ආහාර අනුභවය අතින් හොදම රට බවට නෙදර්ලන්තය පත්ව ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ලොව ආහාර අනුභවයට ගැනීමට නරකම රට ලෙස චැඩ් රාජ්‍යය ද පත්ව ඇත.

මෙම සමීක්ෂණයට අනුව එක්සත් රාජධානිය 13 වැනි ස්ථානයටත් ඇමෙරිකාව 21 වැනි ස්ථානයටත් පත්ව ඇත. පෝෂ්‍යදායී අගයන් හා ආහාර සුලබ තාව යන කරුණු පදනම් කැර ගනිමින් මේ සමීක්ෂණය සිදුකැර තිබේ. වාර්තාව සැකසීම සදහා රටවල් 125ක ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් සමීක්ෂණ සිදුකළ බව සමීක්ෂකයෝ කියති. එහිදී මිනිසුන්ට ප්‍රමාණවත් තරම් ආහාර තිබේ ද , ආහාර මිල දරාගත හැකි ද , හොද ආහාර තිබේ ද , ආහාර වලින් සෑදෙන ලෙඩ රෝගවල තත්ත්වය යන නිර්ණායකයන් සම්බන්ධයෙන් පර්යේෂකයන් තම අවධානය යොමු කැර ඇත. ඒ අනුව නෙදර්ලන්තය ආහාර පරිභෝජනයට ගැනීමට හොදම ස්ථානය ලෙසත් ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය පිළිවෙලින් දෙවැනි හා තුන්වැනි ස්ථාන වලටත් පත්ව ඇත.