IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


අභියෝග මැද ඉදිරි ගමනක...

පසුගිය වසරේදී අපි ජාතියක්, බැංකුවක් හා පුද්ගලයන් වශයෙන් වෙනසකින් තොරව ඉතා දුෂ්කර මාර්ගයක ගමන් කළෙමු. අභියෝග, දුක් කම්කටොලු හා බාධක පිරුණු තවත් වසරක් ගෙවී ගොස් 2024 නව වසර උදාවී තිබේ. සිය පුද්ගලික අභියෝග කළමනාකරණය කරගන්නා අතරම දිරිමත්ව, නොසැලී හා කැපවීමෙන් බැංකුව වෙනුවෙන්වූ ඔබගේ යුතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටු කළ ඔබ සැමට මාගේ කෘතඥාතාවය පුද කිරීමට මම මෙය අවස්ථාව කරගනිමි. 

දැන් අප සියළුදෙනාටම වෙහෙස බැව් සැබවි. එහෙත් ඉදිරියද බලාපොරොත්තු මෙන්ම අවිනිශ්චිතභාවයෙන් පිරී තිබෙන නිසාම අපි තවදුරටත් නොසැලී සිටීමත් ශක්තිමත්ව සිටීමත් අවැසිය. ගෝලීය වෙනස්කම්, ආර්ථික විචලන හා පුද්ගලිකව අප මුහුණදෙන බාධක තවදුරටත් අපගේ ඉදිරි ගමන හැඩගස්වනු ඇත. මේ බාධක හමුවේ බැංකුවක් හා පුද්ගලයන් වශයෙන් පවතින දුෂ්කරතා ජයගැනීම සඳහා ක්‍රියාකාරී මුදල් සැලසුම්කරණය අපට සහය වනු ඇත.

නොසැලී සිටිමින්...


නම්‍යශීලී මෙන්ම වෙනස්කම් කෙරෙහි අනුවර්තනය විය හැකි මානසික මට්ටමක් ඇති කරගැනීම අවිනිශ්චිතතාවයට සාර්ථකව මුහුණදීමට අපට උපකාර වේ. නවෝත්පාදනය හා වෙනස්කම් වලට විවෘත වීම ඉදිරි වසරේදී ප්‍රයෝජනයට ගත හැකි අමිල වත්කම් ය. සියළු මට්ටම් වල ඵළදායී වියදම් කළමනාකරණයක් පවත්වා ගැනීම හා තිරසාර ප්‍රවේශ වෙත යොමු වීම පෙර නොවූ විරූ ලෙස වැදගත් හා අත්‍යාවශ්‍යවී ඇති සන්ධිස්ථානයකට අපි එළඹ සිටිමු. 

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අප විසින් තිරසාරභාවය අපගේ ව්‍යාපාර උපායමාර්ගයේ ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගන්නා ලදී. අපගේ බැංකු මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම ඔස්සේ, අවශ්‍ය ස්වාභාවික සම්පත් ප්‍රමාණය අවම කරමින් ව්‍යාපාරයක් ලෙස අප විසින් පරිසරයට මුදා හරිනු ලබන කාබන් ප්‍රතිශතය අවම කිරීම සඳහා අප විසින් දැනටමත් තිරසාර සංවර්ධන ක්‍රමවේද කිහිපයක් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. ඩිජිටල් නිමැවුම් හඳුන්වාදීම මගින් ගනුදෙනුකරුවන් මාර්ගගත සහ අන්තර්ජාල බැංකු පහසුකම් භාවිත කිරීමට දිරිමත් කෙරෙන අතර ගිණුම් කල්පිරීමේ නිවේදන, විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවිඩ සේවාව ඔස්සේ ගනුදෙනුකරු වෙත යොමු කිරීම, ප්‍රවර්ධන කටයුතු සඳහා දිරායන අමුද්‍රව්‍ය භාවිතය, පරිගණකය මගින් අත්සන යෙදීම, අදාළ ලේඛන සංසරණය සඳහා විද්‍යුත් තැපෑල භාවිතය වැනි ක්‍රමවේද මගින් කඩදාසි භාවිතය හැකිතාක් අවම කිරීමට අපි තවදුරටත් ක්‍රියාකරන්නෙමු. 

