අතුරු මැතිවරණ පුරාණයෙන්

ඡන්ද කොට්ඨාස නාමාවලියේ දෙවිනුවර නමින් නව මන්ත්‍රී ආසනයක් ස්ථාපිත වූයේ මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා වර්ෂ 1959 දී රජය පත් කළ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමේ නිර්දේශ අනුවය. (මෙම කොමිසමේ නිර්දේශ අනුව එතෙක් පැවති ඡන්ද කොට්ඨාස 89, 1960 මාර්තු මැතිවරණයේ සිට 145 දක්වා වැඩි කෙරිණ) දකුණු පළාත් ආශ්‍රිතව සිදු වූ වෙනස්කම් වශයෙන් අම්බලංගොඩ -බළපිටිය බහු මන්ත්‍රී කොට්ඨාශයද උඩුගම සහ හම්බන්තොට යන ආසන අහෝසි වීමද, බළපිටිය, අම්බලංගොඩ, බෙන්තර, ඇල්පිටිය, හිනිදුම, රත්ගම, අක්මීමන, හබරාදුව, කඹුරුපිටිය, දෙවිනුවර, මුල්කිරිගල සහ තිස්සමහාරාමය යන නව ආසන පිහිටුවීමද දැක්විය හැකිය. 


මෙම නව ඡන්ද කොට්ඨාසද ඇතුළත්ව ප්‍රථම ඡන්ද විමසීම පැවැත්වූයේ 1960 මාර්තු 19 වැනි දිනදීය. දෙවිනුවර ආසනය දිනා ගැනීම සඳහා අපේක්ෂකයෝ නව දෙනෙක් තරඟ වැදී සිටියහ. මැතිවරණ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කළ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය : සී. ඒ. ධර්මපාල (එ.ජා.ප - අලියා) 8748, පී. පී. වික්‍රමසූරිය (ශ්‍රී.ල.නි.ප - අත) 6720, ඊ. කේ. සිරිල් (ස්වාධීන - කුකුළා) 4223, ඇල්. යූ. ජයසිංහ (ස්වාධීන - හාවා) 2425, ඒලියන් නානායක්කාර (කො.ප - තරුව) 1743 යූ. එච්. අමරසේන (ම.එ.පෙ - කරත්ත රෝදය) 1594, ඒ. ජේ. මොහොට්ටි (සිං.ම.ප - සීනුව) 212, චාර්ල්ස් ගන්දර (ලං.ප්‍ර.ප - කූඩය) 210, පී. හෙන්දාවිතාරණ (ල.ස.ස.ප - යතුර) 94, වැඩි ඡන්ද සංඛයාව 2028 කි. කර්නල් සී. ඒ. ධර්මපාල මහතාගේ ජයග්‍රහණය ගැන විශේෂයෙන් සටහනක් තැබිය යුතුය.


