පාකිස්තානයේ, බෙදුම්වාදී ගැටුම් බහුල, කයිබර් පක්තුන්කාවා ප්‍රාන්තයේ ලකී මර්වාත් පළාතේ අලුතින් ඉදි කළ පොලිස් ස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 8 ක් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ප්‍රහාරය එල්ල වූයේ ලකී මර්වාත් පළාතේ ඉදි කළ බර්ගායි පොලිස් ස්ථානයටය. ලකී මර්වාත් පළාත මායිම්ව පිහිටා ඇත්තේ දකුණු වසිරිස්තානයටය. ප්‍රහාරය සඳහා ගිනි අවි, රොකට් විදින සහ අත්බෝම්බවලින් සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායමක් පැමිණි බව පැවැසෙයි.

මොවුන් පොලිස් ස්ථානය වටකර පහර දෙද්දී, පොලිසිය ද පෙරළා ත්‍රස්තවාදීන්ට ප්‍රති ප්‍රහාර එල්ල කළ බවත් පැය කීපයක දරුණු සටනකින් පසු ත්‍රස්තවාදීන් පලා ගිය බවත් පැවැසෙයි.ලා ගිය ත්‍රස්තවාදීන් සෙවීමට පොලිස් බලඇණි කීපයක් යෙදවුණු බව පසුව වාර්තා විය.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වක් විසින් බාර ගනු ලැබ නැත. කෙසේ නමුත් ප්‍රහාරය එල්ල කළේ ‘තරීක් ඊ තලේබාන්’ හෝ ඔවුන්ට හිතවාදී සන්නද්ධ බෙදුම්වාදීන් යැයි පොලිසිය විශ්වාස කරයි.

‘තරීක් ඊ තලේබාන්’ යනු පාකිස්තානයේ ක්‍රියාත්මක තලේබාන් සංවිධානයයි. මොවුන් අල් කයිඩා සංවිධානය සමඟ ද සමීප සබඳතා පවත්වන බව ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කර ඇත.

මීට පෙර ද අවස්ථා ගණනකදී ‘තරීක් ඊ කලේබාන්’ ත්‍රස්තවාදීන් පොලිස් ස්ථාන ඉලක්ක කර ගනිමින් සහ පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇත.

පොලිස් ස්ථානයට එල්ල වූයේ ඉතා බියගුලු ප්‍රහාරයක් බව කයිබර් පක්තුන්කාවා ප්‍රාන්ත මහ ඇමැති මෙහ්මුද් ඛාන් පවසා ඇත. මේ අතර, පාකිස්තාන ජනාධිපති අසීෆ් අල්වී, ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පාකිස්තාන පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සොව පළ කර තිබේ.

(ඒ.එෆ්.පී.)