කලක් විප්ලවවාදී ව්‍යාපාරයේ නියැළීී සිට පසුව විප්ලවවාදී ව්‍යාපාරයට ද්‍රෝහී වී සතුරන් අතරට පලාගිය උන් පිළිබඳව ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය ලබා ඇති අත්දැකීම් සම්භාරය අති විශාලය. 


ජර්මන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායකයකු වූ කාල් කෞටිස්කිගේ පටන් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ මේ වන තෙක් හෙළිදරව් වී ඇති එවන් මිනිසුන් ගණන බොහෝය. චීන කොමියුනිස්ට් පක්‍ෂයේ කලින් උප සභාපතිව ද මාවෝගෙන් පසුව පත්වන්නා හැටියට ද චීන සමූහාණ්ඩුවේ ජනාධිපති වශයෙන්ද සිටි ලියූ ආ එච් විප්ලවයේ වකවානුවේදී විශාල නායකත්වයක් දරමින් එයට සහභාගී වූ පුද්ගලයකි.

නමුත් 1960 අග භාගයේදී ඔහු ද්‍රෝහියකු වශයෙන් හංවඩු ගසා සියලූ නිලතලවලින් නෙරපාහරිනු ලැබීය. චීන කොමියුනිස්ට් පක්‍ෂයේ එවකට සිටි ප‍්‍රධාන ලේකම් චෙන්ෂියාචෝජින්ද විප්ලව වකවානුවේ මධ්‍යම චීනයේ රතු හමුදා මෙහෙයවමින් විප්ලවය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටුකළ පුද්ගලයන්ගෙන් කෙනෙකි.

 

 

ඔහුද 1968 දී ධනේශ්වර ක‍්‍රියාමාර්ගය ගත් ද්‍රෝහියකු හැටියට හංවඩු ගසා නෙරපා හරිනු ලැබීය. චීන රතු හමුදාවේ ප‍්‍රධාන අණදෙන නිලධාරි මණ්ඩලයේ නායකයාද ද්‍රෝහිියකු හැටියට සලකා පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් සහ හමුදාවේ ඔහු දැරූ තනතුරෙන් නෙරපා දමනු ලැබීය. පීකින් නගරාධිපති වූ හා චීන කොමියුනිස්ට් පක්‍ෂයේ එවකට දේශපාලන සාමාජිකයෙකුව සිටි පෙන්චෙන් ද්‍රෝහියකු හා විදේශ ඔත්තුකරුවකු ලෙස සලකා සිර භාරයට ගනු ලැබීය. සංස්කෘතික විප්ලවයෙන් පසු චීන කොමියුනිස්ට් පක්‍ෂයේ (9 වැනි* මහ සම්මේලනයෙන් පසු මාවෝගෙන් පසුව පත්වන්නා හා චීන කොමියුනිස්ට් පක්‍ෂයේ උප සභාපති හැටියටත් පත්කරනු ලැබූ ආරක්ෂක ඇමැති ලිං පියා  ඕ විප්ලව සමයේදී මාවෝ සමඟ දීර්ඝ පා ගමනටද පෞද්ගලිකවම සහභාගි වෙමින් විප්ලවය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයකි. එසේම සංස්කෘතික විප්ලවය භාර මධ්‍යම කාරක සභා කොමිටියේ ලේකම් චෙන් ෆොතා කලින් මාවෝගේ පෞද්ගලික ලේකම්වරයා විය.

 

