IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම ජනාධිපති

ගමෙන් රජ ගෙදරට පැමිණි පළමු ජනපතිවරයා
03 වැනි කොටස

 

 

ඩඞ්ලි සේනානායක මහතාගේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුත් අග්‍රාණ්ඩුකාර ධුරයේ වෙනසක් කිරීමට සේනානායක මහතා උත්සාහ කළේ නැත. විලියම් ගොපල්ලව මහතා සේනානායක මහතාගේ පාලන කාලය තුළදීත් අපක්ෂපාතීව කටයුතු කළේය. 1970 මහ මැතිවරණයෙන් සිය ආණ්ඩුව පරාජය වීමෙන් පසු ඩඞ්ලි සේනානායක මහතා තමාගේ ඉල්ලා අස්වීමේ ලියවිලි ගොපල්ලව මහතාට භාර දුන්නේය. 


ජයග්‍රහණය කළ පක්ෂයේ නායිකාව ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රජ ගෙදරට කැඳවූ ගොපල්ලව මහතා නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස උපදෙස් දුන්නේය. 1972 මැයි මස 22 වැනි දින නව ජනරජ පනත සම්මත කර ගන්නා ලදී. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති ස්ටැන්ලි තිලකරත්න මහතා ශ්‍රී ලංකා ජන රජ පනත පිළිගත් බව සහතික කරමින් ඊට අත්සන් තැබුවේය. ජනරජ පනත සම්මත වීමෙන් පසු ශත වර්ෂ එක හමාරකට අධික කාලයක් තිස්සේ ලංකාව එංගලන්තයේ මහ රැජිනට තිබුණු බැඳීම අවසන් වී නිදහස්, ස්වාධීන, ස්වෛරී ජන රජයක් බවට පත් විය.


“සිලෝන්” යන නම ඉවත් වී “ශ්‍රී ලංකා” යන නම ව්‍යවහාරයට ආවේය. ශ්‍රී ලංකා ජන රජයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දිවුරුම් දුන්නාය. 
ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් වීමෙන් පසුව ප්‍රථම (විධායක නොවන) ජනාධිපතිවරයා ලෙස විලියම් ගොපල්ලව මහතා මන්ත්‍රීවරුන් ඉදිරියේ දිවුරුම් දී වැඩ බාර ගත්තේය. ඒ සමගම “රජ ගෙදර” නමින් හැඳින්වුණු මන්දිරය “ජනාධිපති මන්දිරය” බවට පත් විය. අධිරාජ්‍යවාදී බැමිවලින් සම්පූර්ණයෙන් මිදුණු ශ්‍රී ලංකාද්වීපය ඒ ඓතිහාසික මොහොතේ ශ්‍රී ලංකා ජන රජයේ ප්‍රථම ජනාධිපති විලියම් ගොපල්ලව මහතා ජාතියට දුන් මංගල පණිවුඩය ගුවන් විදුලිය ඔස්සේ තුන් සිංහලේ පුරා පැතිර ගියේය. 


පරිපූර්ණ නිදහස ඇති ජන රජයක් මගින් අභිනව යුගයක් ආරම්භ වෙන මොහොතේ ජනරජයේ පළමු වැනි ජනාධිපති වශයෙන් පත් වීමේ භාග්‍ය මා වෙත පැවරීම ගැන ගරු අග්‍රාමාත්‍යවරියටත්, රජයටත්, ජනතාවටත් මාගේ හෘදයාංගම කෘතගුණය මුලින්ම සඳහන් කරමි. ශ්‍රී ලංකා ජන රජය මගින් අපේක්ෂිත ශ්‍රී සෞභාග්‍ය මුළු මහත් ජනතාවට උදා වේවායි ප්‍රාර්ථනා කරමි. ඒ අභිනව යුගයේ සමාරම්භ ලක්ෂණය වශයෙන් අපේ ස්වාධීන ධජය සදහටම බැබළෙන සේ ඔසවමි. 


1972 මැයි මස 22 වැනිදා ශ්‍රී ලංකා ජන රජයේ ප්‍රථම ජනාධිපති ධුරයට පත් වූ විලියම් ගොපල්ලව මහතාගේ සේවා කාලය 1976 මැයි 22 වැනිදාට අවසන් වීමට නියමිතව තිබුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ පත් වීම සිදු කෙරෙන්නේ අවුරුදු හතරක් සඳහාය. ඒ අනුව නියමිත කාලය අවසන් වෙන විට ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමට කැමති බව ගොපල්ලව මහතා අගමැතිනියට දන්වා සිටියේය. නමුත් අග්‍රාණ්ඩුකාර ධුරයේ මෙන්ම ජනාධිපති ධුරයේ ද අපක්ෂපාතී හා බුද්ධිමත්ව කටයුතු කර තිබීම නිසා ගොපල්ලව මහතාගේ සේවය තවදුරටත් ලබා ගැනීමට තමාත් ඇමැති මණ්ඩලයත් තීරණය කර තිබුණු බව අගමැතිනිය කියා සිටියාය. ඒ අනුව විලියම් ගොපල්ලව මහතාගේ සේවා කාලය තවත් වසර හතරකින් දීර්ඝ කරන ලදී. 


1977 ජුලි 22 වැනිදා පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන මහතා විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගත්තේය. පසුව ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් වැඩ බාර ගත්තේය. 


1977 ඔක්තෝබර් 04 වැනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙවැනි සංශෝධනය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වූ අතර, අගමැති ජේ. ආර්. ජයවර්ධන මහතා එම පදවියේ සියලු බලතල සමග විධායක ජනාධිපති බවට පත් විය. විලියම් ගොපල්ලව මහතාගේ පාලන කාලය තුළ 1965, 1970 සහ 1977 වර්ෂයන්හි මහ මැතිවරණ පවත්වා ඇති අතර එම මැතිවරණවලින් පසු බලයේ සිටි ආණ්ඩු වෙනස් විය. විපක්ෂය බලයට පත් විය. ඒ සෑම අවස්ථාවකදීම රාජ්‍ය නායකයා ලෙස අපක්ෂපාතී ලෙස කටයුතු කළ ගොපල්ලව මහතා මහ ජනතාවගේ ආදරය දිනා ගත්තේය. 


විලියම් ගොපල්ලව මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, මාතලේට ගොස් නැවත ගැමි ජීවිතයේ ආස්වාදය ලැබීමට පුල පුලා බලා සිටි නමුත් සීලවතී ගොපල්ලව මැතිනිය 1977 ඔක්තෝබර් මස 04 වැනිදා මෙලොව හැර ගියාය. ඉන් වසර 11කට පසුව එනම්, 1988 සැප්තැම්බර් මස 17 වැනි දින වසර 16 කට ආසන්න කාලක් ජනාධිපති මන්දිරයටත්, රටටත් ආලෝකයක් බවට පත්ව සිටි විලියම් ගොපල්ලව උතුමාණන් ද මෙලොව හැර ගියේය.

 

 

එම්. තාරික්
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (1)

ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම ජනාධිපති

J. R jayawardana Saturday, 21 September 2024 09:00 PM

හොඳයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site