අප විසින් පරිසරයට මුදාහරිනු ලබන කාබන් ප්‍රතිශතය අවම කිරීමට මෙන්ම අපගේ මෙහෙයුම් පරිසරය තුල වෙසෙන ප්‍රජාවගේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය කෙරෙහි දායක වීමට අපි නිරන්තරයෙන් උත්සහ කරමු. ජාතික ඉතිරිකිරීමේ බැංකුව, දූරදර්ශී වෙමින් සහ නිවැරදිව පුරෝකතනය කරමින් 2017 වර්ෂයේ ඔක්තෝබර් 31 වන දිනට යෙදුනු 93 වන ලෝක සකසුරුවම් දිනය නිමිත්තෙන් වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කළෙමු. ගෘහස්ත මට්ටමේදී ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීමට උපකාර වන ගෙවතු වගාව ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා එම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස ආර්ථික වටිනාකමක් සහිත පැළ, අපගේ  දීපව්‍යාප්ත ශාඛා ජාලය හරහා ගනුදෙනුකරුවන් අතර බෙදාදීම සිදු කෙරිණ.එතැන් පටන් සෑම වසරකම සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවය හා ලෝක සකසුරුවම් දිනය නිමිති කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. 

ආයතනයකට සිය ඉලක්ක කරා ළඟාවීමටත් රටක් වශයෙන් ජනතාවට ඉහළ ජීවන තත්වයක් සහතික කිරීමටත් එවැනි තිරසාර සංවර්ධන ප්‍රවේශ වැදගත් වේ. එබැවින්, දියුණු රටවල්, කසල රැස් කිරීම හා ප්‍රතිචක්‍රීයකරණය කිරීම, කඩදාසි රහිත කාර්යාල පරිසරය, පරිසර සංරක්ෂණය, මගී ප්‍රවාහනය සඳහා පරිසර හිතකාමි ඉලෙක්ටි්‍රක් රථ වාහන භාවිතය වැනි සියළු මට්ටම් වලදී අත්‍යාවශ්‍ය තිරසාර සංවර්ධන ක්‍රමවේද භාවිතයට පෙළඹී සිටී. 

ප්‍රතිචක්‍රීයකරණ සංකල්පය, පරිසරය සහ ස්වාභාවික සම්පත් සංරක්ෂණයෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අමුද්‍රව්‍ය නිස්සාරණය සහ සකස් කිරීමේ අවශ්‍යතාවය එමගින් අවම වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස පරිසර දූෂණය අවම වීමෙන් හරිතාගාර වායු ආචරණය සහ වන සතුන්ගේ වාසභූමි විනාශවීම වැළකේ. අලුතෙන් අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට වඩා අඩු බලශක්තියක් යොදාගෙන ප්‍රතිචක්‍රීයකරණය මගින් අමුද්‍රව්‍ය නිෂ්පාදනය සිදු කළ හැකි අතර භූමියේ එක් රැස් වන කසල ප්‍රමාණය විශාල ලෙස අවම වේ. එමගින්, භූමියේ ආයුකාලය දීර්ඝ වන අතර පසට හා ජලයට හානිකර ද්‍රව්‍ය මිශ්‍ර වීමද අවම වේ. 

