ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවනු ලැබූ භාරකාර ආණ්ඩුවේ වැඩ කටයුතු ආරම්භ වී දැනට සති තුනක් පමණ ගෙවී ඇත. මේ වනවිට ආණ්ඩුවේ මූලික ආකෘතිය නිර්මාණය වී ඇති අතර ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳව අදාළ විෂයභාර ඇමැතිවරුන්ගේ මැදිහත්වීම් ද මේ වනවිට සිදුවෙමින් පවතී. මෙම භාරකාර ආණ්ඩුව පවත්වාගෙන යා යුත්තේ යම් ආකාරයක සීමාසහිත ආණ්ඩුව ලෙසින් බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අදහස බව මුල සිටම පැහැදිලිව පෙන්නුම් කර තිබූ බැවින් මේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය ද 15 දෙනකුට සීමා වූ බව හැමෝම දන්නා කාරණයක්ය.

පසුගිය කැබිනට් සාකච්ඡා කීපයම බැලූවිට පෙනී ගිය කාරණයක් වූයේ මේ කැබිනට් මණ්ඩලය කුඩා එකක් වූවාට ඒ මගින් ගනු ලබන සමහර තීරණ කුඩා ඒවා නොව ඉතාමත් වැදගත් ඒවා බවය. මා මේ සටහනින් සාකච්ඡා කරන්නේ එවැනි වැදගත් කැබිනට් තීරණයක් වූ අධ්‍යාපනය විෂය සම්බන්ධයෙන් ගනු ලැබූ කැබිනට් තීරණයක් පිළිබඳවය.
මෙවර භාරකාර රජයේ අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වන්නේ ඩලස් අලහප්පෙරුම මහතාය. මේ රටේ දේශපාලනයේ සිටින චෝදනාවලට භාජන නොවූ දේශපාලනඥයන් අතලොස්ස අතරින් එක් අයෙකු වන අලහප්පෙරුම මහතා තමන් වෙත ලැබෙන අභියෝග බරපතළ ආකාරයෙන් භාරගන්නා අයකු බව පසුගිය ආණ්ඩුව කාලයේ පෙනී ගිය කාරණයක්ය. මෙවර අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම වෙනුවෙන් ඔහු යෝජනා කර ඇති වැදගත් කැබිනට් තීරණ දෙකක් පසුගිය සතියේ අනුමැතියට යොමුවී තිබුණි.

ඒ යෝජනා දෙකින් එකක් වන්නේ අධ්‍යාපන සේවාව සංවෘත සේවාවක් බවට පත්කිරීමේ යෝජනාව වන අතර අනෙක් කැබිනට් පත්‍රිකාව වන්නේ විද්‍යාපීඨ සියල්ලම උපාධියක් ලබාදෙන ආයතන බවට පත් කිරීමේ යෝජනාවයි. මේ යෝජනා දෙකම මේ රටේ ජනතාවගේ අවධානයට විශාල වශයෙන් යොමු විය යුතු ඉතාමත් වැදගත් යෝජනා දෙකක් වන බව මගේ අදහසයි.

අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගනු ලැබූ ඓතිහාසික තීරණ ගණනාවක්ම තිබෙන බව පැහැදිලිය. ඒ අතරින් කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනය සංකල්පය, නුගවෙල මැතිතුමාගේ මධ්‍ය මහා විද්‍යාල වර්ධනය කිරීමේ සංකල්පය, ඊරියගොල්ල මැතිතුමාගේ තාක්ෂණ විද්‍යාල ඇති කිරීමේ සංකල්පය වැනි ඉතාමත් වැදගත් තීරණ අතරට ගැනෙන යෝජනාවක් බවට මේ ගුරු විද්‍යාල උපාධි ආයතන යෝජනාව ගත හැකි බව මගේ තේරුම් ගැනීමය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන මගින් යෝජනා කර ඇති ප්‍රතිසංස්කරණ අතරින් ප්‍රධානත්වයක් මේ කියන අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ බව ද මෙහිදී සඳහන් කළ යුතුම කාරණයක්ය. රටේ වටිනාම සම්පත වන්නේ මානව සම්පත් බව පිළිගන්නා එම වැඩසටහන මගින් යෝජනා කරන්නේ දැනුම් ආර්ථිකයේ ශක්තිමතකු බවට පත් වෙන්නට නම් අප කළ යුතු වැඩසටහන් ගණනාවක්ම ඇති බවයි. මෙහිදී අවධානයට ගෙන ඇති විෂය පරාසය පෙරපාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සම්පූර්ණ කලාපයම ආවරණය වී ඇති බව පැවසීම නිවැරැදිය.

