IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


වීරයෝ කියන්නේ රටට වැඩ කරන මිනිස්සු

 


 
මේ අපි හැමෝටම අමාරු කාලයක්. නිදහසේ හුස්ම ගත්තු ...නිදහසේ ඇවිද ගියපු අපි දැන් ජීවත් වෙන්නෙ බයයි සැකයයි එක්ක. 
ඒත් වැදගත්ම දේ, එළියේ තත්ත්වය මොන මොන තරම් භයානක වුණත් ගේ ඇතුළේ අපි සුරක්ෂිතයි කියන හැඟීම. තියෙන හැටියට කාලා හරි, පවුලේ අයත් එක්ක එකට ඉන්න තිබෙන එකම මොනතරම් සැනසිල්ලක් ද... අස්වැසිල්ලක් ද...  හුඟ දෙනෙකුට දැනෙන ඒ අස්වැසිල්ල... සැනසීම ...අපේ රටේ වීරයන්ට නැහැ .ඔවුන් හැමදාම එළියේ. ඇත්තටම වීරයෝ කියන්නේ, අවදානම පෙනි පෙනීත් රට වෙනුවෙන් වැඩ කරන මිනිස්සු. 


එහෙම රණවිරුවන්, සුව විරුවන් අතරේ, රටක කුසගිනි නිවන්න මේ අසීරු මොහොතේත් මහපොළොව එක්ක ඔට්ටු වන අපේ ගොවි මහත්වරුත් වීරයන්. අපේ ගේ ළඟට බඩු ටික ගෙනැවිත් දෙන්නට, උදේ සිට රෑ වන තුරු  සුපර් මාකට් ඇතුළෙ අධික වෙහෙස දරාගෙන වැඩ කරන තරුණ තරුණියොත් සැබෑම වීරයන්.


ඉතින්, අපි කොහොමද ඔවුන් අමතක කරන්නේ.


දවසකට දුරකථන ඇමතුම් දෙතුන් සියයකට වත් උත්තර දෙමින්... පාරිභෝගිකයන්ගෙන් බැණුම් අසමින් ...විටෙක ඔවුන්ගෙන්ම පින් ලබමින්...   හැකි උපරිමය ඉටු කරමින්, ගෙයක් ගෙයක් ගානේ ආහාර පාන ටික යවන්නට කටයුතු කරන  ඔවුන්, ඇත්තටම කාගෙවත් වැඩි අවධානයක් නොලැබුණු වීරයන්.


" ලෙඩ හදා නොගෙන තියෙන දෙයක් කාලා ගමට වෙලා ඉඳින් පුතේ..." 


දෙමවුපියෝ එහෙම කියද්දිත් ඔවුන් කොළඹට වෙලා මේ අවදානමක් ගන්නෙ තමන් ගැන හිතල නෙමෙයි. 

 


ඇත්තටම කිව්වොත් අපේ රටේ බොහෝ මිනිසුන් මේ මොහොතේ ඉන්නෙ ගෙවල්වල. තමන්ගේ අඹු දරුවෝ එක්ක. හැබැයි ඒ හැමෝටම දැනෙන අස්වැසිල්ල, අපේ මේ නිහඬ විරුවන්ට නැහැ. අඹු දරුවන්ගෙන්, තමන්ගේ ආදරණීයයන් ගෙන් ඈත් වෙලා... ඔවුන් ගැන හොයන්න බලන්න...ආදරේ කරන්න පුංචි හෝ අවස්ථාවක් නැතිව ගෙවන මේ ජීවිතේ, වීරයෙකුට වුණත් දරාගන්න අමාරුයි.
ඇත්තටම මේ වෙලාවේ ඔවුන් හැමෝටම තියෙන්නේ එකම අරමුණක්. ඒ අරමුණ වෙනුවෙන් ඔවුන් දරා ගෙන සිටින්නේ එකම වේදනාවක්. එහෙත්  සියල්ල යටපත් කර ගෙන ඔවුන් සිනහවෙන් වැඩ කරනවා. රට වෙනුවෙන් යුතුකමක් ඉටු කරනවා. සුජිත් වෙදආරච්චි කියන්නෙත් එහෙම චරිතයක්. මේ  නිහඬ විරුවන් හැමෝගෙම  නියෝජනයක්.


විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් ආහාර පාන බෙදා හරින කටුබැද්ද කාගිල්ස් බිග් සිටියේ කළමනාකරු. මේ වේලාවෙ ඔහු බැඳී ඉන්නෙ වගකීමෙන් විතරක් නෙවෙයි. තමන්ගේ ඇඳුම ඇඟට ඇලෙන්නට තරම්, දහඩියෙන් පෙඟී ගෙන වැඩ කරන මේ කණ්ඩායමේ ඔහුත් සාමාජිකයෙක්. 


මේ ඔහු ගේ හඩ.


"මේ වෙලාවෙ අපි දහතුන් දෙනෙක් මේ බිග් සිටියේ වැඩ. තුන්දෙනයි අවට ඉන්නේ. අනික් හැමෝම ඈත ගම්වල. ඒත් ඒ අය ගමට නොගිහින් බෝඩින්වල  නැවතිලා, හැම දවසකම වැඩට එනවා. ලැබුණු නිවාඩුවෙන්  ගමට යන්න ආසා නැත්තෙ කවූද... ඒත් මේ වෙලාවේ අපි හැමෝම හිතන්නේ වෙනස් විදියට.


'මේ, මාව රටට අවශ්‍ය මොහොත. මං අත් හරින්නේ නැහැ. මං ඉන්නෙත්  මිනිස්සුන්ගේ බඩගින්න නිවන සටනේ...' එහෙම හිතනකොට දැනෙන හැඟීම හරියට සොල්දාදුවෙක් වගේ. ඕනෙම තත්ත්වයක් යටතේ වැඩ කරන්න හිතට එන්නේ පුදුම ධෛර්යයක්.


මේ 'බිග් සිටි'යට දවසකට ඇමතුම් ගොඩක් එනවා. ඒ හැම ඇණවුමක්ම ගෙනිහින් දෙන්නයි අපේ උත්සාහය. අපේ දහතුන් දෙනාගෙන් 6 දෙනෙක් ම ගැහැනු ළමයි. ඔවුනුත් දිවා රෑ නැතිව එක සීරුවට වැඩ. උදේ අටට පටන් ගත්තම අපි හැමෝම ගෙවල් වලට යන්නේ රෑ නවයට දහයට. වට්ස් ඇප් හරහා එන හැම ඕඩරයක් ම අපි කොහොම හරි දවස් දෙකක් ඇතුළත ගෙදරට ගිහින් බාර දෙනවා.

ස්ටෝරුවෙන් ගෙනැවිත් රාක්කවලට බඩු අහුරන්නෙත් මේ කිහිප දෙනා. ඊළඟට, එන එන ඕඩරයට භාණ්ඩ තෝරලා මුළු බඩු ලයිස්තුවම කරත්තවලට පුරවන්නෙත් මේ කිහිප දෙනා. රාක්කවල බඩු අඩු වෙන ගානේ ඒවා පුරවන්නෙ...බිල් කරන්නෙ...බිල් කළ ඇණවුම් වාහනවලට පටවන්නෙ සහ ගෙදරටම ගෙනිහින් ඒ බඩු බාර දෙන්නෙ මේ කිහිප දෙනා. මේ සේරම කරද්දි අපේ ළමයි දවාලට කන්නෙ හතරට පහට. සමහර දාට කිරි පැකට් එකක් විතරයි. හේතුව බඩගිනි වුණත් වැඩ දාලා යන්න හිතෙන්නේ නැහැ. හැමෝම මහන්සි වෙන්නෙ එක වගේ. 


ඉතින්, අපි අතිනුත් යම් ප්‍රමාදවීම් වෙයි. නමුත් අපි පුළුවන් උපරිමයටත් වඩා කැප වෙනවා. හැමදාම උදේට වැඩ පටන් ගන්න කලින් අපි මීටිමක් තියෙනවා. කණ්ඩායමක් විදියට සිතුවිලි දිරිමත් කර ගන්නවා. මේ දුෂ්කර කාලය ඉවර වෙනකල් අපි දවස් ගනිනවා. තව දවස් 15...යි.14....යි. එහෙම කියලා, හිතට හයිය ගන්නවා. පුංචි දරුවො ඉන්න ගෙවල්වලට කෑම බීම ටික අරගෙන ගියාම ඒ සමහර අය පින් දෙනවා.


දවසක් වෛද්‍යවරයකු ගේ ගෙදරට මං බඩු අරන් ගියා. ' අද ඔයා නාවා නම්  මගේ දරුවන්ට  කිරිත් නැහැ. මේ වෙලාවේ ඔයා මට දෙව් කෙනෙක්...'  එහෙම කියලා මට පින් දුන්නා. මිනිස්සුන්ගෙන් මේ වගේ ලැබෙන  ප්‍රතිචාර නිසා, අපේ මහන්සිය අමතක වෙනවා.

