නව සත්ත්ව විශේෂයක් දකුණු අප්‍රිකා හිටපු නායක නෙල්සන් මැන්ඩෙලාට ගෞරව පිණිස නම්කරන ලදැයි එම සත්ත්ව විශේෂය සොයාගත් ආචාර්ය උපාධි අපේක්ෂිකා දිවා අමෝන් මහත්මිය පවසයි.

‍මෙලෙස නම්කැර ඇත්තේ මුහුදේ ජීවත්වන කොට පොකිරිස්සෙකි. ඇය මේ සත්ත්වයා නම් කැර ඇත්තේ මුනිඩොප්සිස් මැන්ඩෙලායි යන නමිනි.

2013 වර්ෂයේ දී ඉන්දියන් සාගරයේ නිරිත දිග වැටිය යනුවෙන් හදුන්වන ප්‍රදේශයේ දී මතුපිට සිටි මීටර 750ක් ගැඹුරකින් මේ සත්ත්වයා සොයාගත් බව ඇය පවසයි. මිලි මීටර හතක් පමණ උඩු කබොල්ලක් සහිත ‍කොට පොකිරිස්සා දිග වලිගයක් ද සහිත සත්ත්වයෙකි. පොකිරිස්සකුට වඩා කකුළුවකුට සමාන රූපකායක් ඇති මේ සත්ත්වයා මුහුදු පත්ලේ ද මුහුදු මතුපිට ද ජීවත්වීමට හැකි සත්ත්වයෙක් බව අමෝන් මහත්මිය පවසයි.

දැනට ලෝකයේ පොකිරිස්සන් විශේෂ 900ක් පමණ වාර්තා වී ඇත. ඔවුන් විවිධ ආකාරයේ ආහාරවලට පුරුදුව සිටියි. ඇතැම් විශේෂ මුහුදු ජලයේ පාවී යන ක්ෂුද්‍ර ශාක හා සත්ත්ව කොටස් හෙවත් ශාක ප්ලවාංග හා සත්ත්ව ප්ලවාංග සමග ජලය මුඛයට ගෙන ඒවා පෙරා ආහාරයට ගැනීම සිදුකරයි. ඔවුන් හදුන්වන්නේ පෙරා බුදින්නන් ලෙසිනි.  ඇතැම් විශේෂ ඛාදනය වී ගිය ගල් කැබලි ආහාරයට ගනිති.

මෙම නව විශේෂය අයත්වන මුනිඩොප්සිස් ඝනයේ සතුන් ගැඹුරු මුහුදේ වාසය කරයි. ගිලුණු නැව්වල ලි කැබලි, මුහුදට ගසාගෙන ගිය ගස් සහ දිරාගිය නැව් ක
දන් ආහාරයට ගැනීමට ඔවුහු අනුවර්ථනය වී ඇත.

සිය ආචාර්ය උපාධිය සදහා ගිලුණු නැව් සහ මුහුදු පත්ලේ ඇති තල්මස් ඇටකටු ගැන අධ්‍යයනය කරමින් සිටි අමොන් හට මේ කූණිස්සා හමුවී ඇත.

ඇය තමන්ට හමුවූ මේ සත්ත්වයා කෞතුකාගාරයේ පර්යේෂකයන් වන ස්පාඤ්ඤයේ සෙන්ට්රෝ ඩි ස්ටුඩියෝස් හි අචාර්යය එනරිකිව් මැක්පෙරිසන්සා වෙත යවන ලද්දේ එම සත්ත්වයා හදුනාගැනීමේ අපේක්ෂාවෙනි. ඇයට ලැබුණු පිළිතුර වූයේ මේ පොකිරිස්සා මෙතෙක් ලෝකයේ හදුනාගෙන නොමැති විශේෂයක් බවයි.

'' ඉන්දියන් සාගරයේ දී මේ සත්ත්වයා හමුවූ කොටස අපි කලින් අධ්‍යයනය කැර තිබුණේ නැහැ. මේ සොයා ගැනීම අනුව ඉතාමත් ම පපැහැදිලිය මහ සාගර පරිසරයේ අපි හදුනා නොගත් ජීවී විශේෂ අති විශාල ප්‍රමාණයක් සිටින බව. " යැයි ඇය කියන්නීය.

මේ නව සත්ත්ව විශේෂයට නෙල්සන් මැන්ඩෙලාගේ නම යෙදීම දකුණු අප්‍රිකානු නායකයාට මහත් ගෞරවයක් වනු ඇත.