පසුගිය 2015 අගෝස්තුවේ පැවැති මහා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ අවස්ථාවේ සිටම අපේ ව්‍යවස්ථාදායකයේ ආරවුලක් පවතී. ඒ විපක්‍ෂ නායක පදවිය සම්බන්ධයෙනි. කිසිදු පක්‍ෂයකට රජයක් පිහිටුවා ගැනීමට බහුතර බලයක් නොමැති වාතාවරණය හමුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය මත හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වූ බව ප්‍රකාශයට පත් විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය භාරගෙන සිටි නිසා මෙම තීරණයට පැමිණීම පහසුවිය. ශ්‍රී.ල.නි.පය මෙම ඡන්දයට ඉදිරිපත් වූවේ සන්ධානයක් වශයෙනි. එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් බුලත් කොළය ලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වූ එම සන්ධානයේ ප්‍රබලම කණ්ඩායම වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. 


දෙදහස් පහළොවේ ජනවාරියේ පැවති ජනාධිපතිවරණයෙන් එකී සන්ධානයේ අපේක්‍ෂක හා නායක මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වීම නිසා ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට නියමිත විය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පවතින ව්‍යවස්ථා ප්‍රතිපාදනයකින් කියැවෙන්නේ කිසියම් පාක්‍ෂිකයෙකු තත් කාලයේදී ජනාධිපති ධුරය දරන්නේ නම් ඔහු නිසැකවම පක්‍ෂයේ සභාපතිවරයා නොහොත් නායකයා වන බවයි. එකී ප්‍රතිපාදන අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා ලෙස පත් කරගත් බව ප්‍රකාශයට පත් විය. එම කටයුත්තේ යම් අපැහැදිලිතාවක්ද පැවතුනි. එම ජනාධිපතිවරණයේදී ශ්‍රී.ල.නි.ප. නායකත්වය යටතේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිල අපේක්‍ෂකයා වූවේ මහින්ද රාජපක්‍ෂ මහතාය. ඔහුට විරුද්ධව එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් තරගයට ඉදිරිපත් වූවේ එවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම මහින්ද රජයේ කැබිනට් ඇමතිවරයෙකුද වූ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එය ඔහු එක්සත් ජාතික පක්‍ෂය සමඟ එක්වීමක් ලෙස ශ්‍රී.ල.නි.පයේ. සාමාජිකත්වය නිසැකවම වටහා ගත්තේය. එහි අස්වාභාවික බවක් නොවුණි. සම්ප්‍රදායිකවම ශ්‍රී.ලං.නි.ප.යේ අනුගාමිකයෝ යූ.ඇන්.පී. විරෝධිහු වූහ. එනිසා යූ.ඇන්.පීය සමග සිය පක්‍ෂය කිසිදු පයිරු පාසානයක යෙදීම ඔව්හු අනුමත නොකළහ. එනිසා මෛත්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂය හැරගිය අයෙකු ලෙස සලකා කටයුතු කිරීමට බහුතරයක් ශ්‍රී ලංකා කාරයෝ තීරණය කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එම පක්‍ෂය ආරම්භ කළ දිනයේ මෙසේ ප්‍රකාශ කළ බව ඔව්හු නිදසුන් කොට දැක්වූහ. “ආරම්භයේ පටන්ම (එක්සත් ජාතික පක්‍ෂයේ) ආණ්ඩුවෙන් ක්‍රියාවෙහි යෙදිය යුතු යැයි මා දක්වා සිටි ප්‍රතිපත්ති නොසලකා හරිනු ලැබුවා පමණක් නොව ඒවා අවසානයේදී මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරන ලද හෙයින් මා අපේක්‍ෂා කළ අන්දමින් මගේ රටටත් ජනතාවටත් සැබෑ සේවයක් කිරීමට නම් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් විය යුතු යැයි පෙනී යාම පළමුවන හේතුවය.


