ගෝලීය සුවතා සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කර ගනිමින් ‘බුක්රිට්‍රීට්ස්.කොම්’ (BookRetreats.com) වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ ලොව වේගයෙන්ම ප්‍රචලිත වන ‘සුවතා ගමනාන්ත’අතර ප්‍රථම ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

මෙය මෙරට සංචාරක සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එම ‘බුක්රිට්‍රීට්ස්.කොම්’ වෙබ් අඩවියේ ‘ස්ටේට් ඔෆ් රිට්‍රීට්ස් 2026’ වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව පිළිබඳව සංචාරකයන් දැක්වූ උනන්දුව පසුගිය වසරට සාපේක්ෂව සියයට 100 ක වාර්තාගත වර්ධනයක් පෙන්වා ඇත.

ඕස්ට්‍රේලියාව, මොරොක්කෝව, එංගලන්තය සහ ස්පාඤ්ඤය වැනි ප්‍රමුඛ රටවල් අභිබවා යෑමට ශ්‍රී ලංකාවට හැකි වීම විශේෂත්වයකි. සංස්කෘතික උරුමයන් මත පදනම් වූ දේශීය සුවතා ප්‍රතිකාර සඳහා ජාත්‍යන්තර වශයෙන් පවතින ඉහළ ඉල්ලුම මෙම ශ්‍රේණිගත කිරීම් හරහා මැනවින් පිළිබිඹු වන බව ද පැවැසෙයි.

ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ, මෙම ඇගයීම මෙරට සාම්ප්‍රදායික ‘හෙළ ආයුර්වේද’ වෛද්‍ය ක්‍රමය, ස්වාභාවික සෞන්දර්යය සහ පරිපූර්ණ සුව කිරීමේ ක්‍රමවේදයන් ජාත්‍යන්තරව ලැබූ ඇගයීමක් බවය.

දශක ගණනාවක් තිස්සේ දේශීය හෝටල් ක්ෂේත්‍රය විසින් ජාත්‍යන්තර ප්‍රදර්ශන, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සහ ඩිජිටල් ප්‍රචාරණ ඔස්සේ මෙරට දේශීය වෛද්‍ය ක්‍රමයේ වටිනාකම ලොවට සන්නිවේදනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය හිමි වූ බව ද එම සංගමය පෙන්වා දෙයි.

සුවතා සංචාරක ක්ෂේත්‍රයේ නිරත මෙරට ලියාපදිංචි හෝටල් සහ නවාතැන්පොළවල් බහුතරයක් සිය සංගමයේ සාමාජිකයින් වන අතර, ඔවුන් ඉහළ සේවා ප්‍රමිතියක් සහ විශ්වසනීයත්වයක් පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය පවසයි.

දේශීය හෙළ වෙදකම සහ ආයුර්වේදය තුළ අන්තර්ගත ‘පංචකර්ම’ විෂහරණ වැඩසටහන්, දීර්ඝායුෂ, ප්‍රතිශක්තිය සහ සුවදායී නින්ද සඳහා වන ප්‍රතිකාර ක්‍රම වර්තමාන සුඛෝපභෝගී විදේශීය සංචාරකයින්ගේ ප්‍රධාන ආකර්ෂණය බවට පත්ව ඇත.

දැනට දිවයින පුරා සම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කළ, සුඛෝපභෝගී පහසුකම් සහිත ආයුර්වේද නිකේතන 100 කට වඩා ක්‍රියාත්මක වන බව ද සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක ප්‍රවර්ධන උපාය මාර්ගයන් සඳහා ආයුර්වේදය සහ හෙළ වෙදකම මීට වඩා බහුලව සම්බන්ධ කරගත යුතු බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවට ලැබුණු මෙම ‘ඇගයීම’ ගෝලීය ප්‍රචාරණ කටයුතුවලදී ඉදිරියටම රැගෙන යෑමෙන්, මෙරටට පැමිණෙන අතමිට සරු ධනවත් සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නැංවීමටත්, ශ්‍රී ලංකා සන්නාමය ශක්තිමත් කිරීමටත්, එමඟින් මෙරට විදේශ විනිමය උපයන්න පුළුල් කිරීමටත් මහඟු පිටුවහලක් ලැබෙනු ඇතැයි එම සංගමය වැඩිදුරටත් කියා සිටී.