කනිශ්ඛා සල්පිටිකෝරාළ (පරිවර්තනය: තඹරු විජේසේකර)

ඉන්දියන් සාගරයේ මුතු ඇටය බඳු ශ්‍රී ලංකාව සශ්‍රීක වැසි වනාන්තර, විශාල කඳු වැටි, සශ්‍රීක තෙත්බිම්, සමුද්‍ර වාසස්ථාන සමඟ ඉහළ ජෛව විවිධත්වයකින් යුතු මනරම් භූ දර්ශන වලින් සමන්විත සුරපුරයකි.

දැනට ආසියාවේ ඉහළම ජෛව විවිධත්ව ඝනත්වයට හිමිකම් කියන ශ්‍රී ලංකාව ගෝලීය ජෛව විවිධත්ව උණුසුම් කලාප 36 න් එකකි. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව තොරතුරු සම්බන්ධීකරණ යාන්ත්‍රණය (Biodiversity Clearing House Mechanism) එක අනුව රටෙන් 26.5%ක් (වෙරළ ආශ්‍රිත සහ සමුද්‍ර ප්‍රදේශ ඇතුළුව) සංරක්‍ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, දිවයිනේ වනාන්තර රැසක් දුර්ලබ සත්ත්ව විශේෂවලට නිවහන් සපයයි.

කෙසේ වතුදු, ශ්‍රී ලංකාව ද අනෙකුත් වනජීවී සම්පතින් පොහොසත් රටවල් සේ ම සත්ත්ව දඩයමට, සහ නීති විරෝධී සත්ත්ව වෙළඳාමට මුහුණ දී සිටියි. ක්‍රමයෙන් ජනප්‍රිය වන මෙම සත්ත්ව දඩයම නිසා සතුන්ට වධ හිංසා පමුණුවමින් අමානුෂික ලෙස අල්ලා ගැනීම් ඉහළ යමින් පවතින අතර, එය පාරිසරික සමතුලිතතාවයට ද බලපා තිබේ. මෙම තර්ජනයට මුහුණ දෙන සතුන් අතර ශ්‍රී ලංකා කොටියා (Panthera pardus kotiya), සහ ශ්‍රී ලංකා අලියා (Elephas maximus maximus) ඇතුලත් වේ.

 

දඩමස් යනු මොනවාද?

හම්බන්තොට වැටලීමකින් සොයා ගත් තිත් මුව මස්

සිංහල භාෂාවෙන් ‘දඩයම් කරන ලද මස්’ යන්නෙන් ‘දඩමස්’ යන්න බිහිව ඇත. ඉංග්‍රීසියෙන් එය ‘Bushmeat’ ලෙස හැඳින්වෙන අතර, එම වචනය මුලදී අප්‍රිකාවේ ‘පඳුරු’ වල සිර වූ වනජීවීන්ගේ මස් හැඳින්වීමට භාවිතා වී තිබේ. කෙසේ නමුත් දැන් ඕනෑම වනජීවීයෙකුගේ මස් හැඳින්වීමට ‘Bushmeat’ යන වදන යොදා ගැනේ. ශ්‍රී ලංකාවේ මස් සඳහා සතුන් දඩයම් කිරීම නීති විරෝධී ක්‍රියාවක් වන අතර, 1937 සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත (FFPO) යටතේ එවැනි ක්‍රියා සිදු කිරීම සපුරා තහනම් වේ.

දඩයම්කරුවන් මස් සහ හම් ගැනීම සඳහා මුවන් සහ වල් ඌරන් ද, මස් සහ බිත්තර සඳහා ඉබ්බන් සහ කැස්බෑවන් වැනි උරගයින් ද දඩයම් කරනු ලබයි. මීට අමතරව, ඇත් දළ, පාද, හෝ ඈයන්ගේ කොරපොතු වැනි වෙනත් සත්ත්ව කොටස් සඳහා ද සතුන් දඩයම් කෙරේ.

පුළුල් වනජීවී ගහණයක් ඇති ප්‍රදේශවල සිදු කරනු ලබන මෙම දඩයම් කිරීම් දේශීය සංරක්‍ෂකයින්ගේ සහ පරිසරවේදීන්ගේ අවධානයට භාජනය වී තිබේ. තිරසාර නොවන සහ පාරිසරික වශයෙන් විනාශකාරී ක්‍රියාවක් වන දඩමස් වෙළඳාම ව්‍යාප්ත වන්නේ එවන් විශේෂිත මස් වර්ග සඳහා ඇති ඉල්ලුම නිසා ය.

