සැක කටයුතු අයකු යැයි පවසමින්, සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන් මැන්හැටන් නුවර ගුවන් තොටුපොළකදී පැය දෙකකට ආසන්න කාලයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජය ඇමෙරිකාවට දැඩි ලෙස දොස් පවරයි. ඇමෙරිකා ආගමන විගමන නිලධාරීන් විසින් ඉකුත් සිකුරාදා (13) ෂාරුක් රඳවා ගනු ලැබ ඇත්තේ මැන්හැටන් නුවරට නුදුරින් පිහිටි වයිට් පාල්ම්ස් නමැති කුඩා ගුවන් තොටුපොළේදීය. ෂාරුක්, ඇමෙරිකාවට ගියේ යේල් විශ්ව විද්‍යාලයේ දේශනයක් පැවැත්වීම සඳහාය. ඒ, විශ්ව විද්‍යාල බලධාරීන්ගේ ආරාධනාවක් පිළිගනිමිණි. ඔහු වයිට් පාල්ම්ස් ගුවන් තොටුපොළට පැමිණ ඇත්තේ නීටා ඇම්බානී සමඟ පෞද්ගලික ගුවන් යානයකිනි. නීටා අම්බානී සුප‍්‍රකට ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානීගේ බිරියයි. අම්බානී යුවළගේ දියණිය යේල් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක ද වෙයි. ඉන්දියාවේ සිට වයිට් පාල්ම්ස් ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ ෂාරුක්, නීටා ඇම්බානී ඇතුළු සෙසු පිරිස ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. එහෙත් මිනිත්තු කීපයකින් ෂාරුක් හැර සෙසු පිරිසට ගුවන් තොටුපොළින් පිටවීමට අවසර ලැබී ඇත. ආගමන විගමන නිලධාරීන් ෂාරුක් රඳවා ගනිමින් ප‍්‍රශ්න කර ඇති අතර, ඔහු මුදා හැර ඇත්තේ ඇමෙරිකාවේ ඉන්දීය තානාපති කාර්යාලය ඊට මැදිහත් වීමෙන් පසුවය. සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකා ආගමන විගමන කාර්යංශය ඇමෙරිකාවේ ඉන්දීය තානාපති කාර්යාලය හරහා ඉන්දීය රජයට ලිපියක් යවමින් සමාව ඉල්ලා ඇති නමුත් ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.එම්. කි‍්‍රෂ්ණා ඊට ප‍්‍රතිචාර දක්වමින් කියා ඇත්තේ එම ‘සමාව ඉල්ලීම’ පිළිගත නොහැකි බවත් එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට කටයුතු කළ යුතු බවත්ය. ෂාරුක්, 2009 වසරේදී ද මෙවැනිම අත්දැකීමකට මුහුණ දුන්නේය. එම අවස්ථාවේ ඔහු පැය ගණනක් රඳවාගෙන ප‍්‍රශ්න කළේ නිව්යෝක් නුවර ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයයි. එම අවස්ථාවේදී ෂාරුක් ඇමෙරිකාවට ගියේ ඔහුගේ ‘මයි නේම් ඊස් ඛාන්’ නමැති චිත‍්‍රපටයේ කටයුතු වෙනුවෙනි. ‘මයි නේම් ඊස් ඛාන්’ චිත‍්‍රපටයේ ෂාරුක් පණ පොවන්නේ රිස්වාන් ඛාන් නමැත්තාගේ චරිතයටයි. චිත‍්‍රපටයේ කතාවට අනුව රිස්වාන් ඛාන් ද ඇමෙරිකන් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වේ. ඒ, ඔහු මුස්ලිම් ජාතිකයකු වීමත් අල් කයිඩා සංවිධානයේ සාමාජිකයකු යැයි සැක කිරීමත් නිසාය. යේල් විශ්ව විද්‍යාලයට ගොස් එහි දේශනය පවත්වමින් ෂාරුක් පෙරේදා රාති‍්‍රයේ කියා සිටියේ තමා සුපිරි නළුවකු වුවත් තමා ගැන නොදන්නා අය ද සිටීම ගැන සතුටට පත්වන බවය. සුපිරි රංගන ශිල්පියකු ලෙස නමක් දිනා සිටින තමාට සාමාන්‍ය පුද්ලයකු වීමට අවස්ථාව ලැබීම ගැන ඇමෙරිකා ආගමන විගමන දෙපාර්තමේන්තුවටත් ආරක්ෂක අංශවලටත් ස්තුති කිරීමට ද ෂාරුක් එම අවස්ථාවේදී අමතක නොකළේය.