නිලධාරී මට්ටමේදී පැවති ඇදහිය නොහැකි අකාර්යක්ෂමතාවය, බුද්ධි අංශවලින් කළ අනතුරු ඇඟවීම් තරයේම නොසළකා හැරීම, තත්ත්වය පාලනය කරගැනීමෙහි ලා දේශපාලනමය නායකත්වයේ වූ අසමත්භාවය හමුවේ 359 දෙනෙක්ට, පසුව සැළකිය යුතු මට්ටමකින් 253ක් දක්වා පහත හෙලනු ලැබුණු, පසුගිය පාස්කු ඉරිදා සංහාරයේ දී සිය ජීවිත අහිමි විය. තුවාළ ලැබූවන්ගේ සංඛ්‍යාව 600 කට ආසන්න බැව් මුලින් සදහන් කෙරුණ ද, එය ද පසුගිය බ්‍රහස්පතින්දා රැයේ 149ක් දක්වා පහත හෙලුණේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ සටහන් වූ විශාලම සංහාරයන්ගෙන් එකක ඛේදාන්තයට එයට ඈඳිය නොයුතු පන්නයේ හාස්‍යයක් ද එක් කරවමිනි.

වහාම ඉල්ලා අස්වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිය ද, පොලිපති පූජිත් ජයසුන්දර මහතා සිය ධූරයේ තවදුරටත් රැදී සිටී. ඔහු වෙනුවට ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ සී.ඩී.වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති ලෙෂ ඊයේ (29 වැනිදා) පත්කරන ලදි. ඉල්ලා අස්වන ලෙස පොලිස්පතිවරයාට කර තිබෙන දැනුම්දීම හමුවේ දිවයින පුරා පොලිස් ස්ථාන මේ වන විට ඔවුනොවුන්ට ලැබෙන උපදෙස් නැවත වරක් පොලිස් මූලස්ථානයෙන් සහතික කරගැනීමට යොමුවී සිටී. 

විමර්ශන සදහා අවශ්‍ය බව සදහන් කෙරුණු පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ඡායාරූප සහ විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය සතියේ ප්‍රසිද්ධියට පත් කළේය. එහි සදහන් වූ එක් තැනැත්තියක් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා කියා සිටියේ එම කිසිදු සැකකරුවකු සමග තමාගේ සම්බන්ධතාවයක් නොමැති බවයි. මේ හමුවේ නිර්මාය වූ වියවුල ද පසුව නිවැරදි කෙරිණ.

ඉල්ලා අස්වන ලෙසට කැරුණු දැනුම්දීම හමුවේ ඉල්ලා අස්වුනු හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් පුරප්පාඩු වූ ආරක්ෂක ලේකම් තනතුරට හිටපු හමුදාපතිවරයකු වූ ශාන්ත කෝට්ටගොඩ මහතා පත්කරන ලදි. 

ශාන්ත කෝට්ටගොඩ මහතා පත්වීමට පෙර, සිරිසේන මහතා රටේ ජනපතිවරයා ලෙස පාලනය භාරගත් 2015 සිට, මේ දක්වා පත්වූ ආරක්ෂක ලේකම්වරුන්ගේ සංඛ්‍යාව 5 කි. ඔවුන් කිසිවෙකුට හෝ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් කිසිදු පූර්ව අත්දැකීමක් නොතිබුණු අතර, ආරක්ෂක කටයුතුවලට අදාළ කාරණා සම්බන්ධයෙන් ද කිසිදු අවබෝධයක් නොතිබිණ. ආරක්ෂක ලේකම්වරයා පත්කිරීමේ දී සැළකිල්ලට ගැනුණු ප්‍රධානම කාරණය වූයේ ඔවුන්ගේ දේශපාලන පසුබිමයි. 

කලින් පැවැති රාජපක්ෂ රජය හා රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් සමග කිසිදු සබඳතාවයක් නොතිබීම ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වීම සදහා සැපිරිය යුතු වූ ප්‍රධානම සුදුසුකම විය. රටේ බුද්ධි අංශයේ ඉහළම තනතුර වන ජාතික බුද්ධි ප්‍රධානිී තනතුරට පුද්ගලයින් පත්කිරීමේදී අවධානය යොමු කැරුණු ප්‍රධාන සුදුසුකම ද මෙයම විය. බුද්ධි තොරතුරු එක්රැස් කරගැනීමෙහි කිසිදු පළපුරුද්දක් නොමැති විශ්‍රාමික අපරාධ පරීක්ෂකවරයෙක් මෙම තනතුරට පත් කැරුණු අතර, වාර්ෂිකව ඔහු සහ ඔහුගේ කණ්ඩායමේ ධූර කාලය දීර්ඝ කැරිණ.

දැන්, ඔවුන් රජයේ වෙනත් ආයතන වෙත යැවූ රහසිගත බැව් කියන වාර්තා සමාජ මාධ්‍ය හරහා කරළියට පැමිණ තිබේ. මෙය තමතමන්ගේ ගැලවීම සදහා ඔවුන්ම කළ දෙයක් බවට කිසිදු සැකයක් නැත. ජාතික බුද්ධි ජාලය මත ද අනවශ්‍ය බරක් පැටවී තිබෙන බව ද මෙහි දී සදහන් කළ යුතුය. ගෙවුණු සමයේ බොහෝ විට තමන්ට බල කැරුණේ දේශපාලන විරුද්ධවාදීන් ලුහුබැදීමට මිස ජාතික ආරක්ෂාවට අදාළ බුද්ධි තොරතුරු එක්රැස් කිරීමට නොවන බව බුද්ධි අංශ නිලධාරීන් පවසා සිටිනුයේ අතිශය කණගාටුවෙනි.

සිකුරාදා රටේ මාධ්‍ය ප්‍රධානීන් ඇමතූ ජනපති සිරිසේන මහතා, බුද්ධි තොරතුරු ලබාගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් තමා විමසා සිටි විට ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා යන දෙදෙනම බිම බලාගත් බව පැවසුවේය. ආරක්ෂක ලේකම්වරයා සැළකීමේ දී තත්ත්වය තවත් බරපතලය.

මීට මාස කිහිපයකට ඉහත ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආගමික නායකයන් සාමාජිකත්වය දරන විශාලතම එකතුව වන ඕල් සිලෝන් ජමායිතුල් උලෙමා සංවිධානයේ දූත පිරිසක් හා ජනපති සිරිසේන මහතා අතර විශේෂ හමුවක් පැවැත්වී ඇත. එම දූත පිරිසේ අරමුණවී ඇත්තේ අයි.එස්.අයි.එස්. සංවිධානයට සහාය දක්වන ත්‍රස්ත කණ්ඩායම් කිහිපයකින් මෙරටට එල්ල විය හැකි තර්ජන සම්බන්ධයෙන් කල්තියාම අනතුරු ඇගවීමක් සිදුකිරීමය. 

අයිඑස් ත්‍රස්ත කණ්ඩයාම අරාබි භාෂාවෙන් ‘ඬේෂ්’ ලෙස හැදින්වෙන අතර, ඉංග්‍රීසි භාෂාවෙන් - ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඞ් සිරියා (ඉරාකයේ සහ සිරියොවේ ඉස්ලාමික රාජ්‍යය), යන වදන්හි මුල් අකුරින් අයිඑස්අයිඑස් යන කෙටි නම තැනේ. 

උලෙමා සංවිධානයේ ප්‍රධානියා මෙම ත්‍රස්ත කණ්ඩායමේ ක්‍රියා සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ජනපතිවරයා වෙත ලබාදුන් අතර, එය ඔහු ආරක්ෂක ලේකම්වරයා වෙත භාරදුන්නේය. කතාවේ අවසානයත් එය විය. එතැනින් අනතුරුව එම වාර්තාව සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනිණ.

“මට දුරකතන ඇමතුමක් ලබා නොදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමාව ඉල්ලා සිටියා. මම මේ ගැන දැනගත්තේ සිංගප්පූරුවේ සිටි අනෙක් අයගෙන්” ජනපතිවරයා අනාවරණය කළේ ය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය ගැටලුකාරී සහ අවදානාත්මක තත්ත්වයක් නිර්මාණයව තිබෙන බව මෙම තීරුවෙන් අනාවරණය කළේ මෙම වසරේ ජනවාරි මාසය තරම් ඈතකදීය. එදා තීරුවේ සදහන් වූයේ මෙවැන්නකි.

මෙවන් තර්ජනයක් රටේ පැනනැගී තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට සහ සමස්ත ආරක්ෂක ව්‍යුහයම තනි පුද්ගලයකුගේ අතට - ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ අතට, පත්කර තිබෙන අවස්ථාවකය.

රණවිරුවන් යනු පදක්කම් දිනාගත් පුද්ගලයින් මිස අනෙක් අය නොවන බව ප්‍රසිද්ධියේම කියා සිටීමෙන් ඔහු මහා ආන්දෝලනයක් නිර්මානය කර තිබේ. ඔහුගේ මෙම අදහස් හමුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ද පසුවන්නේ නොපහන් සිතකිනි. 

පදක්කමකින් පිදුම් ලැබීමකින් තොරව රට වෙනුවෙන් දිවි දුන් හමුදා සාමාජිකයන් දහස් ගණනකි. දශක තුනක යුද්දයට සිය දිවිය කැපකොට අත්පා අහිමි කරගත් හමුදා භටයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ව, ආරක්ෂක ලේකම්වරයා ඔහුගේ ප්‍රකාශයෙන් හෑල්ලුවට ලක්කරයි. සේනාධිනායකයා වන ජනපති මෛත්‍රීපාල සිරිසේනට මේ අරබයා නිවැරදි පියවර ගත හැකිය...

ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නොදැනුවත්භාවය දිගින් දිගටම නිරාවරණයව තිබෙන්නේ ඉහත පරිදිය.

පසුගිය සතියේ බීබීසී පුවත් සේවය හා අදහස් දක්වමින් ඔහු කියා සිටියේ හෝටල සදහා ආරක්ෂාව සැපයීම රජයේ වගකීමක් නොවන බවයි. එය හෝටල හිමියන්ගේ වගකීමක් බවත්, ඔවුන් එය බලාගත යුතුව තිබෙන බවත් ඔහු පැවසුවේය. රටේ ආරක්ෂක ලේකම්වරයා කරන මෙවැනි ප්‍රකාශයක් විදෙස් රටවල සහ එම රටවල සිට මෙරටට පැමිණීමට සිටින සංචාරකයින් අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කුමන නම් ප්‍රතිරූපයක් ගොඩනගනු ඇති ද? 

පසුගිය ඉරිදා ප්‍රහාරයෙන් පසුව මේ දක්වා ගෙවී ඇති කාලයේ සංචාරක ක්ෂේත්‍රයට සිදුව තිබෙන පාඩුව ඩොලර් කෝටි 150ක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දැනටමත් ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට හෝ රජයට අත්ව තිබෙන කිසිදු යහපතක් නැත.

පසුගිය සිකුරාදා අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු සහ සොලිසිටර් ජනරාල්වරයකු වන සුහද ගම්ලත් මහතාට ආරක්‍ෂක ලේකම්තනතුර භාරගන්නා ලෙස ආරාධනාවක් කැරුණ ද, ඔහු එය ආචාරශීලීව ප්‍රතික්ෂේප කළේය. ඊට පෙර හිටපු හමුදාපති, ජනරාල් දයා රත්නායක මහතාගේ නම නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කිරීමට සදහන් වුවත්, ඔහුව එම තනතුර සදහා පිළිගෙන නැත.

මේ සියල්ල පසුපස තිබෙන තිත්ත ඇත්ත මෙයයි. එය නම් රටේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කරන ජාතික බුද්ධි සේවයට ඔවුන්ට ලැබුණු තොරතුරු අරබයා අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරවීමට නොහැකිව ගොස් තිබීමය. එවැන්නක් සිදුවූයේ ඉදිරියේ එන ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඉන්දියා බුද්ධි වරක් නොව තෙවරක්ම අනතුරු ඇගවීම් සිදුකර තිබූ වාතාවරණයකය. 

ඉහළ වෘත්තිමය හැකියාවකින් හෙබි හමුදා බුද්ධි අධ්‍යක්ෂ අංශය (ඩීඑම්අයි) එය පැවැති තැනින් පහළ දෙවැනි තැනකට පත්කිරීමට බලධරයින් කටයුතු කර තිබීම ද මෙම තත්ත්වයට තවත් ඌණ පූර්ණයක් සපයා ඇති කාරණයකි. 2009 වසරේ මැයි මාසයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමෙහි ලා මෙම අංශය ඉටුකළ මෙහෙය රහසක් නොවන අතර, නිධානයක් හා සම බුද්ධි තොරතුරු සම්භාරයක් ඔවුන් සන්තකයේ පවතී. ආරක්ෂක අංශයේ ආරංචි මාර්ගයකට අනුව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ආරක්ෂක කවුන්සිල රැස්වීම් කිහිපයකදීම, බුද්ධි තොරතුරු එක්රැස් කිරීම ඒකාබද්ධ කිරීම සදහා සියලුම ආරක්ෂක අංශ නියෝජනය වන ඒකාබද්ධ බුද්ධි ව්‍යුහයක් ඇතිකරගත යුතුවීමේ වැදගත්කම පෙන්වා දී තිබේ. කෙසේවුවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේ ය.