 

ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව

සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත යනු ශ්‍රී ලංකාවේ වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා වන මූලික නීතිය යි. මෙම නීති සම්පාදනය අනුව, “දැඩි ලෙස සංරක්ෂිත” ඕනෑම සතෙකු දඩයම් කිරීම ඇප දිය නොහැකි වරදක් ලෙස සැලකේ. ඒ යටතේ සත්ත්ව උගුල් සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතය තහනම් කිරීම, සංරක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම, වනජීවී මස් වෙළඳාම සහ විකිණීම වැනි ක්‍රියාවන් තහනම් කිරීම පිළිබඳ විස්තරත්, විශේෂ කිහිපයක් සඳහා වර්ගීකරණයකුත් දක්වා තිබේ.

මෙලෙස සංරක්ෂණ විධිවිධාන පවතින නමුත් වනජීවී බලධාරීන්ට පුහුණු වැඩසටහන්, සහ ශ්‍රම බලකායේ හිඟයක් පැවතීම නිරන්තරයෙන් පවතින ගැටලුවකි. දිවයින පුරා ඇති ජාවාරම් සහ දඩයම් කිරීම් නවතාලීම සඳහා වූ සම්පත් සීමිත බැවින් වනජීවී රක්ෂිත, සහ රක්ෂිත වනාන්තර සියල්ලෙහි ම මුර සංචාරයේ යෙදීමේ හැකියාවක් නොපවතී.

 

මිනිසුන් දඩමස් පරිභෝජනය කරන්නේ, සහ වෙළඳාම් කරන්නේ ඇයි?

දඩමස් සඳහා ඇති ඉල්ලුම, ආකාර දෙකකින් පැහැදිලි කළ හැකිය.

එකක්, පරිභෝජන අවශ්‍යතාවය යි. වල් ඌරන්ගේ සහ මුවන්ගේ මස් සාමාන්‍ය සිල්ලර කඩයකින් ලද හැකි සුලබ මස් වර්ග නොවේ. කෙසේ වෙතත්, ග්‍රාමීය ප්‍රදේශවල සහ ගොවි ප්‍රජාවන් තම දෛනික ආහාර වේල සඳහා වන ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාගැනීමට මෙම සතුන්ගේ මස් පරිභෝජනයට ගනියි.

ඒ අතර තවත් පාරිභෝගික කාණ්ඩයක් පවතියි. ඒ, දුර්ලබ මස් වර්ග සොයන අය යි. ලද නොහැකි දේ හඹා යාම සහජ මනුෂ්‍ය ගතියක් වන බැවින් සුලබව ලද නොහැකි මෙම මස් වර්ග සොයා යමින් තම තෘප්තිය සපුරා ගැනීමට ඔවුහු පෙළඹෙති. මේ නිසා ම දෙවැනි ආකාරය බිහි වේ.

ඒ, ලාභ ඉපැයුම යි. දඩමස්, සහ සත්ත්ව නිෂ්පාදන (ඇත් දල, දිවියන්ගේ පාද, හම) වෙත ඇති ඉහළ ඉල්ලුම නිසා නීතිවිරෝධී වෙළඳුන්ට ඉන් අධික ලාභ ඉපැයිය හැකිව තිබේ. වානිජමය දඩයම් කිරීම මෙරට අඩුවෙන් සිදු වුව ද එය නොසලකා හැරිය යුත්තක් ‍නොවේ. සංඛ්‍යාවෙන් අඩු වුව ද ලාභය සහ වෙළඳාම සඳහා වනසතුන් අවභාවිතය, හානි කිරීම සහ හම ගැසීම යනාදිය සොබාදහමට සහ ස්වාභාවික දිවි පැවැත්මට අභියෝගයකි.

ඉල්ලුම වැඩි වන විට දඩයම් කිරීමේ ප්‍රමාණය ද වැඩි වන අතර, එහි ප්‍රතිවිපාක සතෙකු මරා දැමීමෙන් ඔබ්බට යයි. ගෝලීය පරිමාණයෙන් ගත් කල දඩයම් කිරීම සහ නීතිවිරෝධී වෙළඳාම සහ දඩමස් පරිභෝජනය හේතුවෙන් සත්ත්ව විශේෂ කිහිපයක් පරිහානියට ලක්ව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එම සතුන් බරපතල ලෙස වඳවීමේ තර්ජනයට ලක් වී, අවසානයේ වඳ වී යාමට පවා හේතු වනු ඇත.

