දුම්වැටි ඇසුරුම අඳුරු වර්ණයකින් වරණ ගැන්වී තිබිය යුතුයැයිද,එය මත දුම්බීමේ ආදීනව ගැන දැක්වෙන ඡායාරූපයන් තිබිය යුතුයැයිද ආදී ලෙස දුම් පානය සම්බන්ධයෙන් ස්ථාපිත කිරීමට යන නව නීති අනුව දුම්වැටි අසුරනද සකස් විය යුත්තේ කෙසේදැයි දැක්වෙන ඡායාරූප පෙළක් නිදහස් කිරීමට බ්‍රිතාන්‍යයේ සෞඛ්‍යය අමාත්‍යංශ්‍ය  කටයුතු කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා වලට අනුව දුම්වැටි අසුරනයන් අනිවාර්යයෙන්ම අලූ පැහැය මිශ්‍ර දුඹුරු පැහැයෙන් වරණ ගැන්වී තිබිය යුතුය.දුම්බීමේ ආදීනව ගැන දැක්වෙන ඡායාරූපයක්ද සමග ඊට ගැලපෙන වදනක්ද තිබිය යුතුය. මීට අමතරව දුම්වැටි අසුරනයේ තිබිය යුත්තේ නිෂ්පාදකයාගේ නම පමණකි.

තරුණ වියේදීම දුම්පානයට ඇබ්බැහි වන්නන් සිටී යැයි හඳුනාගෙන ඇති බ්‍රිතාන්‍යයේ දුම්පානයේ ආදීනව ගැන ජනතාව දැනුම්වත් කිරීමේ ආයතනයන් එකතුව දුම්පානය සම්බන්ධයෙන් නව නීති ස්ථාපිත කරන්නැයි බ්‍රිතාන්‍යය රජයෙන් ඉල්ලා සිටින්නේ කලක සිටය.

ඒ සම්බන්ධයෙන් කල්මරමින් සිටි බ්‍රිතාන්‍යය රජය අවසානයේ එම එළැඹෙන මැතිවරණ සමයට පෙර වහාම ස්ථාපිත කරන බවට පොරොන්දු වී තිබේ.

දුම්පානයට පුද්ගලයින් අද්දවා ගැනීමේ සමත් වෛවාරණ දුම්වැටි අසුරණයන් තහනම් කර ඒවායේ වර්ණය හා සදහන්ව ඇති දෑ සම්බන්ධයෙන් වාරණයන් පැනවූ මුල්ම රට වූයේ ඕස්ට්‍රේලියාවයි.

2012 දෙසැම්බර් මාසයේ සිට ස්ථාපිත කරගත් නීති වලට ප්‍රකාරව සියලූම ආකාරයේ දුම්වැටි අසුරනයන් සමාන පෙනුමැතිව සකස් කිරීමටත්,ඒවායේ දුම්බීමේ අහිතකර ප්‍රතිඵල දැක්වෙන දුම්බොන්නෙකු දුම්පානය ගැන දෙවරක් සිතා බැලීමට යොමු කිරීමේ සමත් ඡායාරූපයන් අන්තර්ගත කිරීමටත්, අටුවා ටීකා නොමැතිව අසුරනයේ නිශ්පාදකයාගේ නම පමණක් යෙදීමටත්  එරට දුම්වැටි නිශ්පාදකයින්ට සිදුවිය.

යුරෝපා සංගමයේ සියලූ රටවලටද ඉදිරියේදී දුම්පානය සම්බන්ධයෙන් වන පොදු නීති මාලාවකට එකග වීමට සිදුවනු ඇතැයි සදහන්ය.