පේරාදෙණියේ වෛද්‍ය සිසු පත්මසිරි අබේසේකර 1983 ජූනි 19 ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු පේරාදෙණියේ වෛද්‍යෙ සිසුන් ගණනාවක් සටන්කාමී ශිෂ්‍ය ක්‍රියාකාරීන් බවට පත්වූහ.


පල්ලේකැලේ ප්‍රහාරයට එක්වූ කිහිප දෙනෙකු පිළිබඳව සංක්ෂිප්ත විස්තරයක් මෙසේය. හලාවත, අඹකඳවිල බෙනඩික් කොස්තා වර්තමානයේ වයඹ පළාතේ රෝහලක වෛද්‍යවරයෙකි. බිරිඳ ගුරුවරියකි. දෙදරු පියෙකි. එදා දෙවැනි වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ කෑගල්ල බටුවත්තේ සෝමරත්න වර්තමානයේ රජයේ වෛද්‍යවරයෙකි. හම්බන්තොට දෙබරවැව මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා 1984 ජනවාරි පේරාදෙණිය සරසවියට ඇතුළු වූ චන්ද්‍රසිරි රත්නුගේද වර්තමානයේ දකුණු පළාතේ ප්‍රකට දන්ත වෛද්‍යවරයෙකි. දෙදරු පියෙකි. බිරිඳ ද දන්ත වෛද්‍යවරියකි.

ප්‍රේමකුමාර් ගුණරත්නම් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ 85 කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර 1965 නොවැම්බර් 18 උපන්නෙකි. කෑගල්ල ශාන්ත මරියා සහ පින්නවල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් වූ රංජිතම් ගුණරත්නම්ගේ කනිටු සොහොයුරාය. ජවිපෙට එක්වූයේ 1981 දී පාසල් සිසුවෙකුව සිටියදීය. පල්ලකැලේ ප්‍රහාරයෙන් සති 6කට පසු එනම් 1987 මැයි 23 ගලගෙදරදී පොලිස් අත්අඩංගුවට පත්විය. පසුව 1988 දෙසැම්බර් 13 ජවිපෙ සැකකරුවන් 221 සමග බන්ධනාගාරයෙන් පලා යන ප්‍රේමකුමාර් පසුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් විය. ත්‍රිකුණාමලය පාලම් පොට්ටවුර් හිදී 1989 සැප්තැම්බර් 24 අත්අඩංගුවට පත්ව කන්තලේ හමුදා නිවෙස් ඛණ්ඩයේ රඳවා තබන ලදී. එම ප්‍රදේශයේ අණදෙන නිලධාරි වූයේ ජනරාල් සරත් ෆොන්සේකාය. පසුව අඹේපුස්ස කඳවුරේ කපිතාන් ජයන්ත කොතලාවල යටතේ නිලධාරි සහායකයෙකු ලෙස රඳවාගෙන සිටියදී ප්‍රේමකුමාර් 1990 අගෝස්තු මස අතුරුදන් විය. පසුව ගාල්ල සහ බද්දේගම රහසිගතව සැඟව සිට 1991 දී ජවිපෙ යළි ගොඩනැගීම සඳහා සෝමවංශ අමරසිංහ සමඟ සබඳතා ගොඩනඟා ගන්නා ලදී. වර්තමානයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකි. දෙදරු පියෙකි.