 

දඩමස් සඳහා සතුන් අල්ලාගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ සතුන් දඩයම් කිරීමේ ක්‍රමවලට වෙඩි තැබීම, උගුල් ඇටවීම, සහ හක්ක පටස් දැමීම ඇතුළත් වේ. වෙඩි තැබීම වඩාත්ම සරල ක්‍රමය වන අතර, උගුල් සහ හක්ක පටස් යනු අමානුෂික, භයානක, සහ දැඩි ගැටළු ඇති කිරීමට දායක වන ක්‍රම වේ.

උගුල් ඇටවීම

උගුලක් යනු මූලික වශයෙන් වානේ කේබල් වලින් සාදන ලද, සතෙකුගේ ගමන් මාර්ගයක, අටවා, සඟවා තබන තොණ්ඩුවකි. සත්වයා කේබලය ස්පර්ශ කරනවාත් සමඟම උගුල ගැස්සී, තොණ්ඩුව සිර වේ. එවිට සතාගේ බෙල්ල, පාදය හෝ බඳ සිරවන අතර නිදහස් වීමට අරගල කරන විට එය තවත් තද වී බිහිසුණු තුවාල ඇති වේ. එය බොහෝ විට මන්දගාමී හා වේදනාකාරී මරණයකට මුල පිරිය හැක.

හක්ක පටස්

හක්ක පටස් යනු සතුන් දඩයම් කිරීමේ තවත් ජනප්‍රිය, සහ ඇදහිය නොහැකි තරම් පිළිකුල් සහගත ක්‍රමයකි. සාමාන්‍යයෙන් වල් ඌරන් සහ මුවන් වැනි වන සතුන් ඉලක්ක කර ගැනීම සඳහා භාවිතා වන මේවායෙන් ක්ෂණික මරණයක් සිදු වන අතර, අලි ඇතුන් වැනි විශාල සතුන්ට තැබූ කල දින ගණන් ජලය හෝ ආහාර නොමැතිව සිට මිය යති.

වෙඩි බෙහෙත් සහ/හෝ රතිඤ්ඤා; බොරළු සහ තුඩු හැඩැති ලෝහ කැබලි සමඟ මිශ්‍ර කර, එම මිශ්‍රණය ආහාර (පලතුරු, පැණිරස, කරවල හෝ උම්බලකඩ) වලින් ආවරණය කරනු ලැබේ. අනතුරුව එය සතුන්ගේ ගමන් මාර්ග අසල තබනු ලබයි. එය සැපූ වහා සත්ත්වයාගේ මුඛය තුළ හක්ක පටස් පුපුරා යයි.

 

හම්බන්තොට වැටලීමකින් සොයා ගත් හක්ක පටස්

 

 

දඩමස් වෙළඳාමේ බලපෑම්

අනවශ්‍ය සතුන් හසුවීම

අල්ලාගැනීමේ ක්‍රමවල ඇති ඍණාත්මක බලපෑම් වනජීවීන් සහ දඩමස් වෙළඳාම අතර සෘජු සහසම්බන්ධය ඉස්මතු කරයි.

උගුල් සහ හක්ක පටස් වැනි අමානුෂික ක්‍රමවල සතුන්ට සිදුවන වධහිංසා පමණක් නොව, අනවශ්‍ය සතුන් හසුවීමේ ගැටළුවක් ද ති‍බේ. එනම්, වල් ඌරෙකුට උගුලක් අටවා ඇති විට දිවියන් වැනි අනෙක් සතුන් ද එහි ගොදුරක් විය හැකිය.

හක්ක පටස් සපා කෑමෙන් මරණයට පත්වූ හඳුන් දිවියෙක්

 

ගම්පොල ප්‍රදේශයේ උගුලකට අසුවී මරණයට පත්වූ  කොටියෙක්

කොටියා වැනි බොහෝ සතුන්ගේ බඳ උගුල්වලට හසු වන අතර අලි ඇතුන් වැනි විශාල සතුන්ගේ හොඬය හෝ පාද හසු වන බවට වාර්තා වේ. දිවියන්ගේ සාමාන්‍යයෙන් උකුල් ප්‍රදේශය වටා උගුල සිරවන අතර එමඟින් ඔවුන්ගේ වකුගඩු වැනි අවයව වලට බරපතල හා සුව කළ නොහැකි හානියක් සිදු විය හැක.

වනජීවී හා වන සංරක්ෂණ භාරයේ දත්ත වලට අනුව, උගුල් වලට හසු වූ දිවියන්ගෙන් 90%ක්ම මිය යයි. ශ්‍රී ලංකාවේ, 2010 වසරේ සිට උගුල්වලට හසු වූ දිවියන් 47 න් 42ක්ම මිය ගිය අතර, එවන් සංඛ්‍යාවකින් අධි සංරක්‍ෂිත සත්ත්ව විශේෂයකට සිදුවන බලපෑම ද ඉහළ යයි. මෙය ශ්‍රී ලංකාවේ දිවියන්ගේ මරණ සඳහා ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ.

අලියා වැනි විශාල සතුන්ට උගුලකින් නිදහස්ව යාමට හැකි වුවද, ඔවුන්ගේ පාදයේ සිර වන කේබලය නිසා කැළැල් ඇති වීම, රුධිර ගමනාගමනය සීමා වීම පමණක් නොව, ඇවිදීමට ඇති හැකියාව ද සීමා කළ හැකිය. අවසානයේ ඔවුන්ට ආහාර සොයා ගැනීමට ඇති හැකියාව ද අහිමි විය හැකිය.

උගුල් මෙන්ම හක්ක පටස් ද දඩයම්කරුවන්ට එම ස්ථානයේ ම රැඳී නොසිට වන සතුන් අල්ලා ගැනීමට ඉඩ සලසයි. හක්ක පටස් පුපුරා යාමෙන් කුඩා සතුන්ගේ දිවි තොර වුව ද ශ්‍රී ලංකා අලියා වැනි විශාල සතුන් දැඩි තුවාල ලබා, තුවාල ආසාදනය වී වේදනාකාරී හා මන්දගාමී මරණයකට මුහුණ දෙයි. එපමණක් ද නොව, හක්ක පටස් තුළ ඇති උල් හැඩැති ලෝහ හෝ ගල් කොටස් මුඛයේ වැදී හකු ඇටය හා අනෙකුත් මුඛ කොටස් විනාශ වීමෙන් එම සතුන් නිරාහාරව සිට මිය යාමට ද ඉඩ ඇත.

ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත මෙන්ම නැඟෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල අලි ගහණය අධික බැවින් එම ප්‍රදේශවල හක්ක පටස් භාවිතය බහුලව දක්නට ලැබේ. 2008 වසරේ වාර්තා වූ පළමු මරණයේ සිට මේ දක්වා ම ශ්‍රී ලංකා අලියාගේ ප්‍රධාන මරණ තර්ජනය බවට ඇත්තේ හක්ක පටස් ය. 2020 දී වාර්තා වූ අලින්ගේ මරණ 323 න් 54 ක්ම හක්ක පටස් නිසා සිදු වූ ඒවා විය හැකි බව ‘Mongabay’ නම් ජෛව සංරක්ෂණ ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කරයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) දත්ත අනුව, මෙම දඩයම් ක්‍රම වලින් වැඩි හානියක් සිදුව ඇත්තේ දිවියන් සහ අලි ඇතුන්ට වන අතර, එවැනි දඩයම් ක්‍රමවලට ගොදුරු වන්නේ එම සතුන් පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ කුඩා බළල් ප්‍රභේද ඇතළු සත්ත්ව විශේෂ ද එම තර්ජනයට ලක්ව නමුත්, ඒ පිළිබඳ දත්ත තවමත් හමුව නොමැත.

සතුන් බේරා ගැනීම සහ ප්‍රතිකාර කිරීම බොහෝ විට සිදුවන්නේ පැය ගණනාවකට පසුව බව ද සැලකිල්ලට ගැනීම වැදගත්ය. උදව් ලැබෙන්නේ යමෙකු එය වාර්තා කළ පසුය. ඒ වන විටත් සත්ත්වයා ඊට මුහුණ දී පැය ගණනාවක් ගත වී තිබෙන බැවින් ඒ වන විටත් ප්‍රමාද වැඩිව තිබිය හැක.

අනවශ්‍ය සතුන් හසුවීම මගින් එක් විශේෂයක ගහණයේ දැඩි පහත වැටීමට සහ/හෝ තවත් විශේෂයක වැඩි වීමට හෝ විලෝපිකයන් වඳ වී යාමට හේතු විය හැක. එමඟින් ආහාර දාමයට සෘජුවම බලපාන අතර පරිසර පද්ධතිය තුළ සැලකිය යුතු අසමතුලිතතාවයක් ඇති වේ. මෙය සමෘද්ධිමත් පරිසර පද්ධතියක ක්‍රියාකාරිත්වය ඇණ හිටීමට, රෝග පැතිරීමට, හෝ ආහාර ඇතුළු අනෙකුත් සම්පත් හිඟව යාමට හේතු විය හැක.

