මේ රටේ දේශපාලන ඉතිහාසයේ නොමැකෙන නමක් තබා ඇති අඹේපුස්සේ බෝතලේ වලව්වේ විසූ පරපුර පිළිබඳ ඉතිහාසගත කරුණු සලකා බලද්දි බෝතලේ පරපුරේ ඇත්තේ ජනතා දුක හඳුනන ඔවුන්ගේ අවශ්‍යතා මනුෂ්‍යත්වය තුළින් සපුරාලන රට පිළිගත් පැරගැති සංස්කෘතියට වගේම දේශීයත්වය බිළිගත් ජනවාර්ගික ගැටලු මත්පැන් උවදුර හා අන්තවාදී අධිරාජ්‍යවාදීන්ගේ තීන්දු තීරණවලට එරෙහිව සටන් කළ ජාතිමාමක පිරිසක් බව පෙනී යයි. 


දේශානුරාගය, ජාත්‍යාලය සහ ආගම වහකදුරු මෙන් සැලසූ ප්‍රතිගාමීන්ට එරෙහි වූ ඩී. ඇස්. සේනානායක මැතිඳු 1912 සිට අමද්‍යප ව්‍යාපාරය ඇතුළු ජාතික ආගමික සත්ක්‍රියාවන්ට සම්බන්ධ විය. තමන් උපන් හාපිටිගම් කෝරළයේ සිට ගමක් පාසා යමින් තම ධනය වැය කරමින් ගෙන ගිය අමද්‍යප ව්‍යාපාරය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ලෙස සලකා සුදු පාලකයෝ 1915 වසරේ සිංහල මුස්ලිම් අරගල සමයේ දී ඩී. ඇස්. අත්අඩංගුවට ගත්හ. 


ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, සී. ඒ. හේවා විතාරණ, ඩබ්. ආතර් ද සිල්වා, එෆ්. ආර්. සේනානායක, ඩී. සී. සේනානායක යනාදී නෑහිතවතුන් ද එම දඟගෙයි ලැවූහ. ඒ පිළිබඳව කිසිදු වග විභාගයක් ද නොවීම විශේෂ කරුණකි. 


එපමණකින් නොනැවතුණු සුද්දෝ එඞ්මන් හේවාවිතාරණ හා ඩී. එන්. විජේසේකර වැනි දේශප්‍රේමීන් හැම දෙනෙකු දිවි ඇතිතෙක් දඟගෙයි ලෑ අතර බොහෝ අය මරා දැමූහ. එහෙත් දේශපාලනයට නොබැස සිටි බෝතලේ වලව්වේ ඩී. ඇස්. නමැති තරුණයා දේශපාලනයට බැස්ස වීමට මෙම අපරාධ හේතු විය. 


එෆ්. ආර්., ඩී. සී. සහ ඩී. ඇස්. යන සේනානායක සහෝදරවරු බි්‍රතාන්‍ය රජයේ සුරා ප්‍රතිපත්තියට එරෙහිව ඇරඹූ අමද්‍යප සංගම්වලට ජනතා උද්ඝෝෂණ සහ සහයෝගය මනාව ලැබුණි. 1913 අගෝස්තුවේ 31 වනදා මීරිගම පැවැත්වූ සංගමයේ රැස්වීමකට විසිපන් දහසක් සහභාගි කරවා ගැනීමට ලැබීම ජනගහනය අඩු එකල මහත් ජයග්‍රහණයක් විය. ලංකා ජාතික සංගමයේ නායකයන් අතර ඩී. ඇස්. - එෆ්. ආර්. සොහොයුරන්ට විශේෂ ස්ථානයක් ලැබුණේ ඔවුන්ට ඇති සිංහල ගැමියන්ගේ ආදරය නිසාය. මෙම සංගමයේ බොහෝ දෙනා නාගරික රදළ පන්තියේ අය වුව ද අමද්‍යප ව්‍යාපාර තුළින් රට පුරා පිහිටු වූ මහජන සභා නිසා 1927 වන  විට සේනානායකවරු ජනතාව අතර ප්‍රචලිත වූහ. 


1912 වන තෙක් ඉංග්‍රීසි උගතුන්ට පමණක් සීමාව තිබූ ඡන්ද බලය 1921 ව්‍යවස්ථාදායක සභාවට ඡන්ද බලයෙන් 16 දෙනෙකු පත් කර ගැනීමේ දී ස්වභාෂා උගතුන් එදා ලැබීම නිසා ගැමි පෙදෙස්වලින් පැමිණි ඩී. ඇස්. හා ඇෆ්. ආර්. මෙන්ම ඩී. බී. ජයතිලකට ද විශාල දේශපාලන ශක්තියක් විය. 


1924 දී ඩී. ඇස්. පළමු වරට මැතිවරණ සටනට අවතීර්ණ වූයේ තම සොයුරු එෆ්. ආර්ගේ රැකවරණයෙනි. ඒ මීගමුව දිස්ත්‍රික්කයෙනි. “එයාව මිනිස්සු අඳුරන්නේ නෑ”. සමහරු එෆ්. ආර්.ට දොස් කීහ. “මගේ මල්ලිගේ දස්කම් මං දන්නවා. පුළුවන්නම් වෙන කෙනෙක් එවලා මීගමුවෙ ඡන්දවලින් දහයෙන් එකක් ගත්තොත් මං රුපියල් දහදාහක් පුණ්‍යායතනයකට දෙනවාට ඔට්ටු අල්ලනවා”. 


එෆ්. ආර්. සොහොයුරා වෙනුවෙන් ඔට්ටු ඇල්ලුවේය. ගැමියන් ඩී. ඇස්. පිළිගත්තේ තමන්ගේම කෙනෙක් ලෙසිනි. හාපිටිගම් කෝරළේ පොල් ඉඩම් කොප්පරා මැසිවල වෙන් වූ හත් කෝරළේ මිනිරන් පතල්වල වැඩ කරන ජනතාව සමග එකට හිඳ කෑවේ බීවේත් වාඩි වල බිමතින් රණ්ඩු වෙද්දි සංසිඳවූවේත් ඔවුන්ය. 


ඩී. ඇස්. අගමති ධුරය දරද්දි මධ්‍ය මහා විද්‍යාලයේ විවෘත කිරීමේ උත්සවයට එක් විය. කොළඹින් පැමිණි ස්වදේශ අමාත්‍ය ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ඇතුළු පිරිසක් ද එහි වූහ. දිවා ආහාරයෙන් පසු ඔවුනු සාමීචියෙහි යෙදෙන්නට වූ අතර මහලු ගැමියෙක් ඔවුන් දෙස බලා සිටින බව ඩී. ඇස්. ට දැනිණි. 


මහල්ලා දුටු විගස ඩී. ඇස්. කතාව නවත්වා වහා ඔහු වෙත ආවේය. 


ඇයි කරෝලිස් සිඤ්ඤෝ මොකද? 


බලන්නකෝ වත්තෙ මහත්තයා මේ සැරේ මට උදැල්ලක් දුන්නේ නෑ. ගැමියා අඬවැඩියාවක් කීවේය. හොඳයි මං ඒක අදම එවන්නම්. කරොලිස් සිඤ්ඤෝ දැන් යන්න. තව තොරතුරු කතා කරන්න තියෙනවා. ඒත් දැන් හදිසි වැඩක් තියෙනවා. අගමැතිවරයා ඔහු සැනසුවේය. 


මට සරමක් ඕනෑ. ගැමියාගේ දුක් ගැනවිල්ලයි. අගමැති ඩී. ඇස්. පොකැට්ටුවෙන් රුපියල් දහයේ කොළයක් ගෙන ගැමියා සනසා යැවීය. 


තමා එනතුරු බලා සිටින පිරිස දුටු ඩී. ඇස්. කීවේ මගේ පරණ යාළුවෙක් කියාය. මෙම පුවත එන්නේ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල සංස්කරණය කළ පීතෘ පූජා පොතේය. 
වරක් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ දී එක් සභිකයෙක් අමද්‍යප ව්‍යාපාරයට සමච්චල් කළේය. එහිදී ඩී. ඇස්. අපූරු නිදර්ශනයක් සැපයීය. සුරාසල් වැසීම සඳහා පැවති ඡන්දයක දී ගැමියෙක් ඡන්ද පොළ නිලධාරියාට ළංවිය. 

 

 


“මගේ දරුවා මියගිහින්. ඉක්මනට ඡන්දෙ දීල යන්න අවසර දෙන්න” ඊට නිලධාරියා එරෙහි විය. “බෑ බෑ තමන්ගේ වාරේ එනකල් පෝලිමට වෙලා ඉන්නවා” ඔහු කීය. මෙය අසා සිටි ඩී. ඇස්. ගැමියා ඇමතීය. “ගෙදර ගිහිල්ලා දරුවාගේ අවමංගල කටයුතු කරලා එන්න”. එවිට ගැමියා මෙසේ කීවේය. “මහත්තයො මගේ දරුවා මළා. ආයෙත් එයාට පණ ගන්න බෑ. මගේ යුතුකම රටට ඉටු කරලාම මම යන්නම්.” 