1956 තුන්වැනි මහා මැතිවරණයේදී එ.ජා.ප.ය ආසන අට දක්වා පහළට ඇද වැටුණ අවස්ථාවේදී පවා දකුණු පළාතේ ආසන 11 න් හක්මන ආසනය පමණක් කර්නල් සී. ඒ. ධර්මපාල මහතාගේ මෙහෙයවීම යටතේ ජයග්‍රහණය කරා ගෙන යාමට හැකිවිය. එම ජයග්‍රහණයට ප්‍රබල සාධකයක් වූයේ වාමාංශික ඡන්ද පදනම බරපතළ ලෙස දෙකඩ වීමය. එදා සී. ඒ. ධර්මපාල මහතා ඡන්ද 13,298 ක් ලබාගත් අතර, පී. ඒ. වික්‍රමසිංහ (කො.ප - තරුව) 10,591, පී. පී. වික්‍රමසූරිය (ම.එ.පෙ - අත) 10,250 ක් හිමිකර ගත්තේය. 1947 ප්‍රථම මැතිවරණයේදී ජාතික දේශපාලනයට පිවිසි සී. ඒ. ධර්මපාල මහතා සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කළේ 1952 මැතිවරණයේදී (15,762) කො.ප නායක ඇස්. ඒ. වික්‍රමසිංහ මහතා (12,601) පරාජයට පත් කරමිනි. එහෙත් 1960 ජූලි මැතිවරණයේදී දෙවිනුවර ආසනයෙන්ද, 1965 මැතිවරණයේදී අකුරැස්ස ආසනයෙන්ද පරාජයට පත්විය.
අතුරු මැතිවරණයට පෙරාතුව, අවසන් වරට පැවැත්වූ 1965 මැතිවරණයේදී දෙවිනුවර ආසනය දිනාගත්තේ පී. එච්. විලියම්ද සිල්වා මහතාය. පිලිප් ගුණවර්ධන මහතාගේ අනුගාමිකයෙකු වූ ද සිල්වා මහතා දකුණේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වශයෙන් ජනතා ප්‍රසාදය දිනාගෙන සිටියේය. 1947 ප්‍රථම මැතිවරණයේදීම දේශපාලනයට අවතීර්ණ වූ විලියම් ද සිල්වා මහතා අම්බලංගොඩ - බළපිටිය බහු මන්ත්‍රී කොට්ඨාශයට තරඟ කර ඡන්ද 37,650 ක් ලබාගෙන පළමු වැනි මන්ත්‍රී වශයෙන්ද, 1952 මැති වරණයේදී ඡන්ද 33,803 ද, 1956 මැතිවරණයේදී ඡන්ද 43,769 ද හිමිකරගෙන දෙවැනි මන්ත්‍රී ධුරයටද පත්විය. 1956 ම.එ.පෙ රජයේ කර්මාන්ත ඇමති ධුරය ඔහුට හිමිවිය. 1960 මාර්තු මැතිවරණයේදී අම්බලංගොඩ තනි ආසනයක් බවට පත් වූ පසු පිලිප් ගුණවර්ධන මහතාගේ ම.එ.පෙ (කරත්ත රෝදය) යටතේ තරඟ කර පී. ද. ඇස්. කුලරත්න (එ.ජා.ප) පරදවා වැඩි ඡන්ද 2003 ක ජයග්‍රහණයක් ලැබිය. 1960 ජූලි මැතිවරණයේදී පරාජයට පත් වුවද, 1965 දී ශ්‍රී.ල.නි.ප.යට එකතු වී දෙවිනුවර අසුන ජය ගත්තේය. එම මැතිවරණයේ දෙවිනුවර ආසනයේ සමස්ත ප්‍රතිඵලය මෙසේය. පී. එච්. විලියම්ද සිල්වා (ශ්‍රී.ල.නි.ප - අත) 15,295 පී. පී. වික්‍රමසූරිය (ශ්‍රී.ල.නි.ස.ප - ඉර) 14,308, ඊ. කේ. සිරිල් (ස්වාධීන - කුඩය) 1342, චාර්ලිස් අබේසුන්දර (ස්වාධීන මල) 499, පී. එන්. බමුණුසිංහ (ස්වාධීන - පුටුව) 305, වැඩි ඡන්ද සංඛයාව 987 කි. එහෙත් ඔහුට මන්ත්‍රී ධුරය දැරිය හැකිවූයේ වර්ෂ දෙකකට ආසන්න කාලයක් පමණය. ඔහුගේ ප්‍රතිවාදියා වූ පී. පී. වික්‍රමසූරිය මහතා විසින් විලියම් ද සිල්වා මහතාගේ පත්වීමට එරෙහිව ඡන්ද පෙත්සමක් ගොනු කරන ලදී. තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් හෝ පළ කිරීමෙන් විලියම් සිල්වා හෝ ඔහුගේ නියෝජිතයන් විසින් මැතිවරණ නීතිරීති කඩකර ඇතැයිද, එහෙයින් ඔහුගේ පත්වීම අවලංගු විය යුතු යැයිද වික්‍රමසූරිය මහතා සිය ඡන්ද පෙත්සමෙන් ඉල්ලා සිටි අතර පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පී. එච්. විලියම්ද සිල්වා මහතාගේ තේරී පත්වීම අවලංගු කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළේය. අතුරු මැතිවරණය 1967-03-16 දින පවත්වන බව අග්‍රාණ්ඩුකාර කාර්යාලය මගින් නිවේදනය කළේ ඉන් පසුවය.