සතුන්ගෙන් හෝ සතුන් අතර පැතිරෙන රෝග

සතුන් අපට ප්‍රතිලාභ රාශියක් ලබා දෙන නමුත් දඩමස් පරිභෝජනය, සහ වෙළඳාම නිසා ඇතිවන අවාසි රැසක් පවතී. වනජීවී වෙළඳාම සත්ත්ව ගහණයට තර්ජනයක් පමණක් නොව, මිනිසුන්ට විනාශකාරී බලපෑම් ඇති කළ හැකි; ‘සතුන්ගෙන් මිනිසාට’ හෝ ‘සතුන් අතරම’ පැතිරෙන රෝග සම්ප්‍රේෂණයට හේතු විය හැක.

දඩමස් පරිභෝජනය, සහ වෙළඳාම නිසා වෛරස්, බැක්ටීරියා වැනි පරපෝෂිතයන් සහ හානිකර දිලීර වැනි රෝගකාරක සම්ප්‍රේෂණය වේ. මෙම රෝග සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමේ සිට ජීවිත තර්ජන දක්වාම බරපතළ ප්‍රතිවිපාක ගෙන දිය හැකිය. මෙම විෂබීජ සත්ත්වයා තුළම ඇති වීමට හෝ සත්ත්වයා ධාරකයකු ලෙස භාවිතා කරන පරපෝෂිතයන් එම මස් අපිරිසිදු ලෙස ගබඩා කිරීම සහ සකස් කරන අවස්ථාවල ඊට පිවිසීම හෝ සිදුවිය හැකිය.

මෑත කාලීනව ඇති වූ කොවිඩ්-19 වසංගතය සහ ඉන්පසුව ගෝලීය මට්ටමින් ඇති වූ ආර්ථික, සමාජයීය, සහ සෞඛ්‍යාරක්ෂණ බිඳවැටීම ඊට හොඳම උදාහරණයකි. එපමණක් ද නොව SARS, HIV සහ ඉබෝලා වැනි බෝවන රෝගවලින් 60% කට ආසන්න ප්‍රමාණයක් සතුන්ගෙන් ඇරඹුණු ඒවා ය.

දඩයම් කිරීම, සහ වෙළඳාම පිළිබඳ වැඩි අවබෝධයක්, සහ දැඩි සීමා කිරීම් නොමැති විට මෙය අඛණ්ඩව සිදුවීම වැළැක්විය නොහැක. කෙසේ වෙතත්, තවත් විනාශකාරී වසංගතයකින් දිවි ගලවා ගැනීම ලෝකයට අපහසු කරුණක් වනු ඇති බව නම් පැහැදිලිය.

 

මිනිසුන්ගේ බලපෑම

වසංගත සමයේදී අපගේ සත්ත්ව උද්‍යාන අමුත්තන්ගෙන් හිස් විය. සංචාරක ගමනාගමනය සහමුලින්ම නතර කරන ගෝලීය සම්බාධක ඇති විය. එහි ආර්ථික ප්‍රතිවිපාක නිසා දඩයම්කරුවන් නැවත හිස එසවූයේ මුදල් සහ බඩවියත රැක ගැනීම වෙනුවෙනි.

වැඩිවන නාගරීකරණය ස්වභාවික වාසස්ථාන විනාශ වීමට සහ දඩමස් සඳහා ඇති ඉල්ලුම වැඩිවීමට හේතු වී ඇත. එබැවින් ඉල්ලුම සපුරාලීම සඳහා, දඩයම් කිරීමේ ප්‍රමාණය වැඩි වී ඇත. කාලයාගේ ඇවෑමෙන් මෙවැනි ක්‍රියාවන් නිසා සංරක්ෂිත සත්ත්ව විශේෂ කිහිපයකම ගහණය අඩුවීමත්, වර්ධනය මන්දගාමී වීමටත් හේතු විය හැකි අතර එමඟින් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ද අනතුරේ හෙළනු ඇත.

