මැති සබයේ මුල් අසුනේ පැරැණි විත්ති - 02

 

එක් දහස් නවසිය හැටේ වසර මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී වකවානුවක් විය. හැටේ ජූලියේදී දෙවැනි මහා මැතිවරණය ද පැවති අතර එයින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලයට පත්ව එහි නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය තනතුරට පත්වූවාය. ඇයගේ රජයේ නිර්දේශය පරිදි කතානායක ධුරයට පත්වූවේ නාවලපිටිය මන්ත්‍රී ආර්. ඇස්. පැල්පොල මහතාය. උපකතානායක වශයෙන් වෙන්නප්පුව මන්ත්‍රී හියු ප්‍රනාන්දු මහතාත් කාරක සභා උපසභාපති ලෙස වාරියපොල මන්ත්‍රී ඒ. අදිකාරි මහතාත් පත්කර ගනු ලැබීය. 


කතානායක ආර්. ඇස්. පැල්පොල මහතා රජයට පක්‍ෂව කටයුතු කරන්නේ යැයි නිතරම පාහේ චෝදනා එල්ල වෙමින් තිබුණි. මේ අතරවාරයේ දිනක් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාත් පිලිප් ගුණවර්ධන මහතාත් මැති සබයේදී ගැටුමකට මැදිවූහ. එවකට ඇන්. ඇම්. පෙරේරා මහතා රජයට සහාය දෙමින් සිටි අතර පිලිප් එයට එරෙහි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළේය. මේ දෙදෙනා වචනවලින් දමා ගසමින් ආරම්භ වූ ගැටුම අතපයවලින් ගුටිබැට හුවමාරු කර ගැනීම දක්වා වර්ධනය වූවේය. මේ අතර එවකට කොට්ටාව මන්ත්‍රී ධුරය දැරූ පිලිප්ගේ බාල සොහොයුරු රොබට් ගුණවර්ධන මහතාද එක්වූයෙන් ගාලගෝට්ටිය තවත් උග්‍ර විය. මේ අවස්ථාවේදී කතානායකවරයා මැදිහත්ව සභාව සන්සුන් කිරීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. 


සභානායක සී. පී. ද සිල්වා මහතා නැගී සිට පිලිප් සහ රොබට් යන මන්ත්‍රීවරුන් දෙදෙනා සභාවෙන් ඉවත් කළ යුතු යැයි යෝජනා කරන ලදුව එය සම්මතවීමෙන් පසු ඒ දෙදෙනා ඉවත් වූහ. පසුව ඇතිවූ සිදුවීම්වල ප්‍රතිඵල වශයෙන් කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලදී. රජයේ වැඩි ඡන්දය මත එම යෝජනාව පරාජය කරනු ලැබුවද තවදුරටත් ඔහු කතානායක ධුරය දැරීම යුක්ති සහගත නොවන බව බොහෝ දෙනාගේ මතය විය. එය පිළිගත් පැල්පොල මහතා තනතුරෙන් ඉල්ලා අස්වූවේය. අනතුරුව තැපැල් ඇමති පදවිය භාරගත් ඔහු 1965 මාර්තු පැවති මැතිවරණයේදී පරාජයට පත්විය. දිගු කාලයක් නිරතව සිටි ඔහුගේ දේශපාලන ගමන් මග එතෙකින් නිමාවට පත්විය. 
ඉන් අනතුරුව කතානායක පදවිය හිමිවූයේ උපකතානායක තනතුර දරමින් සිටි හියු ප්‍රනාන්දු මහතාටය. ඔහුටද අතිශය බැරෑරුම් සිදුවීමකට මුහුණදීමට සිදුවූ බව අපට මතකය. පුවත්පත් මණ්ඩල පනත සහ පුවත්පත් පවරා ගැනීම පිළිබඳ පනත් දෙක නිසා උද්ගතවූ ස්ථාවර නියෝග කඩවීම් නිසා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට රජයට සිදුවිය. පාර්ලිමේන්තු සැසියක් අලුතෙන් ආරම්භ කිරීමට නම් සම්ප්‍රදාය අනුව රාජාසනයේ කතාව කියවා ඒ ගැන විවාදය පැවැත්විය යුතු විය. මෙම රාජාසනයේ කථා ස්තූති යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම් අවස්ථාවේ මුලසුන දැරුවේ හියු ප්‍රනාන්දු මහතාය. ආණ්ඩුවට පැහැදිලි බහුතරයක් තිබුණු නිසා රජයට ඒ ගැන විශේෂත්වයක් නොවීය. එහෙත් රහස් සාකච්ඡා මගින් බොහෝ දේ සිදුව තිබුණි. විවාදය අවසන්වීමට සුළු මොහොතකට පෙර රජයේ දෙවැනියා වූත් ඉඩම්, ඉඩම් සංවර්ධන සහ විදුලිබලය පිළිබඳ ඇමතිවරයා වූත් සභානායක සී. පී. ද සිල්වා මහතාගේ නායකත්වයෙන් තවත් මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු විපක්ෂයට එක්වීම නිසා මහත් මතභේදකාරී තත්ත්වයක් උද්ගතවිය. ඒ සැම දෙනාම රජයට විරුද්ධව ඡන්දය දුන් අතර සිරිතක් වශයෙන් රජය සමග එක්ව ඡන්දය දෙන පත් කළ මන්ත්‍රීවරුන් හය දෙනාගෙන් ඇස්. තොන්ඩමන් මහතා සහ දොස්තර ඇල්. ඕ. අබේරත්න මහතාද රජයට පක්‍ෂව ඡන්දය නොදී ඡන්දය දීමෙන් වැළකී සිටියහ. දෙපාර්ශවයේ ඡන්ද සංඛ්‍යාව සමවන බව පෙනි පෙනී පවතිද්දී හියු ප්‍රනාන්දු මහතා තම පදවියට පත් කළ රජය ආරක්ෂා කර ගැනීම සඳහා තම තීරක ඡන්දය භාවිත කළේ නැත. මුදල් ඇමති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සහ බර්නාඞ් සොයිසා මහතාද විදේශගතව සිටි අතර පස්සර මන්ත්‍රී අමරානන්ද රත්නායක මහතාගේ රථයේ රෝදයක සුළං බැසීම නිසා සභා රැස්වීමට සහභාගීවීමට නොහැකි වූ බවද කියනු ලැබේ. එනිසා නැවත පාර්ලිමේන්තුව කැඳවා රජයට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් සම්මත කිරීම කාලෝචිත බව ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයෝ අගමැතිනියට පෙන්වා දෙන ලද නමුදු ඇය එයට එකඟ නොවූවාය. පාර්ලිමේන්තුව විසුරුවා හැර යළිත් මැතිවරණයක් පැවැත්වුණි. 