මා ආණ්ඩු පක්‍ෂයේ තබා ගනිමින් තමන්ගේ තත්ත්වය තහවුරු කර ගැනීමට මා උපකරණයක් වශයෙන් යොදා ගන්නා අතර හැකි හැම අන්දමකින්ම මහජනයා හමුවේ මා අවඥාවටත් අපකීර්තියටත් පත් කිරීමේ කූට කුමන්ත්‍රණයක් ඇතැම් පුද්ගලයන් අතර පැවති බව පෙනී යාම මගේ අස්වීමට හේතුපාදක වූ දෙවන කාරණයයි. මගේම උප සභාපතිත්වය ඇතිව පැවති එක්සත් ජාතික පක්‍ෂය මා සම්බන්ධයෙන් ක්‍රියා කළ හැටි දැක්වීමට එක් නිදර්ශනයක් මතක් කළ හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රී හැරිස් රත්වත්තේ මහතාගේ ඡන්ද කොට්ඨාසයේ (මාවනැල්ල) රැස්වීම් කීපයක් පැවැත්වීම උදෙසා එ.ජා.පයේ ගරු ලේකම් තැන්පත් සර් උක්වත්තේ ජයසුන්දර මහතා විසින් යවන ලද දූතයෙක් රත්වත්තේ මහතා හමුවුණේය. ඒ රැස්වීම්වල මූලාසනය කාට පැවරීම සුදුසුදැයි මේ දූතයා විසින් ප්‍රශ්න කළ විට ඒ සඳහා මගේ නම රත්වත්තේ මහතා මතක් කළේය. මෙයට මෙම දූතයාගෙන් ලැබුණු පිළිතුර වනාහි, ජයසුන්දර මහතා ඒ නම අසන්නටවත් කැමති නැත යන්නය. එපමණක්ද නොවේ එක්සත් ජාතික පක්‍ෂයේම පුවත් පත් වශයෙන් සලකනු ලබන යූ.ඇන්.පී. (ඉංග්‍රීසි පුවත්පත) සියරට යන පත්‍ර ආරම්භයේ පටන්ම මා හෙළා දැක නොයෙක් අපහාස පුවත් ආරම්භ කළ බව එය කියවූ මහජනයා හොඳාකාරව දන්නවා ඇත. මා භාරයේ පැවති අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල ක්‍රියාවෙහි යෙදිය යුතුව පැවති අත්‍යාවශ්‍ය වැඩවලට අනුමැතිය ලබා ගැනීමත්, එසේ ලබා ගත් තැන ඒ කටයුතු භාර දෙපාර්තමේන්තුව මගින් ඒවා කර ගැනීමත් මහත් දුෂ්කර විය. එහෙත් මා ඇමති පදවියෙන් ඉවත් වීමත් සමඟ ඒ අසීරු වැඩකටයුතු යුහුසුලුව කරලීමට කුමන අන්දමේ පුදුම වැඩපිළිවෙළක් යොදන ලද්දේ දැයි මහජනයා දනිති.


විසඳෙනවා ඇතැයි අප රටේ ජනතාව බලාපොරොත්තු වූ ප්‍රධාන ප්‍රශ්නවලින් කිසිවක් මේ ආණ්ඩුවෙන් නොවිසඳුණේය. කොරියානු යුද්ධය නිසා අපේ රටට වැඩි වැඩියෙන් විදේශ ධනය ගලා ආවත්, දුගීභාවයත් රැකී රක්‍ෂා දුර්ලභත්වයත් උග්‍රව පවතින අතර එය තවදුරට නරක අතට හැරීගෙන එන්නේය. ජීවන වියදම ඉහළ යාම නිසා නගරබදව මෙන්ම ගම්බදවද මධ්‍යම පාන්තික ජනයාගේ තත්ත්වය රට බි්‍රතාන්‍ය යටත්විජිතයක්ව පැවති කාලයටත් වඩා අන්තය, කෘෂිකර්මය අතින් හෝ කර්මාන්ත අතින් හෝ රටේ ජාතික ධනය දියුණු කිරීමේ විධිමත් පරිශ්‍රමයක් කොහෙත්ම නොදැරුණේය. ඇත්ත වශයෙන්ම කියතොත් අපේ කෘෂිකර්මය භූමි ප්‍රමාණයෙන් මෙන්ම අස්වනු ප්‍රමාණයෙන්ද පිරිහුණේය. ආණ්ඩුව පටන්ගත් කාර්මික ව්‍යාපාරයද එකින් එක ව්‍යර්ථව ගියේය. 


ලංකාවේ නානා දෙසින් තමුන්නාන්සේලා මේසා විශාල ජනකායක් අද මෙහි රාශිභූතව සිටීම අපට මහත් ධෛර්යයකි. එය අප ලංකා මාතාවට සිදු කරන්නට බලාපොරොත්තු වන විශිෂ්ට සේවය පිළිබඳ සුබ නිමිත්තකි. අපේ පක්‍ෂයේ අනාගත ව්‍යාපාරයේදී ඉතා බලසම්පන්න අවි අපට විරුද්ධව යොදවනවා ඇත. අධිපති බලය, මුදල් බලය, අසත්‍ය ප්‍රචාරය යන මේවා අපට එරෙහිව ක්‍රියාවෙහි යෙදෙවෙනවා ඇත. ඒ හැමකෙකුටම ප්‍රතිවිරුද්ධව මෙහෙයවා ජය ගැනීමට අපටද අසහාය ප්‍රබල අවියක් ඇත්තේය. ඒ වනාහි අපේ ජනතාවට අවංකව සේවය කිරීමේ ආශාව හා අධිෂ්ඨානයයි. ඒ සේවයෙන් අපි සතුරන් ජය ගන්නෙමු”


ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ මෙම කතාවේ සෑම වචනයකින්ම ප්‍රහාරයට ලක්කෙරුණේ එක්සත් ජාතික පක්‍ෂයයි. වෙනත් වචනවලින් කියනුයේ නම් එම පක්‍ෂ දෙකේ ප්‍රතිපත්තිවල නොගැළපීමයි. ආරම්භයේ සිටම මෙම ගැටුම පැවතුනි. මෙම ප්‍රතිපත්තිය රැක ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ගයේදී දේපල, රැකියාව ආදිය පමණක් නොව ජීවිතය පවා අහිමිකර ගත් (පරිත්‍යාග කළ) පිරිස බොහෝය. වසර හැත්තෑවකට මදක් අඩු ඉතිහාසය පුරා ශ්‍රී.ල.නි.ප.ය විසින් සිය අනුගාමිකයන්ගේ රුධිරයට එන්නත් කර ඇති සංකල්පය යූ.ඇන්.පී. විරෝධයයි. මෙම ප්‍රතිපත්තියෙන් මිදී මෙම පක්‍ෂ දෙක අතර හවුල් ආණ්ඩුවක් ගැන ශ්‍රී.ල.නි.ප අනුගාමිකයන්ට සිතන්නටවත් අපහසුය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමත් ඔහු යටතේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවීමත් පක්‍ෂ දෙකේ සුසංයෝගයෙන් ඇමතිවරුන් පත්වීමත් අනුමත කිරීමට ශ්‍රී.ල.නි.ප බහුතරයකට හිත හදාගන්නට නොහැකිවීමේ රහස එතැනය. හවුල් ආණ්ඩුවක ප්‍රථම ඉඟිය ලැබෙද්දීම කුමාර වෙල්ගම මහතා මගින් පිටතට ආවේ රුධිරගතව පවතින මෙම මතයයි. පාර්ලිමේන්තුව තුළ ශ්‍රී.ල.නි.ප.ය නියෝජනය කළ මන්ත්‍රීවරු පිරිසක්ද මෙම මතය තම ප්‍රතිපත්තිය බව කියා සිටියහ. ඒකාබද්ධ විපක්‍ෂය යනුවෙන් කරළියට පැමිණියේ මෙම මතවාදයයි. පක්‍ෂවල නිල අදහස අනුව හවුල් ආණ්ඩුව ක්‍රියාත්මක වූවත් ශ්‍රී.ල.නි.පයේ මූල බීජය වශයෙන් පැවත ආ මේ වන විට අරටුව බවට පත්ව ඇති යූ.ඇන්.පී. විරෝධී මතවාදය නියෝජනය කරන ලද්දේ ඒකාබද්ධ විපක්‍ෂය නමින් හැඳින්වුණු කණ්ඩායමය. 2015 අගෝස්තු 17 වැනිදා පැවති මැතිවරණයෙන් පසු පිහිටුවන සම්මුතිවාදී රජයට එක් නොවුණු මෙම පිරිස තම නායකයා වන මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායක තනතුර ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.


එහෙත් එය ඉටු නොවිණි. රජයේ තර්කය වූවේ ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර එකඟතාවක් මගින් සම්මුතිවාදී රජය පිහිටුවා ඇති බැවින් එම සන්ධානයේ මන්ත්‍රී පිරිසකට වෙනම කටයුතු කරමින් විපක්‍ෂ නායක ධුරය ලබාගත නොහැකි බවයි. ඒ නිසා රජයේ පාර්ශ්වයක් නොවන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායමේ නායක ආර්. සම්බන්ධන් මහතාට එම තනතුර ලැබුණි.


තම කණ්ඩායමේ මන්ත්‍රී සංඛ්‍යාව විපක්‍ෂයේ වැඩිම පිරිස වන නිසා තමනට විපක්‍ෂ නායක පදවිය නිසැකවම අයත් බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම කියා සිටිති. කතානායකවරයාට බලපෑම් කරමින් සිටිති.
එය තවදුරටත් වර්ධනය වූවේ මෙම පිරිස එකමුතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් පක්‍ෂයක් පිහිටුවා ගෙන එය ශක්තිමත්ව පවත්වා ගෙන යන නිසාය. පසුගිය පළාත් පාලන මැතිවරණය තුළින් ලද විශාල ජයග්‍රහණය එම මතය වර්ධනය වීමට ශක්තියක් වූ බව පෙනී ගිය සත්‍යයකි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බහුතරය සිටින්නේ නිල ලාංඡනය සමග නොවන බවත් රුධිර ගත යූ.ඇන්.පී. විරෝධය සමඟ බවත් එහිදී මනාව ඔප්පු විය.
ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ ගණනාවකි. ඒ සියලු දෙනාම පිළිගන්නා පොදු නායකයා සහ එහි පෞරුෂය වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාය. කතානායකවරයාගෙන් නිතර ප්‍රතික්‍ෂේප වන යෝජනාවකට තම ආධ්‍යාත්මය බඳු රාජපක්‍ෂ මහතාගේ නාමය යොදා ගැනීම සුදුසු නොවන බව වටහා ගැනීමෙන් දෝ ඔවුහු මේ වන විට විපක්‍ෂ නායක ධුරය සඳහා ඉදිරිපත් කරන්නේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන මහතාගේ නමයි. මේ වාරයේදීත් කරුණු සිදුවන ආකාරය නිරීක්‍ෂණය කිරීමේදී පෙනී යන්නේ විපක්‍ෂ නායක ධුරය දිනේශ් ගුණවර්ධන මහතාට නොලැබෙන බවයි.


මෙවැනි මොහොතකදී පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය පිළිබඳව අතීතයේදීත් මෙවැනි අලකලංචි සිදුවී ඇත් දැයි ආපසු හැරී බැලීමට යමෙකුට සිතිවිල්ලක් ඇතිවුවහොත් එය පුදුමයට කරුණක් නොවේ. මේ එවැනි විමසීමකි.


මෙරට ප්‍රථම පාර්ලිමේන්තුව පිහිටුවන ලද්දේ 1947 දීය. එහි ප්‍රතිඵල අනුව වැඩිම ආසන ගණනක් දිනාගෙන සිටියේ එක්සත් ජාතික පක්‍ෂයයි. තවත් ස්වාධීන මන්ත්‍රීවරු කීප දෙනෙකුගේ සහායද ඇතිව එම පක්‍ෂ නායක මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මහතා රජයක් පිහිටු වූවේය. ඊළඟ මන්ත්‍රී සංඛ්‍යාව දිනාගෙන තිබුණේ ලංකා සමසමාජ පක්‍ෂයයි. ඒ දහදෙනෙකි. එම පක්‍ෂයේම කණ්ඩායමක් වූ බෝල්ෂේවික් ලෙනිනිස්ට් පක්‍ෂය ආසන පහක්ද කොමියුනිස්ට් පක්‍ෂය ආසන තුනක්ද දිනාගෙන තිබුණි. ඒ වමේ පක්‍ෂවලට අමතරව වතුකම්කරු ජනතාවගේ පක්‍ෂය වූ ලංකා ඉන්දියානු සංගමයට මන්ත්‍රීන් 7ක්ද උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ පක්‍ෂය වූ ලංකා ද්‍රවිඩ සංගමයට ආසන හතක්ද අයිතිව තිබුණි. විරුද්ධ පක්‍ෂයේ නායකත්වය එහි වැඩිම මන්ත්‍රීවරුන් සිටි පක්‍ෂයේ නායකයා වශයෙන් සමසමාජ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාට හිමි විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම විපක්‍ෂ නායකයා වීමේ ගෞරවය හිමිකර ගත්තේ ආචාර්ය පෙරේරා මහතාය.