ප්‍රතිචක්‍රීයකරණය යනු විකල්ප ජීවන ක්‍රමයකි. එය ඉතිරිකිරීම, සකසුරුවම හා අරපිරිමැස්ම අගය කිරීමට හා පුරුදු කිරීමට කැමැත්තක් සහිත චින්තනයක් ඇති කරයි. ජනතාවගේ මෙන්ම ජාතික ඉතුරුම් ප්‍රවර්ධනය කිරීමට උත්සුක වන ඉතිරිකිරීමේ ප්‍රමුඛයා වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය ප්‍රචලිත කිරීමෙහිලා අපගේ දායකත්වය සහතික කරන වැඩසටහනක් මෑතකදී ක්‍රියාත්මක කරන ලදී. ඒ යටතේ ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කඩදාසි භාවිතයෙන් අභ්‍යාස පොත් 60,000 ක් මුද්‍රණය කරන ලද අතර එම පොත් කට්ටල මෙවර ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හපන් ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභී සිසු දරු දැරියන් වෙත පිරිනැමීමට අපේක්ෂිතය. ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කඩදාසි වලින් සකස් කරන ලද අභ්‍යාස පොත් සිසු දරු දැරියන්ට ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලියෙහි මෙන්ම සම්පත් අවම හා නැවත පරිභෝජනයෙහි වැදගත්කම කියාදෙනු ඇත. ප්‍රතිචක්‍රීයකරණය ජාතික මට්ටමින් ප්‍රවර්ධනය හා ක්‍රියාත්මක කිරීම සඳහා තවත් එවැනි ව්‍යාපෘති හා වැඩසටහන් ගණනාවක් සමගින් අප සමග අත්වැල් බැඳගන්නා ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමස්ත ජාතියට ආරාධනා කරයි. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සමග අනුගත වෙමින් ස්වාභාවික පරිසරය සුරැකෙන අයුරින් අපගේ ව්‍යාපාර පරිච පෙළගැස්වීම අපගේ තිරසාර ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කරයි. මෙරටට සඵලදායී බලශක්ති පරිභෝජනයක් සහිත ආර්ථිකයක් හිමි කරදීම සඳහා අප, ජාතික ඉතිරිකිරීමේ බැංකුව වශයෙන් අඛණ්ඩව කැපවන අතර නව වසරේදීත් තිරසාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නෙමු.   


මූල්‍ය ස්ථායීතාවය ගොඩනැගීම  

දූරදර්ශී මූල්‍ය කළමනාකරණය මෙම ප්‍රවේශයේ හරය වේ. ජනතාවගේ මූල්‍ය සුරක්ෂිතතාව අභියෝගයට ලක්ව තිබෙන අවස්ථාවක ඉතිරිකිරීමේ පුරුද්ද ඇති කරගැනීම පිළිබඳව කතා කිරීමද අභියෝගාත්මකය.  එහෙත් මෙරට ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් තවමත් පූර්ණ වශයෙන් හෝ කිසිසේත්ම විධිමත් බැංකුකරණයට යොමු නොවූ පසුබිමක, එක් රැයකින් පිළියම් කළ නොහැකි නිසාම ප්‍රතිඵලය දීර්ඝ කාලීන වූවත් ජනතාව ඉතිරිකිරීමට යොමු කිරීමම පවතින ගැටළුවට විසඳුම වේ. මෙරට ජනතාව ඉතිරිකිරීමට යොමු කිරීමේ වගකීම දරන, ඉතිරිකිරීමෙහි විශේෂිත, විශාලතම ඉතිරිකිරීමේ බැංකුව ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව, නව වසරේදී නව මුහුණුවරකින් සහ අපගේ ‘යෝධ කැටය’ සංකල්පය සමගින් සිය ඉතුරුම් ප්‍රවර්ධන ව්‍යාපාරය ප්‍රතිස්ථාපනය කිරීමට සූදානම්ව සිටී. ඉතා කුඩා මුදලකින් වුව ඉතිරිකිරීම ආරම්භ කළ හැකිය යන පණිවිඩය එහිදී ජනතාවට ලබාදීමට නියමිතය. අනාධිමත් කලෙක සිට ජනතාවගේ සිත් සතන් තුල රැව් දුන් ‘සතෙන් සතේ රුපියලෙන් රුපියල’ යන අපගේ පැරණි ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහනේ පාඨය අදටත් වලංගු වන අතර අන් කවර කලෙකටත් වඩා වැදගත් වේ. ඵළදායී මූල්‍ය අන්තර්ග්‍රහණයක් සහ අවම වශයෙන් මෙරට ජනතාවගෙන් බහුතරයක් විධිමත් බැංකුකරණයට යොමු කිරීම සහතික කිරීම අත්‍යවශ්‍ය හෙයින් ළඟා කරගත හැකි ඉලක්ක පිහිටුවා ගැනීම සහ වසර තුලදී ඒවා කලින් කලට සමාලෝචනය කිරීම කළ යුතුය. අවදානම් වළක්වා ගැනීම සහ මතු වන අවස්ථා පූර්ණ වශයෙන් උපයෝජනය කිරීම සඳහා ඉඩ හසර ලබාදෙමින් අපගේ ආයෝජන කළඹ විවිධාංගීකරණය කරගැනීමද මෙහිදී තීරණාත්මක වේ. පවතින දුෂ්කරතා හමුවේ ඉතිරිකිරීම හා ආයෝජනය සම්බන්ධයෙන් කරුණු මත පදනම්වූ තීරණ ගැනීමේ ක්‍රියාවලියක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් අවධාරණය කෙරේ.  


නවතම තොරතුරු වලින් සන්නද්ධ වීම සහ ප්‍රවීණතාව සොයා යාම... 

දැනුම බලයක් වන අතර දැනුවත්භාවය අවධානය පවත්වාගැනීමට උපකාර කරයි. අභියෝග හමුවේ තවදුරටත් නොසැලී සිටීම සඳහා වන අපගේ ප්‍රයත්නයේදී ගෝලීය හා දේශීය ආර්ථික ප්‍රවණතා, වෙළඳපොල විචලන සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව දැනුවත්ව සිටීම අත්‍යාවශ්‍ය සාධකයකි. 2024 වර්ෂය නව අභියෝග සහ අවදානම් රැසක් අප හමුවේ තබනු ඇත. ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත ලෝක බැංකු යෝජනා මෙරට මූල්‍ය පද්ධතිය සහ බැංකු ක්ෂේත්‍රය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනු ඇත. මෙම අවිනිශ්චිත හා අභියෝගාත්මක වාතාවරණය තුල මූල්‍ය ප්‍රවීණයන්ගේ උපදෙස් ලබාගැනීම සහ ඒවායේ අන්තර්ගත දැනුම භාවිතයට ගැනීම, තොරතුරු මත පදනම්වූ තීරණ ගැනීමේ ක්‍රියාවලියක් පවත්වා ගැනීම සඳහා බැංකුව මෙන්ම පුද්ගලයන් බලගන්වයි. පවතින මූල්‍ය පරිසරය තුල විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමෙහිලා ගනුදෙනුකරුවන් සමර්ථ බව සහතික කරමින් ඔවුන්ට විශේෂඥා මගපෙන්වීම ලබාදෙන අතරම නිරන්තරයෙන්ම සිදු වන වෙනස්කම් වලට අනුගත වෙමින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයට ගැළපෙන සේවා පවත්වා ගැනීම සහ එම සේවා පහසුවෙන් ලබාගැනීමේ හැකියාව සහතික කිරීම අරමුණු කරගෙන අපි අවශ්‍ය ප්‍රවීණතාවය සහ කුසලතා අත්පත් කරගැනීමට කටයුතු කරන්නෙමු. 

නොසැලී සිටීමේ සවිය...         
     
නොසැලී සිටීම හා අධිෂ්ඨානය අභියෝගාත්මක පරිසරයක පැවැත්ම තහවුරු කරන ප්‍රධාන සාධක වේ. එබැවින්, වෙනස්කම් වලට අනුගතවීම, මූල්‍ය ඉලක්ක කෙරෙහි අඛණ්ඩ අවදානය පවත්වා ගැනීම සහ තිබෙන සම්පත් භාවිතයට ගැනීම ඔස්සේ 2024 වර්ෂයේදී ඇති වන විචලන මධ්‍යයේ ඉදිරියට යාමට අපට හැකි වනු ඇත. පනස් වසරකට වැඩි බැංකු මෙහෙයුම් සමග මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුල ගැඹුරින් මුල් බැස ගත් ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ක්ෂේත්‍රයේ පවතින අභියෝගකාරී වාතාවරණය තුල සිය පාර්ශවකරුවන්ට වටිනාකම් එක් කිරීමටත් ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සැපයීමටත් කැපවී සිටී. බැංකුව, ශ්‍රී ලංකාව තුල ශක්තිමත් ඉතුරුම් සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සහ ජාතික ආර්ථික වර්ධනය සහ සංවර්ධනයට දායක වීම උදෙසා වන ස්වකීය මෙහෙවර අඛණ්ඩව හා සාර්ථකව ඉටු කරමින් සිටී. අවිනිශ්චිතතා මැද ඉදිරියට යාමට උපකාර වන මාලිමාවක් ලෙස හඳුන්වාදිය හැකි විචක්ෂණශීලී මූල්‍ය සැලැසුම්කරණයක් අනුගමනය කරමින් සිය අධිෂ්ඨානය නොවෙනස්ව පවත්වා ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ගනුදෙනුකරුවන්ට ආරාධනා කරයි.     