එයින් බලයට පත්වූයේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් යුතු හවුල් රජයකි. එහි කතානායක ධුරයට නැවතත් පත්වූවේ සර් ඇල්බට් ඇෆ්. පීරිස් මහතාය. ඔහු නාත්තන්ඩිය මන්ත්‍රීවරයා ලෙස පත්ව සිටියේය. උපකතානායක ධුරය පිරිනැමුණේ හලාවත මන්ත්‍රී ෂර්ලි කොරෙයා මහතාටය. කාරක සභා නියෝජ්‍ය සභාපතිවූවේ මීගමුව මන්ත්‍රී ටී. කුවින්ටින් ප්‍රනාන්දු මහතාය. මේ තිදෙනාම මුහුදුබඩ ප්‍රදේශ නියෝජනය කළ එක්තරා ආගමික කොටසකට අයත්වූවෝ වූහ. මේ ගැන යම් යම් උපහාසද එදා විපක්‍ෂයෙන් එල්ලවූ අවස්ථාද තිබුණි. කතානායක සර් ඇල්බට් ඇෆ්. පීරිස් මහතා නොබෝ දිනකින්ම පරලෝ සැපත් වූයෙන් ෂර්ලි කොරෙයා මහතා එම තනතුරට පත්විය. එම තනතුරට අදාළව විශේෂ සිදුවීමක් නැතිව ඔහුගේ නිල කාලය ගෙවී ගියේය. 


ඊළඟ මහා මැතිවරණය යෙදුණේ 1970 මැයි 27 වැනි දිනය. තුනන් දෙකක විශාල බහුතර බලයක් සහිතව ශ්‍රී ලංකා සමසමාජ කොමියුනිස්ට් යන තුන් හවුල බලයට පත්විය. එම රජයේ කතානායක ධුරය හිමිවූයේ කෝට්ටේ මන්ත්‍රී අධිනීතිඥ ස්ටැන්ලි තිලකරත්න මහතාටය. තුනෙන් දෙකේ බලය උපයෝගී කර ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ආණ්ඩු ක්‍රම සම්පාදක මණ්ඩලයක් වශයෙන් මන්ත්‍රීවරුන් රැස්වූ අතර, එම කාœභාරයේ විශාල වගකීමක් ස්ටැන්ලි තිලකරත්න මහතාට පැවරුණේය. එම ක්‍රියාදාමය සාර්ථකවීම නිසා 1972 මැයි මස 22 වැනිදා ශ්‍රී ලංකාවේ පළමුවන ජනරජ ව්‍යවස්ථාව පනවා ස්ථාපිත කර ගැනීමට ඔහු කළ මෙහෙය සුවිශාලය.


නවසිය හැත්තෑ හතේ මහා මැතිවරණයේදී පැවති රජය අන්ත පරාජයට පත්කර හයෙන් පහේ බලයක් අත්කර ගැනීමට ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් පැවති එක්සත් ජාතික පක්‍ෂයට හැකිවිය. එම රජයේ කතානායකවරයා වූයේ කෝට්ටේ මන්ත්‍රී ආනන්ද තිස්ස ද අල්විස් මහතාය. 


පැරණි සාහිත්‍යයේ අලංකාර පදයක් වශයෙන් යොදන ලද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන නාමය සහිතව එම නගරය අග නගරය බවට ප්‍රකාශයට පත් කළ ජේ. ආර්. රජය නව පාර්ලිමේන්තු මන්දිරයක් තැනීමද ආරම්භ කළේය. ඓතිහාසික දියවන්නා ඔය ආසන්නයේ තැනූ ප්‍රතාපවත් මහා මන්දිරයට පිවිසීම සිදුවූයේ ආනන්ද තිස්සද අල්විස් මහතාගේ ධුර කාලයේදීය. එය සම්පූර්ණ කිරීමෙන් පසුව ඒ මහතා තනතුරින් ඉවත්ව බලසම්පන්න අමාත්‍ය තනතුරක් භාර ගත්තේය. ඒ රාජ්‍ය ඇමති ධුරයයි.


ඉන්පසුව කතානායක වූයේ බේරුවල පළමුවැනි මන්ත්‍රී සහ උපකතානායකවරයාද වූ ඇම්. ඒ. අබ්දුල් බකීර් මාකර් මහතාය. ඔහුට මුහුණ දීමට සිදුවූ බරපතළම ප්‍රශ්නය වූයේ පාර්ලිමේන්තුවේ කලවාන ආසනයට මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත්වීම පිළිබඳ අර්බුදයයි. 1977 මැතිවරණයේදී කලවාන ආසනය එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කර ජයගත් අබේරත්න පිලපිටිය මහතා ඡන්ද දූෂණයක යෙදීම ඔප්පුවීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම මන්ත්‍රී ධුරය අහිමි කරවන ලදුව අතුරු මැතිවරණයක් පැවැත්වීමට නියමිත වූවේය. එයින් ජයගත්තේ කොමියුනිස්ට් පක්‍ෂයේ සරත් මුත්තෙට්ටුවේගම මහතාය. එහෙත් ජනාධිපති ජයවර්ධන මහතාට අවශ්‍ය වූවේ පිලපිටිය මහතා මන්ත්‍රී ධුරයේ රඳවා ගැනීමටය. මෙය නිරාකරණය කර ගැනීම සඳහා 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක්ද සම්මත කර ගත්තද මන්ත්‍රී ධුරය මුත්තෙට්ටුවේගම මහතාට භාර දීමට අවසානයේදී සිදුවිය.


ඊළඟට පත්වූ කතානායකවරයා වූවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ ඇම්. එච්. මොහමඞ් මහතාය. ඒ වකවානුවේ පැවති උග්‍රම ප්‍රශ්නය වූයේ ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග යෝජනාවයි. එම යෝජනාව ගැන තමා සෑහීමකට පත්වන්නේ යැයි කතානායකරවයා ප්‍රකාශ කරමින් එය භාර ගත්තේය. එහෙත් නොයෙකුත් හේතු මත එය යටපත් කිරීමට සිදුවිය.


මොහමඞ් මහතාට පෙර ඊ. ඇල්. සේනානායක මහතාද ඉන්පසුව කේ. බී, රත්නායක මහතා, අනුර බණ්ඩාරනයාක මහතා, ජෝසප් මයිකල් පෙරේරා මහතා, වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා සහ චමල් රාජපක්‍ෂ මහතාද මෙම ගෞරවනීය තනතුර හොබවා ඇත. මෙම අයගේ ක්‍රියාකාරකම් ඉතා සමීප අතීතයේදී සිදුවූ බැවින් එම සිදුවීම් අපට තවමත් මතක ඇති නිසා දිගින් දිගට සඳහන් කිරීම අනවශ්‍යය. වර්තමාන කතානායකවරයා වන්නේ කරු ජයසූරිය මහතාය. ඒ මහතාගේ කටයුතු මේ දිනවල අපි අත්විඳිමින් සිටින්නෙමු. ඉදිරි අනාගතයේදීද තවත් බොහෝ කතානායකවරුන් බිහි වනු ඇත. ඔවුන්ගේ ක්‍රියාකලාපයන්ද මතු දිනක ඉතිහාසයට එක්වනු ඇත.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි.