සර් ජෝන්ගේ නොපළ කතා

 

බි්‍රතාන්‍යයන් ශ්‍රී ලංකාව පාලනය කරන කාලයේ දී මෙරට සිටි වතු හිමි යුරෝපීයයෝ ලංකාව යනු තමන්ට අයත් පරවේණි ඉඩමක් යැයි සිතූහ. මේ රටේම ඉපිද මේ රටේම මියයන කවර තරාතිරමේ පුද්ගලයකුට වුව ද ඔවුන් සැලකුවේ පිළිකුලෙනි. තමන්ට හිමිව ඇති වරප්‍රසාද කිසිවක් ස්වදේශීය මිනිසුන්ට ලබා දෙනවාට ඔවුහු අකැමැති වූහ. 
මෙරට යම් පුද්ගලයකුට සැලකිය යුතු ධනයක් හිමිවී ඇත්නම් යුරෝපීයයන්ට එය පෙනුණේ බි්‍රතාන්‍ය පාලනයේ යහපත්කම නිසාත්, සාධාරණකම නිසාත් ඔවුන්ට ලැබුණු වරප්‍රසාදයක් ලෙසිනි. ඒ නිසාම මෙවැනි ලාංකීය ධනවතුන්ට පවා යුරෝපීය සමාජය හා ගැටෙන්නට ඉඩක් නොලැබිණි. දිළිඳු ලාංකිකයන්ට ඔවුන් සැලකූ ආකාරය එයින්ම සිතාගත හැකිය. ඔවුන් නිතරම කීවේ ලාංකික ජනතාව “අර්ධ ශීලාචාර” නැතිනම් “නියම ශිෂ්ටාචාරයක අගය නොදන්නා” ජාතියක් බවයි. 


ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා පවසන්නේ එකල සුද්දන් ලාංකිකයන් තමන්ගේ බැල මෙහෙවරටත්, ලිපිකාර සේවයටත් පමණක් යොදා ගත් බවයි.


“මීට වඩා පුළුල්ව මිනිසුන් ගැන සිතූ යුරෝපීයයන් නොසිටියා කියා මම කියන්නේ නැහැ. වතු හිමියන් හා වෙළෙඳ ව්‍යාපාරිකයන් පුහු ආඩම්බරයකින් මත් වී අපේ මිනිසුන් පහත්කොට සැලකුව ද ඊට වඩා පළල් කල්පනා ශක්තියක් තිබුණු උසස් සමාජ හැඟීම් තිබුණු යුරෝපීයයන් ද කලාතුරකින් අපිට ඇසුරු කරන්න ලැබුණා. නිදහස් රටක දී බොහෝ අයට හිස නමන සුද්දෝ පවා අපේ රටට ආවම අමුතුම ලෙඩකින් පෙළෙන්න වුණා. කළු, කහ හෝ දුඹුරු වේවා වර්ණවත් හමක් තිබුණු හැම කෙනෙකුම පිළිකුල් කිරීම මේ ලෙඬේ ලක්ෂණයක් වුණා.”_
කොතලාවල මහතා පවසන්නේ නූතන ශිෂ්ටාචාරයේ සිටින විද්‍යාඥයන් පවා මවිත කරවන වැව් අමුණු, නූතන යන්ත්‍රවලින් පවා පහසුවෙන් තැනිය නොහැකි සීගිරිය වැනි, මුළු මහත් ලෝකයම පුදුම කරවන දෑ මේ යුරෝපීයයන්ට නාම මාත්‍රයක් පමණක් බවයි. ඒවා කෙරෙහි උනන්දුවක් දක්වන්නේ ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් පමණක් බව ද ඔහු කියයි. 
කොතලාවල මහතාට අනුව ලංකාවේ නීති රීති පැනවිය යුතුව තිබුණේ සුද්දන්ට පහසුවන විදියටය. රෝහල්, ගමනාගමන පහසුකම්, පාසල් ආදී සියල්ල වතුකරයට සිමා වූ විශේෂ වරප්‍රසාදයන්ය. යුරෝපීයයන්ගේ අදහස වූයේ සාමාන්‍ය ගැමියන්ට මේ කිසිවක් අනවශ්‍ය බවයි. ඔවුන් අසරණයන් සේ ඉපදී අසරණයන් සේම මිය යා යුතුය. 