වාරියප්පෙරුම දොන් දේවප්‍රිය සිසිර කුමාර 1964 පෙබරවාරි 17 උපන් අතර කෑගල්ල මඩවල පදිංචිකරුවෙකි. මව ඉංග්‍රීසි ගුරුවරියක වූ අතර පියා මහා විද්‍යාලයක උපවිදුහල්පතිවරයෙකි. සොහොයුරිය විද්‍යා උපාධිධාරිණියක් වූ අතර සොහොයුරා වෛද්‍යවරයෙකි. සිසිර කුමාර පේරාදෙණිය වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙක් විය. කෑගල්ල පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අ.පො.ස. උසස් පෙළ සමත් වීමෙන් පසු වෛද්‍ය පීඨයට ඇතුළත් වන තෙක් ඔහු අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ස්වෙච්ඡා ගුරුවරයෙකු වශයෙන් ද කලක් සේවය කළේය. පල්ලකැලේ 1986 ප්‍රහාරයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මැගසින්, නුවර බන්ධනාගාරවලද පසුව කුරුඳුවත්ත රේස්කෝස් කඳවුරේද රඳවාගෙන සිටි සිසිර කුමාර අවසාන කාලයේ කෑගල්ලේ බහුජන සංවිධානයන්හි ක්‍රියාකරිකයෙකු ලෙස කටයුතු කළ අතර දැරණියගල 1989 සැප්තැම්බර් 12 අත්අඩංගුවට ගන්නා ලදී. පසුව කෑගල්ල වික්‍රමසිංහ වලව්වේ පිහිටා තිබූ වධ කඳවුරට ගෙන යාමෙන් පසු ඝාතනයට ලක්විය.


අම්පාර ඉඟිනියාගල දරුවන් තිදෙනෙකු වූ පවුලේ දෙවැනියා වූ ලක්ෂ්මන් රංජිත් අබේරත්න (ටොමා) 83/84 කණ්ඩායමේ සිසුවෙකු වූ අතර පියා ගොවියෙකි. නිහඬ චරිතයක් වූ ලක්ෂ්මන් ජවිපෙ අධ්‍යාපන කඳවුරකට ප්‍රථම වරට සහභාගි වූයේ 1986 මාර්තු 11 මාතලේදීය. පල්ලේකැලේ ප්‍රහාරය සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදී 1988 දෙසැම්බර් 13 පලා ගියේය. පසුව පන්නල ප්‍රදේශයේ තලම්මැහැර - බම්මන්න විහාරස්ථානයක සිට කුලියාපිටියේ ජවිපෙ ශිෂ්‍ය අංශයේ කලාපීය නායකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී 1989 මැයි 21 අත්අඩංගුවට පත්වූ අතර ඝාතනය කරන ලද ඔහුගේ සිරුර කුලියාපිටිය පන්නල මාර්ගයේ කන්කානියමුල්ල කැලයේ බෝධිය අසලදී පුලුස්සා දමා තිබියදී හමුවිය.


ත්‍රස්තවාදී මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි පල්ලේකැලේ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරන චූදිතයන් 8 ට එරෙහිව 1988 දී නඩු අංක 3591/88 යටතේ කොළඹ මහාධිකරණ විනිසුරු අමීර් ස්මයිල් ඉදිරියේ නඩු පවරන ලදී. ප්‍රහාරයට එක්වූ 14 දෙනාගෙන් 8 දෙනෙකු පමණක් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වූ අතර එම 8 දෙනා චූදිතයන් කරමින් මෙසේ නඩුව පවරා තිබිණි. එම චූදිතයන් 8 දෙනාගෙන් 6 දෙනෙකුම පේරාදෙණිය සරසවියේ සිසුන්ය. විත්තිකරුවන්ට චෝදනා වූයේ 1987 අප්‍රේල් 1 සිට 1987 අප්‍රේල් 15 අතර කාලයේ පල්ලේකැලේ යුද හමුදා කඳවුරට පහරදී යුද අවි පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව සූදානම් වීම සහ පහරදීම් සිදුකොට යුද අවි පැහැර ගැනීම වේ. නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කෝලිත ධර්මවර්ධන, පාලිත ප්‍රනාන්දු සහ එච්. බී. හුසේන් යන රජයේ නීතිඥවරු පෙනී සිටියහ. විත්තිය වෙනුවෙන් පෙනීසිටියේ ජනාධිපති නීතිවේදී ආර්. අයි. ඔබේසේකර, ඒ. ඩබ්ලිව්. යුසුප් සහ චම්පානි පද්මසේකර යන නීතිවේදීහුය.