2023 වසර අතීතයට එක්වී හමාරය. එහෙත්, නොවෙනස් විශ්වාසයක් සමගින් බැංකුවේ අඛණ්ඩ ස්ථායීතාවය උදෙසා දායකවූ බැංකුවේ හිතෛෂී ගනුදෙනුකාර පදනම අපට අමතක කළ නොහැක. එසේම, අපගේ කාර්යමණ්ඩල සාමාජික/සාමාජිකාවන්ගේ කැපවීම හා ධෛර්යය තවත් වසර ගණනාවක් නොමැකී තිබෙනු ඇත. අසීමාන්තික බාධක මධ්‍යයේ බිඳ වැටීමකින් තොරව බැංකුව ඉදිරියට ගෙනයාමට ඔවුන්ගේ අප්‍රතිහත සහයෝගය සහ වගකීම බෙහෙවින් උපකාර විය. පසුගිය වසර තුල බැංකුවේ මෙහෙයුම් සම්බන්ධයෙන් වැදගත් භූමිකාවක් ඉටු කළ අපගේ සියළු පාර්ශවකරුවන් අපගේ සාර්ථකත්වයේ කොටස්කරුවන් වේ. මෙරට සියළු පරිපාලන හා සමාජ මට්ටම් නියෝජන කරන පාර්ශව රැසක්, දුෂ්කරතා මධ්‍යයේ බැංකුවේ ස්ථානය ශක්තිමත් කිරීමට ඉවහල් විය. ඒ සියළු පාර්ශවයන්ට කෘතඥා වන අතරම උදාවූ නව වසරේදීත් ඔවුන් අපගේ ශක්තියේ කුළුණු ලෙස රැඳෙනු ඇති බව අපි උදක්ම විශ්වාස කරමු. 

නව වසර උදාවී තිබේ. අපගේ ජාතික අභිලාෂ සුරක්ෂිත කිරීමට කැපවූ සවිමත් හා නොසැලෙන බලකායක් ලෙස අපි එක්ව කටයුතු කරමු. අපි අපගේ අදිටන ස්ථිරව පවත්වා ගනිමින් සඵලදායී මූල්‍ය කළමනාකරණයක් උදෙසා කැප වෙමු. නොසැලෙන ගුණය හා අධිෂ්ඨානය සමග එකාවන්ව අභියෝග ජයගැනීමට, පෙරට වඩා ශක්තිමත්ව නැගී සිටීමට සහ මූල්‍ය සමෘද්ධිය සාක්ෂාත් කරගැනීමෙහිලා මං පෙත් තැනීමට අපට හැකියාව ඇත.

උදාවූ 2024 වසර ඔබ සහ ඔබගේ පවුලේ සාමාජික/සමාජිකාවන්ට දිරියෙන් පිරි සමෘද්ධිමත් වසරක් වේවා.         
    
 
ජනාධිපති නීතීඥා ආචාර්ය හර්ෂ කබ්රාල්
සභාපති
ජාතික ඉතිරිකිරීමේ බැංකුව



අදහස් (0)

අභියෝග මැද ඉදිරි ගමනක...

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 569 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 2045 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1797 5

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 924 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 511 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 585 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 569 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2045 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1797 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site