“ඒ කාලේ දුම්රියේ පළමුවෙනි පන්තියේ යාමට සුදුසුකම වුණේ සුදු හම. උඩරට නායකයකු වේවා, දෙමළ නයිට්වරයකු වේවා හම කළු නම් ගමන් කළ යුත්තේ තුන්වැනි පන්තියේ. යුරෝපීයයන්ගේ අදහසට අනුව තුන්වැනි පන්තියේ ජාතියක් වූ ලාංකිකයන්ට ප්‍රථම පන්තියේ දුම්රිය මැදිරිවල දොර වැසී තිබුණි.”


ඉන්දියාවෙන් ගෙන්වාගත් ඉන්දියානු කම්කරුවන්ගේ ශ්‍රම ශක්තිය හේතුවෙන් හා තම ධනය ආරක්ෂා කරගැනීමට විශේෂ උනන්දුවක් දැක්වූ බි්‍රතාන්‍ය පාලනයත් හේතුවෙන් මෙරට කර්මාන්ත කීපයක් දියුණු කිරීමට ඔවුන්ට හැකියාව ලැබිණි. කොතලාවල මහතා මේ ගැන තම සටහන්වල සඳහන්කර ඇත්තේ මේ රටේ ස්ථිර පදිංචිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් නොතකා ඔවුන්ගේ ඉල්ලීම් ගැන නොතකා ඔවුනගේ උපන් බිමේ දීම ඔවුන්ට නිග්‍රහ කරමින් කටයුතු කිරීමට එය හේතුවක් නොවන බවයි. 


“අධිරාජ්‍යවාදයේ දක්නට ලැබුණු මෙවැනි පහත් ක්‍රියාවන් හේතුවෙන් මා කෝපයට පත්වූයේ වරක් දෙවරක් නොවේ. පහර දිය යුතු තැන දී පසු බැසීම හෝ නිවටයකු ලෙස වැනි වැනි පහර දීම මගේ සිරිත නොවේ. ඇතැම් අවස්ථාවල දී මෙවැනි අසාධාරණකම්වලට විරුද්ධව අතින් පයින් පවා සටන් කිරීමට මට සිදුවුණා. හම කළු වූ පමණින් ලාංකිකයන් පහත් කොට සැලකීම මම කිසිම අවස්ථාවක ඉවසුවේ නැහැ. එවැනි දේට එරෙහිව කරන ක්‍රියාවේ හොඳ නරක ගැන මා සිතා බැලුවේ කෝපයේ වේගය නිවුණාට පස්සේ. මා වගේම සැලකිය යුතු ධනයක් හිමිව තිබූ සෑම තරුණයකු තුළම මේ වගේ හැඟීම් තිබුණා. නමුත් බොහෝ දෙනකු හොඳින් සිතා බලා කටයුතු කළා. නමුත් මම කටයුතු කිරීමෙන් පසු සිතා බැලුවා. අයුක්තිය දුටු තැන ඉවසීම මට කිසිසේත්ම කළ නොහැකි දෙයක් වුණා. 


ඔහු පවසන්නේ ප්‍රතිවාදියා තමන්ට පහර දීමට පෙර ප්‍රතිවාදියාට පහරක් දීමට ඉඩ ලැබුණොත් ප්‍රතිවාදියාගෙන් පහර කෑමට සිදුනොවන බවට දැඩි විශ්වාසයක් තිබූ බවයි. මේ නිසා තමන් සෑම විටම ඉක්මන් වූ බව හෙතෙම පවසයි.

 


සජීව විජේවීර
ඡායාරූපය අන්තර්ජාලයෙනි