ඩී. ඇස්. පැවසුවේ ඇතැම් බෝතලයට ආශා කරන අය මෙතනට ඇවිත් අමද්‍යප ව්‍යාපාරයට පක්ෂව කතා කරන එකත් වැරදි බවයි. ඇතැම් ප්‍රභූවරු මත්පැන් නොබොන බව සභාවට පෙන්වා හොර රහසේ මත්පැන් සාද පවත්වන බව නොරහසකි. එහෙත් ඩී. ඇස්. ගැන කිතුණු භක්තික මන්ත්‍රීවරයකු වූ ඒ. ජේ. හුලුගල්ල මෙසේ සඳහන් කරයි. 
ඩී. ඇස්. අගමැතිතුමා දර්ශනාත්මක බෞද්ධයෙකු නොවුණත් ආගමට නැඹුරු දිවි පෙවෙතක් ගත කළ කෙනෙක්. අමද්‍යප ව්‍යාපාරයෙහි අවංකව යෙදී සිටියා රහසින් පවා මත් පැන් බිව්වේ නෑ. එහෙත් ඩී. ඇස්. ගේ රජය යටතේ බුද්ධාගමට දෙන තැන ප්‍රමාණවත් නැතැයි චෝදනා එල්ල විය. ඩී. ඇස්. ඊට දුන් පිළිතුර කදිමය. 


කවුරු කොහොම හිතුවත් මම බුදු දහම හරියට අනුගමනය කරන කෙනෙක්. ඒත් බුද්ධාගම රාජ්‍ය ආගම විය යුතු නැහැ. බුදු දහමේ අරමුණ මනුෂ්‍යයා දුකින් මුදවා ගැනීමය. ඒත් රාජ්‍ය ප්‍රතිපත්ති මගින් මනුෂ්‍යයා දුකින් මුදවන්න බෑ. ඒකයි බුදුන් වහන්සේගේත් තමන්ම ධර්ම මාර්ගයේ ගියේ. 


(ඩී. ඇස්. චරිතාපදානය සංස්කෘතික දෙපාර්තමේන්තුව) 


ගොවි ජනතාව තමන්ගේ වහලුන් ලෙස සැලකූ රදල සමාජයක ගොවියන් තම මිතුරන් සහ රටේ ජීවනාලිය බව පසක් කළ සේනානායකවරුන්ගේ ක්‍රියා පටිපාටිය තුළින් ගොවියා රජ වී නූතන කෘෂිකර්ම ප්‍රබෝධයට අත්තිවාරම් වැටුණු බව නොකියාම බැරිය.


මින්නේරිය ගිරිතලේ පරාක්‍රම සමුද්‍රය සහ කන්තලේ වැනි යෝධ වැව් පිළිසකර කළ අතර කැලෑ බිම් එළි කර ගොවි ජනපද පිහිටුවන ලදී. ගල්ඔය සහ ජලාශ අලුතින් ඉදි කරනු ලැබිණ. සිංහලයන්ගේ පුරාතන චාරිත්‍ර පිළිබඳ යළි සිහිපත් කළ ඩී. ඇස්. පරපුර ගොවි ජනතාව මතින් තොර ප්‍රතිපත්තිගරුක පිරිසක් කිරීමට උත්සාහ කළහ.

ජාතියේ පියා ලෙස ඩී. ඇස්. හඳුන්වන්නට හේතු වූයේ නිදහස මෙන්ම යහගුණ වර්ධනය ද එතුමා නිසා යළි ජනතාවට ලැබුණු හෙයිනි. අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව ජනතාවගේ විශාල උද්යෝගයක් පැවතුණේ අනගාරික ධර්මපාලතුමාගේ සමයේය. සේනානායක පරපුර එම සටන් පාඨය ඉදිරියට ගෙන ගියේ සමාජය විනාශ කරන එම උවදුර පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රය ද දැනුම්වත් කරමිනි. 


සිංහලයාගේ ප්‍රධාන දුර්වලකමක් වන මතට ලොල් වීම තුළින් අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයකට ස්වදේශීය ජනතාව අසුවී ඇති බවත් මතින් ඇති වන ප්‍රමාදය නිසා රටේ දියුණුවට මහත් බලපෑමක් වන බව ධර්මපාලතුමා මෙන්ම සේනානායකවරු ද පෙන්වා දුන්හ. 


ඩී. ඇස්., එෆ්. ආර්., ඩී. බී. ජයතිලක යන දේශපාලනඥයන් සමගම ධර්මපාල තුමාගේ සොහොයුරු එඞ්මන්ඞ් හේවාවිතාරණ හා සයිමන් හේවාවිතාරණ හිරබත් කෑවේ අමද්‍යප ව්‍යාපාරය මුවාවෙන් ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහි ජනතාව ඇවිස්සූ රැඩිකල්වාදීන් ලෙස චෝදනා ලබමිනි. 


ධර්පාලතුමා එදවස ඉන්දියාවේ සිටි බැවින් අත්අඩංගුවෙන් බේරුණු නමුත් කල්කටාවේදී අත්අඩංගුවට ගන්නා ලදී.

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි