එය නොවැම්බර් 25 වැනිදා උදෑසන 7 ආශ්‍රිත වේලාවකි. මින් පෙර කිසිදාක එවැනි වේලාවක මා නොඅමතන හරේන්ද්‍රගෙන් මට දුරකථන ඇමතුමකි. ඔහුගේ ක්ෂණික ප්‍රශ්නය වූයේ ‘මචං මොකද වෙන්නේ’ ඊට මගේ කෙටි පිළිතුර වූයේ ‘මචං මම අද ඉල්ලා අස්වෙනවා’ යන්න පමණි. සාමාන්‍ය පරිදි මම එදින කාර්යාලයට යනවිටත් හරේන්ද්‍ර නිපුණතා පියසේ මගේ කාර්යාලයට පැමිණ සිටියේය. කාර්යාලයට යාමට පෙරම මම මේ බව චාමරට දැන්වීමි.

ඩලස් ඇමතිතුමාගේ සිතුම් පැතුම් ද හොඳින් හඳුනන හරේන්ද්‍රට මගේ ඉල්ලා අස්වීම ලිවීම බාර දුන්නෙමි. මේ අතර නිපුණතා පියසේ 3 වැනි මහලේ පිහිටි තෘතීය අධ්‍යාපනය කොමිෂන් සභාවේ සේවය කරන නදීෂ් ද මගේ කාමරයට පැමිණියේය. මේ සියල්ල අතර ගණකාධිකාරී අබේසේකරයට මා බලකර කියා සිටියේ අද සවස 5.00 වන විට කුමන තත්ත්වයක් යටතේ හෝ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්විය යුතුම බවයි. සැබවින්ම ඒ වන විටත් භට පෙරදින මා දන්වා තිබූ ආකාරයට ඒ සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගෙන තිබුණි. ඊට අනව ඔහු උදෑසන 10.00 පමණ ව විට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වීමට හැකි බව තහවුරු කළේය. මේ අතරතුර මාගේ ඉල්ලා අස්වීම පිළිබඳ ලැබුණු ආරංචියට අනුව ඩිව් ඇමැතිතුමා මා ඇමතීය. මට මතක ආකාරයට එදින මම එතුමාට තරමක් දොස් නැඟුවෙමි. එසේ වුවත් පසුව එම මට මහත් වේදනාවකි. මේ අතර අතිරේක ලේකම් ජයවික්‍රම මහතාට දුරකථනයෙන් කථා කළ මා ඉල්ලා අස්වීමේ ලිපිය තව නොබෝ වේලාවකින් ලැබෙණු ඇතැයි පැවසීමි.


කෙසේ වෙතත් නොවැම්බර් 21 සිකුරාදාට පසුව පැමිණි සෙනසුරාදා කාර්යාලයට ගිය මම අවශ්‍ය සියලු ලිපි ලේඛන කාටත් නොදැනෙන සේ නිවසට රැගෙන ආවෙමි. ඒ බව දැන සිටියේ චාමර පමණි. සඳුදා සුපුරුදු පරිදි කාර්යාලයට පැමිණි මම පසුදින එනම් අඟහරුවාදා කෙසේ හෝ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්විය යුතු යැයි ගණකාධිකාරී අබේසේකරට පැවසීමි. මා ඔහුට එය පැවසුවේ ද කිසිදු අනවශ්‍ය සැකයක් නොහැඟෙන ආකාරටය. අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවන්නේ ීඡ නමැති ලේකම් සමාගම මගිනි.


යොදාගත් පරිදි සවස 5.00 පමණ වනවිට හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සඳහා සියල්ලන්ම මෙහි පැමිණෙමින් සිටියහ. අධ්‍යක්ෂ මණ්ඩලයේ දෙතුන් දෙනකු හැර බොහෝ දෙනකුගේ මුව අගින් සෙමින් ගිලිහුණේ ‘මෝඩ වැඩක්’ යන වදනය. කෙසේ වෙතත් මාගේ මුඛ්‍ය කාර්යය හා අවශ්‍යතාව බවට පත්ව තිබූ වර්ෂ අවසාන දිරි දීමනාව රු. 25,000ක් විය යුතු යැයි මම යෝජනා කළත් අධ්‍යක්ෂ මණ්ඩලය රු. 20,000ක් සඳහා අනුමැතිය ලබා දුන්නේය. දැන් ඉතින් මගේ සේවකයන් පුන පුනා බලා සිටි එම යුතුකම ද ඉටුකර හමාරය. මා නොවැම්බර් 21 දින ඉල්ලා අස්වී නම් ඔවුන්ට එම දීමනාව නොලැබෙනු ඇත.


මේ සියල්ල අවසානයේ නිපුණතා පියසෙන් පිටව ගිය මම රතන හාමුදුරුවන්ගේ සඳහම් සෙවණට ගියෙමි. මා එහි යනවිට චම්පික ඇමැතිතුමා හා පරණවිතාන ද එහි පැමිණ සිටියහ. මෙහිදී චම්පික ඇමැතිතුමා හා රතන හාමුදුරුවන් කියා සිටියේ ජනාධිපතිවරණය පිළිබඳ හෙළ උරුමය මෙවන් ස්ථාවරයක් ගැනීමේ දී ඔවුන්ට මගේ ‘ප්‍රසන්ටේෂන්’ විග්‍රහය ඊට අවශ්‍ය චිත්ත ධෛර්යය වර්ධනය කරගැනීමට මනා පිටුබලයක් සැපයූ බවයි. මේ අතර පරණවිතාන ඩලස් ඇමැතිතුමාගේ කාර්ය මණ්ඩලයෙන් ඉවත්වීම මීට පෙර සෙනසුරාදා සිදුවිය.


සදහම් සෙවණින් පසුව මා හට යා යුතු තවත් තැනක් විය. මේ වනවිට මගේ හිතවතුන් බොහෝ දෙනෙක් බත්තරමුල්ල පාලම් තුන හන්දියේ මා එනතුරු බලා සිටියහ. එම සමුගැනීමේ සාදය අවසන් වන විට මධ්‍යම රාත්‍රිය ද අවසන් වී තිබුණි. 


පසුවදා රෑ වනතුරුම නින්දට වැටුණේ අලුත් ජීවිතයක් සමග ප්‍රබල අභියෝගයක් පසුදින සිට බාර ගැනීමට සිත ධෛර්යවත් කරගනිමිනි. රාත්‍රී 7.00 පමණ වන විට මිතුරකුගේ ඇමතුමක් ලැබුණි. ඒ අරුණ අධිකාරිය. ඉල්ලා අස්වීමට සුබ පැතූ ඔහු අපගේ නිවසෙ ඉදිරිපිට රැඳී සිටින බව පැවසීය. ඔහුගේ ආරාධනය වූයේ අලුත් අභියෝගය බාර ගැනීමට තැබූ එඩිතර ඉදිරි පියවර ඇගැයීමට තලවතුගොඩ ‘මොනෑෂ්’ හෝටලයට ඔහු සමඟ පැමිණෙන ලෙසයි. අරුණ, අනුර යාපා ඇමැතිතුමාගේ ප්‍රබල ආධාරකරුවෙකි. නමුත් ඔහු මෛත්‍රී පාලනයක් වෙනුවෙන් සහයෝගය දැක්වීමට තීරණය කර හමාරය. එහි සිටි ප්‍රසිද්ධ ව්‍යාපාරික ඇපල් සුනිල් මහතාගේ බාල සොයුරු ශම්මි, මගේ ඉල්ලා අස්වීම පිළිබඳ හමුදාපති දයා රත්නායකට දැනුම්දුන් අතර මා ද ඒ බව තහවුරු කිරීම හමුවේ හමුදාපතිවරයා තරමක් කනස්සල්ලට පත් වූ බවත් දිස්විය.


පසුදින උදෑසන මම අවදිවූයේ මෛත්‍රී ඇමැතිතුමාගේ දුරකථන ඇමැතුමත් සමඟය. ජනාධිපතිවරණයට අදාළ ප්‍රධාන පත්‍රිකාව ලිවීම දැන් සිටම ආරම්භ කළ යුතු යැයි එතුමා කියා සිටින විට මගේ පිළිතුර ‘මම දැන් නිදහස්. අර සභාපතිකමින් මම ඉල්ලා අසුවුණා. තව ටිකකින් මම සර්ගෙ ගෙදරට එන්නම්’ යනුවෙනි. සත්තකින්ම මගේ ඉල්ලා අස්වීම පිළිබඳ පුවතත් සමගම මෛත්‍රී ඇමැතිතුමා සතුටට පත්වූ බව ඊට එතුමා ලබාදුන් ප්‍රතිචාරයෙන්ම මට හැඟුණි.


කියූ පරිදිම මම විජේරාම නිවසට ගිය අතර ජනාධිපතිවරණ දිනයේ ඇඳිරි වැටෙන යාමය දක්වාම විජේරාම නිවසේ ඉදිරිපස රැස්වීම් ශාලාව අපගේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය විය. 


මෛත්‍රී ඇමැතිතුමා, නින්ද නොයන, මරණය අබියස සිට බාරගත් අභියෝගයක් හමුවේ සිටිය ද ගතවූ පළමු දින දෙක තුන තුළදීම මටත් පරණවිතානටත් මෝටර් රථ දෙකක් ලබාදීමට පියවර ගත්තේය. විශේෂයෙන්ම විජේරාම නිවස පොදු අපේක්ෂක කාර්යාලය වෙද්දී එහි ප්‍රධාන නියමුවන් දෙදෙනා බවට මමත් පරණවිතානත් නිසර්ගයෙන්ම පත්වී හමාරය. මෙම කාලය පුරා සෑම දිනකම කුමන හෝ අවස්ථාවක මුණගැසී හෝ දුරකථනයෙන් කථා කිරීමට මෛත්‍රී ඇමැතිතුමා විසින් අමතක නොකළ පස් දෙනකුවත් අවම තරමින් සිටියේය. ඒ රතන හාමුදරුවෝ, රාජිත ඇමැතිතුමා, චම්පික ඇමැතිතුමා, පරණවිතාන හා මා විය යුතුය. සැබවින්ම අප මේ සැරසෙන්නේ චීන මහා ප්‍රකාරය පෙරළීම බදු වැඩකටය. එම කටයුත්තට මූලිකත්වය දෙන ප්‍රධාන ඉංජිනේරුවාට මහා චිත්ත ධෛර්යයක් ඒ සඳහා අවශ්‍යමය. අද සිට බලන විට අපි සියලු දෙනා මෛත්‍රී ඇමැතිතුමාට අවශ්‍ය චිත්ත ධෛර්යය නොඅඩුව ලබාදුන්නා වැනිය.


මේ ආකාර සංකීර්ණ සිදුවීම් රාශියක සෘජු ප්‍රතිඵලයක් ලෙස දැන් මෛත්‍රී ඇමැතිතුමා ජනාධිපති පොදු අපේක්ෂකයා වී හමාරය. පොදු අපේක්ෂක ප්‍රචාරක කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳ අප සතුව මනා උපක්‍රමික සැලසුමක් නොතිබුණු බව පළමුව කිව යුතුය. එහෙත් තත් කාලය අනුව ගොඩනැඟුණු ප්‍රචාරක සැලසුමක් දින එකින් එක ගතවත්ම ක්‍රමිකව ගොඩනැඟුණි. පෙර කී පරිදිම විජේරාම නිවස මුල්කර ගනිමින් මමත් පරණවිතානත් ක්‍රියාත්මක වූ අතර මාධ්‍ය කටයුතුවලින් වැඩ ප්‍රමාණයක් රතන හාමුදුරුවන්ගේ සදහම් සෙවණ මුල් කරගනිමින් ක්‍රියාත්මක විය. එය බාරව සිටියේ ධනුෂ්ක රාමනායකයි. ධනුෂ්ක චම්පික ඇමැතිතුමාගේ මාධ්‍ය ලේකම්වරයාය.

 

 

 

 

 

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්