මිනිසා විසින්ම නිර්මාණය කරන ලද මේ ව්‍යවස්ථා අර්බුදය නිසා, ඉන් අනතුරට ගොදුරු වන්නේ ආර්ථිකයයි. එය සැණෙකින් විසඳිය යුතුය. නැතහොත් විනාශමුඛයට යාම නියතය.
 
ජනාධිපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ නිලයෙන් පහකරන අතරතුර එම තනතුරට මහින්ද රාජපක්‍ෂ මහතා පත් කොට තිබේ.
 
දැන් රජයක් නොමැතිව අග්‍රාමාත්‍යවරුන් දෙදෙනෙකි.
 
පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන විපර්යාසයෙන් රට ව්‍යවස්ථාමය අර්බුදයකට ඇදී ගොස් තිබේ.
ජනාධිපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ නිලයෙන් පහකරන අතරතුර එම තනතුරට මහින්ද රාජපක්‍ෂ පත් කළේය. අර්බුදය නිර්මාණය වූයේ ව්‍යවස්ථාවේ වගන්තිවලට අනුකූලව රනිල් වික්‍රමසිංහ තවමත් අග්‍රාමාත්‍ය පදවියේ රැඳී සිටීමත් සමඟය. මෙය වැරැදි බව මහින්ද රාජපක්‍ෂට සහයෝගය දෙන අය කියති. මේ ආකාරයට ජනාධිපතිවරයා විසින් අවස්ථා දෙකකදී පත් කරනු ලැබූ අගමැතිවරු දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ සිටිති.
 
එහෙත් යථාර්ථය නම් ජනාධිපතිවරයා විසින් ක්‍රියාවේ යොදවනු ලබන විධායක බලය විනා රටේ හරි හැටි ව්‍යවස්ථාපිත රජයක් නොතිබීමයි. එම විධායක බලයට සීමාවක් ඇත. එය සදාකාලීකව පවත්වා ගත නොහැක්කකි. පාර්ලිමේන්තුව රැස් නොවන නිසා ව්‍යවස්ථාදායකය සහ සැබෑ විධායකය අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාව බිඳ වැටී තිබේ. මේ ආකාරයට යහපාලනය අතින් රටේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ පවතින්නේ අඳුරු නොපැහැදිලි බවකි. මෙය ශ්‍රී ලංකා ඉතිහාසායේ පෙර නොවූ විරූ දෙයක් වන අතර එහි ප්‍රතිඵලය කුමක් වුවත් එය සමාජ, දේශපාලන හා ආර්ථික ප්‍රතිවිපාක කරා ඈතට දිවෙනු ඇත.
 
පැහැදිලිව පෙනෙන ආර්ථික අර්බුදයක්: ආර්ථික වර්ධනය හෙමිහිට සිදුවීම (මන්දගාමී වීම)
 
මෙය සිදුවූයේ රටේ ආර්ථිකය දැඩි දුෂ්කර අඩියකට ඇද වැටුණු අවස්ථාවේය. රටපුරා උද්ධමනය බින්දුවේ මට්ටමට පසුබා තිබීම හැරුණු කොට අනෙකුත් සියලුම ආර්ථික නිර්ණායක (දර්ශක) කාලයක් පුරා ලෙඩ වූ ආර්ථිකයක ලක්‍ෂණ විද්‍යාමාන වූවේය. 2009 යුද්ධය හමාර වූ විගසම සියයට 8 ක් ලෙස වාර්තාවී තිබූ ආර්ථික වර්ධන වේගය දිගින් දිගටම මන්දගාමී වන්නට පටන් ගත්තේය. 2013, 2014 වර්ෂවලට සියයට 5 කටත් වඩා පහළට ඇද වැටුණු එය අවසාන අවුරුදු දෙකේදී සියයට 4 කටත් පහළට වැටුණේය.
 