චීන ගුවන් හමුදාවේ ප‍්‍රධාන අණ දෙන නිලධාරි හූ ඇතුළු චීන කොමියුනිස්ට් පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ චීන ත‍්‍රිවිධ හමුදාවලත් උසස් නිලධාරීන් ගණනාවක්ම මොවුහු විප්ලව සමයේ ඉදිරියෙන් වැඩ කටයුතු කළ අය වෙති. අද දෝහින් වශයෙන් සලකා චීන කොමියුනිස්්ට් පක්‍ෂයෙන් නෙරපා හැර තිබේ. දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන්ගේ අර්ධකටත් වැඩියෙන් එසේ නෙරපනු ලැබ ඇත. සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂය තුළ කෘෂෙව් වැන්නවුනුත් චොකොස්ලොවෙකියානු කොමියුනිස්ට් පක්‍ෂය තුළ ඩුබ් ෂෙක් වැන්න වුණුත් හංගේරියානු කොමියුනිස්ට් පක්‍ෂය තුළ ඉම්රේ නාගී වැන්නවුනුත් ඇමරිකන් කොමියුනිස්ට් පක්‍ෂය තුළ බෙග‍්‍රර්ඩන් වැන්නවුණුත් මේ වැනි මිනිසුන් පිළිබඳ උදාහරණ ස්වල්පයක් පමණි. 1961 කියුබානු ආක‍්‍රමණයේදී ක්‍ෂ් එක මුවාවක් වශයෙන් පාවිච්චි කළේ කියුබාවේ සිට මියාමිවලට පැන ආ කැස්ත්‍රෝගේ රජයේ මුල් සති කිහිපය තුළ අගමැති වශයෙන් කටයුතු කළ ජොසේ  මාට් සමග කියුබාව මුදා ගැනීමට සටන් කළ දේශපේ‍්‍රමියකු වූ මිරෝ ආජන්ටස් නමැත්තාගේ පුත‍්‍රයා වූ භවානාවේ නීතිවේද මණ්ඩලයේ හිටපු සභාපතිවර ජොසේ වීරෝ කැර්දේනාය. මෙවැන්නන් අතීතයේ සහ වර්තමානයේ සිටියා මෙන්ම අනාගතයේදී ද පංති සමාජය පවතින තාක්කල් සිටිනු ඇත.

 

 

මම 1964 දී ලංකාවට එන විට ලංකාවේ සැබෑ විප්ලවවාදී ව්‍යාපාරයක් තිබුණේ නැහැ. මුළු මහත් වාමාංශික ව්‍යාපාරයම සංශෝධනවාදී ප‍්‍රතිසංස්කරණවාදී මඩගොහොරුවේ එරිලයි සිටියේ. කොමියුනිස්ට් පක්‍ෂයෙන් කැඞී ගිය කණ්ඩායමක් පේ‍්‍රමලාල් කුමාරසිරිගේ සහ ශන්මුගදාසන්ගේ නායකත්වයෙන් යුත් (චීන පිල* කණ්ඩායමත් විප්ලවය ගැන කතා කරමින් සිටියා.

නමුත් විප්ලවවාදී වාග්මාලා කටපාඩමින් ඇදබෑම හැරුණු විට ඒ පක්‍ෂය තුළ විප්ලවවාදී න්‍යායක්තවත්, විප්ලවවාදී දර්ශනයක්වත්, විප්ලවවාදී වැඩපිළිවෙළක්වත්, විප්ලවවාදී ප‍්‍රතිපත්ති මාලාවක්වත්, විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයක්වත්, විප්ලවවාදී සංවිධානයක්වත්, විප්ලවවාදී ජීව ගුණයක්වත් තිබුණේ නැහැ.


ඔවුන් විප්ලවය ගැන කතා කළ හෙයින් ඔවුන් සැබෑ විප්ලවවාදීන් යැයි රැුවටී ඔවුනට සහයෝගය දුන්නා. නමුත් භාවිතාව තුළින් ඔවුන් තේරුම්ගත් පසු සැබෑ විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය තේරුම්ගෙන ඒ අනුව කටයුතු කරන්නට සිදුවුණා. මේ රටේ සමාජවාදී විප්ලවය ජයග‍්‍රහණය කරන්නට නම් සැබෑ නිර්ධන පංති විප්ලවවාදී පක්‍ෂයක් ගොඩනැගිය යුතුව තිබුණා. විප්ලවවාදී පක්‍ෂයක් ගොඩනැගිය යුත්තේ විප්ලවවාදීන්ගෙන්. නමුත් විප්ලවවාදීන් නැති තැනක විප්ලවවාදී පක්‍ෂයක් ගොඩනගන්නේ කොහොමද? මුළු මහත් වාමාංශික ව්‍යාපාරයම සංශෝධනවාදී මඩගොහොරුවේ වැටී සිටින අවස්ථාවක, වෘත්තීය සමිති දේශපාලනයත්, පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණවාදයත්, කම්කරු පංතිය ප‍්‍රමුඛ මුළුමහත් ජනතාවම දැඩි ලෙස වෙළාගෙන ඇති අවස්ථාවක සකලවිධ දේශීය දේශපාලකයන් විප්ලවීය දර්ශනයට, ක‍්‍රියාමාර්ගයට එරෙහිව අවි අමෝරා ඇති අවස්ථාවක යටත් විජිත ඉතිහාසයේම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් ඉතාමත් සාර්ථක ලෙස ධනේශ්වර පාර්ලිමේන්තු දේශපාලනය ජනතාව අතර කිඳා බස්සවා ඇති රටක ලංකාවේ එවකට මැතිවරණ අටවාරයක් පවත්වා තිබිි ආසියාකරයේ බි‍්‍රතාන්‍ය යටත්විජිත අතුරෙන් මැතිවරණයෙන් පාලක දේශපාලන පක්ෂය x පංතිය නොවේ x විටින් විට මාරුකර ඇති රටක දක්ෂිණාංශය පමණක් නොව වාමාංශය ද පාර්ලිමේන්තු මිථ්‍යාව ජනතාව අතර තහවුරු කරමින් සිටින රටක විශේෂයෙන්ම විප්ලවකාරී දේශපාලන පක්‍ෂයක් ගොඩ නැගීම සුළු පටු නොවේ. ලෙහෙසි පහසු  සරල හා ඉක්මනින් කළ හැකි කටයුත්තක් නොවේ.