වසර 1951 මැදභාගය වන විට මෙරට දේශපාලනයේ විශේෂ සිදුවීමක් සටහන් කරමින් එක්සත් ජාතික පක්‍ෂ දෙකඩ වී එහි නියෝජ්‍ය නායකයා වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එම පක්‍ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නමින් නව දේශපාලන පක්‍ෂයක් ගොඩනගා ගන්නා ලදී. මෙම හේතුව නිසා මෙරට දේශපාලන බල තුලනය වෙනස් විය. 1952 වසරේ හදිසි මහා මැතිවරණයක් පැවති අතර එහි ජයග්‍රාහකයා වූවේද ඩඞ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්‍ෂයයි. විරුද්ධ පක්‍ෂ අතරින් වැඩිම ආසන දිනාගත් පක්‍ෂ දෙකක් විය. ඒ ලංකා සමසමාජ පක්‍ෂය ආසන නමයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආසන නමයක්ද වශයෙනි. මෙම තත්ත්වය කතානායක සර් ඇල්බට් ඇෆ්. පීරිස්ට බරපතළ ගැටලුවක් විය. මේ නිසා කලක් විපක්‍ෂ නායක ධුරය හිස්ව පැවති බවද කියවේ. සම ආසන සංඛ්‍යාවක් හිමිකරගෙන තිබෙන නායකයන් දෙදෙනාගෙන් පදවිය ලබාදිය යුත්තේ කාටද යන පැනය කතා නායක සර් ඇල්බට් පීරිස්ට විසඳා ගැනීම අසීරු විය. කෙසේ නමුදු එම තනතුර අවසානයේදී ලැබුණේ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාටය.
පනස් හයේ තුන්වැනි මැතිවරණයේදී පැවති රජය මෙහෙය වූ එක්සත් පක්‍ෂය දරුණු පරාජයකට පත් කරමින් බණ්ඩාරනායක මහතා නායකත්වය දුන් මහජන එක්සත් පෙරමුණ නමැති සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය. එක්සත් ජාතික පක්‍ෂයට හිමිවූවේ ආසන අටක් පමණි. එම මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ සමඟ නිතරග ගිවිසුමකින් බැඳී සමගියෙන් තරග කළ ලංකා සම සමාජ පක්‍ෂය ආසන 14ක් දිනාගෙන තිබුණි. එහෙත් සම සමාජය රජයට එකතු වී තනතුරු ගැනීමට එකඟවූවේ නැත. ඒ නිසා එය විරුද්ධ පක්‍ෂයේම පක්‍ෂයක් ලෙස සලකන ලදී. විපක්‍ෂයේ සිටින වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව නියෝජනය කරන පක්‍ෂය වශයෙන් ලංකා සම සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා දෙවන වරටත් විපක්‍ෂ නායක ධුරයට පත් කර ගන්නා ලදුව මනාසේ එම වගකීම ඉටු කරනු දක්නා ලදී. නිතරග ගිවිසුමක් යටතේ මැතිවරණය තරග කළ නමුදු සම සමාජය විපක්‍ෂ නායක ධුරය භාර ගනිද්දී ප්‍රකාශ කළේ විවේචනාත්මක සහයෝගය ලබා දෙන බවය. එහෙත් කලක් ගතවෙන විට දැකගන්නට ලැබුණේ සම්ප්‍රදායික විපක්‍ෂ නායකයකු වශයෙන් බණ්ඩාරනායක රජයට එරෙහිව කටයුතු කරන ආකාරයයි. එය කොතරම් බරපතළ තත්ත්වයක් ගත්තේද යත් ඊළඟ මැතිවරණයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රචාරක රැස්වීම්වලදී කියා සිටියේ “මගේ සැමියා නොමරා මැරුවේ ඇන්. ඇම්.” කියාය. ඔහු එපමණටම වේදනාකාරී ලෙස විපක්‍ෂය මෙහෙයවා තිබුණි.


හැටේ මාර්තු ඡන්දයේදී දේශපාලන පක්‍ෂ විශාල සංඛ්‍යාවක් රාජ්‍ය බලය පතා තරග බිමට පිවිස සිටියේය. එසේ වීම ඡන්ද දායකයාට තීරණයක් ගැනීම අපහසු කළේය. ලැබුණේ කිසිවකුට රජයක් පිහුටුවීමට බහුතරය අහිමි විපරීත ප්‍රතිඵලයකි. එක්සත් ජාතික පක්‍ෂයට ආසන පනහක් ලැබුණු අතර ශ්‍රී.ල.නි.පයට ආසන 46ක් හිමිව තිබුණි. පිලිප් ගුණවර්ධන මහතාගේ ම.එ.පෙට ආසන 10ක්ද සම සමාජයට දහයක්ද ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට තුනක්ද ෆෙඩරල් පක්‍ෂයට ආසන 15ක්ද තවත් සුළු පක්‍ෂ කීපයක් ආසන එක බැගින්ද දිනාගෙන තිබුණි. බහුතරය නොමැතිව වුවද රජයක් පිහිටුවන ලෙස එ.ජා.පයට අවස්ථාව සලසා දීමට අග්‍ර ආණ්ඩුකාරවර සර් ඔලිවර් ගුණතිලක මහතා තීරණය කළේය. ඩඞ්ලි සේනානායක මහතා අගමැති ධුරයේ දිවුරුම් දුන් අතර ආසන 46ක් දිනා දෙවැනි තැන දිනා සිටි ශ්‍රී.ල.නි.ප නායක සී. පී. ද සිල්වා මහතා විපක්‍ෂ නායක ධුරයට පත්විය ඔහු එම වගකීම ඉටු කරමින් සමසමාජය සහ කොමියුනිස්ට් පක්‍ෂයද එක් කර ගනිමින් රාජාසන කතා ස්තුති යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 25කින් පරාජයට පත් කිරීමට සමත් විය. රජයේ නිල කාලය දින තිස් තුනකට සීමා විය. එහිදී විපක්‍ෂයේ මන්ත්‍රීහු ලියවිල්ලක් මගින් අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතාගෙන් ඉල්ලා සිටියේ රජය බිඳවැටී ඇති මේ මොහොතේ පාර්ලිමේන්තුව විසිරුවා නොහැර පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහාය හිමිව ඇති විපක්‍ෂ නායක සී. පී. ද සිල්වා මහතාට රජයක් පිහිටුවීමට ආරාධනය කරන ලෙසය. එහෙත් එය පිළිනොගත් අග්‍රාණ්ඩුකාරවරයා අගමැති ඩබ්ලි සේනානායක මහතාගේ නිර්දේශය පිළිගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැර ඊළඟ මහා මැතිවරණය එම වසරේම ජූලි 20 වැනි දිනට පැවැත්වීමට නියෝග කළේය.


එහිදී නැවතත් වමේ සමගිය ගොඩනගා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත් කොට ගෙන මැතිවරණ සටනට එළඹුණේය. 1960 මාර්තු 19 වැනිදා පැවති පෙර මැතිවරණයේදී වමේ පක්‍ෂ අතර ඡන්ද බෙදීයාම නිසා යූ.ඇන්.පී.යට ආසන 50ක් දිනා මුල් තැනට ඒමට හැකි වූ සංඛ්‍යා ලේඛන අනුව ඔවුහු වටහාගෙන සිටියහ. සමගිය මත සහ සිරිමාවෝ මැතිනියගේ ආකර්ෂණීය නායකත්වය මත විශාල ජයක් ලබාගැනීමට ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ හවුලට හැකිවිය. ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආසන 75, එක්සත් ජාතික පක්‍ෂය ආසන 30, ෆෙඩරල් පක්‍ෂය-16, ලංකා සමසමාජ පක්‍ෂය - 12, කොමියුනිස්ට් පක්‍ෂය-4, මහජන ඒකසත් පෙරමුණ ආසන - 03 ආදී වශයෙනි. සුළු පක්‍ෂවලට ආසන කීපයක් හිමිව තිබුණි. එම රජයේ අග්‍රාමාත්‍ය ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට හිමි වූ අතර ආසන තිහක් දිනා පාර්ලිමේන්තුවේ දෙවැනි විශාලම පක්‍ෂය බවට පත්ව තිබූ එක්සත් ජාතික පක්‍ෂනායක ඩඞ්ලි සේනානායක මහතාට විපක්‍ෂ නායක ධුරය හිමි වූවේය. දක්‍ෂ සහ අත්දැකීම්වලින් පරිපූර්ණ නායකයකු වූ ඩඞ්ලි සේනානායක මහතා විපක්‍ෂ නායකවරයා වශයෙන් වරක් මැතිසබයට පනතක් ඉදිරිපත් කළේය. ඒ අල්ලස් චෝදනාවලට වරදකරුවන් ලෙස වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසන් සභාවෙන් නිර්දේශ කරන ලද පුද්ගලයන්ට විරුද්ධව නීති මගින් කටයුතු කළ යුතු යැයි කියමිනි. රජයේ වැඩි ඡන්දයෙන් එම පනත පරාජයට පත්වුවත් රජය දූෂිතයන් ආරක්‍ෂා කරන්නේ යැයි ජනතා මතයක් ඇති කිරීමට විපක්‍ෂ නායකයා සමත් විය. එමෙන්ම එවකට කතානායකව සිටි ආර්. ඇස්. පැල්පොල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමටද එතුමා ක්‍රියා කළේය. සෑම කටයුත්තකදීම ආණ්ඩු පක්‍ෂයේ උපදෙස් මත කටයුතු කරන්නේ යැයි විපක්‍ෂනායකවරයා කතානායක පැල්පොල මහතාට චෝදනා කළේය. විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුවද එයින් ඇති වූ අවමානය සහ ලැබුණු ප්‍රතිචාර හමුවේ කතානායකවරයා ඉල්ලා අස්වීමට සිදුවිය. පසුව තැපැල් ඇමති ධුරය භාරගත් පැල්පොල මහතා 1965 මාර්තු මැතිවරණයේදී පරාජයට පත්වීමෙන් පක්‍ෂග්‍රාහී කතානායකවරයාගේ දේශපාලන ජීවිතය නිමාවට පත්විය.


අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයෙන් ඉදිරිපත් කරන ලද පුවත්පත් මණ්ඩල පනත ජනතාවගේ කතා කිරීමේ නිදහස උල්ලංඝණය කිරීමකැයි වටහාගත් විපක්‍ෂ නායක ඩඞ්ලි සේනානායක මහතාගේ විරෝධතා වැඩපිළිවෙළ අවසන් වූවේ 1964 දෙසැම්බර් 03 වැනිදා පෙරළා දැමීමෙනි. එම විපක්‍ෂ නායකවරයා ඉටු කළ කාර්්‍යභාරය අතිශයින්ම සුවිශේෂී වූවකි.


මෙරට පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගොඩනැගී ඇත්තේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ක්‍රියා පටිපාටිය ගුරුකොට ගනිමිනි. එය පාර්ලිමේන්තු බලතල, වරප්‍රසාද හා පරිහාර පනතේ සඳහන් වේ. එසේම සෝල්බරි ව්‍යවස්ථාව සම්පාදනය කළ සර් අයිවෝර් පේනින්ස් මහතා පෙන්වා දෙන්නේ එංගලන්තයේ පාර්ලිමේන්තුව රැජිනගේ හෝ රජුගේ පාර්ලිමේන්තුව බවයි. ඇමතිවරු මෙන්ම විපක්‍ෂ නායකවරයාද රැජිනගේ නමින්ම කියවේ. එමෙන්ම වත්මන් විපක්‍ෂ නායකවරයා ඊළඟ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා වන්නේය යන ජනතා පරිකල්පනයකට බඳුන් වේ. ඒ නිසා මෙම ධුරය අතිශයින්ම සම්භාවනීය සහ ගෞරවනීය තනතුරක් ලෙස පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටවල බහුමානයට පත්වේ.

 

 

 


මතු සම්බන්ධයි.

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි.