ලෝක භෞත චිකිත්සක සංවිධානයේ මඟ පෙන්වීම යටතේ ලොවපුරා වෙසෙන භෞත චිකිත්සකවරු මෙන්ම විවිධ සංවිධාන සැප්තැම්බර් මස 08 වෙනිදාට යෙදෙන ලෝක භෞත චිකිත්සක දිනය සැමරීමට සූදානම් වෙයි.  

ලෝක භෞත චිකිත්සක දින ප‍්‍රධාන තේමාව ලෙස ‘සෞඛ්‍ය සඳහා චලනය’ නම් කර ඇති අතර ඊට අනුරූපීව ‘ඇඞ් ලයිෆ් ටු ඉයර්ස්’ යන කාලෝචිත තේමාවද එක්කරමින් නව මුහුණුවරක් යටතේ ලෝක භෞත චිකිත්සක දිනය සැමරීමට මෙවර උපදෙස් ලබාදී තිබේ.

වයසත් සමඟ සෞඛ්‍යයේ සිදුවන වෙනස්වීම් පිළිබඳ වාර්තා සහ ඒ හා සම්බන්ධව සමීක්‍ෂණ වාර්තා රැසකට අනුව වයසට යාමත් සමඟ සිදුවන සෞඛ්‍යමය වෙනස්කම් හා බෝ නොවන රෝග වර්ධනයවීම වළක්වා ගැනීම සඳහා භෞත චිකිත්සාව තුළින් විශිෂ්ඨ මෙහෙයක් සිදුකළ හැකිය. සෞඛ්‍ය සම්පන්න වැඩිහිටි පරපුරක් ලොවට දායාද කිරීම තුළින් විශාල මුදල් ප‍්‍රමාණයක් ඉතිරිකර ගත හැකි බව ලෝක භෞත චිකිත්සක සංවිධානය පෙන්වා දෙයි.

1951 වසරේදී ලෝක භෞත චිකිත්සක සංවිධානය පිහිටුවාගත් අතර 2003 වසරේදී ශ්‍රී ලංකාවට එම සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය හිමිවිය. පළමු සමුළුව සහ 50 වැනි සංවත්සර යන සමුළු දෙක සඳහාම සහභාගිවීමට ශ්‍රී ලංකා භෞත චිකිත්සක හා වෘත්තීය චිකිත්සක විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය තීරා ප‍්‍රනාන්දු මහත්මියට හැකිවිණි. එසේම 2013 වර්ෂයේදී ශ්‍රී ලංකා ‘ෆිසියෝ ලයිෆ් කෙයාර්’ ආයතනය නියෝජනය කරමින් ආචාර්ය සුජීව වීරසිංහ සහ ආචාර්ය කුමාර පතිරණ යන මහත්වරුන් ඉදිරිපත් කළ ‘හිසරදයට විසඳුමක්’ සහ වේදනාව මනින ඒකකයක්’ යන නව සොයාගැනීම් දෙක සමුළුවේදී ඉදිරිපත් කිරීමට ලැබීම ශ්‍රී ලංකාව ලද ජයග‍්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

2013 වසරේ ආසියා පැසිපික් කලාපීය සමුළුවේ 7 වැනි විද්‍යාත්මක සැසියේ මුලසුන ශ්‍රී ලංකා භෞත චිකිත්සක සංගමයේ හිටපු ශ්‍රී ලංකා නියෝජිත සංජීව තුන්පත්තු මහතාට හිමිවීමද ලංකාව ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර මට්ටමට පිවිස ඇති බවට සාක්‍ෂියකි. ලෝක භෞත චිකිත්සක සමුළුවේ උපදෙස්වලට අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකා වරලත් භෞත චිකිත්සක සංගමය විසින් වර්තමාන සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලද සමාජ සත්කාර වැඩසටහන් මාලාව ලෝක භෞත චිකිත්සක සංගමයේ දැඩි අවධානයට ලක්වූ අතර ලෝකයේ දියුණු රටවල් ගණනාවක් අභිබවමින් ලෝක භෞත චිකිත්සක සංවිධාන වෙබ් අඩවියේ විශාල ඉඩ ප‍්‍රමාණයක් ලබාදීමට තරම් අප වැඩසටහන් උසස් මට්ටමක පැවැතිණි.

