මගීන් හා කාර්යමණ්ඩලය 239 දෙනෙකු සමග අතුරදන්වී දැනට දින 52 ක් ගෙවී ඇති මැලේසියා ගුවන් සේවයට අයත් එම්.එච්.370 අංක දරන ගුවන් යානය සොයා මුහුද මත සිදුකෙරෙන මෙහෙයුම් කටයුතු සීමා කිරීමට කටයුතු කරමින් සිටින්නේයැයි  ඕස්ටේ‍්‍රලියා අගමැති ටෝනි ඇබොට් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ගුවන් යානය මුහුදේ ගිලීගියේ නම් ගුවන් යානයෙන් බිදී ගිය කොටසක් මුහුද මතුපිටට ඒම වියහැක්කක් වූවත් දැන් දින 52 ක් ගතවී ඇති තැන එසේ මුහුද මතුපිටට පැමිණි තිබෙන්නට ඇති කොටස්ද යළිත් ගිලී ගොස් තිබිය හැකි වීමේ ඉහළ සම්භාවිතාවක් ඇතැයි ඔහු කීය.

මෙනිසා මුහුද මතුපිට සිදුකෙරෙන මෙහෙයුම් වලට වඩා මුහුදු පතුලේ සිදුකෙරෙන මෙහෙයුම් වලට තැන දීමට යානය සොයා මෙහෙයුම් කටයුතු සිදුකරන කණ්ඩායම් සැළසුම් කර ඇතැයි ඔහු සදහන් කළේය.

යානය අතුරුදන්වූ පසුගිය මාර්තු 28 වැනිදා පටන් මේ දක්වා සිදුකෙරී ඇති මෙහෙයුම් වලින් යානය පිළිඹද කිසිදු තොරතුරක් සොයාගැනීමට හැකිව නොමැත.යානය ඉන්දියන් සාගරයට කඩා වැටෙන්නට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන මතය වන අතර එසේවුවත් යානයේ සුන්බුන් කොටසක් හෝ සාගරය මත සුලූ හෝ තෙල් ඉහිරුමක සළකුණු හෝ සොයාගැනීමට මෙහෙයුම් කටයුතු සිදුකරන කණ්ඩායම් අපොහොසත්ව සිටිති.

මේ අතර පසුගියදා හිටපු මැලේසියා අගමැති ආචාර්ය මහතීර් මොහොමඞ් යානය අතුරුදන්වීම සම්බන්ධයෙන් වගකීම භාරගතයුතුව ඇත්තේ එහි නිශ්පාදකයා වන බෝයිංග් සමාගම යැයි චෝදනා කළේය.

ජංගම දුරකථනයකින් පවා තමන් සිටිනා තැන සොයාගැනීමට තරම් තාක්ෂණය දියුණු යුගයක ගුවන් යානයක් වැනි අධි තාක්ෂණික යන්ත‍්‍රයක් හිටි ගමන් අතුරදන් කරවිය හැක්කේ කෙසේදැයි ඔහු ප‍්‍රශ්න කළේය.බෝයිංග් සමාගම කියන තරම් තාක්ෂණය අතින් දියුණු නැති බවක් හා සමාගම නිපදවන ගුවන් යානා ඔවුන් නිර්දේශ කරන තරම් ආරක්ෂාකාරී නොවන බවක් පෙනී යන්නේ යැයි ඔහු කීවේය.

ප‍්‍රධාන නියමුවා සියදිවි නසාගැනීමේ අරමුණින් යානය විනාශ කිරීමට කටයුතු කරන්නට ඇතැයි ඉදිරිපත්වී ඇති මතය බැහැර කළ හිටපු අගමැතිවරයා ඔහු එවැනි දෙයක් කරන තෙක් සහය නියමුවා හා කාර්යමණ්ඩලය ඔහේ බලා සිටියේයැයි කිසිසේත් විශ්වාස කළ නොහැකි බව පැවසුවේය.

යානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයාගැනීමට මේ දක්වාම නොහැකිවීම යානය සැබෑවටම කඩාවැටී ඇත්දැයි සැකයක්ද උපදවන බව ඔහු පැවසුවේය.