ඊළඟ අවුරුදු පහ තුළ වඩාත් ප්‍රශස්ත මට්ටමෙන් ගත්තත් පෙනෙන විධියට ආර්ථිකය වර්ධනය වනුයේ සියයට 4.5 සිට 5 ක උපරිමය ගන්නා සාමාන්‍ය වර්ධන වේගයකිනි. එය ශ්‍රී ලංකාව පොහොසත් රටක මට්ටමට ඉදිරියට යෑමට අවශ්‍ය වන වර්ධන වේගය වූ 9% ට වඩා අඩු මට්ටමකි. ඒ ආකාරයට පොහොසත් ජාතියක් ලෙස දියුණුවේ ඵල විඳගන්නට ශ්‍රී ලංකාව දකින සිහිනය දිනෙන් දින බොඳවී යන්නේය. සංවර්ධනයේ මාවත ඔස්සේ ඉදිරියට ඇදෙන්නට අරගල කරන ජාතියකට එය මහත් හිසදරයකි.
 
හසුරුවා ගත නොහැකි අය වැය
 
මූල්‍ය අංශය අතින්, මුළු ආර්ථිකයේ ප්‍රමාණයෙන් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 කටත් වඩා වැඩි වූ සහ හසුරුවා ගත නොහැකි මට්ටමේ අයවැය හිඟයක් පවතී. මෙසේ වන්නේ බලයේ සිටි සෑම රජයක්ම එය පවතින දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 කට වඩා අඩු මට්ටමක තබාගන්නට පොරොන්දු වී තිබියදීය. 2018 ඉලක්කය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් වුවද එය කෙරුවාවේදී 5.3% වන බව පෙනේ.
 
මෙම අවාසිදායක ප්‍රතිඵලයේ දුක්ඛදායක විපාකය වී ඇත්තේ දිගින් දිගටම රාජ්‍ය ණය ගැනීම් වැඩි වීමය. එසේ ණය ගැනීම් වැඩි වන්නේ හිඟය පියවා ගන්නට පමණක් නොවේ. ගත් ණය සහ පොලිය ආපසු ගෙවීමටත් ණය ගත යුතුවේ. මේ මගින් රට භයානක ණය උගුලක පැටලී ඇත. මෙම කාරණය නොසලකා ඡන්ද දායකයන් සතුටින් තබනු වස් රජය තව තවත් ඵලදායී නොවන පොරොන්දු දෙයි.
 
ඉදිරියේදී නිසි අයවැයක් නොඑන නිසා 2019 ශ්‍රී ලංකාවට අන්ත දුෂ්කර අවුරුද්දක් වනු ඇත. මාස තුනකට අත්‍යවශ්‍ය මහජන සේවාවක් පවත්වාගෙන යාම සඳහා රජය තාවකාලික විසර්ජණ ගිණුමක් පවත්වා ගැනීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබේ. නිසි අයවැයක් නොමැතිව ශ්‍රී ලංකාවට, රාජපක්‍ෂ සහ වික්‍රමසිංහ පරිපාලනය යන දෙකේම අරමුණක් වූ පාලනයකින් යුතු අයවැයක් පවත්වාගෙන යෑම කෙරේ අවතීර්ණය වන්නට නොහැකි වනු ඇත. මේ වාතාවරණය යටතේ අයවැයට අදාළව අන්ත නරක තත්ත්වයක් මීළඟ අවුරුදු කිහිපයේදී පරිවර්තනය වන්නේය. ස්වදේශීය සහ විදේශීය යන දෙවර්ගයේම ආයෝජකයන් මෙය වාසිදායක තත්ත්වයක් ලෙස නොදකිනු ඇත.
භාණ්ඩ සහ සේවා අපනයනවලින් ලබන ආදායම් සහ විදෙස්ගත  ශ්‍ර්‍ී ලාංකිකයන් එවන  මුදල් (ප්‍රේෂණ) යනාදිය මෙරට ආර්ථිකය සතු වාසියකි. එය රටේ ආර්ථිකයේ විදෙස් අංශයේ ආදායම් වැඩිවීමට හේතුවකි.
 
ආනයන වියදම් වැඩිවීමත්, විදේශ ණය ගෙවීමට ඇති පොලී සහ විදෙස්ගතවීමට ශ්‍රී ලාංකිකයන් තුළ ඇති කැමැත්තත් යන කරුණු නිසා රටේ ආර්ථිකයේ විදේශ අංශයේ වියදම් වැඩිවී ඇත. එම වියදම වැඩිවීම නිසා අපනයනවලින් සහ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් එවන මුදල්වලින් ආර්ථිකයට හිමිවන වාසියෙන් කිසිදු ප්‍රයෝජනයක් ගැනීමට නොහැකිවී තිබේ.
 
