තමිල්නාඩු විපක්ෂ නායක උදයනිධි ස්ටාලින්, පොලිස් අත්ඩංගුවට පත්විය. ඒ, පසුගිය දා පැවැති ජන හමුවකදී, උදයනිධි ස්ටාලින් ජනප්‍රිය නිළි ත්‍රීෂා සම්බන්ධයෙන් කළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

උදයනිධි ස්ටාලින් යනු තමිල්නාඩුවේ ප්‍රබතගම දේශපාලන පක්ෂයක් වන ‘ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක එම්.කේ. ස්ටාලින්ගේ පුත්‍රයාය. 2024 වසරේ සිට මෙම 2026 තෙක් තමිල්නාඩුවේ පාලක පක්ෂය ලෙස කටයුතු කළේ ‘ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්’ පක්ෂයයි.

ඉකුත් මැයි මාසයේ පැවැති මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරමින් රජයක් පිහිටුවීමට ජනප්‍රිය නළු ජෝසප් විජේ හෙවත් තලපති විජේ සහ ඔහුගේ ‘තමිල්ලග් වෙටි්‍ර කසාගම්’ පක්ෂය සමත් විය.  බහුතරය නොලැබුණත් තලපති විජේ මහ ඇමැති ධුරයට පත් වී, රජයක් පිහිටුවූයේ හිතවත් පක්ෂ ද හවුල් කරගනිමිනි.

ප්‍රධාන විපක්ෂය ලෙස ‘ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂය’ කටයුතු කරන අතර, විපක්ෂ නායක ධුරය හොබවන්නේ උදයනිධි ස්ටාලින්ය.
ඉකුත් සති අන්තයේ තංජාවූර් හි පැවති ජනහමුවේදී, උදයනිධි ස්ටාලින්, නිළි ත්‍රීෂා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය, මහ ඇමැති විජේ හා සම්බන්ධව සිදු කළ යටි අරුතක් ඇති අසභ්‍ය ප්‍රකාශයක් යැයි චෝදනා එල්ල වී ඇත.

එම චෝදනා මුල්කොට ගනිමින් පොලිසිය උදයනිධි ස්ටාලින් අත්අඩංගුවට ගත්තේ තමිල්නාඩුවේ ස්ටාලන්ගේ නිවසේදීය. 
පොලිස් නිලධාරීන් පැමිණ රැගෙන යද්දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ උදයනිධි ස්ටාලින් කියා සිටියේ, තමන් මේ අයුරින් අත්අඩංගුවට ගැනීම ‘විහිළුවක්’ බවත්, තමන් ඊට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට සූදානම් වන බවත්ය. එම අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බව ද තමිල්නාඩු විපක්ෂ නායකවරයා චෝදනා නගා ඇත.

උදයනිධි ස්ටාලින්ට එරෙහිව චෝදනා නගා ඇත්තේ, විජේගේ ‘තමිල්ලග් වෙටි්‍ර කසාගම්’ පක්ෂයයි. ‘තමිල්ලග් වෙටි්‍ර කසාගම්’ පක්ෂය මේ සම්බන්ධයෙන් ඉන්දීය ජාතික කාන්තා කොමිසම වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව පැවැසෙයි. 

මේ අතර, ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ටී. කේ. එස්. එලංගෝවන් පවසා ඇත්තේ, උදයනිධි ස්ටාලින් කිසිවකුට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු නොකළ බවත්, ඔහු එම අවස්ථාවේදී ත්‍රිෂාගේ නම පවා සඳහන් නොකළ බවත්ය. ටී. කේ. එස්. එලංගෝවන් ද එම ජන හමුවට සහභාගී වී ඇත.

විජේගේ සෑම සාර්ථකත්වයක් පසුපසම නිළි ත්‍රිෂා සිටී. පසුගිය මැයි මාසයේ පැවැති තමිල්නාඩු ප්‍රාන්ත සභාව ජයගත් අවස්ථාවේදී ද නිළි ත්‍රිෂා ද ජෝසෆ් විජේ අසල සිටියේය. ඒ අනුව, දෙදෙනා සම්බන්ධයෙන් විවිධ කටකතා දේශපාලන හා සිනමා ක්ෂේත්‍රයේ පැතිර යයි. කෙසේ නමුත්, උදයනිධි ස්ටාලින්ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන්, නිළි ත්‍රීෂා හෝ මහ ඇමැති විජේ හෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් පවසා නැත.

උදයනිධි ස්ටාලින් ද ජනප්‍රිය දෙමළ නළුවෙකි. ඔහු ද ත්‍රීෂා සමග සිනමා නිර්මාණවලට දායක වී ඇත.