ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලූස්කෝනී එරට සන්ධාන රජයෙන් ඇමැතිවරුන් පස් දෙනකු ඉවත් කර ගැනීමත් සමඟ හටගත් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන්, අගමැති එන්රිකෝ ලෙටා කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ කිරීම සඳහා පැවැති ඡුන්ද විමසුමෙන් අගමැති ලෙටා ජයග‍්‍රහණය කළේය.

අගමැති ලෙටාට විශ්වාසය පළ කරමින් ඡුන්ද 230 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡුන්ද සංඛ්‍යාව 70 ක් පමණි.
ඒ අනුව, ඉතාලියේ හටගත් දේශපාලනික අර්බුදය තාවකාලිකව සන්සුන් වූයේ යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.
බදු වංචා චෝදනා එල්ල වී, සිටින හිටපු අගමැති බර්ලූස්කෝනිගේ ඉල්ලීම පරිදි, සන්ධාන රජයෙන් ඔහුගේ පක්ෂයේ ඇමැතිවරුන් ඉල්ලා අස්වූයේ ඉකුත් සති අන්තයේදීය.

එම අවස්ථාවේදී හටගත් අර්බුදය පාර්ලිමේන්තුව හමුවට ගෙන යමින් ඊට විසඳුමක් සෙවීමට අගමැති ලෙටා බලාපොරොත්තු වූ අතර විශ්වාසය පළ කිරීමේ ඡුන්ද විමසුම පැවැත්වුණේ ඒ අනුවය.

එම අවස්ථාවේදී හිටපු ජනපති බර්ලූස්කෝනීට ඔහුගේ ජනතා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් බලපෑම් එල්ල විය. ඔවුන් කියා සිටියේ ඔවුන් අගමැති ලෙටාට සහාය දක්වන බවය. අවසානයේ දී රජය බිඳ දැමීමට බර්ලූස්කෝනී ගත් උත්සාහය ව්‍යර්ථ විය.

ඉතාලියේ අවසන් වරට මැතිවරණයක් පැවැත්වුණේ රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකදීය. එම මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවිණි. ඒ අනුව, අගමැති ලෙටා, බර්ලූස්කෝනීගේ පක්ෂය සමඟ එක් වී සන්ධානයක් පිහිටුවීය.
සන්ධාන රජය පිහිටුවා මාස දෙකක් ගතවෙද්දී, බර්ලූස්කෝනිගේ ජනතා නිදහස් පක්ෂ සාමාජිකයෝ අගමැති ලෙටාගේ මධ්‍ය වාමාංශික ඩිමොක‍්‍රටික් පක්ෂය සමඟ මතභේද ඇති කර ගත්හ. ඊට ප‍්‍රධානතම හේතුව වූයේ අගමැති ලෙටා වෙළඳ බදු වැඩි කිරීමට ගත් තීරණයයි.
මේ අතර, ඉතාලි ජනාධිපති ජෝර්ජියෝ නැපොලිටානෝ පවසා තිබුණේ තමා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කරන්නේ අවසන් විකල්පය ලෙස බවය.

කෙසේ නමුත් ඉතාලිය යළිත් වරක් මහ මැතිවරණයකට ගොස්, එයින් ද කිසිදු අපේක්ෂකයකුට හෝ පක්ෂයකට බහුතර බලයක් හිමි කර ගැනීමට නොහැකි වුවහොත් ඉතාලි අර්බුදය තව තවත් දිග්ගැස්සීමේ අවදානමක් ඇති බව ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

 

ඉතාලියේ දේශපාලන අර්බුදයක් ඇති කිරීමට උත්සාහ කළ හිටපු අගමැති බර්ලූස්කෝනී