එය ඉතාමත්ම බැ?රුම්ම හා පරිස්සමින්ම අතගැසිය යුතු වැදගත්ම සහ සංකීර්ණතම කටයුත්තකි. ‘‘බහුජනතාව විසින් න්‍යායක් ග‍්‍රහණය කරගත් විට එය ද්‍රව්‍යමය බලවේගයක් බවට පත්වේ.’’ කියලා මාක්ස් කියලා තියනවා. අපේ රටේ එවකට විප්ලවවාදී පක්‍ෂයක්, විප්ලවවාදී බලවේගයක් නොතිබුණාට පීඩිත පංති, නිර්ධන පංති බහුජන සමූහයක් සිටියා. විප්ලවවාදීන් විසින් කළ යුතු කටයුත්ත වූයේ මේ නිර්ධන පංති බහුජන සමූහයාට මාක්ස්වාදී න්‍යාය ග‍්‍රහණය කරනවා.

ඔවුන් විප්ලවවාදී ද්‍රව්‍යමය බලවේගයක් බවට පත්කර ඒ විප්ලවීය ද්‍රව්‍යමය බලවේගය අව්‍යාජ මාක්ස් ලෙනින්වාදී වැඩපිළිවෙළක් තුළ සංවිධානය කර ඒ විප්ලවීය සංවිධානයේ නායකත්වය යටතේ මග පෙන්වීම යටතේ පුළුල් බහුජන සමූහයා විප්ලවය කරා මෙහෙයවා  ධනේශ්වර ආඥාදායකත්වය හා ආධිපත්‍ය සුන්බුන් කර නිර්ධන පංති ආඥාදායකත්වයක් ස්ථාපිත කර සූරාකෑමෙන් තොර සමාජවාදී සමාජ ක‍්‍රමයක් හරහා උත්තරීතර කොමියුනිස්ට් සමාජය වෙත පා තැබීමයි. මාක්ස්වාදී න්‍යාය නිර්ධන පංති බහු පංති බහුජන සමූහයාට ග‍්‍රහණය කරවා ඔහුන් විප්ලවවාදි බලවේගයක් බවට පෙරළීම කරන්නේ නැතිව විප්ලවවාදී පක්‍ෂයක් ගොඩනැගිය නොහැක. විප්ලවවාදීන් ගොඩනගන්නේ නැතිව විප්ලවවාදී පක්‍ෂයක් ගොඩනැගිය නොහැකිය. විප්ලවවාදීන් නැති තැන විප්ලවවාදී පක්‍ෂයක් තිබිය නොහැකිය. විප්ලවවාදී පක්‍ෂයක් ගොඩනැගීමට නම් විප්ලවවාදීන් සිටිය යුතුමය. විප්ලවාදීන් බිහිකළ යුතුමය.

 

මතු සම්බන්ධයි.

 

 

සකස් කළේ : ප‍්‍රසන්න තෙන්නකෝන්