නාම යෝජනා පත්‍ර භාරගැනීම 1967-02-11 දින මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි (ආණ්ඩුවේ ඒජන්ත) එන්. එල්. ඒ. වික්‍රමරත්න මහතා ඉදිරියේ සිදු කෙරිණ. එදින නාම යෝජනා පත්‍ර භාර දුන් අපේක්ෂකයන් මෙසේය. රොනීද මැල් (ශ්‍රී.ල.නි.ප), පී. පී. වික්‍රමසූරිය (එ.ජා.ප), ස්වාධීන තරඟකරුවෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර සිටි සී. අබේසුන්දර මහතා අපේක්ෂකත්වය ඉල්ලා අස්කරගත් බැවින් අතුරු මැතිවරණය ප්‍රධාන පක්ෂ දෙක අතර සටනක් බවට පත් වී තිබුණි. පී. පී. වික්‍රමසූරිය මහතා 1947 සිට අධිනීතිඥවරයෙකු හැටියට නීති වෘත්තියේ යෙදී සිටි අතර, 1945 සිට 1951 දක්වා මාතර නඟර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන්ද කටයුතු කළේය. හෙතෙම ‘මැද්දෙවත්ත’ කොට්ඨාසය සඳහා දෙවරක්ම නිතරගයෙන් තේරීපත්විය. මාතර නගර සභාවේ සභාපති වශයෙන්ද වර්ෂයක පමණ කාලයක් සේවය කර තිබුණේය. මුල් වරට 1956 මහා මැතිවරණයට ම.එ.පෙ අපේක්ෂකයා ලෙස හක්මන ආසනයට ඉදිරිපත් වී තෙවැනි ස්ථානයට පත්වුවද, ඡන්ද 10,250 ක් ලබා ගැනීමට සමත්විය. 1960 මාර්තු මැතිවරණයට දෙවිනුවර ආසනයට තරඟ කළ නමුත් පරාජයට පත්විය. 1960 ජූලි මැතිවරණයේදී වැඩි ඡන්ද 5271 ක ජයග්‍රහණයක් වාර්තා කළ අතර. සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ අධිකරණ උප ඇමති ධුරයද හෙබැවිය. වික්‍රමසූරිය මහතා මාක්ස්වාදයට තදින්ම විරුද්ධ වූ කෙනෙකු විය. ශ්‍රී.ල.නි.පය මාක්ස්වාදී පක්ෂ සමඟ සම්බන්ධවීමට විරුද්ධ වූ ඔහු අතුරු මැතිවරණයට ඉදිරිපත්ව සිටියේ එ.ජා.ප අපේක්ෂකයා වශයෙනි. ශ්‍රී.ල.නි.ප අපේක්ෂකයා වූ රොනී ද මැල් මහතා කීර්තිමත් සිවිල් සේවා නිලධාරියෙකු වශයෙන් රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු රාශියක්ම දැරීය. දේශපාලනයට ප්‍රවිෂ්ට වීම සඳහා රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමට තරම් එඩිතර භාවයක් මෙන්ම ‘දේශපාලන උණක්ද තිබූ රොනීද මැල් මහතා 1965 මහා මැතිවරණය එළඹෙමින් තිබියදී, ආයතන සංග්‍රහයේ විධි විධාන පරිදි මාසයක කල්දීමක් වෙනුවට. මාසයක වැටුප ආණ්ඩුවට ගෙවා එවකට තමා දරමින් සිටි ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී ප්‍රථම වරට ශ්‍රී.ල.නි.ප අපේක්ෂකයා ලෙස බිබිලේ ආසනයට තරඟ වැදුණේය. ඡන්ද 6987 ක් ලබාගත් නමුදු ප්‍රථම ඡන්ද සටනේදී වැඩි ඡන්ද 1657 ක පරාජයක් අත් විඳින්නට ඔහුට සිදුවිය. ඡන්ද 8644 ක් හිමිකර ගත් ආර්. ඇම්. ධර්මදාස බණ්ඩා (එ.ජා.ප) මහතා ජයග්‍රාහකයා බවට පත්විය. රොනී ද මැල් මහතාට දේශපාලනයට මඟ විවර කර ගැනීමට ප්‍රබල සාධකයක් ලෙස පවුල් පසුබිමක්ද තිබුණේය. බුත්තල ආසනය නියෝජනය කළ ලංකාවේ එවකට සිටි සුප්‍රකට බස් සමාගම් අයිතිකරුවෙකු ද වූ ඩබ්ලිව්. ලියෝ ප්‍රනාන්දු මහතා රොනීද මැල් මහතාගේ බිරිඳගේ පියාණන් විය. ඔහු 1947 දී වැඩි ඡන්ද 5508 ද, 1952 දී වැඩි ඡන්ද 7024 ද ලබාගෙන බුත්තල ආසනය දිනා ගත්තේය.


මෙම අතුරු මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක පී. පී. වික්‍රමසූරිය මහතා වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීම, ඉඩම් වාරිමාර්ග සහ විදුලිබල ඇමති, සභානායක සී. පී. ද සිල්වා මහතාට පවරා තිබුණි. ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් මැතිවරණ කටයුතු සංවිධානය කිරීම දඹදෙණිය මන්ත්‍රී ආර්. ජී. සේනානායක මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් ඉටු කරනු ලැබීය. මැතිවරණය ආසන්න වෙත්ම කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයේ බිහිසුණු ක්‍රියා තැන තැන සිදුවෙමින් පැවතුනි. විශේෂයෙන්ම ගන්දර සහ දික්වැල්ල යන ප්‍රදේශවල උණුසුම් තත්ත්වයක් පැන නැඟීම හේතුකොටගෙන දෙසීයකට අධික පොලිස් බළඇණියක් එහි යැවූ බවද, ගන්දර - කොළඹ, දික්වැල්ල - කොළඹ අතර පොලිස් ගුවන් විදුලි පණිවුඩ හුවමාරු ස්ථාන දෙකක් පිහිටුවා තිබුණ බවද එකල පුවත්පත් වාර්තා කර තිබුණි.


එම වාර්තාවල තවදුරටත් සඳහන්ව තිබුණේ දැදිගම හිටපු මන්ත්‍රී (1956 - 1960) එම්. පී. හේරත් මහතාගේ මෝටර් රථයට පහර දී පසුව ගිනි තබා දැඩි ලෙස අලාභහානි සිදු කර තිබූ බවය. දඹදෙණිය මන්ත්‍රී ආර්. ජී. සේනානායක මහතාගේ මෝටර් රථයටද පහර දී අලාභ හානි සිදුකර තිබූ බවද වාර්තා විය. මෙම පසුබිම යටතේ දෙවිනුවර ප්‍රදේශයේ තත්ත්වය පැයෙන් පැයට කොළඹ පොලිස් මූලස්ථානයට වාර්තා කිරීමේ වැඩ පිළිවෙළක්ද සකසා තිබුණි. කලබලකාරී වාතාවරණය මධ්‍යයේ ඡන්ද මධ්‍යස්ථාන 39 දී ඡන්ද දායකයින්ට ඡන්දය පාවිච්චි කිරීමට පහසුකම් සලසා තිබුණි. මෙය 1965 මැතිවරණයෙන් පසුව පැවැත් වූ හත්වැනි අතුරු මැතිවරණය වූ අතර. එකද අතුරු ඡන්දයක් හෝ ජය ගැනීමට ආණ්ඩු පක්ෂයට හැකි වී තිබුණේ නැත. ප්‍රකාශයට පත් කළ ඡන්ද ප්‍රතිඵලයට අනුව දෙවිනුවර ආසනය ද ශ්‍රී.ල.නි.ප විසින් දිනාගනු ලැබූ ආකාරය දැකගත හැකිවිය. 


සම්පූර්ණ නිල ඡන්ද ප්‍රථිඵලය මෙසේය. රොනී ද මැල් (ශ්‍රී.ල.නි.ප - අත) 18,483, පී. පී. වික්‍රමසූරිය (එ.ජා.ප - අලියා) 16,045, වැඩි ඡන්ද සංඛ්‍යාව 2438 කි.


1967-03-20 දින පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී අභිනව මන්ත්‍රී රොනීද මැල් මහතා කථානායක සර් ඇල්බට් ඇෆ්. පීරිස් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දෙවිනුවර අතුරු මැතිවරණය සමයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මතුකර දැක්වීම හේතුවෙන් එදා මැති සබය තුළ මහත් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.


ප්‍රථමයෙන්ම දොම්පේ මන්ත්‍රී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා (ශ්‍රී.ල.නි.ප) ඉතා හදිසි එමෙන්ම මහජනයා කෙරෙහි බලපාන කාරණයක් ගැන කථා කිරීම සඳහා 18 වැනි ස්ථාවර නියෝගය යටතේ ඉඩකඩ ලබා දෙන ලෙස යෝජනා කළේය. දෙවිනුවර අතුරු මැතිවරණයට පසුව ඒ ප්‍රදේශයේ නීතියට හා සාමයට බලවත් තර්ජනයක් එල්ල වෙමින් පවතින බව සඳහන් කළ මන්ත්‍රීවරයා මේ මොහොතේ ද ඒ ප්‍රදේශයේ භායානක තත්ත්වයක් පැන නැගී ඇති බවද පැවසීය. එය මහජනයාට බලපාන හදිසි කාරණයක් නොවන බවට කථානායක මතය ප්‍රකාශ වීමත් සමඟම කලබලය ආරම්භ විය. වහාම නැගී සිටි වලපනේ මන්ත්‍රී ටී. බී. ඇම්. හේරත් මහතා (ශ්‍රී.ල.නි.ප) දෙවිනුවරදී පිරිසක් තමා මරන්නට සූදානම්ව සිටි බවත් එම වැඩපිළිවෙළ පිටුපස ඇමතිවරයෙකුද සිටි බවත් ප්‍රකාශ කළේය. මේ ගැන පැමිණිලි කළද, ප්‍රතිඵලයක් නොලැබුණ නිසා, කතානායකවරයාට දැන්වීම හැර වෙන කළ හැකි දෙයක් නොමැති බවද හේරත් මහතා පැවසීය. ඒ ගැන පස්වරු 7.00 ට කථා කළ හැකි බව කතානායකවරයා පැවසීමත් සමඟම විරෝධතා රැල්ල තව දුරටත් ඇවිළ ගියේය. කථාව නතර කරණ ලෙසට කතානායක සර් ඇල්බට් ඇෆ්. පීරිස් මහතා දුන් නියෝගය නොතකා ‘මිනීමරු දහනායක මා මරන්නට හැදුවා’ යැයි පවසමින් මැති ඇමතිවරුන්ට නොයෙකුත් චෝදනා නඟමින් හේරත් මහතා නොනවත්වාම කථා කළේය. ‘මිනීමරු ආණ්ඩුව කාර් පිච්චුවා. මන්ත්‍රීවරුන් මරන්නට ලෑස්ති වුණා ‘ආදිය කියමින් විපක්ෂ මන්ත්‍රීවරු හූ කියන්නටත් කෑ ගසන්නටත් වූහ. මේ අවස්ථාවේ ස්වදේශ ඇමති විජයානන්ද දහනායක මහතා පිළිතුරු දෙන්නට නැගී සිටි අවස්ථාවේ ‘මිනීමරුවා. ලොම්බා. අමුඩයා’ වැනි අපහාසාත්මක වචන විපක්‍ෂයෙන් ගලා එන්නට විය. තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මහජන ගැලරිවල සිටි අය පිටමං කරනු ලැබීය. සියලුම පුවත්පත් වාර්තාකරුවන්ගේ අවසර පත්‍ර සෝදිසි කෙරිණි. පොලිස් භට පිරිසක් සභා ගර්භයේ පිවිසුම් දොරටුව අසල සීරුවෙන් සිටියහ. සභාව විනාඩි 05 ට කල් තැබීය. කතානායකවරයා නැවත අසුන්ගත් පසුවද වලපනේ මන්ත්‍රීවරයා දිගටම කථා කරන්නට වූයෙන් කතානායක නියමයෙන් ටී. බී. ඇම්. හේරත් මහතා ‘නම් කිරීමේ’ යෝජනාව රාජ්‍ය ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතා ඉදිරිපත් කළේය. මන්ත්‍රීවරයා පිටමං කිරීමට වේත්‍රධාරි ආනන්ද සිල්වා මහතා ඔහු අසලට ළඟා වෙනවාත් සමඟම ‘එල්ලුම් ගස් යන මිනිහා ඕනෑම එකකට සූදානම් විය යුතු යැයි පවසමින් සභාවෙන් පිටව ගියේය.


මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් මධ්‍යයේ මැති සබයේ අසුන් ගත් රොනීද මැල් මහතාගේ දීර්ඝ වූ දේශපාලන ගමනේ උච්චතම අවස්ථාව සනිටුහන් වූයේ, 1977 මහා මැතිවරණයේදී එ.ජා.ප.යට එකතු වී වැඩි ඡන්ද 9439 න් ජයග්‍රහණය කර ජේ. ආර්. ජයවර්ධන රජයේ මුදල් සහ ක්‍රම සම්පාදන ඇමති ධූරයට පත් වීමෙනි.

 

 

 

 


ජී. ආර්. ඩී. බණ්ඩාර
ඡායාරූප : අන්තර්ජාලයෙනි.