2016  වසරේ ලෝක භෞත චිකිත්සක දිනය සැමරීම සඳහා 2015 වසරේ සිටම ‘ඇඞ් ලයිෆ් ටු ඉයර්ස්’ තේමාවට අනුව වැඩසටහන් ගණනාවකින් සමන්විත ව්‍යාපෘති ක‍්‍රියාත්මකවූ අතර නොමිලයේ භෞත වෛද්‍ය සායන 12 ක්, වැඩිහිටි වැඩසටහන් 06 ක්, ක‍්‍රීඩාව සඳහා තාක්‍ෂණ වැඩසටහන් 06 ක්  හා කොඳු ඇටපෙළ රෝග වළක්වා ගැනීමේ වැඩසටහන් 03 ක් ක‍්‍රියාත්මක විය. එමෙන්ම බෝ නොවන රෝග නිවාරණය සම්බන්ධව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළින් දැනුම්වත් කිරීම් 50 කට අධික ප‍්‍රමාණයක් ඉදිරිපත් කිරීමටද වරලත් භෞත චිකිත්සක සංගමයට හැකි විය.

ව්‍යාපෘතියේ අවසන් වැඩසටහන ලෙස 2016 සැප්තැම්බර් 8 වන දින ක‍්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ අනුග‍්‍රහය සහිතව එහි ශ‍්‍රවණාගාරයේදී ලෝක භෞත චිකිත්සක දින සැමරුම ජාතික වැඩසටහන පැවැත්වෙන අතර මෙහිදී ජාතික මට්ටමේ ක‍්‍රීඩකයන් හා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ක‍්‍රීඩාවේ දක්‍ෂතා වර්ධනය සඳහා ජීව යාන්ත‍්‍ර විද්‍යාව, ක‍්‍රීඩා අනතුරු වළක්වාගැනීම හා ක‍්‍රීඩා අනතුරු සඳහා ප‍්‍රතිකාර යන තේමා යටතේ පුහුණු සැසිවාර කීපයක් සූදානම් කර ඇත. එහිදී විශේෂ සම්මාන ප‍්‍රධානයක්ද සිදුකරනු ඇත.

මෙවර ලෝක භෞත චිකිත්සක දිනයේදී ප‍්‍රධාන වශයෙන් අධ්‍යාපනික වැඩසටහන්වලට මූලික්තවයදීමට හේතු කාරක වූ වස්තු බීජය ලෙස ඉදිරිපත් කළ හැකි කරුණු කීපයකි.

1. භෞත චිකිත්සාව යනු කවරේද?

2. ඔබ කොතෙක් දුරට භෞත චිකිත්සක ප‍්‍රතිකාරවලින් ප‍්‍රයෝජන ලබා තිබේද?

3. භෞත චිකිත්සකයා යනු කවරෙක්ද?

එමෙන්ම රෝගීන් පුනරුත්ථානයේදී රෝගියා බොහෝ දුරට කණ්ඩායම් සේවයක් ලබා ගත යුතුය. රෝගියා නිසියාකාරව පුනරුත්ථාපනයවීමෙන් මෙම කණ්ඩායම් සාමාජිකයක් සියලූ දෙනාෙගේ සේවය නිසියාකාරව ලැබිය යුතුය. මෙම ක්ෂේත‍්‍රයේදී සුවිශේෂී ස්ථානයක් භෞත චිකිත්සකවරයාට හිමිවේ. සුවය ලබමින් සිටින සෑම රෝගියකුම පුනරුත්ථාපනය විය යුතු අතර ශ්‍රී ලංකාවේ විශේෂ ක්ෂේත‍්‍රයන් සඳහා පමණක් පුනරුත්ථාපනය සඳහා රෝගීන් යොමු කරනු දක්නට ලැබේ.

විවිධ ස්නායු පද්ධතීන් ආශ‍්‍රිත ආබාධ, අස්ථි පද්ධතිය හා විකලාංග ආශ‍්‍රිත ආබාධ, හෘද හා පෙනහළු රෝගවලදී, රුමැටියානු හා රක්තවේදය සම්බන්ධ ආබාධ, ගර්භනී සමයේ හා දරු ප‍්‍රසූතියෙන් පසු පුනරුථාපනය විශේෂ තැනක් ගනී. එහෙත් අංශභාග තත්ත්වයේදී නිදි පීඩනයෙන් ගලවා ගැනීමේ ක‍්‍රියාවලිය සඳහා දැඩි සත්කාර ඒකකයේදීම දායක වන භෞත චිකිත්සකවරයා ක‍්‍රමාණුකූලව පසුකාලීනව ඇතිවිය හැකි විකෘති තා හා ආබාධ වළක්වා ගැනීමට ක‍්‍රියාකරනු ඇත.

දිවයින පුරා විසිරී සිටින රජයේ ප‍්‍රධාන රෝහල්වල හා සියලූම පෞද්ගලික රෝහල්වල දැඩි සත්කාර ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත ගලවා ගැනීමේ ක‍්‍රියාවලියේදී විවිධාකාරයෙන් සිය දායකත්වය ලබා දෙන භෞත චිකිත්සකවරයා බයිපාස් සැත්කම් ඇතුළු විවිධ හෘද රෝග,  උරස් කුහර සම්බන්ධ සැත්කම්වලට ප‍්‍රථම රෝගයා විවිධාකාර ආබාධවලින් වළක්වා ගැනීමේ ක‍්‍රියාවලිය ආරම්භ කරන අතර සැත්කම අවසානයේ පුනරුත්ථාපනය මෙන්ම ස්වසන හා රුධිර සංසරණ පද්ධතියේ දරාගැනීමේ හැකියාව නැවත වර්ධනය කිරීමේ ක‍්‍රියාවලියද සිදුකරයි.

ඉරියම් වෙනස්වීම් වැනි හේතු නිසා අනාගතයේදී රූපලාවන්‍ය මෙන්ම විවිධාකාරයේ කොන්දේ කැක්කුම් වැනි ආබාධවලින් වළක්වා ගැනීම සඳහාද, උදරය නෙරා ඒම, පියයුරු එල්ලා වැටීම ඇතුළු රූපලාවන්‍ය ගැටලූ ඇතිවීම වැළැක්වීමට මෙන්ම මානසික ආතතියට ලක්වීම, නොදැනී මුත‍්‍ර පිටවීම වැනි තත්ත්ව සුවපත් කරගැනීම සඳහාද භෞත චිකිත්සකවරයාගේ උදවු උපකාර ලැබේ. එමෙන්ම දරු ප‍්‍රසූතියේදී පීඩනය අවම කර ගැනීම සඳහාත් භෞත චිකිත්සකවරයාට සිදුකළ හැකි මෙහෙය ඔබ නොදන්නවා විය හැක.

කරුණු කෙසේ වෙතත් විවිධ ක්ෂේත‍්‍රවලදී භෞත චිකිත්සකවරයාට ඔබේ සුවසෙත සඳහා කළ හැකි මෙහෙය සඳහන් කිරීමේදී ඉතා සුළු වශයෙන් මෙවන් තොරතුරු කීපයක් පමණක් අඩංගු කරමින් යම් අවබෝධයක් ලබාදීමට උත්සාහ කළද, භෞත චිකිත්සකවරයාට කළ හැකි මෙහෙය නිසියාකාරව ලබාදීමට සමාජයේ නොදැනුවත්කම මෙන්ම සමාජයේ විවිධ හේතූන් මූලික වී ඇත.

ඔබේ සහනය පතා කෙටියෙන් හෝ ඉදිරිපත් කළ මෙම කරුණු කීපයක් අවබෝධයක් ලබා නිවැරැුදි මාවත වෙත යොමුවීමට හැකි වන්නේ නම් එය ලෝක භෞත චිකිත්සක දිනයේදී ඔබ ලබා ගන්නා විශාල ජයග‍්‍රහණයක් ලෙස සඳහන් කළ හැකිය. එමෙන්ම ලෝක භෞත චිකිත්සක දිනයේදී ඔබට සැමට සුවබර දිවියක්ද අපි ප‍්‍රාර්ථනා කරමු.

(වරලත් භෞත චිකිත්සක සංගමයේ ජාතික සංවිධායක ආචාර්ය සුජීව වීරසිංහ)