(නිකවැරටිය ප්‍රියානි මංගලිකා )
තම තරුණ දියණියගේ කැඩී ගිය විවාහය යළි සවි කරගැනීම සඳහා වශී ගුරුකමක් කිරීමට මුහුණු පොතේ පෝස්ටුවකට අනුව දේවාලයක් සොයා ගිය මවකට සිදු වූ අපූරු අකරතැබ්බයක් පිළිබඳව කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


මෙම මවගේ එකම  දියණිය වැඩිදුර අධ්‍යාපනයක් ද නොලබා ප්‍රේම සම්බන්ධයකට අනුව වයස අවුරුදු දහඅටේ දී විවාහ වන්නේ ගෙදර දොර වැඩපල ද නොදන්නා එකියක ලෙසිනි. ඒ හේතුව නිසාම සැමියා රැකියාවට නික්ම ගිය පසුව නැන්දම්මා සමග විසීම ද ඇයට අසීරු කරුණක් විය.


නැන්දම්මා හා ලේලිය අතර අඬ දබර නිමා වන්නේ විවාහය දෙදරා යාමෙනි. ඇයගේ සැමියා ද නැන්දම්මා හා ලේලිය අතර අඬදබර සමථයකට පත් කිරීමට ඉදිරිපත් නොවීය.


තරුණ බිරිඳ සියල්ල අතහැර දමා තම දෙමාපියන් ළඟට පැමිණිය ද ඇගේ සැමියා ඇය බැලීමට නොපැමිණීම ගැන ඇගේ මව ද පසු වූයේ මහත් කණස්සල්ලෙනි. වශී ගුරුකමක් මගින් තම බෑණා ගෙන්වා ගැනීමට මෙම මව කල්පනා කළාය. ඇය මේ බව දියණියට ද කීවාය. දියණිය ද එයට එක පයින්ම කැමති වූයේ සැමියා තමා ළඟට ගෙන්වාගෙන නැන්දම්මාට පාඩමක් ඉගැන්වීමටය.


මව සහ දියණිය දෙදෙනාම එක්ව මේ ගැන සිත යොමුකර, අදාළ ස්ථානයක් සොයා ගැනීමට වෙහෙසෙමින් සිටියහ. මේ අයුරින් වශී කර වෙන්ව ගිය අය දින හතෙන් ගෙන්වා දිය හැකි දේවාලයක්  පිළිබඳව මුහුණු  පොතේ වූ පෝස්ටුවක් මොවුන්ගේ නෙත ගැටුණි. එහි සඳහන් කපුවාගේ ලිපිනය ද සටහන් කරගත් මව මිතුරියක ද සමග ගමනට පිටත් වූවාය.


මොවුන්  ලිපිනයේ සඳහන් වූ තොරතුරු අනුව ඉතා අමාරු⁣⁣වෙන් අදාළ ස්ථානයට ළඟා වූයේ දුරකතර ගෙවාගෙනය. දේවාලයක් යැයි සඳහන් වුවද, මෙය පාළු තැනක වූ කුඩා කාමරයකි. එහි ඇතුළත රතු තිරයක් එල්ලා තිබුණි. කාමරය ඇතුළේ සිටි තරුණයකු රතු රෙද්දක් ද ඉනෙහි දවටාගෙන ඔවුන් ඉදිරියට පැමිණ, කාන්තාවන්ගෙන් පැමිණි  කාරණය විමසීය. ගමන් වෙහෙස ද පසෙක දමා වහා ඉදිරිපත් වූ මව තම කාරණය දේවගැතිවරයාට කියා සිටියේ මහත් භක්තියෙනි.


සියල්ල අසා සිටි තරුණ පුද්ගලයා මෙම කාන්තාවන් දෙදෙනා අමතා මෙසේ කීවේලු‍. ‘‘වැඩේ කරලා දෙන්නම් කිරි ගහට ඇන්නා වගේ. ගාස්තුව රුපියල් 15,000යි. අද ඇඩ්වාන්ස් එකක් දීලා යන්න. දවස් තුනකින්  ඉතිරි සල්ලිත් අරගෙන එන්න. දෙන්නගේ නම් දෙක ලියලා දීලා යන්න. ඒ නම් දෙකට දවස් තුනම පහන් පත්තු කරගෙන මතුරනවා. ලේසි නෑ වැඩේ”‍ යැයි කියා ඇත.


පසුව මෙම මව දුවගේ සහ බෑනාගේ නම් දෙක ලියා, රුපියල් දෙදහසක් ද සමග බුලත් අතක තබා දේවගැතිවරයාට පිළිගැන්වීය. ඔහු එය ද රැගෙන කාමරය තුළට වැදී ටික වේලාවකින් එළියට ආවේ කට ද පිස දමමින්, දෑස් ද රතු කරගෙනය. 


“දැන් සේරම හරි මතුරන්න පටන් ගත්තා. කියපු  දිනේට  ඉතිරි සල්ලිත් අරගෙන එන්න”‍ කපුවා කාන්තාවට කියා ඇත්තේ වෙරිමර ගාතේය.


පසුව මෙම මව මිතුරිය ද සමග ආපසු ඒමට මගට බැස්සේ මහත් වූ කනස්සල්ලෙනි. ඇය අස්වසමින් මිතුරිය මෙසේ කියා ඇත. “අපරාදේ සල්ලි... අපි කියමු අපිට බස් එකේවත් යන්න සල්ලි නෑ. ඒ හින්ද රුපියල් පන්සීයක් ගන්න. ඉතිරි එක්දාස් පන්සීය ආපහු දෙන්න කියලා. ඉතිරි සල්ලි සේරම අරගෙන කියපු දවසට නොවරදවාම එනවා කියලා කියමු”‍ යැයි යෝජනා කළාය.


මිතුරියගේ අදහසට එකඟ වූ මව ආපසු හැරී යළි දෙදෙනාම දේවාලය ඉදිරිපිටට ගියහ. එවිට දේවාලය තුළ සිට එළියට පැමිණියේ වෙනත් පුද්ගලයෙකි. ඔහු ද පෙර පුද්ගලයාගේම හැඩරුවය. මිතුරිය කී ආකාරයට එම මව මෙම පුද්ගලයාගෙන් තමා දුන් මුදල් ඉල්ලා සිටියාය. පසුව එම පුද්ගලයා කාන්තාවන් අමතා මෙසේ කියා ඇත. “ඕගොල්ල සල්ලි දීපු කෙනා නම් දැන් නෑ. එයා ගිහින්. ආයේ කොයි වෙලාවේ එයිද දන්නෑ. කියපු දිනේට ඉතිරි සල්ලිත් අරගෙන නොවරදවාම එන්න” යැයි කීවේලු‍. 


වශී ගුරුකමෙන් අන්ද මන්ද වූ කාන්තාවන් දෙදෙනා මහත් වෙහෙසට පත්ව දැඩි කනස්සල්ලෙන් ආපසු නිවෙස් බලා ආවේලු‍.