මෙම එකාබද්ධ බුද්ධි ව්‍යුහය පිහිටුවීමට අවසානයේ අනුමැතිය හිමිවූයේ පසුගිය ඉරිදා අයිඑස් හිතවාදී ත්‍රස්ත කණ්ඩායමක් මෙරට දියත් කළ ප්‍රහාරවලින් පසුවය. අභිනවයෙන් පිහිටුවන ලද ඒකාබද්ධ මෙහෙයුම් අණදීම් (ජේඕඅයි) අංශය යටතේ එය ක්‍රියාත්මක වනු ඇත. 

විමර්ශන කටයුතු කඩිනමින් ආරම්භ කෙරෙන බව සහතික කිරීම සදහා අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මෙහි එක් පාර්ශවයක් ලෙස එකතු කර ගැනෙනු ඇත. ආගමික ස්වරූපයෙන් පැමිණෙන මෙම අලුත්ම ප්‍රචණ්ඩ ක්‍රියාවන් පිටුදැකීම එහි ප්‍රධාන කාර්යභාරයයි. ජනවාර්ගික හෝ ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට ගැනෙන උත්සාහයන් වැළැක්වීම, ත්‍රස්තවාදීන් සම්පූර්ණයෙන් මර්දනය කිරීම, මෙම අංශය පෙනී සිටින අරමුණුය. මහජන ආරක්ෂක ආඥා පණතේ (2 කොටස) හරහා මෙලෙස කටයුතු කිරීමට අවැසි නෛතික අවසරය අදාළ නිලධාරීන්ට ලබා දී තිබෙන අතර, අප්‍රේල් මස 22 වැනිදා සිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනපතිවරයා පියවර ගෙන තිබේ. පසුගිය බදාදා පැවැති පාර්ලිමෙන්තු සැසියේ දී ඊට ඒකමතික අනුමැතිය හිමිවිය.

බොහෝ දේශපාලඥයින් ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට පැමිණියේ එම රැස්වීම් අවසන් වූ පසුව බව වෙනත් ආරංචි මාර්ගයක් පැවසුවේය. “ගොඩක් වෙලාවට ඒ අය විනාඩි 10ක් විතර ඉඳගෙන ඉදලා, වෙන මොකක් හරි වැඩක් තියෙනවා කියලා යනවා” යයි එම ආරංචි මාර්ගය පෙන්වා දුන්නේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පසුගිය සතියේ පැවැති ආරක්ෂක කවුන්සිල රැස්වීමේ දී, නව ඒකාබද්ධ අණදෙන අංශයට, එම අංශයට අදාළ පරිදි කටයුතු කළ හැකිවන පරිදි වන රෙගුලාසි නීතිපති දෙපාර්තමේන්තුවෙන් සකස් කර දෙන බව (මහජන ආරක්ෂණ ආඥා පණතේ 2 කොටස යටතේ) සහතික කරන ලෙසට ජනපති සිරිසේන මහතා, අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියට උපදෙස් දුන්නේ ය. ජාතික තවුහීඞ් ජමාත් (එන්ටීජේ) සහ එහි සහායක කණ්ඩායමක් වන ජමායිතුල් මිලාතු ඊබ්‍රහිම් (ජේඑම්අයි) යන සංවිධාන තහනම් කිරීමද එයට ඇතුළත් වනු ඇත. 

පාස්කු ඉරිදා ප්‍රහාරයන් දියත් කළේ මෙම කණ්ඩායම් ද්විත්වයයි. අයිඑස් සංවිධානයට සහාය දක්වන ජේඑම්අයි කණ්ඩායම මෙම ප්‍රහාරය එල්ල කිරීමේ දී දෙපිළ බෙදී සිට ඇති බවත්, ප්‍රහාරය සදහා හවුල් වී තිබෙන්නේ එම එක් පාර්ශයක් පමණක් බවත්, හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ බි්‍රගේඩියර් චූලා කොඩිතුවක්කු මහතා ජනපති සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා පැවැති මාධ්‍ය හමුවේ දී අනාවරණය කළේය.