ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් එල්ල වන තර්ජන සහ සම්බාධක නොකතා ඉරානය ඊයේ (9) යුරේනියම් සැකැසීමේ කම්හලක් විවෘත කළේය.
න්‍යෂ්ටික බලශක්ති නිර්මාණයේ දී යුරේනියම් අවශ්‍ය වන අතර එම නව කම්හල ඉදි කර ඇත්තේ ද අලූතින් සොයා ගනු ලැබූ යුරේනියම් නිධි දෙකක් පිහිටි ෂග්හාන්ද් නගරට නුදුරින් යැයි ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් කියා සිටියේ එම කම්හල විවෘත කිරීම ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ සන්ධිස්ථානයක් කියාය.
ඉරානය ඔවුන්ගේ ‘හිතුවක්කාරී’ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී ලොවට වින කරන න්‍යෂ්ටික අවි නිපදවන බවට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා කරයි.
ඉරානයට එරෙහිව ඇමෙරිකාව, එක්සත් ජාතීනන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පැනැවීමට කටයුතු කර ඇත්තේ ද ඒ අනුවය.
ඉරානය පවසන්නේ තම න්‍යෂ්ටික වැඩසටහනේ අරමුණ රටේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම කියාය.
ලෝකයේ බලවත් රටවල නියෝජිතයන් ඉකුත් 5 වැනිදා සහ 6 වැනිදා කසක්ස්තානයේ  ඕල්මැටි නුවරට රැස්වී ඉරාන නියෝජිතයන් සමඟ එක් වී න්‍යෂ්ටික කටයුතු සම්බන්ධයෙන් යළිත් වරක් සාකච්ඡුා පැවැත් වූ නමුත් එම සාකච්ඡා අසාර්ථකවිය.
එම න්‍යෂ්ටික සාකච්ඡාවට සහභාගී වූයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනා වන ඇමෙරිකා, ප‍්‍රංශ, බි‍්‍රතාන්‍ය, රුසියා, චීනය මෙන්ම ජර්මන් නියෝජිතයන්ය.
ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු පාලනයකින් යුතුව සිදු කරන්නේ නම්, එරටට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට තමන් පියවර ගන්නා බව ඇමෙරිකාව එම අවස්ථාවේදී සූදානමින් සිටියේය.
ඉරානයේ ‘හිතුවක්කාර’ වැඩසටහන සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදයට රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් විසඳුමක් ලබා දීමද එම සාකච්ඡුාවල ප‍්‍රධානතම අරමුණ විය.