හැමදාමත් අලුත් වෙන එජාපයේ නායකත්ව ගැටුම්

02 වැනි කොටස

 

යූ.ඇන්.පියේ නායක්තවයෙන් ජේ. ආර්. ජයවර්ධන මහතා 1988 දී ඉවත් වන විට මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළ එම පක්ෂයේ ප්‍රභූ නායකයන්ගේ පරපුර අවසන් වී ගොස් තිබුණි. ආටිගල මුදලි තුමාගේ දරුවන්ගේ සංගමයත් එහි අනුප්‍රාප්තිකයෝත් බොහෝ දෙනා මිය පරලොව ගොස් සිටියහ. තවත් බොහෝ අය දේශපාලන කරළියෙන් ඉවත්ව ගොස් සිටියහ. ඩඩ්ලි සේනානායක මහතා සහ ජේ. ආර්. ජයවර්ධන මහතා අතර මත භේදය නිසා විශාල පිරිසක් කලකිරීමට පත්ව පසු පසට වූහ. තවත් අය කැපුම් කෙටුම් වලට ගොදුරු වූහ. 


පක්ෂය ආරම්භක නාම ලැයිස්තුවේ නම සඳහන් කිසිම කෙනෙක් නායකත්වය ලැබීමට ආසන්න මට්ටමෙන්වත් නොසිටියේය. ඒ නිසා අලුත්ම කෙනෙකු හඳුන්වා දීමේ අභියෝගය ජේ. ආර්. හමුවේ විය. ඒ වන විට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් සිටියේ ආර්. ප්‍රේමදාස මහතාය. එහෙත් ඔහු “ඔරිජිනල් යු.ඇන්.පී. කාරයෙකු” නොවන බව එකල බොහෝ දෙනා දැන සිටියහ. ඔහු ඒ.ඊ. ගුණසිංහ මහතාගේ කම්කරු පක්ෂයෙන් දේශපාලන කටයුතු අරඹා කොළඹ මහ නගර සභාවට පත් වූවේය. එහෙත් එක්සත් ජාතික පක්ෂයට අත්‍යවශ්‍ය ඉතා තීරණාත්මක අස්ථාවක ප්‍රේමදාසයන් තම ඡන්දය ලබා දී එම පක්ෂයට විශාල සේවයක් කර තිබුණි. 1954 නගර සභා මැතිවරණයේදී පළමු වරට එ.ජා.ප.ය. පසුපසට කරමින් වමේ රතු බලවේගය නගර සභාවේ බහුතරයට ඔන්න මෙන්න තත්ත්වයට පැමිණ තිබුණි. කම්කරු පක්ෂයට අයත් මන්ත්‍රීවරු දෙදෙනෙක් පත්ව සිටියහ. ඒ ප්‍රේමදාස සහ පසුව ඇමතිවරයෙකු වු ඇම්. වින්සන්ට් පෙරේරා යන දෙදෙනාය. නගරාධිපති තරගයේදී වමේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ලද ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා ජය ගත්තේ සමාන ඡන්ද ලැබීම නිසා කුසපත් ඇදීමෙනි. එහෙත් උප නගරාධිපති තේරීමේදී කාසියේ වාසිය හිමි වුයේ යූ.ඇන්. පියෙන් ඉදිරිපත් කළ ප්‍රේමදාසයන්ටය. එ.ජා.ප.ය.ට කෝටි ගණනක් වුවත් වටිනා ඡන්දය ලබාදීමේ පින අත්පිටම ඔහුට ලැබුණි. දෙවැනි එළිසබෙත් මහ රැජින ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන සමයක සම සමාජ නායකයෙකු අග නගරයේ ප්‍රධාන පුරවැසියාව සිටීම නුසුදුසු ක්‍රියාවක් ලෙස අගමැති සර් ජෝන් කොතලාවල මහතාත් රජයේ ප්‍රබලයෝත් සැලකූහ. ඒ අනුව දියත් වූ වැඩපිළිවෙළක් අනුව රතු නගරාධිපතිවරයා ඉවත් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක විය. එවකට කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් කොටහේන කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරයා වූ ඇන්තනි මාසෙල්ස් මහතා තම පිලට හරවා ගැනීම නිසා එම තීරණාත්මක විශ්වාසයභංග යෝජනාව දිනා ගැනීමට එජාපය සමත් විය. මෙම සටන්වලදී දැක්වූ සහාය ද සමග ප්‍රේමදාස එජාපයට වටිනා පුද්ගලයකු වූ අතර, ඔහු එම පක්ෂයේ කොළඹ උප නගරාධිපතිවරයා ද වීම නිසා ප්‍රබලයකු බවට ද පත්ව සිටියේය. 1956 මැතිවරණයේදී අපූරු සටනකට ඔහු යොමු කරවනු ලැබීය. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කොළඹ නගරාධිපතිවරයා වුවද ඔහු නියෝජනය කළ ආසනය වූවේ රුවන්වැල්ලයි. 1936දී දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමි පරදවා මැති සබයට පැමිණි දා සිට අපරාජිතව එම අසුන රැකගෙන සිටි ඇන්. ඇම්. ට එරෙහිව ව යූ.ඇන්. පියෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා වූයේ ඇන්. ඇම්. කොළඹ නගරාධිපතිව සිටියදී ඔහු සමග උප නගරාධිපතිධුරය දැරූ ආර්. ප්‍රේමදාස මහතාය. එහෙත් එය දිනන්නට කළ සටනක් නොවීය. හතරවටින් නැගී එන එජාප විරෝධී රැල්ල හමුවේ ඇන්. ඇම්. වැනි ප්‍රබලයකු පරදා පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි දේශපාලන පසුබිමක් ආසනයේ හතර මායිම් තරමටවත් නොදැන සිටි ආධුනිකයකු වූ ප්‍රේමදාසයන්ට තිබුණේ නැත.