විදේශ විනිමය හුවමාරුවේ ඇති හිඩැස අඛණ්ඩව විනිමය අනුපාතය මත දැඩි පීඩනයක් එල්ලකරමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව රුපියලේ අගය අඩුවී ඇත. එම අඩුවීම මුදල් ඒකකවල මිනුම් ලකුණුවලටද වඩා අඩුය. එමෙන්ම රුපියලේ අගය මේ වසර ආරම්භයේ තිබූ අගයට වඩා බෙහෙවින් අඩුවී තිබේ.
 
මෙම ආදායම් සහ වියදම් අතර පරතරය හෙවත් මේ හේතුකොට ගෙන ජනිතවන විදේශ විනිමය පරතරය, මුදලේ හුවමාරු අගයට (රුපියලේ අගය අඩු වීමට) දිගින් දිගටම බලපෑම් ඇති කර තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රුපියල ඩොලරයට සාපේක්‍ෂව ගන්නා අගය මෙම වසර මුලදී ගත් අගයට වඩා වසර අගදී ගන්නා අගය බෙහෙවින් පහළ මට්ටමකට එමින් පවතී.
 
මේ ආකාරයට රුපියලේ හුවමාරු අගය සියලුම දේශපාලන පක්‍ෂ විසින් සිදු කෙරෙන වඩාත් ජනප්‍රිය වූ “බෝලය පාස්කිරීමේ සෙල්ලමක්” බවට පත්වූයේය. ඔවුහු විරුද්ධ පක්‍ෂයේදී බලයේ සිටින රජයට රුපියල පහතට වැටෙන්නට ඇරියාට දොස් නගයි. එහෙත් ඔවුහු රජයේ ඉන්නා විට රුපියලේ අගය පහත වැටීම සාධාරණීයකරණය කර පෙන්වන්නට හැම අතින්ම වෙර දරති. එහෙත් බල්ලන් බුරද්දී, තවලම ඉදිරියට ඇදෙන්නා සේ රුපියලේ අගය මාසයෙන් මාසය දිගින් දිගටම පහතට ඇද වැටෙයි. ඊට හේතුව වන්නේ, එය වළක්වා ගැනීමට නිසි පිළියම් නොයොදා වැඩි වැඩියෙන් දේ පිටරටින් ගෙන්වා, අඩුවෙන් නිෂ්පාදනය කිරීමේ ජනප්‍රිය වාදයට ආණ්ඩු ඇදී යාමයි.
නිදහසේ රාජ්‍ය වියදම් උදෙසා ලබා දෙන ඕනෑම මුදලක් ආයෝජනය කරනවාට වඩා ඉක්මනින් (ආනයන සඳහා) පිටරටින් භාණ්ඩ හා සේවා ගෙන්වා ගැනීමට වියදම් කෙරෙයි. මේ මෑතකදී, ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය (MBA) හදාරන ශිෂ්‍යයන්ගෙන් ඔවුන් සැම දෙනාටම රුපියල් මිලියන 10 බැගින් දුනහොත් මොනවා කරන්නේද යන්න මම විමසුවෙමි. ඔවුන්ගේ ඒකමතික පිළිතුර වූයේ කාර් මිලදී ගැනීම, පිටරට සවාරි යාම හෝ වත්මන් කාලයේ මෝස්තර බවට පත්වූ විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ මිලදී ගැනීමට එම මුදල වියදම් කරන බවයි. මේ ආකාර මානසිකත්වයකින් සිදුවන්නේ, රජයේ වියදම්කාරී වැඩපිළිවෙළකින් උපයාගත් ආදායමකින් හෝ පිටරට ණයකින් ලැබුණු හෝ අලුතෙන් අච්චු ගැසීමෙන් ලැබුණු මුදල් වෙනත් රටවල ජනයාගේ ආදායමක් බවට පත්වීමයි. මේ ආකාරයට රුපියලේ වෙළඳපොළ අගය පහත වැටීමට ඇති බලපෑම වළක්වාගත නොහැකි මට්ටමකට පත්වේ.
 