දඩමස් වෙළඳාම නිසා බිහිව ඇති සංකීර්ණ ගැටළු අපට පෙන්වා දෙන්නේ පැලැස්තර විසඳුම්වලින් ඔබ්බට යමින් ජනතාව අතර දැනුම්වත්භාවය වැඩි කරවීම හා දඩමස් වෙළඳාම පවතින්නේ මන්දැයි විමසා බැලීම වැදගත් වන බව ය. සංචාරක ආදායම නැසී යත්ම, ජනතාව ජීවනෝපාය වෙනුවෙන් දඩයම් කිරීම වැනි පැරණි ආදායම් ඉපැයුම් මාර්ග වෙත යොමු වෙති. එවන් ප්‍රදේශවල ආර්ථික විවිධත්වය ඇති කිරීම වැදගත් වන්නේ එබැවිනි. එවන් වෙනත් ආදායම් මාර්ග ඇතිකර ගැනීමට ප්‍රදේශවාසීන් සවිබල ගැන්වීම දඩමස් වෙළෙඳාම සීමා කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇත.

ඒ අනුව, ඉහත කරුණු අනුව පැහැදිලි වන්නේ, සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා පුහුණු කිරීම්, අධීක්ෂණ යාන්ත්‍රණ සහ ශ්‍රම බලකාය වැඩි කිරීම හේතු වන අතරම, දඩමස් වෙළඳාමේ ප්‍රතිවිපාක සැපයුම්කරුවන්ට සහ පාරිභෝගිකයින්ට පෙන්වා දීමේ පුළුල් ක්‍රමවේදයක් අවශ්‍ය බව ය.

ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති සංවේදී තත්ත්වයක පවතින අතර ඒවා පාරිසරික සමතුලිතතාවය මත දැඩිව රඳා පවතී. දැනුම්වත් බව වැඩි කිරීමෙන්, සහ අපගේ පරිභෝජන රටාවන් ගැන නැවත සිතා බැලීමෙන් අපට මෙම සමතුලිතතාවය බිඳවැටීම වළක්වා ගත හැකිය.

දඩමස් වෙළඳාමෙන් ස්වභාවධර්මයට සහ අපගේ වනජීවීන්ට ඇති වන අනතුරු පිළිබඳව දැනුම්වත් කිරීම පරිභෝජනය අඩු කිරීම සඳහා වන වැදගත් පියවරකි. මිනිසුන්ගේ ක්‍රියාවන් ඔවුන් අවට පරිසරයට සෘජුවම බලපාන ආකාරය පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීම අපගේ සංරක්ෂිත සත්ත්ව විශේෂ අනතුරේ හෙළීම වැළැක්වීමට දායක වේ. එසේම, එමඟින් ජනතාව වඩාත් තිරසාර හා සදාචාරාත්මක දිවි පෙවෙතක් කරා ද යොමු වනු ඇත.

පරිසර පද්ධති සමතුලිතතාවය ආරක්ෂා කිරීම සහ දුර්ලභ, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති, සහ ආවේණික සත්ත්ව විශේෂ ආරක්ෂා කිරීම අපගේ දෛනික කතිකාවන් හි කොටසක් විය යුතුය. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින වනජීවීන් සහ සංරක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා වන අපගේ කැපවීම අපගේ ක්‍රියාවන් තුළින් පිළිබිඹු විය යුතුය.

සංරක්ෂණය සහ දැනුම්වත් කිරීම සඳහා කැප වූ බොහෝ ව්‍යාපෘති සහ වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉන් එකක් වන්නේ Lanka Environment Fund (LEF) හි සහයෝගය ඇතිව Small Cat Advocacy and Research, Leopocon Sri Lanka සහ The Parrotfish Collective යන ආයතනවල එකමුතුවෙන් එය දියත් කර ඇති “දඩමසින් වැළකෙමු” (Say No To Bushmeat / வனவிலங்கு இறைக்சியை தவிர்ப்போம்) යන සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන ත්‍රෛභාෂික දැනුම්වත් කිරීමේ වැඩසටහන යි. සංරක්ෂණයෙන් සමතුලිතතාවය වෙත යන මෙම ගමනේ කොටස් කරුවෙක් වන්නට කැමති ඔබත් ඒ සමඟ එක්වන්න.

 

Small Cat Advocacy and Research, Leopocon Sri Lanka සහ The Parrotfish Collective යන ආයතනවල එකමුතුවෙන් එය දියත් කර ඇති “දඩමසින් වැළකෙමු” දැනුම්වත් කිරීමේ වැඩසටහන