහිටුවනු ලැබූ තොරතුරු කොමිසමේ දෙවර්ෂ පූර්ණය සැමරීම සඳහා කතුවරුන්ගේ, ජනමාධ්‍යවේදීන්ගේ, නීතිඥවරුන්ගේ හා විද්‍යාර්ථයන්ගේ දායකත්වය සමඟ ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමෙන් ඉදිරි කාලයේදී නිකුත් කරනු ලබන ප්‍රකාශනයක මෙම ලිපිය ඇතුළත් කිරීමට    නියමිතය.