මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීමෙන් පස්සේ තමයි කොබ්බෑකඩුව මහත්තයගේ ඡන්ද කාලේ අපි කොබ්බෑකඩුව මහතාව ජයග්‍රහණය කරවීමට කටයුතු කළේ. එවකට සිටිය එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් ප්‍රකාශ කළේ අස්සයත් සිටිනවා, පෝනියත් සිටිනවා. කවුද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉදිරිපත් කරන්නේ කියලා. මොකද අපිට අපේක්‍ෂකයෙක් සිටියේ නැහැ. ඊට පස්සේ තමයි අපි ගිහිල්ලා කොබ්බෑකඩුව මහතාගේ මහනුවර ගෙදරට ගිහින් කොබ්බෑකඩුව මහතාව කැඳවාගෙන ආවේ. අපි හොඳ සටනක් කරලා තමයි කොබ්බෑකඩුව මහතාව කැඳවාගෙන ආවේ. 


ඔය අතරේ තමයි 1982 මහ මැතිවරණයෙන් පසු “නැක්සලයිට්” චෝදනාව මත නොවැම්බර් 19 වැනිදා විජයව සිර බාරයට ගත්තේ. පස්සේ 1983 ජනවාරි 18 වැනිදා විජයව නිදහස් කළා. 1983 අතුරු මැතිවරණයෙන් මහර ආසනයෙන් ඡන්ද 24,899ක් ලබාගත්තා. 1984 වසරේ මැතිවරණයෙන් මින්නේරිය ආසනයට ශ්‍රී ලංකා මහජන පක්‍ෂයෙන් තරඟ කරලා ඡන්ද 10,568 ලබා ගත්තා. 


ඊට පස්සේ 1986 විජයත් සමග මමත් යාපනයේ සංචාරයක නිරත වුණා. අපි එහිදී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හමුවුණා. ඔය කාලයේදී තමයි කුමාර් පොන්නම්බලම්, රෝහණ විජේවීර, ජේ. ආර්. ජයවර්ධන යන මහත්වරු අපේක්‍ෂකයන් හැටියට ඉදිරිපත් වුණේ.

එතනදී අපි දැකපු ප්‍රධාන කාරණය තමයි යාපනයේ බොහෝ දමිළ වැසියන් සිංහල අපේක්‍ෂකයන්ට තමයි ඡන්දය ප්‍රකාශ කළේ. අද වගේ වෛරී දේශපාලනයක් තිබුණේ නෑ, ඒ දවස්වල. අපි ගිහිල්ලා දෙමළ ජනතාවට මැතිවරණ පොරොන්දුවක් ලබා දුන්නා. ඒ පොරොන්දුව තමයි අපි බලයට පත්වුවහොත් කිසිම දෙයක් පිටරටින් ආනයනය කරන්නේ නැහැ. අපි ඒ සියලු දේවල් අපේම බිම්වල වගාකරන්න උදව් කරනවා කියලා.

ඒ විශ්වාසය උතුරේ දමිළ ජනතාව අප කෙරේ තැබුවා. අපේ සටන් පාඨය කෙරේ බොහෝ දෙනා විශ්වාස කරලා ඡන්ද ලබාදුන්නා. ඔවුන් සිතුවේ රජය සතු ඉඩම්වල වගාකරන්න අවසර දෙයි කියලා. නමුත් අපි පරාජය වුණා. මොකද යාපනේ ජනතාව, අපි දන්නවා ආඬි ළිඳෙන් වතුර ඇදලා තමයි ගොවිතැන් කළේ. ඔවුන් පස සරු කර ගැනීමට ගංසූරිය ගස් වවලා පසත් සරු කර ගෙන තමයි වගා කටයුතු කළේ. ඔවුන් කිසිම කෘෂි රසායනික ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නැහැ.


ඊට පස්සේ විවෘත ආර්ථිකයත් සමග අල ද, ලූනු ද, මිරිස් ද, ධාන්‍ය වර්ග ද විදේශ රටවලින් ආනයනය කළා. මොකද යාපනය කියන්නේ හොඳ සරු සාර ඉඩකඩම් තිබෙන හොඳ සාක්‍ෂරතාවක් තිබෙන පළාතක්. ඉතින් ඒ ජනතාවගේ සියලු බලාපොරොත්තු බිඳ වැටුණා විවෘත ආර්ථිකයත් සමග. විජය කෙරෙහි ලොකු ගෞරවයක්, භක්තියක් උතුරේ ජනතාව අතර තිබුණා. ඔය මැතිවරණයෙන් පස්සේ විජය, ඔසී, භාරත ලක්‍ෂ්මන්, මම අපි සේරම හිරගෙට දැම්මා. දාලා කාලය දික්කර ගත්තා.

 

ඒ කියන්නේ වසර 5 සීමාව වසර 10 ක් කර කරගත්තා නීති විරෝධීව. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බලය යොදා ගෙන මිසක් ජනතාවගේ ඡන්දයකින් නොවෙයි, ජනමත විචාරණයක් පැවැත්වුණේ. ඒකයි, ඡන්දයක් ඕනෑ ද එපාද කියලා අපි එළියේ සිටියනම් සටන් කරන නිසා අපිව හිර කරලා තමයි ජනමත විචාරණය පැවැත්වුණේ. ඒකෙන් හැඟී ගියේ මොකක්ද. ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නැහැ කියලා. ඒක තමයි අද ජනවාර්ගික ගැටලුවක් දක්වා ඔඩු දුවලා තිබෙන්නේ. 


ජනමතවිචාරණයෙන් පස්සේ පක්‍ෂයක් හදන්න ගියා. මොකද අපිව හිරේ දැම්මනේ. හිරේ දාන්න උදව් කරලා තිබෙන්නෙත් අපේම කට්ටිය. පස්සේ මහජන පක්‍ෂය බිහිකරලා අපි සන්ධානයක් ලෙස මැතිවරණයට තරඟ වදින්නයි සූදානම් වුණේ. ඒ සන්ධානය හදන්න තමයි විජය කුමාරතුංගයන් උත්සාහ කළේ. ඒ සන්ධානය හැදුවනම් අපිට ඒ දවස්වල ප්‍රබුද්ධ චරිත විජයට සහයෝගය ලබා දෙන්න පොරොන්දු වුණා. කොළඹ ලොකු ජනබලයක් ලබාගත්තා. මොකද කොළඹ ලොකු ජනබලයක් තිබුණේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාටනේ.

ඉතින් ඒක බිඳ දාලා විජය ඉදිරියට එන්න සමත් වුණා. ඒ ජනබලය නැති කරන්න තමයි විජයව ඝාතනය කරන්න ඇත්තේ කියලා මම විශ්වාස කරන්නේ. මිය යන්නට පෙර මගේ නිවසට ඇවිල්ල මගේ වාහනයත් අරගෙන ගියා හලාවත. මොකද අපි තැන් තැන්වල කුඩා රැස්වීම් සංවිධානය කළා. විජය එදා ගියේ ඒ රැස්වීම් සංවිධානය කරන්න. අපිට අවශ්‍ය වුණේ ඒ සියලු රැස්වීම් ඒකරාශී කරලා කොළඹ සුගතදාස පිටියේ විශාල රැස්වීමක් පවත්වන්න. පක්‍ෂය බිහි කිරීමේ රැස්වීමක් හැටියටයි එය පවත්වන්න තීරණය කළේ. ඊට පෙර තමයි විජය කුමාරතුංගයන් ඝාතනය කළේ.

 

 

 

 

නිශාන්ත කුමාර බණ්ඩාර