පාසල් අධ්‍යාපනය, අධ්‍යාපනයේ වර්තමාන ගැටලු සම්බන්ධයෙන් සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන මගින් අවධානය යොමු කරන්නේ එය ප්‍රධාන ගැටලු තුනක් ලෙසින් තේරුම් ගනිමින්ය. එනම් 1. විෂයමාලා සංවර්ධනය 2. ගුරු පුහුණුව සහ 3. යටිතල පහසුකම් සංවර්ධනය යන කාරණා තුන මුල් කරගනිමින්ය. මේ කරුණු අතරින් පැවති සෑම රජයක්ම පාහේ වැඩි වශයෙන් අවධානය යොමු කළේ යටිතල පහසුකම් වර්ධනය කිරීම සම්බන්ධයෙන් පමණක් බව අප හැමෝම දන්නා කාරණයක්ය. ගොඩනැගිලි හදන්නට සහ බඩුමුට්ටු බෙදන්නට හැම අධ්‍යාපන ඇමැතිවරයාම මහන්සි වුණේ ඒ මගින් තම තමන්ගේ නම ගැසූ අභිලේඛන හෙවත් ගල්පුවරු පිහිටුවිය හැකි නිසාය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ තම තමන්ගේ ‘නම් ගැසීමේ සංස්කෘතිය’ කොතරම් නරක තැනකට වර්ධනය වූවාද යත් පසුගිය රජයේ අධ්‍යාපන ඇමැතිවරයා තමන්ගේ ඡායාරූපය දරුවන්ගේ පාසල් පොතේ පළකරන්නට පවා ලජ්ජා නැති තත්ත්වයකට පත්වූ බව නොරහසක්ය. මේ තත්ත්වයෙන් කැඩෙන්නට නම් අධ්‍යාපනයේ සංවර්ධනය යනු යටිතල පහසුකම් ගොඩනැගීමෙන් පමණක් නිමාවෙන දෙයක් නොවන බව තේරුම් ගැනීම ඉතාමත් වැදගත් බව පිළිගැනීම ඉතාමත් අවශ්‍යය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළේ ඇති යෝජනාව මගින් යටිතල පහසුකම් වර්ධනයට සමානවම විෂයමාලා සංවර්ධනය සහ ගුරු පුහුණුව තේරුම් ගැනීම ඉතාමත් වැදගත් කාරණයක්.

දියුණු රටක නම් විෂයමාලා සංවර්ධනය යන ඉතාමත් තීරණාත්මක හා සංවේදී විෂයයක්ය. විෂයමාලාව නිසි ආකාරයෙන් ගොඩ නැ​ෙඟන්නේ නැතිනම් රටක අධ්‍යාපනයේ දිසාව හරියට තීරණය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැත. විෂයමාලා සංවර්ධනය මගින් තේරුම්ගත යුත්තේ අපේ රටේ දරුවකු ඒ ඒ වයස් කාණ්ඩවලදී අවධානයට යොමු කළ යුතු විෂය පදනම කවරේද යන කාරණයයි.

අපේ රටේ මේ කලාපයම අද වනවිට තිබෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ සිරවූ තත්ත්වයක වන අතර එය වඩාත් ශක්තිමත් ආකාරයෙන් හා නිර්මාණශීලීව ගොඩනැගීම රටේ අවශ්‍යතාවක් බව පිළිගැනීම ඉතාමත් වැදගත් කාරණයක්ය. ලෝකයේ අනෙක් රටවල දරුවන් සහ අපේ රටේ දරුවකු අතර බුද්ධියේ වර්ධනාත්මක සමානතාවක් ගොඩනැගුවේ නැත්නම් ගෝලීය පරිසරයකදී අපේ දරුවන් හුදකලාවීම හෝ පැත්තකට තල්ලුවීම අනිවාර්යයෙන්ම සිදුවන දෙයක් බව පිළිගැනීම ඉතාමත් වැදගත්ය. ඒ නිසාම විෂයමාලාවේ වර්ධනය කියන්නේ රටේ අනාගතයේ දිසාව තීරණය කිරීම තරම්ම වැදගත් කාර්යයක් බව මගේ අදහසය. මේ කාරණය සඳහා විධිමත් හා බුද්ධිමත් විසඳුමක් ගොඩනැංවීමේ උත්සාහයක් ගැනීමට රජයක අවධානය යොමුවීම රට පැත්තෙන් ඉතාමත් ඉදිරිගාමී තත්ත්වයක්ය.

පසුගිය කැබිනට් මණ්ඩලයේ අනුමත වූ යෝජනා දෙක ඍජුවම සම්බන්ධ වෙන්නේ විෂයමාලා සංවර්ධනයට නොව ගුරු පුහුණුව හා සංවර්ධනය පැත්තෙන්ය. ගුරු සේවය ශක්තිමත් තත්ත්වයකට වර්ධනය කිරීමේ මෑතකාලීන පියවර ගත්තේ දිවංගත රිචඞ් පතිරණ ඇමැතිතුමාගේ කාලයේය. එම කාලයෙන් පසුව මෙම වෘත්ති සම්බන්ධයෙන් ගනු ලබන ඉතාමත් වැදගත් ප්‍රතිසංස්කරණයක් ලෙසින් මෙම යෝජිත ගුරු සේවය විශේෂ ශ්‍රේණියක් ලෙසින් ගොඩනැගීම සැලකිය හැකිය. එසේම එවැනි සේවා කලාපයක් ලෙසින් වර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ගුරු සේවයේ ‘වරලත්’ තත්ත්වයක් නිර්මාණය කිරීමට යොමුවීම ද ඉතාමත් වැදගත්ය.

මෙවර කැබිනට් මණ්ඩලයේ අනුමත වූ අනෙකුත් වැදගත් යෝජනාව වූයේ මෙරට ගුරුවරුන් සඳහා විශේෂ පුහුණුවක් සමඟ ගැටගැසුණු උපාධි ලබාගත හැකි ආයතන බවට අපේ ගුරු අභ්‍යාස විද්‍යාල වර්ධනය කිරීමේ වැඩසටහනයි. දැනට රට පුරා විසිරී ඇති ගුරු විද්‍යාල ජාලය විශ්වවිද්‍යාලවල පීඨ බවට පත් කරමින් දැනට තිබෙන සම්පත් වර්ධනය කිරීම හරහා මෙම කාර්යය සිදු කරන්නට උත්සාහ දැරීම මෙහි ඇති තවත් වැදගත්කමක් බව මගේ අදහසය. අනෙක් අතට පාසල්වල උගන්වන ආචාර්යවරුන් යනු විෂය දැනුම අතින් ශක්තිමත් අය වූවත් ඉගැන්වීමේ ශක්‍යතාවය අතින් එතරම් බරපතළ ආකාරයකින් සංවර්ධනය වූ පිරිසක් නොවන බව පැහැදිලි කාරණයකි. එවැනි තත්ත්වයකදී මෙම ආකාරයේ උපාධි වැඩසටහනක් හරහා පුහුණුව හා ශිල්පීය ඥානය යන දෙඅංශය පිළිබඳවම අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් කාර්යයකි.

අධ්‍යාපනයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඩලස් අලහප්පෙරුම මහතා පළකළ අදහසක් පසුගිය දවසක පුවත්පත්වල තිබුණි. ඔහු කියා තිබුණේ වර්තමාන අධ්‍යාපනයේ ගැටලුව වන්නේ ‘19 වන සියවසේ යටිතල පහසුකම් මත සිටිමින් 20 සියවසේ දැනුමක් තිබෙන ගුරු පරපුරක් විසින් 21 වන සියවසේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන’ බවයි. මේ කථාව ඉතාමත් නිවැරැදි තේරුම් ගැනීමක් අපට ලබාදෙන බව පැහැදිලිය. අපේ යටිතල පහසුකම් පවතින්නේ 19 වන සියවසටත් පැරැණි තත්ත්වයක වන අතර දැනට සිටින ගුරුවරුන්ගේ බහුතරය වන්නේ 20 සියවසේ අධ්‍යාපනය ලැබූ අයවලුන්ය. මේ කාණ්ඩයේ ගුරුවරුන් වර්තමාන ඩිජිටල් තාක්ෂණය යටතේ වර්ධනය වූවන් නොවන අතර ඒ අර්ථයෙන් අප සිටින්නේ බරපතළ පැරැණි තත්ත්වයකය. ඒ පැරැණි තත්ත්වය වඩාත් බරපතළ ආකාරයේ හිදැසක් පෙන්නුම් කරන්නේ අපේ දරු පරපුර සිටින්නේ වර්තමාන ඩිජිටල් යුගයේ වීම නිසාය. මේ හිස්තැන පුරවාලිය හැකි ආකාරයෙන් රටේ අධ්‍යාපනය ගොඩනැගීම අත්‍යවශ්‍ය තත්ත්වයක් බව නව පාලනය විසින් පෙන්නුම් කිරීම රටේ වාසනාවක් බව මගේ අදහසය.

මේ තත්ත්වය වර්ධනය කරමින් වඩාත් ඉදිරිගාමී අධ්‍යාපනයක් ගොඩනැගීමට වත්මන් ඇමැතිවරයාට හා පාලනයට හැකියාව ඇති බව අප කාගේත් විශ්වාසය වන අතර එම විශ්වාසය සැබෑවක් බවට පත්වන දිනය දෙස බලාපොරොත්තු සහගතව රටම බලා සිටින බව මගේ යෝජනාවය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්