රිමාන්ඞ් ගතකර සිටි පේරාදෙණිය සරසවියේ මෙම සිසුන් ඇතුළු සියලු සිසුන්ගේ සුබසාධන සහ නීති කටයුතු සඳහා අනුග්‍රහය දක්වමින් එය සම්බන්ධීකරණය කළේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගිනි.
එවැනි කටයුතු සඳහා මහජන, ශිෂ්‍ය, ආධාර පමණක් නොව පේරාදෙණිය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව මගින් ගුණදාස කපුගේ ගී සැඳෑව 1987 දෙසැම්බර් 19 සහ පේරාදෙණිය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින් නන්දා මාලිනීගේ සංගීත සජ්ඣායනය 1988 ජනවාරි 27 පේරාදෙණිය සරසවි ක්‍රීඩාගාරයේදී පවත්වන ලද ප්‍රසංගවලින් අරමුදල් රැස්කර ගන්නා ලදී.


එම චූදිතයන් 8 දෙනාගෙන් එක් අයෙකු වන කෘෂි පීඨයේ ලක්ෂ්මන් කිත්සිරි ද සිල්වා මාස 18 රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු 1988 නොවැම්බර් 21 ඇප මත නිදහස් කරන ලදී. සෙසු විත්තිකරුවන්ට ඇප දිය හැකි දැයි සලකා බැලීමට නඩු විභාගය කල්තබන ලදී. අනතුරුව සෙසු චූදිතයින් 7 දෙනා කොළඹ මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඞ් බාරයේ සිටියදී ජවිපෙ විසින් එරෙහි 1988 දෙසැම්බර් 13 ප්‍රහාරයක් එල්ල කර නිදහස් කරගැනීමට සමත්වූ ජවිපෙ සැකකරුවන් 221 දෙනා අතර විය. පසුව පලාගිය අයට අධිකරණයෙන් 1989 මාර්තු 2 වරෙන්තු නිකුත් කෙරිණි.


මැගසින් බන්ධනාගාරයෙන් පලාගිය පල්ලකැලේ චූදිතයෙකු වූ 2 වැනි විත්තිකාර වෛද්‍ය සිසු ලක්ෂ්මන් කුමාර කොස්තාට පලා යෑමේදී ආරක්ෂක අංශවලින් තබන ලද වෙඩි පහරවල් වැදුණු අතර බරපතළ තුවාල සහිතව ඔහු මීගමුව රෝහලට ඇතුළත් විය. 


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එඩිසන් ගුණතිලක යළිත් ඔහු එහිදී අත්අඩංගුවට ගත් අතර මහාචාර්ය අර්ජුන අළුවිහාරේගේ මැදිහත්වීමෙන් පේරාදෙණිය රෝහලේදී කොස්තාට සැත්කමක් ද සිදුකරන ලදී. පසුව කෝස්තාගේ සෞඛ්‍ය හේතුන් මත 1989 මාර්තු 17 වැනිදා රුපියල් 5000ක ඇපයත් මත ඔහු මුදාහරින ලදී.


පල්ලකැලේ යුදහමුදා කඳවුරට පහරදීම පිළිබඳව චූදිතයන්ට එරෙහිව තිබුණු චෝදනා රජය මගින් 1994 දී ඉල්ලා අස්කර ගැනීම නිසා චූදිතයන් නිදහස් විය. එයට හේතුන් අතර විත්තිකරුවන්ගේ පාපොච්චාරණ සටහන් කරගත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ජීවතුන් අතර නොමැතිවීම නිසා සාක්කි මෙහෙයවීමට නොහැකි තත්ත්වයක් උදාවීම, ඇතැම් විත්තිකරුවන්ගේ පාපොච්චාරණ සිය කැමැත්තෙන් කළ ප්‍රකාශ නොවන බව විත්තියෙන් නඟන ලද මූලික විරෝධයන් නිසා ඒ පිළිබඳව තීරණයක් ගැනීමට වොයර්ඩයර් අතුරු සාක්ෂි විභාගයක් පැවැත්වීමට සිදුවීම ඇතුළු කරුණු කිහිපයක් හේතු විය.