බ්‍රසීල ජනාධිපතිවරණය ඉකුත් 4 වැනිදා පැවැත්විණි. ජනපති ධුරය සඳහා අපේක්ෂකයන් 12 දෙනකු තරග වැදුණු අතර, 80 හැවිරිදි වත්මන් ජනාධිපති ලූලා ද සිල්වා සහ 45 හැවිරිදි ෆැවියෝ බොල්සරානෝ ඒ අතරින් කැපී පෙණුනි. 

ෆැවියෝ බොල්සරානෝ යනු දැඩි ට්‍රම්ප් හිතවාදියකු ද වන හිටපු බ්‍රසීල ජනාධිපති යාර් බොල්සරානෝගේ පුත්‍රයාය. ෆැවියෝ බොල්සරානෝ නීතීඥවරයෙකි. ඊට අමතරව ඔහු රියෝ දි ජිනැයිරෝ සෙනෙට් සභිකයකු ද වෙයි. 

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, කම්කරු පක්ෂ නායක ලූලා ද සිල්වා ට අභියෝග කරමින් ෆැවියෝ බොල්සරානෝ ඉදිරියට පැමිණියේය. සිය පියා මෙන්ම දැඩි දක්ෂිණාංශික මතධාරියකු වන ෆැවියෝ, මෙවර ජනාධිපතිවරණයේ දී ‘ලිබරල්’ පක්ෂය මෙහෙයවීය.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, ලූලා ද සිල්වාට අභියෝගයක් වෙමින්, ෆැවියෝ බොල්සරානෝ සියයට 47 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගෙන සිටියේය. ලූලා ද සිල්වා දෙවැනි ස්ථානයට පත්වූයේ සියයට 45 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිණි.

කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි නොවුණු බැවින්, ජනාධිපතිවරණයේ දෙවැනි වටයක් පැවැත්වෙයි. ඒ, ලබන 25 වැනිදාය.  දෙවැනි වටය පැවැත්වෙන්නේ මෙම පළමු වටයෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට සමත් වුණු ෆැවියෝ බොල්සරානෝ සහ ලූලා ද සිල්වා අතරේ ය.

ජනාධිපතිවරණයට අමතරව, උප ජනාධිපතිවරයා තෝරා ගැනීම, ජාතික කොංග්‍රසයට (පාර්ලිමේන්තුව) නියෝජිතයන් තෝරා ගැනීම, ආණ්ඩුකාරවරුන් සහ නියෝජ්‍ය ආණ්ඩුකාරවරුන් තෝරා ගැනීම සඳහා මෙම මැතිවරණය පැවැත්විණි.