ඇත්තටම දැන් අපිට හිතෙන්නේ නෑ, මේ පඩියට  කරන රස්සාවක් කියලා. අපි දැන් මේ දේ කරන්නෙ අපේ යුතුකමක්... වගකීමක්... ඉටු කරනවා ය කියන හැඟීමෙන්. සමහර අය අපෙන් අහනවා 'ඔයාලා කාලද ....කෑම ටිකක් දෙන්නද...' කියලා.  


සල්ලි තිබුණත් බොහෝ අය කෑම බීම ටික සපයා ගන්නේ අමාරුවෙන්. එහෙම වෙලත් අපි ගැන හිතන්නත් ඒ සමහර හිත් කාරුණිකයි. මේ හැම දේකින්ම අපේ හිතට ලැබෙන්නේ දිරියක්.' මම තව තවත් මේ රටට වැඩ කරන්න ඕනේ ...' කියන හැඟීමක්. ඇත්තටම එහෙම හිතන්න පුරුදු කරපු සමාගමක වැඩ කරන්න ලැබීමත්, සාමාජිකයෙක් වීමත් මට අභිමානයක්..."


රට ගැන හිතද්දී තමන්ව අමතක වෙන එක වීරයෙකුගේ ස්වභාවය. සුජිත්ටත් එහෙමයි.


හැබැයි, සියල්ල දරාගෙන හිත හයිය ට හිටියත් තමන්ගේ අඹු දරුවෝ ගැන කවුරු හරි අහද්දි නම්, ඔවුන් ගේ දෑස් කඳුළින් පිරෙනවා. ඒ කඳුළු මැඩගෙන සුජිත් කිව්වේ, අපි වෙනුවෙන් ...රට වෙනුවෙන් දරාගන්නා ඒ  ජීවිතය ගැන.


" මම රෑ 10 ට ගෙදර ගියත් මගේ දූ මං එනකල් නිදි නැතිව බලා ඉන්නවා. එළියෙන් නාලා ගෙට ඇතුළු  වුණු ගමන් තාත්තගේ ආදරය හොයාගෙන ළගට දුවගෙන එනවා. මටත් ආසයි දූව බදාගන්න. ඉඹින්න.  තුරුළු කරගන්න. එත් අද මම මේ කිසි දෙයක් කරන්නෙ නැහැ. දරුවව ළඟටවත් ගන්නෙ නැහැ. දුර ඉඳන් බලලා සැනසෙනවා ඒ වෙලාවට බරක් පතළක් නොදැන එයා අඬනවා. එයාට නොපෙන්වුවාට,  මාත් හිතින් දහස් වාරයක් අඩනවා. අද මං වෙනම කාමරයක නිදා ගන්නේ. මේ වෙලාවේ රට වෙනුවෙන් වැඩ කරන හැම කෙනෙකුම මේ වගේ. ඒ නිසා මටත් හිත හදා ගන්න පුළුවන්. ගෙදරින් එළියට ආවම මම ඒ දුක අමතක කරනවා. මොකද, මට හැම දවසකම ඉටු කරන්න ලොකු රාජකාරියක් තියෙනවා..."

 


මේ තමයි, සුජිත් ගේ කතාව.


හරියටම කිව්වොත්, සමස්තයෙන් එකක්. 


ඉතින්, ඔබට නිකමටවත් හිතුණද අපි වෙනුවෙන් වැඩ කරන මේ මිනිසුන් දරා ගන්නා දුෂ්කර ජීවිතේ ගැන . ඔවුන්ගේ කැපවීම ගැන. අපේ හදවත්වල ඔවුන් සදා වීරයන් විය යුත්තේ මේ සියල්ල නිසා.


ඔවුන් වගේම, මහ පොළොවත් එක්ක... සතා සීපාවා එක්ක ඔට්ටු වෙමින්, මේ මොහොතේ රට වෙනුවෙන් වගා කරන ගොවි පරපුරත්  සදා වීරයන් බව අමතක නොකළ යුත්තේ මේ නිසා... පුළුවන් තරම් ඒ එළවළු පරිභෝජනය කොට ඔවුන් රැක ගැනීමයි, මේ මොහොතේ අපේ යුතුකම.


රස මසවුළු නැතත් බඩගින්නේ නොඉඳ අපි අද දවසේ ජීවත් වන්නේ ඔවුන් අපිට බත සපයන නිසා බව, අපි කොහොම අමතක කරන්නද.

 



අදහස් (0)

වීරයෝ කියන්නේ රටට වැඩ කරන මිනිස්සු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1139 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1149 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site