අනතුරට බිලිවන්නේ ආර්ථිකයයි
 
මෙම පසුබිම යටතේ, රට ව්‍යවස්ථාමය අර්බුදයකින් පහර කෑ විට, අරාජික බව හමුවේ හෝ දුර්වල රජයක් හමුවේ ආර්ථිකයට එය වැටෙනා අගාධය පතුලෙන් ගොඩ එන්නට නොහැකිවේ. අර්බුදය දිග් ගැසෙන්නට දිග් ගැසෙන්නට ආර්ථිකයටද ඇති වන්නේ අහිතකර බවකි. ඒ ආකාරයට එය වර්තමාන ආර්ථික අර්බුදය තවත් නරක අතට හරවනු ඇත.
 
මේ ආකාරයට ආර්ථිකය එකවර අගතීන් දෙකකට භාජන වනුයේ පළමුව ආර්ථිකය මන්දගාමී වීම මගිනුත් දෙවනුව එම ප්‍රවණතාව පවතින ව්‍යවස්ථාමය අර්බුදයෙනුත් බල ගැන්වෙන නිසාය. මෙය “ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා” කියන අපේ කියමනට හොඳින් ගැළපේ. අවසානයේ මෙයින් පීඩාවට පත්වී දුක් විඳින්නේ කවුද? මෙම රට සිටි තත්ත්වයටත් වඩා වසර කිහිපයකට පෙර පහතින් සිටි රටවල් දෙස බලාගෙන හූල්ලන ශ්‍රී ලාංකිකයන්මය. ඊට හොඳම උදාහරණය වන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවටත් වඩා වේගයෙන් ඉදිරියට ඇදෙන වියට්නාමය සහ බංග්ලාදේශයයි.
 
දේපළ අයිතිය තහවුරු කිරීම
 
ව්‍යවස්ථා අර්බුදය ආර්ථිකයට බලපාන්නේ කෙසේද? ආර්ථිකය සකස් වී ඇත්තේ ජනතාව විසින් පරිහරණය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන කුඩා පරිමාණයේ ආර්ථික ඒකක දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් එක්වීමෙනි. ඇතැම් භාණ්ඩ පාරිභෝජනය කරන්නේ රට තුළමය. ඒ අතර තවත් ඒවා විදේශිකයන්ගේ පරිභෝජනය පිණිස පිටරට යවනු ලැබේ. මෙම නිෂ්පාදන නොකඩවා පවත්වාගෙන යාමට සියලුම එ්කකවලට, පරිහරණය කොට ක්ෂය වී ගිය ප්‍රාග්ධනය වෙනුවට අලුතෙන් මුදල් ආයෝජනය කිරීමත්, නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමත් (නිෂ්පාදනය කළ හැකි ප්‍රමාණය වැඩි කිරීමට ඇති හැකියාව) අවශ්‍ය වේ. ඒ මගින් නිෂ්පාදනය වැඩි වැඩියෙන් කිරීමේ හැකියාව උදාවේ.
 
මහජනයා එසේ කරන්නේ ඔවුනට ආර්ථිකය කෙරේ විශ්වාසය තැබිය හැකි නම් පමණකි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට සිතා ඉන්නා විදේශිකයන්ට විශේෂයෙන් අදාල වේ. අලුත් ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, කර්මාන්තශාලා හෝ ගොවිපළ උදෙසා ආයෝජනය කරන අයට එම ආයෝජනවල හිමිකම පවත්වා ගනිමින් එම ආයෝජන වල ඵල බුක්ති විඳීමේ අයිතිය ඇත. ආර්ථික විද්‍යාඥයෝ ඊට “දේපළ අයිතිය” යැයි කියති.
 
දේශීය හා විදේශීය ආයෝජකයින් දෙගොල්ලන් ආර්ථිකය කෙරේ විශ්වාසය තමන්ගේ ඔවුන්ගේ දේපළ අයිතිය සහ ආරවුල් විසඳීමේ ක්‍රමය බලගැන්වී නිසි නීතියකින් බලගැන්වී ඇත්නම් පමණකි. මගේ දේපළ, මගේ කැමැත්තට පිටුපා හෝ මට වන්දියක් නොගෙවා කාට හෝ බලෙන් පැහැර ගත හැකි නම් අලුතෙන් මුදල් ආයෝජනය කොට දේපළ හිමිකරගන්නට මට ආසාවක් ඇති වන්නේ නැත. දේපළ අයිතිය ආරක්ෂා කරනු ලබන්නේ හරි හැටි සකස් වූ ව්‍යවස්ථාවකිනි. බලයේ ඉන්නා සැමදෙනා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට ගරු කළ යුතුය. එය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද පෙන්විය යුතුය. එම අයිතිය කඩ කළහොත් වෙළඳපොළ තුළ අවිනිශ්චිත බවක් ඇති වේ. අවිනිශ්චිත බව වෙළෙඳපොළට අවාසිදායකය.
 
ප්‍රතිපත්ති සැලසුම්කරුවන්ගේ කැමැත්තට ප්‍රතිවිරුද්ධ දේ වෙළඳපොළ විසින් බෙදා හැරීම
 
වෙළෙඳපොළ තුළ අවිනිශ්චිත බවක් හට ගත්විට ඒවා පමණට වැඩි ප්‍රතික්‍රියා දක්වයි. එවිට ප්‍රතිපත්ති සැලසුම්කරුවන්ට අවශ්‍ය නොවූ දේ නිෂ්පාදනය කරමින් ඒවා වෙළඳපොළේ සමතුලිත බව ආපසු ලබාගන්නට උත්සාහ දරයි.
 
උදාහරණයකට ප්‍රතිපත්ති සැලසුම්කරුවන්ට විනිමය අනුපාතිකය (මුදල් හුවමාරු අගය) එක්තරා ස්ථාපිත මට්ටමක පවත්වා ගන්නට අවශ්‍ය නම් එම පරතරය පුරවා ගැනීමට ඔවුනට එක දිගට විදේශ විනිමය වෙළඳපොළට සැපයුම් කිරීමට සිදුවේ. පවතින තත්ත්වයට වඩා ඉහළ ඉල්ලුමක් විදේශ විනිමයට ඇති වීම හේතුවෙන් මුදලේ අගය පහත වැටීමට බලපෑමක් ඇති වේ නම් වෙළඳපොළ තුළ අවිනිශ්චිත බවක් නිර්මාණය වී මහා බැංකුව විසින් විදේශ විනිමය, වෙළඳ පොළ තුළට සපයන විට, වෙළඳ පොළ නියෝජනය කරන්නෝ තමන් ගෙවනා මිලකට සීමාවක් නැති තරම් ප්‍රමාණයන් මිලදී ගත හැකි බව දන්නා විටකදී, තව තවත් විදේශ විනිමය මිලදී ගන්නට පෙළඹෙති. එවිට වැඩිවන ඉල්ලුමට සරිලන ලෙස තව තවත් සැපයුම වැඩි කරන්නට මහ බැංකුව පෙළඹේ. තව තවත් ජලය දැමූ විට ළිඳක දිය උරාගෙන සිඳී යන්නාක් මෙන් එය නිරර්ථක වෑයමක් වනු ඇත. ඉක්මනින්ම හෝ කල් පසුවී වෙළඳපොළ වෙත සැපයුම් කිරීමේ හැකියාව අඩු වනුයේ ඔවුන්ගේ විදේශ විනිමය සංචිත ටිකෙන් ටික අඩුවන බැවිනි. මේ අවස්ථාවේදී වෙළඳපොළ අනුකම්පා විරහිත ලෙස ප්‍රතිප්‍රහාර දෙන්නට පටන් ගනී. එවිට විනිමය අනුපාතිකය ප්‍රතිපත්ති සැලසුම් කරන්නන් හට අවශ්‍ය වූ දිසාවට නොව ඊට විරුද්ධ දිසාවට හුවමාරු අනුපාතිකය ගමන් කරයි.
 
ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය 2001, 2009, 2012, 2016 සහ දැන් 2018 දී හට ගත්තේය. මේ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව විදේශ විනිමය අහිමි කර ගත්තේය. ඒ අතරම එයට අවශ්‍ය මට්ටමට විනිමය අනුපතිකය ස්ථාවරව පවත්වා ගන්නට නොහැකි වූයේය. ඒ වෙනුවට සිදුවූයේ කලින් පැවති තත්ත්වයටත් වඩා හුවමාරු අනුපාතිකය පහත වැටීමයි.
මෙම අත්දැකීම 1997 දී තායිලන්තය ලැබුයේය. ඩොලරයට බාට් (Baht) 25 ලෙස ස්ථාවර හුවමාරු අනුපාතිකයක් බාට් මුදල් ඒකකයට තබාගන්නට තායි මහ බැංකුව (Bank of Thailand) ඩොලරයට ආ කෑදර ඉල්ලුම සන්සිඳුවන්නට ඩොලර් බිලියන 25 ක් නැති නාස්ති කළේය. එහි සංචිත සියල්ල අහිමි වූ පසු බාට් හුවමාරු මිල නිදහසේ පහත වැටෙන්නට ඉඩ දෙන්නට ඊට සිදුවිය. එය අවසන් වූයේ එක රැයකින් ඩොලරයට බාට් 50 මට්ටමට ආ පසුවයි. බරට විදේශ මුදල් ණයට ගත් තායි රටේ පෞද්ගලික අංශය මෙයින් අස්ථාවර බවට පත්විය. විදේශ මුදල් වැඩි වශයෙන් ණයට ගත් තායි වාණිජ බැංකුවද මෙම තත්ත්වයට ඇද වැටී බැංකුකරුවන් (Short Position) යනුවෙන් හඳුන්වන අවස්ථාවට පත්විය. අවිනිශ්චිතභාවය රුචිනොවූ වෙළඳපොළ, ප්‍රතිප්‍රහාර දුන් හැටි ඒ ආකාරය. පෞද්ගලික කොම්පැනි සහ වාණිජ බැංකු බංකොළොත් කරමින් එය පොදු ආර්ථිකය කඩා වැට්ටුවේය.
 
අවිනිශ්චිතභාවය ලොකුම තර්ජනයයි
 
ඕනෑම ආර්ථික ක්‍රමයකට ඇති ප්‍රබලතම තර්ජනය ඉහත කී අස්ථාවර භාවයයි. ඉන් ජනයා භීතියට පත්වන අතර එම භීතිය මගින් පොදුවේ අනියත බියකට ඔවුහු ඇදී යති. එම අනියත බිය තුළ ඉන්නා නැතැත්තා තාර්කිකභාවයක් නොදකී. හේ විචාර බුද්ධියෙන් කටයුතු නොකරයි. අතාර්කිකව සහ විචාර බුද්ධියෙන් තොරව කල්පනා කරන ජනයා ආර්ථිකය වැරදි ලෙස වටහාගෙන වඩාත් දෝෂ සහගත ක්‍රියා (වැරැදි ක්‍රියා) කරන්නට පටන් ගනී. සාමාන්‍ය තත්ත්වයට පවා බිය වී ඊට ප්‍රතිචාර ලෙස පමණට වැඩි ප්‍රතික්‍රියා පාමින්, තම පාඩු පියවා ගන්නට අන්තගාමී යෝජනා පිළිගෙන කටයුතු කරයි. ජනයාගේ පැත්තෙන් ගන්නා මෙම ක්‍රියාකාරකම් වඩ වඩාත් අවිනිශ්චිත බවක් නිර්මාණය කරන අතර එම අවිනිශ්චිත බව තව තවත් හුඹස් බියකට ඔවුන් ඇදගෙන යයි. එසේම හුඹස් බියත්, අස්ථාවර බවත් විසින් එකිනෙකා ආත්මාර්ථකාමී ආර්ථික ක්‍රියාවලට පොළොඹවනු ලබයි. ඒ හා සමානවම එම කටයුතු සමස්ත ආර්ථිකයටම හානිකර වේ.
 
එකිනෙකාට පිළිමල් පක්‍ෂ ආර්ථිකයට අහිතකර බලපෑම් ඇති කරයි.
 
මෙම ව්‍යවස්ථා අර්බුද දිගින් දිගට ඇදී ගියොත් ඒවායින්ද ඉහත කී ප්‍රතිඵල ගෙන එනු ඇත. රනිල් වික්‍රමසිංහ නායකත්වයෙනුත්, මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙනුත් යුතු පක්‍ෂ එකිනෙකා සමග යුද වැදී සිටිති. තමන්හට බහුතරය ඇතැයි පක්‍ෂ දෙකෙන්ම කියන නමුත් එය තහවුරු කොට දැනගත හැක්කේ පාර්ලිමේන්තුව තුළ පවත්වන ඡන්දයකින් පමණකි. වෙනත් හේතුවක් නිසා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දමා ඇති නිසා එකිනෙකාගේ ශක්තිය පෙන්වන්නට ඔවුන්ට අවස්ථාවක් ලැබී නැතිවාක් මෙන්ම අස්ථාවර බව නවතා දමන්නටද ඊට නොහැකි වී තිබේ.
 
මිනිසා විසින්ම නිර්මාණය කරගනු ලැබූ මෙම අවිනිශ්චිතභාවයේ ප්‍රතිඵලය සරලය. පක්‍ෂ දෙකටම එකිනෙකාට වාග් ප්‍රහාර එල්ල කරගන්නටත් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින්නටත්, තම ශක්තිය පෙන්වනු උදෙසා ආධාරකරුවන් කොළඹට ගෙන්වන්නටත් පුළුවන. මේවා ප්‍රායෝගික වශයෙන් වියදම් නොයන පියවර නොවන්නේ මෙම දෙපාර්ශවයටම සැබෑ සම්පත් වැය කිරීමට අවශ්‍ය නොවන නිසාය. කෙසේ වුවද ලැබී ඇති අත්දැකීම් වලින් පෙන්වා දී ඇති පරිදි එම පිළිමල් පක්‍ෂ දෙක එසේ කරත්ම ඒ අය ජනතාව හට දෙන හුඹස් බියේ තීව්‍රතාවද වැඩිවේ. මෙය යම් කාලයක් පුරා පවතින්නක් බැවින් එය ජනතාව සැකය තුළ රඳවා තබයි. සැකයකින් යුතුව කටයුතු කරන ජනතාව එකිනෙකාට ඇති බිය පල කරගන්නවා හැර ඵලදායී කාර්ය්‍යක නිරත වන්නේ නැත. මෙහිදී හානි වන්නේ ආර්ථිකයට මිස යුද වැදී ඉන්නා පක්‍ෂ දෙකට නොවේ.
 
(FDI) ඍජු විදේශ ආයෝජන සහ අනුපාතිකය කෙරේ බලපෑම
 
මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට විදේශ විනිමය අවශ්‍යතාවයේ අඩුව පිරවීමට ණයට එකතු නොවන මූලාශ්‍රවලින් විදේශ ආයෝජන තදින්ම ඕනෑ කරයි. අනෙක් අතට නවීන තාක්‍ෂණය අත්පත් කර ගැනීමද අවශ්‍යය. ඒ මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අලුත් නිෂ්පාදන ධාරිතාවක් එක්​ෙකාට වඩ වඩාත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ හැකිවේ. ඒ දෙකෙන්ම ජනතාවගේ යහපැවැත්ම වර්ධනය වනු ඇත.
 
කලින් කී ලෙස විදේශ ආයෝජකයන්ට තම දේපළ අයිතිය ආරක්ෂා කර ගැනීමට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යය. එසේ නොවේ නම් ඔවුන් රටෙන් ඉවත්ව යනු ඇත. මෙයින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වලින් තවත් පහළට වැටී, දැනට ඉන්නා, “B1 නෙගටිව්” මට්ටමෙන් පහළට වැටී වෙළෙඳපොළෙන් විදේශ ණය ලබාගැනීමේ වියදමද වැඩි කරලනු ඇත.
 
මේ නිසා දැනට පවතින ව්‍යවස්ථාමය අර්බුදය හැකි ඉක්මනින් විසඳා ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරභාවය තහවුරු කිරීම පිණිස මංපෙත් සකසා ගත යුතුවේ.
 
Daily FT පුවත්පතට ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන විසින් ලියන ලද ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