 

 


එහෙත් සහජයෙන්ම උරුමව පැවැති මුඛරිකම මෙන්ම ක්‍රියාශීලිත්වය නිසා දිරිගන්වන සුලු සටනක් ඔහු රුවන්වැල්ලේදී ප්‍රදර්ශනය කළේය. ලංකාව පුරා එජාපයේ සියලු නායකයන් ඇදවැටෙද්දී ආර්. ප්‍රේමදාසයන්ද රුවන්වැල්ලෙන් පරාජය ලැබුවේ නොවැළැක්විය හැකි ලෙසය. එසේ වුවත් මෙම සටන නිසා ඔහු ජාතික නායකයකු වශයෙන් උසස්වීමක් ලබා තිබුණි. 1956 පරාජයේ තුවාල අකාමකා දමමින් ජේ. ආර්. සමග එක්ව පක්ෂය ඉදිරියට ගෙන යාම සඳහා දැඩි ප්‍රයත්නයක යෙදුණු මෙම පිරිස දැඩි උත්සාහයකින් යුතුව මහත් සටනක් කළහ. ජනතා ඉල්ලීම අනුව ඩඩ්ලි සේනානායක මහතා නැවතත් පක්ෂ නායකත්වය භාර ගැනීමෙන් පසු ඔහු සමග මහත් කැපවීමෙන් යුතුව ප්‍රේමදාස මහතා කටයුතු කළේය. දිගටම කොළඹ නාගරික මන්ත්‍රී පදවියක් දැරූ ඔහු 1960 මහ මැතිවරණයේදී එජාපයෙන් තරග කර මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් පත්වන මැදකොළඹ ආසනයේ තුන්වැනි මන්ත්‍රීවරයා ලෙස පත්විය. දකුණේ බළපිටිය ප්‍රදේශයෙන් වාසනාව සොයා කොළඹට පැමිණි සුළු ව්‍යාපාරිකයකු වූ රිචඩ් රණසිංහ මහතාගේ සහ හොරණ බටුවිට ආරච්චිගේ එන්සිනා ජයසිංහ මහත්මිය ද ඔහුගේ දෙමාපියෝ වූහ. පෙර සඳහන් කළ සම්ප්‍රදායික බලවත්තු කොළඹ හතේ සහ ඒ අවට පදිංචිව සිටියහ. එහෙත් ප්‍රේමදාස මහතාගේ බල කේන්ද්‍රය වූවේ දුප්පත් ජනයා වැඩි වශයෙන් පදිංචිව සිටි එනිසාම නොපනත්කම්වලට ක්ෂේම භූමියක් බවට ප්‍රකටව පැවති පිටකොටුවේ කෙහෙල්වත්ත ප්‍රදේශයයි. 1960 ජූලි මැතිවරණයේදී පරාජයට පත්වුවත් පක්ෂ නායක ඩඩ්ලි සේනානායක මහතාගේ ආශිර්වාදයෙන් පක්ෂය තුළ ඔහු තම ස්ථාවරය ගොඩනගා ගත්තේය. 1965 දී නැවතත් මැද කොළඹින් මැති සබයට පිවිසි ඔහු ඩඩ්ලි සේනානායක රජයේ පළාත්පාලන උප ඇමැති ධුරයට පත්වීම් ලැබීය. පසුව ඇති වු මතභේද නිසා රජයේ හවුල්කාර පක්ෂයක් වු ෆෙඩරල් පක්ෂය රජයෙන් ඉවත් වුවේය. එම පක්ෂය නියෝජනය කරමින් ඇමති මණ්ඩලයේ සිටි ඇම්. තිරුවෙල්චම් මහතා ද රජයෙන් ඉවත් වුවේය. එයින් ඇති වූ පුරප්පාඩුවට පත්කරනු ලැබුවේ ප්‍රේමදාසයන්ය. ඉතා දක්ෂ හා නිර්මාණශීලී ඇමැතිවරයෙකු වු ඔහු මාලිගාවත්ත නව නිවාස ව්‍යාපෘතිය සහ පූට්ටු පාලම් සංකල්පය ඔස්සේ මහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තේය.


මතු සම්බන්ධයි.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි